Monday, August 31, 2015

343. ප්‍රජාතන්ත්‍රවාදයෙහි ආදීනව - The Pitfalls Of Democracy

Google Images
හිරි ඔතප්ප යනුවෙන් බුද්ධ ධර්මයෙහි සඳහන්වනුයේ ශීලවන්තයින් රැකියයුතු ගුණධර්මයෙකි.එනම් අකුශල කර්මයන්හි නිරතවීමට ඇති බියයි.හිරිඔතප් බිඳීම යනු පව් කිරීමට ඇති බිය නැතිවීමයි.

මිනිසුන් අපරාධ කිරීමට බිය වන්නේ නොයෙකුත් හේතු කරණකොටගෙනය. අපරාධයක් කල විට හා එම අපරාධය ප්‍රසිද්ධ වූවිට ඒ හේතුකොටගෙන යම් දඬුවමක් විඳීමට සිදුවීම සහ එමෙන්ම තම කීර්තියට, සමාජයේ ගොඩනඟාගත් ගෞරවනීයත්වයට හානිවීම ඒ අතරින් ප්‍රධාන ස්ථානයක් ගනී. එහෙත් යම් අපරාධයක හෝ නීති විරෝධී ක්‍රියාවක නිරතවූ කල්හි ඒ සඳහා නියමිත දඬුවම් නොලැබීමට අමතරව අපරාධකරුට අයස, අලාභය වෙනුවට යම් ලාභයක් හෝ ජනප්‍රියත්වයක් ලැබෙන්නේ නම් මිනිසුන් නීතිවිරෝධී ක්‍රියාවන්හි වැඩි වැඩියෙන් නියැළීමට පෙළඹීම කිසිසේත් වැළැක්විය නොහැක.

අප කුඩා අවධියෙහිදී අපරාධ කරුවෝ පොදු සමාජය විසින් පිළිකුල් කරනු ලැබූහ.යම් නීතිවිරෝධී ක්‍රියාවකට සම්බන්ධයැයි නීතිය ඉදිරියේ කිසිදිනක සැකයෙන් තොරව ඔප්පු නොවූවද එලෙස චෝදනා ලැබූවෝ මහජන නියෝජිතයින් ලෙස ඉදිරිපත්වීමට බිය වූහ. එලෙසම එවන් පාරාජිකාවූවන් තම පක්ෂයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් කිරීමට සෑම දේශපාලන පක්ෂයක්ම මැළි වූහ. 

1964 වර්ෂයෙහි පමණ සමගි පෙරමුණු රජයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට එරෙහිව නැඟුනු අල්ලස් චෝදනා පිළිබඳව විභාග කිරීමට පත්කෙරුණු වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසමෙන් අදාල මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු අල්ලස් චෝදනාවන්ට වැරදිකරුවන් බව තීරණය කෙරිණි.ඒ ආසන්නයේම පැවැත්වුනු 1965 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් සමගි පෙරමුණ පරාජයවීමට වෙනත් නොයෙක් කරුණු අතර තල්ගොඩපිටිය කොමිසම් වාර්තාවද හේතුවූ බව මා කියවූ ජීවිත මතක සටහන් පොතක සඳහන්ව තිබිණි. බොහෝවිට ඒ ඩී.එෆ්. කාරියකරවන මහතාගේ හෝ සිරිලාල් කොඩිකාර මහතාගේ මතක සටහන් විය හැක.

පෘථග්ජන මිනිස්සු ස්වභාවයෙන්ම තෘෂ්ණාභරිත වෙති. යුතු මෙන්ම අයුතු ලෙසද ධනය රැස්කීරිමෙහිලා නොතිත් ආශාවෙන් පෙළෙති. සම්මත නීති සංග්‍රහයක් පවතින්නේ ඒ අයුතු ක්‍රියාවන් සපුරා වැලකිය නොහැක්කේ නම් උපරිම වශයෙන් අවම කිරීමටය. එහෙත් අභාග්‍යය වන්නේ බහුතරයක් අයථා ක්‍රියාවන්  නීත්‍යානුකූලව ඔප්පු කළ නොහැකි වීමය. ලෝකාපවාදය හෝ ස්වකීර්තිනාමය කැළැල්වීම යනු නීතිය ඉදියට පමුණුවා දඬුවම් දිය නොහැකි අපාරධකරුවන් වැළැක්වීමේ සීමාකාරී සාධකයක් ( නිවර්තකයක් = Deterrent ) ලෙස ක්‍රියාකරන්නකි.

