Wednesday, December 7, 2016

461. ඒ ගී සොළොසට අයත් නොවූවද තවමත් මා හද බැඳි ගී - 8 - ඇය යන්න ගියා මැකිලා....


Often in life we forget the things we should remember and
remember the things we should forget. 
ජීවිතයේ බොහෝවිට අපි මතකයෙහි රඳවාගතයුතු දේ 
අමතකකොට මතකයෙන් බැහැරකල යුතු දේ 
මතකයෙහි රඳවාගෙන සිටිමු.

අදින් අර දුම්රියේ හමුවූ යුවතියගෙ කතාව ඉවරයි. ඒ හින්ද මම හිතුව මුල් කොටස් හයට සබැඳි දාලම කතාව පටන්ගත්තනම් හොඳයි කියල.......








දුම්රිය පොල්ගහවෙල මංසන්දිය පසුකළේය. මම කිසිවක් කරකියාගත නොහී උකටලීව ආසනයේ දිගඇදී පසුවූයේ මසිත දැඩි නියං කලක වියළි පොල් අතු මිටියකින් ගිණි තැබූ තව්මැරී හේබාවීගිය කහපැහැ මානගාලක් පරිද්දෙන් සට සට යන අනුකරණයෙන් ගිණි ගනිද්දීය.

රඹුක්කන පසුකල දුම්රිය ඉතා ශීඝ්‍ර ආනතියකින් යුතුව තනා ඇති මාර්ගය ඔස්සේ කඳුකරයට පිවිසෙනු වස් සුපුරුදු ලෙස වැර වෑයමෙන් කන්ද නඟින්නට වන්නේය. කලක් මැදිරි 12-15 අතර ගණනකින් සැදි උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ වන් දුම්රියක් ඇදීමට කේවල එන්ජිමක් අසමත්වූ බැවින් රඹුක්කන සහ කඩුගන්නාව අතර ආනතිය ඉතාම ශීඝ්‍ර කොටසේදී ඉදිරියෙන් මැදිරි පෙළ අදිනා එන්ජිමට සහායවනු වස් අමතරව පසුපසින් තල්ලු කරනු උදෙසාද එන්ජිමක් යොදා ගැනිණි.

රඹුක්කන පසුකොට කිලෝ මීටර් පහක් හෝ හයක් පසුකල පසු දුම්රිය මඟ අර්ධ වෘත්තාකාර හැඩයක් ගත් සුවිසල් වංගුවක් පසුකරයි. යුගල එන්ජින් මඟින් ඇදෙනා දුම්රියක ගමන් කරද්දී මම අනිවාර්යයෙන් මේ වංගුවෙහිදී මැදිරි දොරටුවක එළිපත්ත මත සිටගෙන ඉදිරියෙන් සහ පසුපසින් ඈඳුනු යුගල එන්ජින් ආධාරයෙන් දුම්රිය ධාවනය වනු නරඹන්නෙමි. ඒ මගේ නොසිඳෙන ආශාවන්ගෙන් එකකි. එහෙත් එදින මසිත කොතෙක් කැළඹී තිබියේද යත් එසේ දොරටුවක් අසලට ගොස් ඒ මනස්කාන්ත දර්ශනය විඳීමටද මට කිසිසේත්ම සිතක් පහළ නොවූයේය.

ඉහළකෝට්ටේ සහ බලනද පසුවිය. කෝට්ටේ යන වදනෙහි අර්ථය නම් කොටුව යන්නයි. එනම් පරසතුරු ප්‍රහාරයකින් ආරක්ෂාවනු උදෙසා තැනූ බලකොටුවක් වැන්නකි. පෘතුගීසි සහ ලන්දේසි සමයන්හිදී උඩරට සිංහල රාජධානිය දක්වා වැටී තිබුණු මාර්ගය මල්වාන රුවන්වැල්ල අඟුරුවාතොට ආදි ගම් නියම්ගම් පසුකොට කන්ද උඩරටට ඇතුලුවූයේ බලන සහ අලගල්ල කඳු අතරිනි. අද ඉහළ කෝට්ටේ යනුවෙන් හැඳින්වෙන ස්ථානයෙහි එදවස වූයේ උඩරටට පිවිසෙන අවසාන මුර කපොල්ලයි. බලන යනු උඩරට රාජ්‍යය ආරක්ෂාව සලසනුවස් රැකවලෙහි යෙදී හිඳිනා මුරසෙබලුන් සතුරු සේනාවක ඡායා මාත්‍රයක් හෝ කුමන මොහොතක දක්නට ලැබේදෝයි යන අනවරත සැකයෙන් යුතුව උකුසු ඇසින් ඈත සබරගමු සීමාව තෙක් දිවයන නිම්න භූමිය දෙස නෙත් යොමාගත් වනම පසුවූ මුර කපොල්ලයි.

තවත් මිනිත්තු දහයක් පමණ ගෙවී ගිය ඉක්බිති මගේ දකුණු පසින් පහළින් දිස්වන්නට වූයේ කොළඹ- මහනුවර ප්‍රධාන මාර්ගය යි. දුම්රිය උපරිම වශයෙන් තවත් මිනිත්තු දහයක පමණ ගමනකින් පසු කඩුගන්නාව දුම්රිය පොලට ලඟාවනු ඇත. ඉන් පසු පිළිමතලාවට ඇත්තෙ තවත් මිනිත්තු දහයකි. පිළිමතලාවෙන් මම දුම්රියෙන් බැසිය යුතුය. මගේ ප්‍රවේශ පත්‍රය වලංගු වන්නේ පිළිමතලාව දක්වා පමණකි.

මා ඉදිරියේ හිඳ සිටිනා මව සහ දියණිය කඩුගන්නාවෙන් හෝ පිළිමතලාවෙන් දුම්රියෙන් නොබැස්සහොත් මගේ සියලු අපේක්ෂාවන් සුන්වී යනු ඇත. කඩුගන්නාවෙහිදී දුම්රිය නතර කල සැණින් වේදිකාවට පැන කඟවේනකු පසුපසින් හඹාඑන කල්හි දිවයන්නාක් මෙන් දිවගොස් මහනුවර දක්වා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන ආපසු මැදිරියට දිව ඒම මගේ ගැටළුවට එකම විසඳුම සේ මම තීරණය කළෙමි. 

එහෙත් දුම්රිය නවත්වන මිනිත්තු තුනක්වන් ඉතා කෙටි කාලය තුලදී එවන් වික්‍රමයක් කිරීමට මම කාල් ලුවිස් වන් ධාවන ශූරයකු නොවන බැවින් ඒ අදහස මම අත්හැර දැමුවෙමි. වලංගු ප්‍රවේශ පත්‍රයක් රහිතව දුම් රියේ ගමන් කිරීම ඉතා අවදානම් සහගතය. සතිකිහිපයකට ප්‍රථම පේරාදෙණිය සහ මහනුවර අතර හදිසියේ ටිකට් පරීක්ෂක වරුන් (දුම්රිය මගීන් ඉතා සාදරයෙන් අමතනු ලබන පරිදි සුළුපියවරුන්) ප්‍රවේශ පත්‍ර පරීක්ෂාකොට මගීන් තිස්දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් අත් අඩංගුවට ගත් බව මා සමඟ පවසූයේ මගේ ලොකු අම්මාගේ පුත්‍රයකු වන සරත් අයියාය.

මා මේ සඳහන් කරනා කාල වකවානුවෙහි ජංගම දුරකථන සුලභ නොවුනු බව මම කථාව ආරම්භයෙහිදී සඳහන් කලා ඔබට මතක ඇතැයි සිතමි. ජංගම දුරකථනයන් භාවිතාවුනු සමයෙක නම් මවිසින් ගතයුතු පියවර ඉතා සරළය.

මගේ අතිජාත මිත්‍රයෙක් කඩුගන්නාව දුම්රිය පළට කිලෝ මීටර් හතරක් හෝ පහක් ආසන්නයේ වෙසෙන්නේය. බලන දුම්රිය ස්ථානය පසුවූ වහාම මම ඔහුට දුරකථන ඇමතුමක් ගන්නෙමි. රඹුක්කන සහ කඩුගන්නාව අතර දුම්රියේ ගමන් කරද්දී දුරකථන ඇමතුම් ගැනීම දුෂ්කරය. දුම්රිය මඟේ පිහිටි බිංගෙවල් තුලට දුරකථන සංඥා නොලැබේ. එවිට සංවාදයට බාධා පැමිණේ. ඒ බාධා කෙසේ හෝ මඟහරවාගෙන මම රංජියාට ඇමතුමක් දෙමි. 

"ඒයි රංජි..මචං.."

"ආ..වීරෙ...මොකෝ බං හදිස්සියෙ? උඹ මේ කොහෙද ඉන්නෙ? මොකද්ද බං ඔය මහ විසාල ගෝසාවක් ඇහෙන්නෙ?…."

"හරි හරි ඒ විස්තර කිය කිය ඉන්ට වෙලාවක් නෑ..ඉස්සරහ බිංගෙයක්......"

එසැනින් දුම්රිය බිම්ගෙයට ඇතුලු විය. සංවාදය ඇණහිටියේය. දුම්රිය බිම්ගෙය පසුකොට එළිමහනට පැමිණි වහාම මම යලි රංජිත් ඇමතුවෙමි. 

"හෙලෝ රංජි….."

"මොකද බං උඹ කෝල් එක කට් කලේ?"

"මම කට් කරපු එකක් නෑ යකෝ...කෝල් එක කට් වුනා…"

"හිහ්..හිහ්..එහෙනං එකත් එකටම උඹෙ ෆෝන් එකේ සල්ලි නැතුව ඇති…."

"සල්ලි නැති කෙහෙල්මලක් නෙවෙයි බං..මේ පිස්සු විකාර කියවන එක නවත්තල මම මේ කියන එක හොඳට අහගනිං..වැඩි වෙලාවක් ...."

එහෙම කියනකොටම ආයම කෝච්චිය බිංගෙයක් ඇතුලෙ....අනේ අම්මප...මට එන කේන්තියක්...අනික හයියෙන් කෑගහන්ටත් බෑ. අර ඉස්සරහ ඉන්න අම්මණ්ඩි නිදිවගේ හිටියට ඇස් පියාගෙන මම කියන එව්ව ඔක්කොම අහගෙන ඉන්නව වෙන්ටත් බැරි නෑනෙ. කියන දෙයක් බොහොම ලෝ වොලියුම් තමයි කියන්ට වෙන්නෙ. දියණියෝ තොමෝ නම් අවුලක් නෑ ඇත්තටම නිදි වගේ. මේ බිංගෙවල් සීන් එක හින්ද ඒ ළමයට එක විදිහකට පොත කියවගන්ටත් බෑනෙ. ඒ හින්ද කඩිගමුව පහුවෙලා බිංගෙවල් බහුල වෙන්ට ගත්තට පස්සෙ ඕ තොමෝ කරපු වැඩේ පොත වහල උකුල උඩ තියල ආසනේ ඇන්දට ඔලුව හේත්තු කරගෙන ඇස් දෙක පියාගත්ත.

"හෙලෝ හෙලෝ රංජි…"

"මොකක්ද බං ඇත්තටම ඔය ඇහෙන මහ විසාල ගෝසාව? උඹ මූදක් කිට්ටුවකද ඉන්නෙ? "

"මූදක් නෙවෙයි යකෝ..මම මේ කෝච්චියෙ එනව කොළඹ ඉඳල."

"ආ..ඉතිං නියමයිනෙ..... එහෙනං වරෙං කඩුගන්නාවෙං බැහැල අපේ ගෙදර...මම අපේ උක්කුනා එවන්නද බයික් එකේ ස්ටේෂන් එකට?"

"උක්කුනා නෙවෙයි බං... උඹේ බයික් එකට මොකද වුනේ?"

"ඒකෙ ප්ලග්ස්වල කචල් එකක් බං ගැරේජ් එකේ තියෙන්නෙ"

"මේ රංජි ඉඳහං පොඩ්ඩක්…" මම ජනේලෙං එලියට ඔලු ගෙඩිය දාල බැලුව. ඊලඟ බිංගේ ලඟ ලඟම එනව. "මචං මේ... බිංගෙයක් ලඟම එනව.."

"ඉතිං බිංගෙවල් ආවම උඹට මොකද? ...උඹ කෝච්චිය ඇතුලෙනෙ ඉන්නෙ... නේද?"

"යකෝ XXXX බිංගෙවල් ඇතුලෙදි සිග්නල් නැතිවෙනවනෙ. උඹ බීලද ඉන්නෙ?"

"හීනියට වගෙ එහෙම එකකුත් නම් තමයි.. කිව්වම මොකද? හෙහ්,හෙහ්…"

"ඒක තමයි මේ එහෙනං…" එතකොටම ඔන්න ආපි ආයෙම බිංගෙයක්…"බ්ලඩි ෂිට්."

කෝච්චිය බිංගෙට ගියා වගේම ඒකෙං එළියට එන්ටත් එපාය? නැද්ද හා? නැතුව ඉතිං බිංගේ ඇතුලෙ පදිංචි වෙනවය ? නෑනෙ... 

"මේ මචං හොඳට අහගනිං හොඳද? උඹ මේ දැන්මම උක්කුනාගෙ බයික් එක අරගෙන වරෙං කඩුගන්නාව ස්ටේෂන් එකට"

"හරි බං ඒකෙ අවුලක් නෑ. ඒත් උඹව මෙහෙ එක්ක එන්ට මමම එන්ට ඕනය? මම උක්කුනාව එවන්නං.."

උක්කුනා කියන්නෙ කවුද කියල මම කිව්වද? නෑ නේද? උක්කුනා කියන්නෙ රංජියගෙ මස්සිනා...මාමගෙ පුතා...ඒකා ගුරෙක්...පිස්සු ලෝකයක්...

"මම උඹලගෙ ගෙදර එන්නෙ නෑ බං…"

"එතකොට? "

"ඒකනෙ කියනකං ඉඳහංකො. උඹ කඩුගන්නාව ස්ටේෂන් එකට ඇවිල්ල මචං නුවරට ටිකට් එකක් ගනිං.."

"ඒ මොකටද?"

"ඒ මොකටද කියල මං පස්සෙ කියන්නං..මේක අහගනිංකො දැන් තව බිංගෙයක් එන්ට ඉස්සරවෙලා…"

"හා කියපං ඉතිං.."

"උඹ ඇවිල්ල නුවරට ටිකට් එකක් අරගෙන…"

"ටිකට් දෙකක් මොකටද? උඹ විතරයි නේද කෝච්චියෙ එන්නෙ?"

"ටිකට් දෙකක් කොහෙද බං? "

"ඇයි බං උඹ කලිනුත් කිව්වෙ නුවරට ටිකට් එකක් ගන්ට කියල. ඒ ටිකට් එකයි දැං මේ ගන්ට කියන ටිකට් එකයි ටිකට් දෙකයි නෙවෙයිද?"

" ඔය ඉතිං මඟුලක් කතා කරනව. ටිකට් දෙකක් නෙවෙයි බං එක ටිකට් එකයි ගන්ට ඕන...ටිකක් සීරියස් වෙයං XXXX මේ වගෙ වෙලාවකවත්. දිස් ඊස් අ ලයිෆ් ඇන්ඩ් ඩෙත් මැටර් යූ අන්ඩස්කර්ට්? "

"යර්ස්, යර්ස්, පර්ෆෙක්ට්ලි මචං පර්ෆෙක්ට්ලි..ඉතිං ටිකට් එක අරගෙන මම මොකද කරන්න ඕන? "

"උඹ ඇවිල්ල ඉඳහං ප්ලැට්ෆෝම් එකට. කෝච්චිය ආහම මම කෝච්චියෙං බහිනව. උඹ මට ඒ ටිකට් එක දීපං."

"දීල?"

"දීල උඹ බයික් එකේ නැඟල ගෙදර පලයං….නැතුව වෙන අහවල් දෙයක් කරන්නද ආය?"

"හරි හරි දැං කියපංකො මොකටද මේ....? මොකක්ද මේ නුවරට ටිකට් එකක් ගන්න සීන් එකේ තේරුම?"

"මේ රංජි..එව්ව ගහ පහ දෙන්ට වෙලාවක් නෑ දැං..බිංගෙයක් ලඟම එනවද කොහෙද.... උඹ ඔය මම කිව්ව වැඩේ කරපංකො මම සම්පූර්ණ විස්තරේ යථා කාලයේදී කියන්නං"

"හරි...හරි...උඹ බය නැතුව ඉඳහංකො... මම වැඩේ දෙන්නං තෙල් ටිකට...."

වැඩේ දුන්න සර් තෙල් ටිකට. ඒකත් ෂෝක් කතාවක්. මම කලිං කිව්වද කියලත් මතක නෑ. කොහොම උනත් පස්සෙ වෙලාවක ආයම කියන්නං. අපේ කො.ක.ස. ගරු සබාපති තුමාට මතක ඇති ඒ කතාව මම කලින් කිව්වනං. වඩියුසේ ඔනරබල් මිස්ටර් චෙයාමන්?

ඉතිං ඔන්න ඔහොම රංජියට කෝල් එකක් දීල ඌ ලව්වා කඩුගන්නාවෙ ඉඳල නුවරට ටිකට් එකක් අරගෙන අර මා සිත්ගත් යුවතිය එක්ක නුවරටම ගිහිල්ල මව සහ දියණිය පස්සෙං ගිහිල්ල යන්නෙ කොහාටද? නඟින්නෙ මොන බස් එකේද? කියල සොයා බලල ඒ විස්තර දැනගෙන ඒ අතර අවස්ථාවක් ආවොත් මවගේ ඇස් වසාලා පියා වචනයක් දෙකක් කතාකරල එහෙම ...හෙහ්,හෙහ්, දන්නවනෙ ඉතිං වැඩි විස්තර ඕන නැහැනෙ.

ඒත් ඉතිං ඔක්කොම හොඳයි මුක්කම නරකයි කිව්ව වගෙ පොඩි පරහකට හිටියෙ මම ඔය කියන කාලෙ ජංගම දුරකථන ඇවිල්ල තිබ්බෙ නෑ. එක දෙක ඔය හයි ෆයි පොරවල් ගාව තිබ්බත් සුලබ නෑ. සිග්නලුත් තිබ්බෙ ප්‍රධාන නගර වලට විතරයි. ඒ හින්ද ඉතිං වෙන මක් කරන්නද හොරැහින් ඈ දිහා බල බල පිළිමතලාවට යනකල් ගිහිල්ල මම දුම්රියෙන් බැස්ස. මගෙ ගමන් මල්ලත් කරේ එල්ලගෙන ස්ටේෂන් එකේ පිටවෙන දොරටුව ලඟට ගිහිල්ල මාව පහුකරගෙන යන දුම්රිය දිහා මම ආපහු හැරිල ආයෙම පාරක් බැලුව. ඒ යුවතිය දුම්රිය කවුලුවෙන් මාදිහාවෙ බලාගෙන හිටිය ඇසිපිය නොහෙලා. දුම්රිය ඈත් රැගෙන ඈතට ඈතට ගිහිල්ල නොපෙනී ගියා. සුසුමක් හෙලල මම දුම්රිය ස්ථානෙ දොරටුවෙන් පිටවුනා.

ඒ තමයි ඒ සොඳුරු යුවතිය මා නෙත ගැටුණු අවසන් වතාව. ඊට පස්සෙ මාසයක් දෙකක් තුනක් වගෙ යනකල් නුවර පැත්තෙ ගිය හැමවෙලාවෙම මම බොහොම හෝදිසියෙන් මඟදි හම්බවෙන, පිටුපාල යන යුවතියන් දිහා බැලුවෙ ඒ මනස්කාන්ත දෑස යලි ඇස ගැටෙයිදෝ යන නොසිඳෙන අපේක්ෂාවෙන්. ඒත් එදා පිළිමතලාව දුම්රිය ස්ථානයෙදී මා වෙතින් ඉවතට ඇදී යන දුම්රියේ කවුලුවෙන් දුටුවාට පසු ජීවිතයේ මෙතෙක් දිනක ඈ මට හමුවූයේ නැහැ.

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා

යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා

පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගායනය - අමරසිරි පීරිස්



Sunday, December 4, 2016

460. පුවක් එෂැණිං 17 - පොලිෂ්පතිට ආයෙමත් කෝල් එකක්....


පොලිස්පති රැස්වීමක් අමතන අතර
ජංගම දුරකථන ඇමතුමකට පිළිතුරු දෙයි.

"ආ..කවුද මේ කතා කරන්නේ?" 

"අයිසෙ තමුසෙට මගෙ කටහඬත් දැං අඳුරන්ට බෑ නේද?" 

"එක පාරටම බැරි වුනා සර්...කොහෙද ඔය මලකඩ හූරනව වගෙ සද්දෙ දැං කාලෙකිං ඇහුවෙත් නෑනෙ.." 

"මොකද්ද කිව්වෙ?" 

"ආ..නෑ..නෑ..සර් මොකවත් නෑ…" 

"තමුසෙ දන්නවද මම කතා කලේ මොකටද කියල?" 

"නෑනෙ සර්.." 

"හරි ඒක කියන්ට ඉස්සෙල්ල කියනව අදත් තමුසෙ කොහෙ හරි රැස්වීමක කතා කර කරද ඉන්නෙ? " 

"නෑ..නෑ..සර් මම මේ ගෙදර ඉන්නෙ මේ වෙලාවෙ" 

"ෂුවර් නේද? බොරු කියන්ට එහෙම එපා…" 

"නෑ..නෑ..සර් බොරු නෙවෙයි...මේ ගෙදර තමයි ඉන්නෙ..මගෙ බල්ලත් මාලඟ ඉන්නව...ඕනනම් ඌට බුරන්ට කියනටද සර්ට ඇහෙන්ට…" 

"ඒක හරියන්නෙ නෑ අයිසෙ.....තමුසෙම බුරයි බල්ලෙක් වගෙ...මම දන්නවනෙ තමුසෙගෙ හැටි." 

"ඇයි සර් එහෙම කියන්නෙ?" 

"එහෙම කියන්නෙ අයිසෙ ඔය තනතුර ගන්ට තමුසෙ නොකරපු දෙයක් නෑනෙ. බෝදිපූජා, එතකොට දේවපූජා, එව්වනම් කොච්චරක් කලාද? කොටින්ම ඔය තානාන්තරේ හම්බවෙලා ඉස්සෙල්ලම තමං ඉගෙන ගත්තු ඉස්කෝලෙට ගිහිල්ල ළමයි අමතල කිව්වෙත් මට මේ තනතුර ලැබුනෙ දේවපූජා හින්දයි කියලනෙ."

"හරි හරි සර් ඒ වෙලාවෙ මම ඒ සන්තෝසෙ වැඩි කමට එහෙම කිව්වෙ...දැන් සර් කතා කලේ?" 

"අයිසෙ අර නිලමෙව කූඩුවට දාන්නෙ නෑ නේද?" 

"නෑ..නෑ..සර් නෑ... මම එදත් කිව්වනෙ...ඔය නිලමෙල මැණිකෙල කවුරුවත් ඇරෙස්ට් කරන්නෙ නෑ. එෆ්සීඅයිඩී එකට මම පැහැදිලිව කියල තියෙන්නෙ" 

"ආ..ඒක හොඳයි...මගෙ මිනිස්සු කවුරුවත් මීට පස්සෙ ඇතුලට දාන්ට බෑ හොඳද? පැහැදිලියිනෙ?" 

"--------------------------------------" 

"මොකද කතා නැත්තෙ? තමුසෙ දැනගන්නව.... මම ලබන අවුරුද්ද වෙනකොට ආපහු එනව" 

"ඒ කොහොමද සර්?" 

"ඒක තමුසෙට වැඩක් නෑනෙ. එන විදිහ මම බලාගන්නං. තමුසෙ මේ ටික මතක තියාගන්නව…..කෝ ඉන්නවද?" 

"'ඉන්නවා සර්" 

"දිගටම ඔය තනතුර තියාගන්ට ඕන නම් මම කියන විදිහට වැඩ කරනව. තේරුනාද?" 

"ඔව් සර්..තේරුණා.." 

"අන්න හොඳයි…අනික තමුසෙ වගෙ නීතිය නවන්ට ලෑස්ති මිනිහෙක්ගෙං මටත් බොහොම ප්‍රයෝජන ගන්ට පුලුවං." 