එහෙත් යමෙක් අපරාධකරුවකු වංචනිකයකු වීමම ඔහු සමාජයෙන් ගරු නම්බුලැබීමට ප්‍රභූවරයකු වීමට මතුනොව ජනතාවගේ පරමාධිපත්‍යය බලය භාරව කටයුතු කරන උත්තරීතර පාර්ලිමේන්තුවට තේරි පත්වීමටද හේතුවන්නේ නම් ඒ සමාජය අගයන සාරධර්මයන් කවරේද යන්න පිළිබඳව තවදුරටත් ගැටළුවක් ඇතිවිය නොහැක.

සොරුන් සහ අපරාධකරුවන් උපරිම මනාපයෙන් පාර්ලිමේන්තුවට පත්කර යැවීමේ එකහෙලා පිටුදැකිය යුතු මේ වර්තමාන ප්‍රවණතාවය ආරම්භකලේ මෙරට සාරධර්මයන්ගෙන් විනිර්මුක්ත තිරශ්චීනයින්ගේ දේශයක් කිරීමේ මුල් අඩිතාලම දැමූ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයන් විසිනි. එහිදී ඔහු මූලික  පියවර වශයෙන් පාර්ලිමේන්තුවට පත්වන්නන්හට අයථා ක්‍රමෝපායයන් භාවිතා කොට ධනය ඉපයීමේ මඟ හෙළි පෙහෙළි කොට දුන්නේය.

හෙතෙම පාර්ලිමේන්තුව සතු සියළු විධායක බලතල තමා සතුකොටගනිමින් ඒ හිළව්වට  පිදෙන වරදානයන් මෙන් මත්පැන් බලපත්, තීරු බදු රහිත වාහන බලපත් යනාදිය කශේරුකාව බිඳ දැමූ මහජන නියෝජිතයින්හට නිර්ලෝභිලෙස  ප්‍රදානය කළේය. වියයුතු ලෙසම ඉන් සෑහීමට පත්නොවූ ඔහුගේ මන්ත්‍රීවරයෙක් රත්රන් පොළු කිහිපයක් සඟවාගෙන දිවයිනට රැගෙන ඒකට තැත්කිරීමෙහිදී අත් අඩංගුවට පත්විය. ඔහුට විරුද්ධව නඩු විභාගයක් පැවති අතර එහිදී සිර දඬුවම් නියමවූ බවක් මගේ මතකයේ ඇත.

" මට රකින්නට පරපුරක් නැත. ඔටුණු පලඳවන්නට කුමාරයෙක් නැත "  යනුවෙන් වහසිබස් දොඩමින් ජයවර්ධනයෝ මෙරට කිසිදු නීතියකට යුක්තිධර්මයකට ගරු නොකරන අලජ්ජීන්ගේ දේශයක් බවට පත්කිරීමෙහිලා මුල්ගල් තැබූහ. ඔහු එදා ඒ ආරම්භ කල යුක්තියේ සාධාරණත්වයේ අවරෝහණය ඉතා සාර්ථකව පරිපූර්ණත්වයට, කූට ප්‍රාප්තියට පත් කලෝ බලලෝභී, අත්තනෝමතික සහ ඒකාධිපති පාලනය පිළිබඳව  ඔහුට ද ඉගැන්වීමෙහි ලා සමතෙකුවූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයෝය.

තම නොසිඳෙන බල තෘෂ්ණාව උදෙසා ඔහු මේ දේශයට කල අපරාධය සක්සුදක්සේ පැහැදිලිවීමට සති දෙකකට පෙර පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සංධාන පාක්ෂිකයින් තම නියෝජිතයින් ලෙස උපරිම මනාපයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්කොට යැවූවන්ගේ පැටිකිරිය විමසීම පමණක් උදක්ම ප්‍රමාණවත්ය. 

ජනවාරි මස පැවති ජනාධිපතිවරණයෙහිදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරයෙහි යෙදුනෙකු වෙඩි තබා මරාදැමීම වෙනුවෙන් චෝදනා ලැබ එදින සිටම බන්ධනාගාර ගතව සිටින්නෙකු එක් දිස්ත්‍රික්කයක උපරිම මනාප ලබා සිටී. මුඛය විවෘත කල වහාම මස්තිෂ්කයට රුධිරය සපයන ධමනිය ක්‍රියාවිරහිතවන මාදිලියේ,  වාචාලකම හැර වෙන කිසිදු උගත්කමක් නැත්තකු තවත් දිස්ත්‍රික්කයක උපරිම මනාප ලබා සිටී.