"--------------------------------------" 

"එහෙනම් මීට පස්සෙ මම කෝල් එකක් දුන්නම රැස්වීමක කතා කරකර ඉන්නව නම් මෝඩයා වගෙ එතනම ඉඳල කෝල් එකට ආන්සර් කරන්න එපා රටේ ලෝකෙ ඔක්කොටම ඇහෙන්ට. හොඳට මතක තියාගන්නව. තේරුණාද?" 

" තේරුණා සර් හොඳටම තේරුණා" 

Sunday, November 27, 2016

459. එෂැණිං පුවක් 16 - ඉන්ටපෝල්, යන්ටපෝල් සහ ඇමති ලොන්තපෝල්…


මම ප්‍රකාශ කල  අදහස් ඔබ නුරුස්නා බවක් මට පෙනේ.
අහෝ හිතවත! මම ප්‍රකාශ නොකොට සිතෙහි
සඟවාගත් අදහස් ඔබ දන්නේ නම්?

හිටපු මහරජතුමාගේ ආණ්ඩුව කාලේ රාජපස්සලා බොහෝසේ පික්සු කෙලියෝය. බැසිලානෝ ගෙන් පටන්ගත්විට ගොට්ටානෝ නාමෝලයෝ සහ යෝෂිටයානෝද කෙලිය තරමක් කෙලියේ පිස්සුය. රාජපස්සලා පෂ්ෂට පයිං ගසා පන්නා දැමූ දෙදාස් පාලහේ ජැනුවාරි අටවෙනිදායිං පසු රාජපස්සලාගේ පික්ෂු කෙලි මෙන්ම ගොං කතා වලින්ද නිදහස්වුනෙමු යයි අපි සකල ප්‍රීතියෙං පිනා ගියෙමු.

අහෝ තුකකි ඉරකි තිතකි. දැං මැදමුලන රාජපස්සලාගේ හයිරං පාට් එක හිතට අරගෙන ඒ අං තට්ටුව පලඳාගෙන ගොං කතා කියන කාර්ය බාරය බාරගෙන ඇත්තේ තවත් රාජපස්ස ගොබිලෙකි. ඒ නම් අපේ අතිගවුරවාර්හ අදිකරන ඇමති තුමෝ මිසක අං කිසිවකු නොවම්හ. එතුමෝ සෙල්ලම් පුරුසයෙක් නොවන්නෝය. ආචාර්ය උපාදිදාරියෙක්ම වන්නෝය.

අදිකරන සුවාදීනත්වය ගැන එතුමෝ බොහෝසේ විස්සෝප වන්නෝය. මහ දවල් මිනී මරා මරන දඬුවම් ලැබ හිරේ ලැග සිටින කුඩු ජාවාරම් කරුවෙකු බලන්නට නඩුකාරියක් ගිය විස්තරේ වෙබ් අඩවියක ලියූ වරදට, කාගේදෝ සාක්කිකාරයෙකුගෙ පොටෝ එකක් පලකල වරදට ඒකෙ සංස්කාරකවරයා ලංකාවට ගෙන්නා නඩු අසා හිරේ විලංගුවේ දමන්නට එතුමෝ පිට පොට ගසන්නෝය.

හැබැයි අපූරුම වැඩේ නම් මේකය. එතුමා අමුඩේ එහෙම තද කරගෙන අර අසමජ්ජාති වැඩේ කරපු වෙබ් අඩවිකාරයා ලංකාවට ගෙන්නාගෙන උගේ මාලු කන්නට දඟලන්නෝය. ඒ මනුස්සයා ලංකාවේ නැත්තේය. ඔන්න ඔය කොහෙද පිටරටක සිටිති. ඉන්ටපෝල් එක ලව්වා මේ වසවර්තියා ගෙන්නවා ගන්නට රාජපස්ස ඇමැත්තා සූජානං වන්නෝය. 

ඉන්ටපෝල් යනු යන්ටපෝල්ගේ ලොකු අයියාය.දොස්තර පී.ඩබ්ලිව්. ඒ පෝල් මහතා යනු මේ දෙන්නාගේම බාප්පොච්චීය. දොස්තර පෝල් ගැන මේ අද කාලේ බොහොම දෙනෙක් දන්නේ නැත. දොස්තර පෝල් යනු හැත්තෑව දසකයේ මේ මුලු සිරි ලංකාවේම ප්‍රසිද්ද වෙදදුරෙකි.

ඉන්ට පෝල් යන්ට පෝල් කොහොම වෙතා මේ කාලයේ ලොම් පෝල් ලා සහ ලොන්ත පෝල්ලා නම් මදි නොකියන්ට වකාරෙට ඉන්නෝය. මේ ලොන්තපෝල් ඇමති ඉන්ට පෝල් එකට කියා අර මනුස්සයා ගෙන්නන්ට යනකොට එටුමා යටතේම තියන අදිකරන සේවා කොමිසම අර මිනීමරු කුඩ්ඩා බැහැදකින්නට හිරේට ගිය නඩුකාරිය අනිවාර්ය නිවාඩු යවා ඇත. ඒ අර ලොන්ත පෝල් ඇමතියා අතපය හතර බැඳලා ලංකාවට ගෙන්නන්ට දත කන අපරාද කාරයා නඩුකාරියට කරපු චෝදනාව ගැනමය. 

ලොම් ද පෝල් ලෝම් පෝල්, සයින් ද පීස් සකබෝනා අනේ සකෝ බල ලෝ , දෙන්ඩ පටන්ගති දෙන්ඩ පටන්ගති XX XX XXXX කියාලා හිටං පුරාන ඉරිසි ගොල්ල කියන්ට ඇත්තේ මෙව්වගෙ දහවිහිලි වලට වෙන්ට ඕනෑය.

එක පාරක් මං ඉන්නකල් ගොට්ටා කූඩු කරන්නට ඉඩ දෙන්නේ නෑම නෑම නෑමය. අත්තාපල් මුත්තාපල් නෑමය කියා ගලනාලය අතේ අරං ගිරිය යටිං සිංහනාද කලේද ඔය ලොම් පෝල් ඇමතියාමය. ඒ ඇවිල්ලා සෙසුපටු තැනක නොව උට්ටරීටර පාරලිමේංතුවේදීමය.

අනික් දෙකොණිං හිනායන කාරණේනං මේ ලොම්පෝලා අදිකරනයේ සුවාදීනත්වය සහ ගහුරවයක් ගැන කතා කිරීමය. අනේ යකෝ අපි නොදන්න ලංකාවෙ අදිකරනේය.

මරා සුනාමි නඩුවෙං හිරේ යන්ට හිටපු එකෙං බේරුවේ තමං බව සොයං පාපෝච්චාරනයක් කලේ හිටපු මහ නඩුකාරයාය. එහෙමත් නැත්තං චීප් ජස්ටිස්ය. වැඩ ඇරිලා ගෙදර යන ගමං පාරලිමේන්තුවට යන පාරේ බබලතෙක් එක්ක කාර් එකේ ඉඳලා අහුවුනෙත් ඒ කියන උටුමාමය. ඒ කාලෙ එතුමාට රටේ ලෝකේ මිනිස්සු කිව්වේ "ගෙදර යන ගමං" කියලාය. පස්සෙ කාලෙක කාගිල්ස් කාරයින් ඒ නමිං සුපර් මාකට් ජාලයක් අරින්ට යද්දී බර ගානක් ගෙවා එතුමාගෙං ඒ නමේ අයිතිය ලබා ගන්නට සිද්ද උනෙමි.

එතකොට නැති බැරි කමට ගෙදර වැඩට ආපු බබලතා කිසි ලැජ්ජාවක් බයක් නැතුව දූසනය කලෙත් මේ සිරි ලංකාවේ අදිකරනයේම නඩුකාරයෙකි. හංවැල්ල පැත්තේ නීති විරෝදීව හදපු හෝටලය කේස් එකක් ෂේප් කරලා දෙන්නට බර ගානක අල්ලසක් ගද්දී අල්ලස් නිලදාරීන්ට අතේ කෝට් වුනේ ඒත් මේ ලොම්පෝලා කියන ජාතියේ ගවුරවනීය නඩුකාරයෙකි. අර ලෙනින් ද ස්ටාලින්ද කියන තක්කඩියා ගැන කතා කරන එකත් නිකං යසට තියෙන ලේ දාතුව කෝප කර ගැනීමකි. ඒ අතර අලි හුරතල් කරන නඩුකාරයෝද සිටින්නෝය.

දැන්මේ ලොම්පෝලා කියන්නේ මේ දහජරා, බල්ලො බත් කන්නෙ නැති ජාතියෙ වැඩ අතටම අහුවුනත් පත්තර කාරයෝ සහ ඉන්ටනැට් ප්‍රවෘත්ති වෙබ් අඩවි පවත්වාගෙන යන්නවුන් කටයි පුකයි වහගෙන ඉන්ට ඕනෑය. නැත්තං අදිකරනේ ගහුරවේට හානිවෙනවාය. සුවාදීනත්වයටද බරපතල හානි වෙනවාය.

අනේ  XXය. ඊට වැඩිමනත් වසයෙං නන්නානේ!

Friday, November 25, 2016

458. විමලෙගේ වාං පතුල් කතා - 41 - ටිලක ෂිට සහ සිල් ගැනීම


ඡායාරූපයෙන් දැක්වෙනුයේ බකට් ස්ක්‍රේපරයකි. දැවැන්ත
මහා පරිමාණ ඉදිකිරීම් වලදී පස් ප්‍රවාහනය සඳහා
යොදාගන්නේ මෙවන් විශාල යන්ත්‍රෝපකරණයන්ය.

විමලෙගෙ වාංපතුල් කතා මතකයි නේ? මොකෝ ආය අමතක...නැද්ද? කාලෙකින් ඒ සීරිස් එකේ කතාවක් ලියන්ටත් බැරිවුනානෙ. ඒ හින්ද ආයම ඒ ගැන මොකවත් ලියන්ටත් ඕමනයි මොනවද ලියන්නේ..කිය කිය අහස පොළව නුහූලන්ට කල්පනා කර කර ඉන්දැද්දි ඔන්න බලන්ටකො වැඩේ හැටි එව්වගෙ කතාවක් ලියන්ට ඉබේම සැට් වුනානෙ. අර මම කලින් දොහක කිව්වෙ අහඹු සමපතනය නොහොත් Coincidence ගැන. අන්න එව්වයිං එකක් කියල කිව්වැහැකි ඇහැ පියාගෙන. ඉතිං ළමයි කතන්තරේ මෙන්න මෙහෙමයි...

පහුගිය සිකුරාදා උදේ මම නැඟිට්ටෙ අටහමාරත් පහුවෙලා. කලින් දවසෙ පොඩි ඒක පුද්ගල කර්මාන්තයක් කරපු හින්ද රෑ එකට වගෙ ඇඳට වැටුනම ආය නෑ මලාසේ නින්ද ගියා. නැඟිටල සරමත් ගැට ගහගෙන හාහා පුරා කියල පොහොන් එක ඔන් කලාම මෙන්න මසාජීස් තුන හතරක්ම තියනව. එකක් තිලකයගෙන්. තිලකෙ දන්නව නේද? අර ටිලක ෂිට ලියන ගොබිලා. මීට මාසෙකට වගෙ ඉස්සර මගෙ පොස්ට් එකකට ඕකා කමෙන්ට් කරල කියල තිබ්බ ලඟදි ආපහු යන කතන්දරයක්. ඒ කිව්වෙ ගොයිං බෑක් ටු ශ්‍රී ලංකා ෆො ගුඩ්. ඉතිං මම තිලකෙට කෝල් එකක් දීල කිව්ව යන දවස මට හරියටම කියපංය, අපි සෙට් වෙලා ෂතුටු සාමීචියේ යෙදෙමින් සුළු කර්මාන්තයක යෙදෙමුය යනාදී වසයෙං.

තිලකෙය කිව්ව මේ මාසෙ තිහ රස්සාවෙ අන්තිම දිනේය ඊට පස්සෙ යනවය කියල. මමත් ඉතිං කිව්ව රයිටෝ ඊට කලියෙං වීක් එන්ඩ්ස් දෙක තුනක්ම එන හින්ද ඒ එකක සෙට් වෙමුය කියල. හදිස්සියෙම මේ පහුගිය සඳුද ඊ මේල් එකක් ආපි මම අර කරනවනෙ පොඩි වැඩිදුර අද්දියාපන කටයුත්තක්. අන්න එහෙං. මේ 25, 26 සති අන්තෙ දේසන නොහොත් ලැච්චස් තියනවය කියල.

ඔය වැඩිදුර අද්දියාපනේ ගැනත් වචනයක් කියල ඉන්ට ඕමනයි. ඉස්සර හිටපු පඬි ගොල්ල උපදෙස් දීල තියනව ජීවිතේ ඒ ඒ කාලවලට ඒ ඒ නියමිත කටයුතු කරන්ටෙයි කියල. ඒ කියන්නෙ ජීවිතේ මුල් කාලෙ ලාබාල වයසෙදි නිසි අද්දියාපනයක් ලැබීම. ඊට පස්සෙන් පහු තමන්ගෙ හැකියාව ඒ වගේම ඉගෙනගත් දේ අනුව සුදුසු රස්සාවක් ජීවනෝපායක් කිරීම. ඊටත් පස්සෙ සුදුසු පරිදි පෙළවහක් කරගෙන තැම්පත් වීම. ඊටත් පස්සෙ දරු මල්ලො එහෙම ලොකු මහත් කරල දීග තලග එහෙම දීල ජීවිතේ අවසාන බාගය උණු වතුර ටිකක් කාරිය නාල පිනක් දහමක් කරගෙන යන තැනකට වැඩක් කරගැනීම.

හුහ් පඬි ගොල්ල එහෙම කිව්වට අපි නං කණකට ගනියි එව්ව..නැද්ද හා..අපි වැඩ කරන්නෙ ඔය කවුරුත් කියන විදිහට එහෙම නෙවෙයි අපිට ඕන විදිහට..ඒ අනුසාරයෙන් මම කලේ අර ඉගෙනගන්ට කියල කියන ලාබාල යව්වන වයසෙදි රටේ නැති විසිවිත්තර කරපු එක. එව්ව මොනවද කියල ආය අමුතුවෙං කියන්ට දෙයක් නෑ ඔබ තමුන්නාන්සෙල එව්ව ගැන හොඳාකාරවම දන්නව.

ඉතිං ඔන්න වැඩේ හැටි කියන්නෙ ජීවිතේ අර උණු වතුර ටිකක් නාල දැහැමෙන් සෙමෙන් කල්ගත කරන්ට ඕන කාලෙ මම පටන් ගත්ත වැඩිදුර අද්දියාපනයක්. හැබැයි ඉතිං අපරාදෙ කියන්ට බෑ ඇස්වහක් කටවහක් නෑ ලැච්චස් වලට ගිහිල්ල මම කරන්නෙ දෙයියනේ කියල බුදිය ගන්න එක. කණ්නාඩි දාන හින්ද තියෙන එක වාසියක් නිදි ද නැද්ද කියල එක පාරට හොයාගන්ට බෑ. ඔලුව කඩා වැටෙන්ට නොදී වැළමිට ඩෙස්ක් එක උඩ සමබරව තියල අල්ල දිග ඇරල ඒ උඩ නිකට හොඳට පට්ටල වෙන්ට තියගෙන හරි බැරි ගැහුනම ආය කිසි ගින්නක් නෑ ආතල් එකේ අපූරු නින්දක් දැම්මැහැකි.

උදේ වරුවනං ඔය බොහොම අමාරුවෙං ඇස් දෙක ඇහැක් තරං ඇරගෙන ඇහි පිල්ලං පවා නොගහ හිටියම නින්ද නොගිහිං ජාම් බේරගත්තෑකි. දවල්ට කාල හවස ලැච්චස් වලට යනව නේද? ....යනව තමයි... මැරූ කොට බෑ ඇස් පියවෙන එක වලක්කගන්ට. අපෙ උන්දැ දන්නව මම ඔය ලැච්චස් වලට ගිහිල්ල බුදිය ගන්න එක. උන්දැ කියන්නෙ.." ඔයාට නං පිස්සු අනේ..මොන කෙහෙම්මලකටද බුදියගන්ට ඔයාකාර සල්ලියක් පූජා කරන්නෙ? ඊටත් අච්චර දෙකට දෙවාරමේ අපහසුවෙං බුදියන එකේ සල්ලි ටිකත් අතේ තියාගෙන ආතල් එකේ ගෙදර ඉඳල ඇඳේම බුදියගන්ටකො"

හරි මගේ වැඩිදුර අද්දියාපනය පිළිබඳ ඒ කෙටි විස්තරයෙන් පසු නැවත තිලකේ පිළිබඳ කතන්දරේට. ඉතිං ඔය ලැච්චස් ගැන ඊ මේල් එක ආපුගමං මම ගත්ත තිලකෙට කෝල් එකක්.අරගෙන කිව්ව "ටිලකෙ මල්ලි, මම ලබන වීක් එන්ඩ් එකේ සිකුරාද සෙනසුරාද දවස් දෙකම බුදියගන්ට යනව. එතකොට 30 න් පස්සෙ උඹ යන්ටම යනවනෙ. ඒ හින්ද පුතෝ අර අපෙ ආතල් එක කරනවනම් මේ වීක් එන්ඩ් එකේ තමයි අනිවා කරන්ට වෙන්නෙ. මොකද කියන්නෙ? වඩියුසේ?"

ඒ ගමන ටිලකෙ බොහොම විස්සෝප වෙල කිව්ව අඩේ අයි වුඩ් රියලි ලයික් දැට්..බට්..මගෙ අල්ලපු කාමරේ ඉන්න බුවා එම්.බී.ඒ. එකක් කරනවය ඒ හින්ද මේ සිකුරාද මනුස්සය තව දෙතුන් දෙනෙක් එක්ක එකතුවෙලා පාඩම් කරනවද, ඒ හින්ද ඩිස්ට්‍රිබියුට් කරන එක හරි නැතය, ඔන්න ඔහොම මොකද්ද..ඉතිං මම කිව්ව එහෙනං මක් කරන්ටද? සතියෙ දවසක රාත්‍රි භෝජන සංග්‍රහයකට වත් සෙට් වෙමු එහෙනං ඒ ඇර වෙන මක් කරන්ටද? කියල හිට.

දැන් ඒ ඔය ගිය සවුඳනෙ...එතකොට සිකුරාද දවල් වෙනකල් බුදියල නැඟිටල මම පොහොන් එකේ ඇස්සැම්මැස් චෙක් කොරද්දි මෙන්න තිබ්බ ටිලකෙ ගෙං මසාජ් එකක්. "හායි රවී කැන් වී මීට් ටුඩේ ෆෝ ලන්ච් ඇට් අවර් ප්ලේස්" අන්න එහෙමයි මසාජ් එක.

මම වහාම ගත්ත තිලකෙට කෝල් එකක්. තිලකයගෙ රිං ටෝන් එක අර හුප්පච්චි ගැන තියෙන්නෙ සිංදුවක් අන්න ඒක. හුප්පච්චී හුප්පච්චී උඹයි අපේ හුප්පච්චී..ඕක අහගෙන ඉන්ට උනා මිනිට්ටු තුන හතරක්. දැං ඔය කවුරුත් මගේ ඇඟට ගොඩ වෙන්ට එහෙම හදන්ට එපල්ල බොරු කියන්ට එපා යකෝ, අපිත් තිලකෙට කෝල් දීල තියනවනෙ කොහෙද උගෙ ෆෝන් එකේ එහෙම රිං ටෝන් එකක් කියල. ඒ හුප්පච්චී රිං ටෝන් එක ඇහෙන්නෙ මෙහෙං කොහොල් ගත්තම විතරයි. යූ අන්ඩර්ස්කර්ට්?

හුප්පච්චී හුප්පච්චී..උඹයි අපේ හුප්........ "හලෝ"

"ඉතිං ඉතිං? දැං බං නැඟිට්ටෙ ඇස්සැම්මැස් එක දැක්ක ගමං කෝල් කලේ.."

"ආ..මම ඒත් හිතුව. එහෙමනං දවල්ට කෑමට හරිනෙ.."

"හරි හරි නෝ ප්‍රොබ්ලම්..අර කට්ටියක් පාඩං කරන කතාවක් කිව්ව නේද? "

"නෑ නෑ ඒ ගොල්ල වෙන දිහාවකට යනව. ඒ හින්ද අවුලක් නෑ.."

"හරි කීයටද මම එන්ට ඕන?"

"ඔය දොළහට වගෙ කමක් නෑ.."

"ඕකේ බොස් ...සී යූ දෙන්"

ඉතිං මම සාමාන්‍යයෙන් මොකට පරක්කු වෙලා ගියත් ඔය වගෙ එව්වට වෙලාවට යනව. ඉතිං අපි බොහොම සුහදව (සුහද කොකාල දෙන්නෙක් වගෙ ඔන්න කොටිම්ම කිව්වොත්) නොයෙක් දේවල් ගැන කතා කරමින් පැරණි මතකයන් අවදි කරමින් බොහොම සොඳුරු පශ්චාත් මැදියම් සමයක් (After Noon කියන එකට එහෙම කිව්වෙ හොඳද?) ගත කලා. තවත් කාලෙකට ඉස්සෙල්ල බ්ලොග් එකක් ලියපු අපූරු සහෘදයෙකුත් අපට එකතුවුනා. ඉතාමත් සුන්දර අතීතාස්මරණ රැසක සුමිහිරි සුගන්ධය ළය පුරා පුරවාගනිමින් මඳ පමණ මීවිතද පානයෙහි යෙදෙමින් ඒ ගෙවුනු කාලයේදී මෙවන් දෙබසක් අප අතර ඇතිවුනා.

"මගෙ ජීවිතේ මම ඉගෙන ගත්තු එක දෙයක් තමයි මිනිස්සු හරියට තේරුම් ගන්න එක තරම් අමාරු දෙයක් තවත් නෑ.." තිලකෙ එක පාරක් එහෙම කිව්ව. වචන හරියටම මෙහෙම නොවෙන්න ඇති ඒත් අදහස මෙහෙමයි. 

"මම එකඟයි. හැබැයි තිලකෙ මට බය නැතුව එකක් කිව්වැහැකි. මගෙ ජීවිතේ මම හැම ජාතියකම මිනිස්සු ආශ්‍රය කරල තියනව. අර මම මහ වන මැද රාජකාරි කරපු කාලෙ ලෝකෙ ඉන්න හැම ජාතියකම මිනිස්සු ආශ්‍රය කරන්ට අවස්තාව ලැබුන. ඒ හින්ද මට බය නැතුව එකක් කිව්වැහැකි. ලෝකෙ ඕනම තැනක ගිහිල්ල ඕනම ජාතියක මිනිස්සු එක්ක මට කිසි අවුලක් නැතුව ජීවත් වුනෑකි" පොඩි පම්පෝරි ගැහිල්ලක් වගෙ පේන්ටත් පුලුවන් උනාට ඒක තමයි ඇත්තම ඇත්ත.

"තිලකෙ ඒ කාලෙ වයිෆ් කියල ටවුමෙ රෑට හන්දි ගානෙ ඉන්න ගෑණු එක්ක ඇවිල්ල අපිට අඳුන්වල දුන්නු එව්වො වගේම මොන වැඩේ තිබ්බත් හතර පෝයට සිල් ගත්තු සර්දාවන්තයොත් අපි එක වගේ ආස්සරේ කලා..හෙහ්,හෙහ්, "

"ඒයි ඒයි මොකද්ද අර හතර පෝයට සිල් ගන්න කතාව? ඒක නියම කතාවක් වගෙ.."

"ආය මොනවද? නියම කතාවක් තමයි…"

"ඉතිං රවී ඒක ලියල දාන්නකො ඔන්න ඔහෙ…"

"හෙහ්..හෙහ්...බලමුකො එහෙනං.."

ඉතිං තිලකෙ ලියන්ට කියාපු කතාව තමයි මේ... 

අපි අර මහ වන පියසෙක අඳුරු ගුහාවෙක සේවය කරන සමයෙ වෙච්චි සිද්දියක් මේක. මහ වන පියසෙක අඳුරු ගුහාවෙක කියන්නෙ විට්ටර් ගොයියගෙ අපූරු ගීතයක්. පද රචනය ඇවිල්ලා බණ්ඩාර කේ. විජේතුංග.

මහ වන පියසක අඳුරු ගුහාවක 
යම් දිනයක ඔබ සඟවා තබනෙමි.
හිරුරැස් බිඳකුදු ඔබෙ රුව දුටු සඳ 
ඊර්ෂ්‍යාවෙන් පිරවෙයි මා හද. 