ඒ අතර එතනෝල් වෙළෙඳුන්, කුඩු බෙදාහරින්නන්, මංකොල්ලකරුවන් සහ කිසිදු වැදගැම්මකට නැති බත් බැලයින් ද බොහෝය. අප වෙනුවෙන් උත්තරීතර පාර්ලිමේන්තුවෙහි අසුන් ගනුයේ, අපේ සහ එමෙන්ම අප දරුවන්ගේ අනාගතය විසඳන තීරණ ගනුයේ, අප වෙනුවෙන් නීති සම්පාදනයෙහි යෙදෙනුයේ එවන් වසලයින් කණ්ඩායමකි.ඔවුනට අපේ අනාගතය භාරදී අප නිහඬව සිටිය යුතුය. මහින්ද රාජපක්ෂ මහතා මෙරටට කල විනාශය එපමණ විශාලය. බොහෝවිට ඔහු නුදුරු අනාගතයෙහිදී දේශපාලනයෙන් විශ්‍රාම යනු ඇතැයි විශ්වාස කල හැක. එහෙත් ඔහු ඇතිකල, ඔහු වර්ධනය කල මේ මේ ජුගුප්සාජනක ප්‍රවණතාවය කිසිසේත් පහසුවෙන් ආපසු හැරවිය හැක්කක් නම්  නොවේ.

Google Images
ඉහත සඳහන් වනුයේ දෙවන ලෝක යුද්ධ සමයෙහි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සුප්‍රසිද්ධ නිර්වචනයකි. එය මෙසේ සංශෝධනය කිරීමට කාලය එළඹ ඇත.

The Best Argument Against Democracy Is The Results Of The Last Parliamentary  Election In Sri Lanka.

Wednesday, August 26, 2015

342. එකෝමත් එක කාලෙක ආදර කතාවක්…...



කතන්දර කියන එක සහ කතන්දර අහන එක මම හිතන්නෙ මිනිස් වර්ගයාගෙ මූලාරම්භයෙ අර්ධ වානර මිනිසා භාෂාවක් කියල එකක් යම්තමට හදාගත්තු කාලෙ ඉඳලම අඛණ්ඩව පැවත එන දෙයක්. උගුරෙන් මතුවෙන යම් යම් අව්‍යාක්ත ශබ්ද මාර්ගයෙන් සිදුවූ දළ අදහස් හුවමාරුවෙන් පස්සෙ මිනිස් ස්වරාලය අනුක්‍රමිකව දියුණු වෙලා ස්වර තන්ත්‍ර හැඩ ගැහිල භාෂාවක් කියල මෙවලමක් නිපදවාගත්තට පස්සෙ අපේ ආදී මුතුන් මිත්තො මම හිතන්නෙ මුලින්ම කරන්න ඇත්තෙ කතන්දර කියන එක.

සාර්ථක දඩයමක් ලැබුණු දවසක බඩ කටපුරා සන්තර්පණය වෙලා තමන් යන්තමට ස්වභාව ධර්මයෙන් වන හදි හතුරුකම් වලින් බේරිලා වාසය කරන ගල් රුකුල ඉස්සරහ රත්පැහැයෙන් පුළිඟු නඟමින් දැල්වෙන ගිණි මැලය වටේ ඉඳගෙන කණ්ඩායමේ නායකයෙක් නැත්නම් වැඩිහිටියෙක් කියන කතන්දර අහගෙන ඉන්න ගෑණු පිරිමි ළමා ළපටි පිරිසක් හිතේ මවා ගන්න. හිටපු ගමං ගල්ලෙන පිහිටලා තියෙන පොඩි කඳු ගැටය පාමුල මහ වනාන්තරයෙන් මතුවෙලා රූස්ස ගස් වෙව්ලුවා ලමින් දසත පැතිරෙන රුදුරු වන සතෙකුගෙ ගෙරවිල්ලකට එක විඩේම කතන්දෙරේ නවතිනව. 

ගෑණු සහ දරුවො එක පොදියට තුරුල්වෙලා ලොකු කර ගත්තු ඇස් වනාන්තරේ දිහාට යොමු කරගෙන බය බිරාන්ත වෙලා ඉන්නව. ඒත් ටික වෙලාවකින් සියල්ල සන්සුන් වෙනවා. ඔහොම තවත් ටික වෙලාවක් හැලහොල්මනක් නැතුව ගෙවුනට පස්සෙ " කෝ ඉතිං අර කතන්දරේ? ඒක කියල ඉවර කලේ නෑනෙ. අනේ ඒක කියනවද? " එකට ගුලි ගැහිල ඉන්න පොඩි එවුං තලේ අතරිං හීං කටහඬක් මතුවෙනව. ඉතිං ආයෙම කතන්දරේ පටන් ගන්නව.