සඟවා ගනු මැන ඔබෙ රුව සොඳුරියෙ 
අනෙකෙකු නෙත් ඔබෙ මුව මත ගැටෙතැයි 
මා හද බියවී සැළී සැලී යයි.

ඉතිං එකල්හි අපේ හිටියා ඉංජිනේරු සහකාරවරයෙක්. බොහොමත්ම අහිංසක ඒ වගේම නිවී සැනහීගිය තැන්පත් පුද්ගලයෙක්. කණට ඇහෙන්න කතා කරන්නෙ නෑ. අන්න ඒ මොඩල් එකේ. ඉතිං ඒ කාලෙ කොන්ත්‍රාත්කාර භවතුන් කොන්ත්‍රාත් කරගෙන යද්දි එව්වට ගෙවීම් නොහොත් පේමන්ට්ස් පිළියෙල කරන එක ඉංජිනේරු සහකාරවරුන්ගෙ වගකීම. මම මේ කියන පුද්ගලය හතර පෝයටම සිල් ගත්ත. අපෙ ඔෆිස් එක ලඟම අලුතෙන් මිනිස්සු පදිංචි කරල හදපු ගම්මානයක් තිබ්බ. ඒකෙ විහාරස්ථානයක් එහෙම හදල අපේ ආයතනයෙ අනුග්‍රහයෙන් ඔන්න ඔය කොහෙන්ද හාමුදුරු කෙනෙක් එහෙමත් ගෙනල්ල පදිංචි කලා.

අපිත් ඔය පාලොස්සක පෝයට එහෙම පන්සල පැත්තෙ ගියා සුදු සේට් එහෙම ඇඳගෙන. ඒත් අපේ අර මම කලින් කියාපු සැදැහැවතා අනිවාර්යයෙන් හතර පෝයට සිල් ගත්ත. මහ පෝය ඇරෙන්ට ඉතිරි පෝය තුනට බලු බල්ලෙක් එන්නෙ නෑ පන්සල පැත්තෙ. හාන්දුරුවො විතරයි.

හතර පෝය කිව්වම මතක් වුනේ ඔහෙල අහල තියනවය ලංකාවෙ හෙනහුරාද ඉරිද නිවාඩුව වෙනුවට හතර පෝය නිවාඩු වෙච්චි කාලයක් තිබ්බ කියල? මටත් හරිහැටි මතකයක් නෑ. ඔය අම්මල අප්පච්චිල කිව්ව එව්වයින් තමයි මාත් දන්නෙ. ඔහොම ඔය හතර පෝය නිවාඩුව ක්‍රියාත්මක වෙලා තියනවයි කියන්නෙ 65-70 ඩඩ්ලි මහත්තයගෙ යූ.ඇන්.පී. ආණ්ඩුව කාලෙ. මුලු ලෝකෙම සෙනසුරාද ඉරිද නිවාඩු සම්මතය පරිදි ක්‍රියා කරද්දි අපේ රටේ විතරක් හතර පෝය නිවාඩුව ක්‍රියාත්මක වීම ලොකු අවුලක් වුනාද කියල නම් දැනගන්නට නැත. ඒ කොහොම වුනත් 70 අවුරුද්දෙ සිරිමා මැතිණිය බලයට ආපුවම ආපහු පරණ පුරුදු සෙනසුරාදා ඉරිදා නිවාඩුව ක්‍රියාත්මක කරල තියනව.

ආ..මම හිතන්නෙ අපේ විචාට මතක ඇති ඔය පෝය නිවාඩු සීන්ස් එක.

ඉතින් අපේ සැදැහැවත් උපාසක මහතා (දැන් නම් නමක් ඕනමයි. හරි අපි කියමු ජයසිරි කියල) නොහොත් ජයසිරි මහත්තය ඔය හතර පෝයට සිල් ගන්න එක දිගටම කරගෙන ගියා. එහෙම කරන එකේ අවුලක් වුනේ නෑ මොකද මොකක් හරි රාජකාරිමය අවුලක් වුනේ නැත්තං කවුරුවත් අනික් කවුරුවත් ගැන හොයන්නෙ නෑ. අපේ බොස්ලත් එහෙමයි. අපිත් එහෙමයි. හැබැයි ඉතිං ප්‍රශ්නයක් නොවෙනතාක් කල් අවුලක් නෑ. කොහොමත් ඉතිං එහෙමනෙ. ජයසිරිට ප්‍රශ්ණයක් මතුවුනෙ හීනෙංවත් නොහිතපු විදිහට.

අපේ හිටිය ඔය පොල් අතු වාඩි ගහගෙන මිනිස්සු තිහ හතළිහක් ගෙනත් දාගෙන කුණු ඇළවල් (කුණු ඇල කියල කට වහරෙ හැඳින්නුවට එව්වයෙ නියම නම ඇවිල්ල අපවහන ඇළ ඉංග්‍රීසියෙං කිව්වොත් Drainage Canal. කුඹුරු වලට වතුර දුන්නම වැඩි වතුර ඉවතට ගලාගෙන යන්ට කුණුඇළවල් කපන්ට ඕන.) කපන මේ බොහොම අහිංසක දෙකයි පණහෙ කොන්ත්‍රාත් කාරයො වගේම ඩෝසර්, මෝටර් ග්‍රේඩර්, බකට් ස්ක්‍රේපර්, එක්ස්කැවේටර් දාගෙන මහ විසාල වැව් එහෙම කරපු රටේ නමගිය ඉදිකිරීම් සමාගම් හිමිකාර කොන්ත්‍රාත් කාරයොත්.

දැන් මේ ජයසිරිගෙ ප්‍රශ්ණෙට උපස්ථම්භක වෙන්නෙත් අන්න ඒ වගෙ මහා පරිමාණ කොන්ත්‍රාත් කාරයෙක්. ඒ මනුස්සයගෙ කොන්ත්‍රාත් එක මහා පරිමාණ වැවක්. මනුස්සය වැඩේ පටන් ගන්ට ආවෙ කොහොම හරි සිංහල අවුරුදු කට මුල තියල. අප්‍රේල් තුන හතර වගෙ.

ඒ කාලෙ අපේ ආයතනයෙන් කොන්ත්‍රාත් කරුවන්ට මොබිලයිසේෂන් ඇඩ්වාන්ස් එකක් ගෙවන සිරිතක් තිබ්බෙ නෑ. මොබිලයිසේෂන් ඇඩ්වාන්ස් කියන්නෙ සිංහලෙන් නම් "මූලික වියදම් පියවාගැනීමේ අත්තිකාරම" කියල කිවැහැකි. ඒ කියන්නෙ යම් කොන්ත්‍රාත් එකක පටන්ගන්න කොට ඒකට අවශ්‍ය මානව සම්පත් යන්ත්‍ර සූත්‍ර වගෙ එව්ව මිලදී ගැනීමට හෝ කුළී පදනම මත ලබාගැනීමට කොන්ත්‍රාත් කරුට යන වියපැහැදම් වලින් කොටසක් හෝ පියවාගැනීමට ලබාදෙන මුදලක්. කොන්ත්‍රත් එක කරගෙන යද්දි ඒ ලබාදුන් අත්තිකාරම කොන්ත්‍රාත්කරුට කරන ගෙවීම් වලින් අඩුකරගන්නව.

ඉතිං අර මම කියපු මහා පරිමාණ කොන්ත්‍රාත් කාරය සිංහල අවුරුද්දට කලින් වැඩ කරන මිනිස්සු ගම් රටවල් වලට යවන්ට ඕනය කියල ඔය මොබිලයිසේෂන් ඇඩ්වාන්ස් එක ඉල්ලුව. දැන්නම් සාමාන්‍ය සම්මතය කොන්ත්‍රාත් වටිනාකමින් 10% ගෙවන එක. ඒත් අර මනුස්සය ඉල්ලුවෙ 5% හරි ඊටත් අඩු ගණනක්. ඒත් ඒ කොන්ත්‍රාත් එකේ වටිනාකම එක්ක බලනකොට ඒ කාලෙ ඒ 5% සැළකිය යුතු මුදලක්. ජයසිරි තමයි ඒ කොන්ත්‍රාත් එකේ ගෙවීම් කටයුතු භාරව හිටියෙ. කොහොමත් එහෙම මොබිලයිසේෂන් ඇඩ්වාන්ස් ගෙවන සිරිතක් එදවස තිබ්බෙ නැති හින්ද ජයසිරි ඒ ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කලා.

ප්‍රතික්ෂේප කරල පහුවදා පුර අටවක පෝය හින්ද ජයසිරි උදේම පන්සලට ගිහිල්ල සිල් ගත්ත. කලින් දවසෙ තමන්ගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප උනහම කොන්ත්‍රාත්කාර භවතා කලේ මිනිහගෙ අලුත්ම පජෙරෝ එකේ නැඟල රෑම ඇද්ද කොළඹ. ඒ කාලෙ තිබ්බ හොඳම සුඛෝපහෝගී වාහනේ තමයි පජෙරෝ එක.

කොහොම හරි මිනිහට සෑහෙන පිළිගැනීමක් තිබිල තියනව අපේ ආයතනයෙන් කියන්නෙ රෑම අපේ චෙයාමන් හම්බවුනාද මන්ද මෙන්න පහුවදා උදේ එකොළහ වෙනකොට මිනිහ ආපහු ඉන්නව අපේ ඔෆිස් එකේ චෙයාමන්ම අත්සන් කරපු ලියුමකුත් අරගෙන. 

කොන්ත්‍රාත් ගිවිසුම් අංකය -බ්ලා බ්ලා බ්ලා..

ඉහත අංක දරණ කොන්ත්‍රාත් ගිවිසුම වෙනුවෙන් සේවය ලබා ගැනීමේ අත්තිකාරම් මුදල වශයෙන් කොන්ත්‍රාත් වටිනාකමින් 10% ක මුදලක් ගෙවීමට අවශ්‍ය ගෙවීම් සහතිකපත් පිළියෙල කොට නොපමාව ප්‍රධාන කාර්යාලයේ ගිණුම් අංශය වෙත එවීමට කටයුතු කරන්න.

කොන්ත්‍රාත් කාරය ඇවිල්ල තියෙන්නෙ ඔන්න ඔහොම ලියුමකුත් අරගෙන. ලියුමට අත්සන් කරල තියෙන්නෙ කෙලින්ම චෙයාමන්. ඒ මදිවට අත්සනට යටින් චෙයාමන් වෙනම සටහනකුත් දාල. R.E. / Very Urgent කියල.ආර් ඊ කියන්නෙ රෙසිඩන්ට් එන්ජිනියර් නොහොත් නේවාසික ඉංජිනේරු නොහොත් අපේ බොස්…

මේ ලියුම දැක්ක ගමං ආර් ඊ ගෙ උතුර දකුණ මාරු වුනා. North & South Interchanged. ඇයි දෙයියෝ සාක්කි එහෙම නෙවී තියෙයිද? චෙයාර්මන් ගෙන්ම ලියුමක් ආවම. 

"මට චෙයාමන් මහත්තය කිව්ව අදම අදාල ලියකියවිලි ගෙනාවොත් හෙට සල්ලි දෙන්නම් කිව්ව. නැත්තං සිංහල අවුරුද්දෙං පස්සෙ තමයි සල්ලි ගන්න වෙන්නෙ කිව්ව. සිංහල අවුරුද්දෙන් පස්සෙ සල්ලි අරං මට වැඩක් නෑ මහත්තය. මට මගෙ වැඩ කරන මිනිස්සුන්ට සල්ලි දීල ගමේ අරින්ට ඕන" කොන්ත්‍රාත් කාරය අපේ බොස් ඉස්සරහ ඉඳගෙන එහෙම කියනව.

දැන් මම මේ විස්තර මේ හැටි සහසුද්දෙන් දන්නෙ කොහොමද කියල ඔබ තමුන්නාන්සේලට ප්‍රශ්ණයක් එන්ට පුලුවනි. ඒකට උත්තරේ වසන්ති……. වසන්ති මතකයි නේද? ඔබ එදානම් සඳ වගේමැයි. ඒ කෙල්ල තමයි මට මේ විස්තරේ අකුරක් නෑර පණ පිහිටුවල කිව්වෙ....හෙහ්...හෙහ්

ඒ කාලෙ මගෙ යාලුවො මට කිව්වෙ වීරෙ කියල...වසන්තිත් කිව්වෙ වීරේ කියල තමයි. ඉතිං අර මිස්ට නානායක්කාර එහෙම කිව්වම අපේ බොස් දනිපනිගාල ක්‍රියත්මක වුනා. 

"හරි හරි ඒකෙ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඔය ඩොකියුමන්ට්ස් හදන්ට පැයක්වත් යන එකක් නෑ. මම පුලුවන් ඉක්මනට ඒ ටික හදල දෙන්නං. නෝ ප්‍රොබ්ලම්.." ……….ටීං……….ලොක්ක මේසෙ උඩ තියන සීනුවට ගැහැව්ව.

ජයතුංග අපේ පියුම් දුවල ගියා. "සර්?......"

"ජයතුංග අර ජයසිරි මහත්තයට වහාම එන්ට කියන්ට.හදිස්සි වැඩක් තියෙනව මේ මොහොතෙම කෙරෙන්ට ඕන"

"සර් ...මේ..ජයසිරි මහත්තය..මේ.."

"මොකද මනුස්සයො තටමන්නෙ? ගිහිල්ල ජයසිරි මහත්තයට එන්ට කියනව මම කිව්ව කියල"

"සර්..මේ හරි වැඩේනෙ..ජයසිරි මහත්තය කෑම්ප් එකේ නෑනෙ"

"මොකක්? මම ඊයෙත් දැක්කනෙ ඔය මනුස්සය අර සඳුන්තැන්න පන්සලේ පහන් පත්තු කර කර ඉන්නව. එහෙනං අද උදේ ගෙදර ගියාද? මට ආවෙ නෑනෙ ලීව් ඇප්ලිකේෂන් එකක්."

"නෑ සර් ලීව් දැම්මෙ නෑ..මේ..මේ ජයසිරි මහත්තය.."

"ආයම මේ මේ ගානව... ජයතුංග පැහැදිලිව කියනවකො කියන දෙයක්"

"සර් ජයසිරි මහත්තය අද උදේම සිල් අරගෙන"

"මොකක්?" ලොක්කගෙ ඇස් උඩ ගියා. "සිල් අරගෙන? ඇයි අයිසෙ අද පෝයක්වත්නම් කමක් නෑ. අද පෝයත් නෙවෙයිනෙ. මොකක්ද මේ මනුස්සයට හැදිච්චි මේ පිස්සුව?"

"සර් අද පුර අටවක පෝය..ඒකයි ජයසිරි මහත්තය සිල් ගත්තෙ"

"අයිසෙ ඒ කියන්නෙ මේ මනුස්සය හතර පෝයටම සිල් ගන්නවද? මාර පිස්සෙක්නෙ. එහෙම සිල් අරං හරියනවද රාජකාරි හරියට නොකර?"

"නෑ සර් මේ ජයසිරි මහත්තය ඉතිං බොහොම ධාර්මිකව…"

ලොක්කට තදවුනා අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා " මඟුලක් කතා කරන්ට එපා ජයතුංග..ධාර්මික...කෙහෙල්මල..ඉස්සෙල්ල තමංගෙ රාජකාරිය කරල ඉන්ට එපාය. බලනව මිදුලෙ මොනවද ජීප් තියෙන්නෙ කියල හිට"

"සර් හැට දෙක තියනව" ජයතුංග මිදුලට බැහැල බලල ආපහු ඇවිල්ල ලොක්කගෙ කාමරේ උළුවස්ස ගාව ඉඳගෙන කිව්ව. 

අපේ තිබ්බ මිට්සුබිෂි ජීප් අපි හැඳින්නුවෙ එව්වරෙ නොම්මරේ අන්තිම ඉලක්කං දෙකෙන්. හැත්තැ පහ, බින්දුවයි හතර, බින්දුවයි නමය , අසූ එක ඔන්න ඔය විදිහට

"හරි ජයතුංග චෙක් රෝලෙං කොල්ලො හතර පස් දෙනෙක් එක්කගෙන හැට දෙකේ ගිහිල්ල අර ජයසිරි මහත්තය සිල් අරං ඉන්න තැනකිං හොයාගෙන එක්ක එනව..මේ දැන්ම..වහාම.."

"සර් චෙක් රෝලෙං කට්ටිය මොකටද?" ජයතුංග නළල රැලි කරගෙන ඇහැව්ව. 

"ඇයි මනුස්සයො ජයසිරි මහත්තය එන්ට බෑ කිව්වොත් උස්සල හරි ජීප් එකේ දාගෙන අරං එනව. ඒකයි මම කොල්ලො හතර පස්දෙනෙක් එක්කගෙන යන්ට කියල කිව්වෙ"

ලොක්ක කියපු හින්දම ජයතුංග චෙක් රෝලෙ ගෝලයො දෙන්නෙක් තුන්දෙනෙක් හැට දෙකේ දාගෙන සඳුන් තැන්න පන්සලට ගියා. ඒත් අවුලක් වුනේ නෑ. ජයසිරි සමකාමීව හැටදෙකේ නැඟල ආපහු ඇවිල්ල අර අවශ්‍ය ලියකියවිලි සකස් කරල දුන්න.

"ජයසිරි ඕනනං හැටදෙකේම යන්ට ආපහු පන්සලට" වැඩ කටයුතු අහවරක් වෙලා අර කොන්ත්‍රාත්කාර භවතා ලියකියවිලිත් අරගෙන පජෙරෝ එකේ කොළඹ බලා ඉගිල්ලුනාට පස්සෙ ලොක්ක ෆුල් හැපි මූඩ් එකේ කිව්ව.

"බෑ බොස් මම දැන් ක්වාටර්ස් එකට යනව" ලොක්ක එක්ක එහෙම කියල මිදුලට බැස්ස ජයසිරි ජයතුංග දිහාට හැරිල මෙහෙම කිව්වලු. 

"හුහ් ලොක්ක හිතාගෙන ඉන්නව ඇත්තෙ සිල් ගන්න එකත් තමන්ට ඕනෙ වෙලාවට සිල් ගන්ටයි, ඕන නැති වෙලාවට සිල් මුදවන්ටයි, ඊට පස්සෙ ඕනනම් ආයම සිල් ගන්ටයි පුලුවන් ඇති කියල. අර... මේ ...අර මේ..මොකටද මගෙ කට..හුහ්.."

Friday, November 18, 2016

457. බද්රියා මාර්ග සංඥා අසලදී මුණ ගැසුනු ඒ අපූර්ව මිනිසා…….

දැං අවුරුද්දක තරම ඉඳල සතියෙ දවස් දෙකක් මම වැඩ කරන්නෙ කිලෝමීටර් හතළිහක් වගෙ ඈත තියන වැඩබිමක. යුද හමුදා කඳවුරක ගොඩනැගිලි ඉදිකිරීමක්. ඒ දක්වා තියන පාර එක පැත්තකට මංතීරු හතරේ අධිවේගී මාර්ගයක් නිසා ගමනට ගතවෙන කාලය නම් බොහොම ටිකයි. වාහන තදබදය උපරිම තිබ්බත් විනාඩි තිස්පහක් නැත්නම් හතළිහක්.

අපෙ ඔෆිස් එක තියෙන්නෙ මම ඉන්න එපාර්ට්මන්ට් එකේ ඉඳල කිලෝ මීටර් පහක් වගෙ එහා. එතෙන්ට උදේ ගිහාම  එතනිං හයි ඒස් වෑන් එකක් පිටත් වෙනව හරියට හතට අර මම කලින් කියපු ප්‍රොජෙක්ට් සයිට් එකට. මම ඉන්න එපාර්ට්මන්ට් එකේ ඉඳල ඔෆිස් එක ගාවට යන්ට මම ටැක්සියක් කතාකරගෙන තිබ්බ. ලංකාවෙ මුස්ලිම් මනුස්සයෙක්. ගෙවල් මේ ගල්නෑව පැත්තෙ.

ඉතිං මම කිව්වනෙ ඔය ආමි කෑම්ප් එකේ මම වැඩ කරන්නෙ සතියට දවස් දෙකයි කියල. ඒ ඇවිදිල්ල හිට සඳුදා සහ බදාදා.

මේ දවස්වල පුදුම විදිහට පාරෙ ට්‍රැෆික්. මේ ඔෆිස් එකට තියන  කිලෝ මීටර් පහක් හයක් යන්ට අඩුම ගානෙ විනාඩි හතළිස් පහක් වගෙවත් යන එක යනවමයි. ඔය කේස් එක හින්ද මම කොහොමත් ආමි කෑම්ප් යන දවසට උදේ හයයි දහය වගෙ වෙනකොට එන්ට කියල අර මගෙ සුපුරුදු රියදුරු තෙමේට කියල තියෙන්නෙ.

මේ පහුගිය සඳුදා තිස් එක්වෙනිද ඔන්න උදේ හයයි දහය වෙනකනුත් ටැක්සිය නෑ. මළ කෙළියයි. හොඳටම පරක්කුයි. අනික හත වෙනකොට ඔෆිස් එක ළඟට ගිහිල්ල ඉන්න වෙනව. මම එනකල් වෑන් එකනම් ඉඳී. ඒත් මම හින්ද අනික් කට්ටිය ඔක්කොමල බලං ඉන්ට වෙන එකට මම කැමති නෑ.

මම ගත්ත කෝල් එකක්.."මේ මුසම්මිල් කොහෙද බං ඉන්නෙ? අද එන්නෙ නැද්ද?" 

"හරි වැඩේනෙ සර් මෙතන මේ රමඩා සිග්නල් එකේ දැන් විනාඩි පහළවකට වැඩියි"

"ඒ කියන්නෙ තව විනාඩි පහළවක්වත් යයිද මෙතනට එන්ට එහෙමද?" 

"ඔව් ඒ වගේ වෙයි"

"මේ මම කියන්ටද? මම කොහොම හරි යන්නං ....උඹ එන්න ඕන නෑ එහෙනං අද...හරි? "

"හරි සර්, අනේ සොරි.."

"හරි හරි ඒක ප්‍රශ්ණයක් නෑ...එහෙනං මම තිබ්බ"

එතනට රමාඩා සිග්නල්ස් කියන්නෙ ඒ සිව්මංසල නොහොත් හතරමං හන්දිය නොහොත් ජන්ක්ෂන් එක නොහොත් ජන්ක් එක අසල කලින් රමාඩා හොටේල් එක තිබ්බ නිසා. තිබ්බයි කිව්වට තාමත් හොටේල් එක නම් තියනව. ඒත් දැන් ඒකෙ නම රැඩිෂන් බ්ලූ. හෝටලේක අයිතිය වෙනස් වුනාම නමත් ඒ එක්කම වෙනස් වෙනව. ලංකාවෙත් කොම්පඤ්ඤ වීදියෙ රමාඩා රෙනේසන්ස් හොටේල් එක පස්සෙ ට්‍රාන්ස් ඒෂියා වුනේ ඒ විදිහට.

"ෂික්, මේ යකා කරපු වැඩේ..දැං පලයංකො ටැක්සියක් හොයාගෙන ….." දවල් කෑම පෙට්ටියයි, වෑන් එකේ යන ගමන් කියවන්ට පොතකුයි දාගත්තු පොඩි කැන්වස් මල්ලත් කරේ එල්ලගෙන මම ගෙදරින් එළියට බස්සෙ මුසම්මිලාට සුටු පුටු ගෑවිල්ලෙ එහෙම දෙස් දෙවොල් තියාගෙන.

මම ඉන්න එපාට්මන්ට් එක කිට්ටුවම තියනව බොහොම ජනාකීර්ණ හතරමං හන්දියක්. එතනට කියන්නෙ බද්රියා සිග්නල්ස්. ඒ කිට්ටුව බොහෝ වෙලාවට ටැක්සි එහෙම තියනව. කිව්වත් වාගෙ බද්රියා සිග්නල්ස් ලඟම තියෙන ඉන්දියන් තෝස කඩේ (ඒකෙ නම ඇවිල්ල හිට ටොප් ස්ටාර් රෙස්ටුරන්ට්. තෝස, ඉඩ්ලි, පූරි,පරාටා, නාන්,පොංගල් ඕන එකක් තියනව. මාර රසයි. රෙස්ටුරන්ට් සහ හෝටල් ගැන වෙනම ලියන්නං වෙලාවක. හොඳද? ) ලඟට යන්ට වුනේ නෑ බැලූ බැල්මටම අවුරුදු අඩුම ගානෙ පහළවක්වත් පරණ ටොයෝටා කරීනා එකක් දුර ඉඳලම හෙඩ් ලයිට්ස් දෙපාරක් වගෙ ෆ්ලෑෂ් කරමින් එනව දැක්ක. 

Masala Dosai with Curd Vadai
 @ Top Star Restaurant -
ටොප් ස්ටාර් අවන්හලෙහි ඉතා රසවත්
මසාල තෝස සහ වඩේ

ඒ තමයි හොර ටැක්සි රියදුරන්ගෙ පිළිගත් සහ සාම්ප්‍රදායික සංඥාව නොහොත් සිගනෑල් එක. මෙහෙ නිල වශයෙන් රජයේ ලියාපදිංචි ටැක්සි සහ ලිමුසීන් වලට විතරයි මගීන් ප්‍රවාහනය කරන්ට අවසර තියෙන්නෙ. ඒත් දස දහස් ගණනක් විදේශික සංක්‍රමණිකයො නීති විරෝධී ලෙස මගී ප්‍රවාහනයෙ යෙදිල කීයක් හරි හොයාගෙන ජීවිතේ ගැටගහගන්නව. ස්වකීය සුතනඹුවන් ජීවත් කරවනව. පොලිසිය වුනත් එළිපිටම එහෙම දෙයක් කෙරෙන අවස්ථාවක, බැරිම තැනක මිසක්කා ඒ ගැන ඒ හැටි තැකීමක් කරන්නෙ නෑ. 

ඈතදිම මම දැක්ක රියදුරා සුදුවන් තරමක් දිගු රැවුලක් වැවූ දණිහෙන් පල්ලෙහාට වැටෙන ලෝගුවක් වගෙ ඇඳුමක් ඇඳගත්තු වයස්ගත පුද්ගලයෙක් බව. ඔය විදිහට අඳින්නෙ පකිස්තානුවන්. විශේෂයෙන්ම පෂ්ටූන්ස් නමින් හැඳින්වෙන වයඹ දිග පකිස්තානෙ ඇෆ්ඝනිස්ථාන දේශ සීමාව අසල වෙසෙන කට්ටිය.

මම පාරට අඩියක් තියල අත දැම්ම. කාර් එක මා ගාවම නැවැත්තුව. මම ඉස්සරහ දොර ඇරල නැඟල ඉඳ ගත්ත. රියදුරා මා දිහා බලල ඇහිබැම ඉහළට උස්සල යම්තමට හිනාවුනා. 

"කොහාටද ඔහෙට යන්ට ඕන?" ගොලු බාසාවෙන් ඒ ඇහුවෙ එහෙමයි. 

"අයි නීඩ් ටු ගෝ ටු මිඩ්මැක්"

"ඔකේ…"

"බට් ඩෝන්ට් ගෝ ටු රමාඩා සිග්නල්ස්, ටූ මච් ට්‍රැෆික් දෙයා. ගෝ ටු අල් සාද් ඇන්ඩ් ටර්න් ලෙෆ්ට්"

"ඔකේ" රියදුරා රථය පාරට ගත්ත. "නෝ ප්‍රොබ්ලම්…. යූ නෝ ද වේ?"

"යස් අයි විල් ෂෝ යූ."

"ලෙෆ්ට්…. රයිට්…. ස්ට්‍රේට්…" මම මාර්ගෝපදේශක වැඩේ කලා.

ඊලඟ සිග්නල් එක ගාව දිග පෝලිමක්. මම රියදුරා දිහාට හැරුන. ටැක්සියක යද්දි කසාය බීපු ගොලුවො වගෙ නහයට කෙලින් ඉස්සරහ බලාගෙන යන එක මට මරන්න වගෙ වැඩක්. රියදුරා කතා කරන්න කැමතිනම් භාෂාව තේරෙන්නෙ නැත්නම් ගොළු භාෂාවෙන් හරි කතා කරන එක මගෙ සිරිත.

සමහර වෙලාවට අපූරු වැඩත් වෙනව. රියදුරා කලින්ම හිතනව මමත් ඒ මනුස්සයගෙ භාෂාව දන්නවය කියල. එහෙම පූර්ව නිගමනයකට එළඹිලා මම වාහනේට නැග්ග වෙලාවෙ ඉඳල බහින වෙලාව වෙනකල් එක දිගටම මොන මොනව හරි කියවනව වක්කඩේ කැඩුව වගෙ.

මටත් ඉතින් වෙන්නෙ "මේ මට උඹගෙ භාෂාව කෙහෙම්මල භාෂාව තේරෙන්නෙ නෑ බොලේ" කියල කෙලින්ම මූණටම කියන්ට නිකම් මොකක්ද මේ දුකක් සංතාපයක් වගෙ මොකක්ද එකක් හිතෙනව. ඒ හින්ද මම කරන්නෙ මුනිවත රකිමින් ඒ ඒ අදාල තැන්වලට සුදුසු පරිදි සාත්වික අභිනයන් ඉදිරිපත් කරනව.

සාත්වික අභිනය දන්නවනෙ නේද? නාට්‍ය සහ රංග කලාවෙදි උගන්වන සතර අභිනයන්ගෙන් එකක්. සතර අභිනයන් කියන්නෙ මහල්ලෙක්, ලෙඩෙක්, මලසිරුරක් සහ හාමුදුරු නමක්...හෙහ්,හෙහ්,...වාචික අභිනය, සාත්වික අභිනය, ආංගික අභිනය සහ ආහාර්ය අභිනය.

වාචික අභිනය - කථා ස්වරයෙන් හැඟීම් පළකිරීම 

සාත්වික අභිනය - මුහුණේ ඉරියව් මඟින් හැඟීම් පළකිරීම

ආංගික අභිනය - ශාරීරික අවයව චලනයෙන් හැඟීම් ප්‍රකාශ කිරීම

ආහාර්ය අභිනය - ඇඳුම් පැළදුම් මඟින් හැඟීම් ප්‍රකාශ කිරීම

කතා කරන ස්වරය අනුව මේ කියන්නෙ මොන වගේ දෙයක්ද කියල උපකල්පනය කරල ඒ අනුසාරයෙන් මූණ හදාගන්න එක හැමෝටම කරන්ට පුලුවන් දෙයක් නෙවෙයි. ඒකට නිතර පැට්ටිස් වෙන්ට ඕමනයි. සතතාභ්‍යාසය කියල අර විදග්ධයො කියන්නෙ ඔය ඕකටනෙ. කන්ටිනුවස්ලි ප්‍රැක්ටිසිං. කතාව දුක්බර වෙනකොට ඔන්න අඬන්ට මෙන්න අඬන්ට වගෙ මූණ හදාගන්ට ඕමනයි. විහිලුවක් වගෙ කලාම බක බක යන අනුකරණයෙන් හිනාවෙන්ටත් ඕමනයි.

ඔතන මූණ හදාගන්න එක එච්චර අමාරුවක් නෙවෙයි. වැදගත් කාරණේ අදාල අවස්ථාවට අදාල  මූණ හරියට තීරණය කරගන්න එක. එහෙම නැතිවුනොත් වැඩේ ජෝන් බාස්ට යනව. ඒ ජෝන් බාස්ගෙ කතාව ගැන මම කලින් දවසක කිව්ව වගෙ මතකයි.

"Dear God, grant me the courage to change the things I can, the serenity to accept the things I cannot change, and the wisdom to know the difference" - Reinhold Niebuhr

"යු ෆ්‍රොම් පකිස්තාන්?" මම ඇහුව දිගු ලෝගු ධාරී රියදුරු තෙමේගෙන්. 

"යස්, හව් යූ නෝ?" ලෝගු ධාරියා මා දිහා බලල හිනාවෙල ඇහුව. 

"බයි වට් යූ ආ වෙයාරිං. ජෙනරලි මෝස්ට් ඔෆ් ද පකිස්ටානිස් වෙයාර් ලයික් දිස්."

"යස් මෝස්ට්ලි"

මේ පකිස්තානුවගෙ ඉංග්‍රීසි හොඳටම හොඳයි. බහුතරයකට ඉංග්‍රීසි යම්තමට වචනයක් දෙකකට වගෙ ඇරෙන්න කතාකරන්න බෑ. අනික ඉතිං කුලීරථ රියදුරු රස්සාවකට ඉංග්‍රීසි මහ ලොකු දැනුමක් ඕනත් නැහැනෙ. ලෙෆ්ට්, රයිට්, ස්ට්‍රේට්, නෙක්ස්ට් සිග්නල්, නෙක්ස්ට් රවුන්ඩ් අබවුට්, ස්ටොප් හව් මච්?, ටෙන්, ෆිෆ්ටීන්, නෝ නෝ ටූ මච්, ඔන්න ඔය ටික තේරුම් ගන්ට පුලුවන්නම් ඉතිං ඉහටත් උඩිං.

පොඩ්ඩක් අපහසුතාවයකට පත්වෙන්නෙ ඔය මම වගෙ ඉබ්බ තිබ්බ වගෙ ඉස්සරහ බලාගෙන පාඩුවෙ යන්ට බැරි හෝතඹුවෙක් නැග්ගහම තමයි. එහෙම උනත් ඔය අහන එව්ව නෑහුනු ගානට ගල් බිල්ල වගෙ පාර දිහා බලාගෙන  වාහනේ එලවන්ට ගත්තම ප්‍රස්න අහන මනුස්සයටම එපා වෙලා කට වහගෙන ඉස්සරහ බලා ගන්නව. මටම එහෙම වෙලා තියනව ඕන හැටිය.

මාර්ග සංඥා පුවරුවෙහි හරිත වර්ණය දැල්විනි. නවතා තිබූ රථපෙල සෙමෙන් ඉදිරියට ඇදෙන්නට විය. රියදුරා අපේ රථයද සෙමෙන් ඉදිරියට ගෙන රථපෙලට එකතුවිය. 

මම යලි රියදුරු දෙසට හැරුණෙමි. මෙතැන් සිට අපගේ සංවාදය මම සිංහලෙන් ලියන්නෙමි. 

"කවද්ද ඔබ දෝහා වලට ආවෙ?"

"හැට හත……….."

මා ඇසූ පැණය වරදවා වටහාගෙන ඔහු තම වයස පැවසුවේ යැයි මම සිතුවෙමි. "නෑ.නෑ..මම ඇහුවෙ ඔබ දෝහා වලට ආවෙ කවද්ද කියල." 

"ඒක තමයි මම කිව්වෙ හැට හතේ "

"මොකක්? ඒ කියන්නෙ ඔබ දැනට අවුරුදු හතළිස් නමයක් දෝහාවල?" මම විශ්මයට පත්ව විමසූයෙමි.

ඔව්..දෙදාස් දාසයෙං එක්දස් නමසිය හැටහතක් අඩු කලාම හතළිස් නමයයි තමයි" පකිස්තානුවා මහ හඬින් සිනාසුණේය.

ඔහුගේ අව්‍යාජ සිනහවට මටද එකතුනොවී සිටිනු නොහැකිවිය. මාර්ග තදබදය අද වෙනදාටද වඩා උග්‍රවූ අන්දමකි. අල් සාද් මංසන්ධිය වෙත ඉබිගමනෙන් ඇදෙන කුලීරථයේ සිට පකිස්තානුවා මට ඔහුගේ කථාව පැවසීය. විචිත්‍ර අන්දමට සිද්ධීන් විස්තර කිරීමට ඔහුගේ වූ හැකියාව විශ්මයජනකය. වයඹ දිග පකිස්ථානයේ ඇෆ්ඝනිස්ථානු දේශ සීමාව අසලවූ පෙෂාවර් නගරයෙන් කිලෝ මීටර් පණහක් පමණ වූ දුරකින් පිහිටි කඳුකර දුෂකර ගම්මානයක ඔහු උපත ලබා ඇත.

බොහෝසේ නිසරු පසකින් යුතුවූ බැවින් ගොවිතැනෙහි යෙදීමෙන් ජීවිකාව කර ගැනීම අසීරු වූ හෙයින් එගම් වැස්සෝ තම ප්‍රධාන ජීවනෝපාය ලෙස එළුවන් ඇති කිරීමෙහි යෙදුණාහ. කිසිදිනක පාසලක පය නොතැබූ අප කථා නායකයා යම්තමට බහ තෝරන වියේ සිටම අජ පාලක තනතුරෙහි රාජකාරි භාර ගත්තේය.

"අපේ පවුලෙ ඔක්කොම අට දෙනයි. කොල්ලො හයයි. මම තුන්වෙනියා. අපි ඔක්කොමල කලේ එලුවන් බලන එක. ඒ අපි බලාගත්ත එලුවො අපේ නෙවෙයි. ගමේ වංසක්කාරයන්ගෙ. අපිට කෑම දීල බොහොම පොඩි ගානක් අතට දුන්න. දෙන කෑම එකත් බඩගින්න නිවෙන්ටවත් මදි. ඒ හින්ද වැඩිහරියක් අපි හිටියෙ බඩ ගින්නෙ. දවසක් බඩගින්න ඉවසන්ටම බැරිතැන මමයි මගෙ මල්ලියි එකතුවෙලා එලුවෙක් මරාගෙන පුච්චල කෑව"

"නෑහ්?" මම ඔහු දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෙමි. අල් සාද් මාර්ග සංඥා පුවරුවෙහි හරිත වර්ණය යලි රක්ත වර්ණයට හැරුණි.

තම කථාව පැවසීමට ලැබුණු මේ අනගි අවස්ථාව මොහොතක් හෝ පැහැර නොහැරියයුතුය යනුවෙන් බොහෝවිට ඔහු අදහස් කලා විය හැක. වහා අත් රෝධකය ක්‍රියාත්මක කල හෙතෙම මා දෙසට හැරුනේය. මම යම්තමට හිස හරවා වමතෙහි බැඳි අත් ඔරලෝසුව දෙසට නෙත් යොමුකලෙමි. "හ්ම්ම්ම්. හයයි තිස්පහයි...වෙලාව ඇතිවෙයි...දෙයියන්ගෙ පිහිටෙන්..."

"එලුවො අයිති කාරයට මේක ආරංචි වෙලා දුවගෙන ඇවිල්ල මාව ගහක බැඳල හොඳටම ගැහුව. ඊට පස්සෙ උඹ ඔහොම ඉඳපන් මම එළුවො ටික කොටුවට දාල එන්නංකො උඹට මොනවද කරන්න ඕන කියල තීරණය කරන්න. ඒ කොහොම උනත් මම අද උඹව නොමරා මරණව. එහෙම මට තර්ජනය කරල ඒ මනුස්සය එළුවොත් දක්කගෙන යන්ට ගියා. මම පරාණ බයේම ටිකක් එහෙ මෙහෙ දඟලනකොට බැමි බුරුල් වුනා. මම ඒ බැමි ඔක්කොම ලිහාගෙන හතර වටින් අඳුර වැටීගෙන එද්දි ගමෙන් පිටවෙන්ට කඳු බෑවුම් අතරින් තිබ්බ එකම පාර දිගේ එන්ට ආව. ඇස්වල කඳුලු පිරිල තිබ්බ හින්ද පාර දෙපැත්තෙ මොකවත්ම මට පෙනුනෙ නෑ."

සුක්කානම තදින් ග්‍රහණය කොටගෙන ඉතා සෙමෙන් රිය පදවන ඔහුගේ දෑසෙහි මේ අවස්ථාවේදීද කඳුළු පිරී තිබුණු බවට මම සපථ කරන්නෙමි මා දයාබර හිතවත/හිතවතිය.

"ඊට පස්සෙ මම පෙෂාවර් වලට ඇවිල්ල එහෙ මාකට් එකේ එලවලු ගෝනි ඉස්සුව මාස ගාණක්. කුකුල් පට්ටියක වැඩ කලා තව කාලයක්. අන්තිමට අවුරුද්දක් විතර ඔහොම ඇවිදල කරච්චියට ආව. කරච්චිය දන්නව නේද? "

"ඔව් පකිස්තානෙ ලොකුම නගරෙනෙ. මූද අයිනෙ තියෙන්නෙ." 

"අන්න හරි, පස්සෙ කරච්චියෙ හම්බවෙච්චි මගෙ වයසෙම යාලුවො හතර දෙනෙක් එක්ක බෝට්ටුවක නැඟල මෙහෙ ආව." 

මේ වනවිට වේලාව හතේ කණිසමට ආසන්නව තිබිණි. වෑන් රථයේ රියදුරාට මම දුරකථන ඇමතුමක් ගෙන මා එනතුරු මද වේලාවක් පොරොත්තු වන ලෙස දැන්වීමි.

මේ අතර අප මිඩ් මැක් මංසන්ධිය වෙතට ආසන්න වෙමින් සිටියෙමු. එතැන සිට මම යායුතු ස්ථානයට වූයේ කිලෝ මීටරයකටත් අඩු දුරප්‍රමාණයකි. 

"ඉතිං මම බහින්ටත් ලඟයි. ඉක්මනට කතාව කියන්ටකො."

"අපි කරච්චියෙං පිටත් වුනේ මෙහෙට එන්ට කියල හිතාගෙන නං නෙවෙයි."

"එහෙනං? "

"ඩුබායි යන්ට. ඒ කාලෙ දෝහා කියල කිව්වහම වැඩි දෙනෙක් දන්නෙත් නෑ. ඩුබායි තමයි ප්‍රසිද්ද"

"එතකොට මෙහෙ ආවෙ? "

"අපි ආපු බෝට්ටුවෙ එන්ජිම මූද මැදදි නැවතුනා. හදාගන්ට බැලුව බැලුව හරිගියෙ නෑ ඊට පස්සෙ රුවලක් දා ගත්ත. හුළං හමන විදිහට අපි පාවෙලා ආවෙ මෙහාට"

"ඊට පස්සෙ?..." මම නොඉවසිල්ලෙන් ඇසීමි. මගේ ගමනාන්තය පෙනෙන මානයට අප පැමිණ ඇත. 

"මා එක්ක ආපු අනික් ඔක්කොම සතියක් දෙකක් වගෙ ඇතුලත ආපහු ඩුබායි ගියා. ඒත් මොන දෙයක්ද මන්ද මට මෙහෙ අල්ලල ගියා. ඒ පාර උඹල පලයල්ල කියල මම මෙහෙ නතර වුනා. ඒ කාලෙ දෝහා ටවුම බොහොම කුඩයි. මේ හරිය ඔක්කොම තනිකරම කාන්තාරෙ"

එදවස ඒ පැරණි දෝහා නගරය පිහිටි ප්‍රදේශය වර්තමානයෙහිද හැඳින් වෙනුයේ දෝහා යන නමිනි. මෙහි පැමිණි මුල්කාලයෙහි ඒ මට මහත් පුදුමයක් විය. "මචං මම දෝහා ගිහිල්ල එන්ට යනව" පවසමින් මගේ සගයෝ සවස් කාලයෙහි නේවාසිකාගාරයෙන් පිටත් වෙති. 

දෝහාවලම වාසය කරමින් යලි දෝහා යනවා යයි පැවසීම එකල මට වටහා ගත නොහැකිවිය. "ඉතිං අපි මේ දෝහා වල නෙවෙයිද ඉන්නෙ?" මම කීප වරක් ඔවුන්ගෙන් විමසූවා මතකයෙහි ඇත.

"ඉතිං ආයෙ කවද්ද ගෙදර ගියේ?"

"ඒ ආපු ගමන මම ආපහු ගෙදර ගියේ අවුරුදු දොළහකට පස්සෙ"

"එතකොට කසාදයක් එහෙම කරගත්තෙ? "

"ඒ ගමට ගිහිල්ල අපේම අම්මගෙ නෑදෑ පවුලකින් තමයි. ඒ කරල ඒ ගෑණු ළමය මෙහෙ එක්ක ආව"

"එතකොට තාමත් පවුලෙ ඔක්කොමල මෙහෙද ඉන්නෙ?"

"නෑ දැං අවුරුදු දහයකට කලින් වගෙ වෙනකල් ඔක්කොම කට්ටිය මෙහෙ තමයි හිටියෙ. මට ඉන්නව පුතාල තුන්දෙනයි දුවල දෙන්නයි. ඔක්කොමල මෙහෙ තමයි ඉපදුනෙ ඉගෙන ගත්තෙ. ඒත් දැන් මෙහෙ ඉන්නෙ මායි මගෙ බාලම පුතයි විතරයි"

"ආ..ඒ මොකද? "

"මම පෙෂාවර් කිට්ටුව ඉඩමක් අරගෙන පොඩි බිස්නස් එකක් පටන් ගත්ත. ඔය එලවලු හාල් වගෙ එව්ව. වැඩිමල් පුත්තු දෙන්න තමයි ඒක කරන්නෙ. දුවල දෙන්නත් ඒ කිට්ටුවෙන්ම කසාද බැන්ද. මගෙ බිරිඳත් ඒ එක දුවෙක් එක්ක ඉන්නෙ"

මේ වනවිට අප වෑන් රථය අසලට ළඟාවී සිටියෙමු. මෙම දුරට නියමිත මුදල රියාල් දහයක් වුවද මම ඔහුට රියාල් විස්සක්ම දුන්නෙමි.

"මේක තියාගන්ට. මේ..මම මෙතනට ආපහු එනව හවස හතරහමාරට. ඔහෙට එන්ට බැරිද ඒ වෙලාවට මාව ගෙදරට ගිහිල්ල බස්සන්ට? මට ඔහෙගෙ කතන්දරේ තව සවිස්තරව අහගන්ටත් උවමනාව තියනව"

"ම්හු ඒක නම් කරන්ට බෑ"

"ඇයි ඒ?"

"මම වැඩ කරන්නෙ එකොළහ වෙනකල් විතරයි."

"ඒ මොකෝ ඒ?"

"නෑ ඉතිං ඔච්චර මැරීගෙන හම්බ කරන්නෙ අහවල් දේකටද? මම මගෙ යුතුකම් මට පුලුවන් විදිහට කරල තියනව. මා එක්ක ඉන්න බාල පුතත් වරායෙ රස්සාවක් කරනව. ඉතිං උදේ පහට පටන් ගත්තම දවල් එකොලහ වෙනකල් විතරයි මම හයර් යන්නෙ. සිකුරාද සෙනසුරාද වැඩ කරන්නෙම නෑ"

"එහෙම හිතන එක බොහොම හොඳයි" මම සිනාසුනෙමි.

"මට දැන් වයස හැටහයයි. ඉතිං දැන් ඇති මහන්සි වුනා. මේ දවසට පැය හයේ රස්සාව වුනත් මම කරන්නෙ කම්මැලි කමට. පුතා කොයිවෙලෙත් මගෙං අහනව තාත්තට ගෙදරට වෙලා ඉන්ට බැරි මොකද කියල ..හෙහ්,හෙහ්" ඔහු තම සුදුවන් රැවුළ සොළවමින් සිනාසුනේය.

"ඒකත් එහෙමද? නරකම නෑ ඒකත්. එහනං අපි ආය හම්බවෙමු. බොහොම සන්තෝසයි හම්බ වෙච්චි එක" මම ඔහුට සමුදෙමින් රථයෙන් බැස්සෙමි.

වෑන් රථයෙහි ව්‍යාපෘති වැඩබිම වෙත ගමන් කරනා අතරතුරද මම කල්පනා කරන්නට වූයේ ඒ අපූර්ව පකිස්තානුවා පිළිබඳය. "ෂෙහ්. මනුස්සයගෙ ජීවිත විස්තර තව ටිකක් අහගන්ට තිබ්බ නම් කියල වැඩක් නෑ. කමක් නෑ ආය හම්බ වෙයිනෙ" මම එසේ සිතා සිත සනසා ගතිමි. එහෙත් ඔහුගේ දුරකථන අංකය හෝ අවම වශයෙන් නම හෝ නොදන්නා බව මට සිහිවූයේ එදින දිවා ආහාරය ගන්නා අතරදීය.

ඒ සඳු දින සිට මම හමුවන සියළු ටොයෝටා කරීනා රථ දෙස දැඩි පරීක්ෂාවෙන් බලන්නෙමි.

පලි - "මේ මම ඔහේගෙ ෆොටෝ එකක් ගන්නද?" රථයෙන් බැසීමට පෙර එදින මම ඔහුගෙන් විමසුවෙමි.

"මොකක් වෙනවද? ගන්න ගන්න"

"මම ඔහේ ගැන ලිපියක් ලියනව. ඒකට මේ ෆොටෝ එකත් දානව" 

ඒ ජීවිතය ගැන ඉතාමත් තෘප්තිමත් දිරිය මිනිසා මාදෙස බලා හිස සොළවමින් පියකරු ලෙස සිනාසුනේය.

මම නම නොදත් ඒ ප්‍රසන්න දිරිය මිනිසා

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...