කතන්දර ගැන අපේ නොනිමෙන ඇල්ම එහෙමයි. ඉතිං කතන්දර කීමේ කලාව ගැන මේ පොඩි පූර්විකාවක් කිව්වෙ අද සටහනට ප්‍රවිෂ්ඨ වීමක් විදිහටයි. හරි..ඉස්සෙල්ලම පල්ලෙහායිං තියෙන  කතාව කියවල ඉමුකො. මේ කාලෙකට ඉස්සර ගරු කටයුතු පොඩ්ඩි මැතිණියගෙ වියුණුවට මම කමෙන්ට් එකක් හැටියට ලියපු කතාවක්. මම ලියපු කතාවට මගේ හිතවත් සිත්තමී තරුණ නෝනා මහත්මිය තව කොටසක් එකතු කලා. ඊට පස්සෙ එතුමී ලියපු කොටසත් එකතුකරල මම තව දුරටත් කතාව ලිව්ව. හරි මෙන්න ඒ කතාව. ඉටැලික්ස් වලින් තියෙන්නෙ සිත්තමී ලියපු කොටස. 

පොඩ්ඩි සහ සිත්තමී.... ඔබ දෙදෙනාටම බොහොමත්ම ස්තූතියි.


*************************************************

" ලොකු පුතා හෙට නිවාඩු දාන්න හොඳද?" අම්ම කිව්වේ කුසල් ගෙයින් එලියට බහිද්දි.

'' ඇයි අම්මෙ?.....'' ආපහු හැරිල කුසල් ඇහුව.

'' හෙට මල්ලිට මනමාලියක් බලන්ට යනව ඔයත් එන්නම ඕනෙ,''

'' මම එන්නම ඕනද?....හෙට වැඩ ගොඩක් තියනව කරන්ට''

'' අනේ ලොක්ක.....එහෙම කියන්ට එපා.....ඔයත් එන්න.''

'' හරි අම්මෙ යමුකො එහෙනං....'' කුසල් අම්ම දිහා බලල හිනාඋනා.

ඉස්සෙල්ල තමන්ට, ඊට පස්සෙ මල්ලිට…. මනමාලියො බලන්ට යන එක කුසල්ට එපාම වෙලා තිබුනෙ......වෙසක් කූඩු වගෙ සරසල,රටේම තියන ක්‍රීම්  පවුඩර් මූණෙ උලල ප්‍රදර්ශණ භාණ්ඩ වගෙ ඉස්සරහට එක්කරගෙන එන කෙල්ලො ගැන කුසල්ගෙ හිතේ තිබුනෙ අනුකම්පාවක්.


*************************************************

අම්මයි තාත්තයි මල්ලියි එකට ඉඳගනිද්දි, කුසල් පැත්තක තිබ්බ පුටුවක ඉඳගත්තෙ නිවිහැනහිල්ලෙ හෙට ලියන්ට හිතාගෙන ඉන්න ලිපිය ගැන කල්පනා කරන්ට හිතාගෙනයි.

වැඩිහිටියො එයාලගෙ කතාබහේ යෙදෙද්දි කුසල් බර කල්පනාවක හිටියෙ ලිපිය ගැන. එක පාරටම ඇති වෙච්ච නිශ්ශබ්දතාවය නිසා කුසල් ඔලුව උස්සල බැලුව. සාලෙ දොරටුවෙන් ඇතුලුවෙලා හෙමිහිට ඉදිරියට එන යුවතිය දැක්කම කුසල් එතනම ගල් ගැහුණ. පොත්වල ' එකෙනෙහිම ඔහු පාෂාණිභූත වූයේය' කියන්නෙ මෙන්න මේ වගෙ අවස්තාවන්ට වෙන්න ඇතිය කියල කුසල්ට හිතුන..ඒත් ඒ වෙලාවෙ නම් නෙවෙයි....පස්සෙ ගෙදර ඇවිත් ඒ ගැන ආයෙම කල්පනා කරනකොට...ඒ වෙලාවෙ නම් පොත් වල තියන දේවල් තියා කවුරු හරි නම ඇහුවත් කුසල්ට හරි උත්තරයක් දෙන්ට වෙන එකක් නෑ. ඒ තරමට නුහුරු නුපුරුදු හැඟීම් රාශියක් හිත අතුලෙ නලියනව කියල විතරයි කුසල්ට තේරුනෙ.

ඇගේ මුහුණ...ගමන.....ඇඳ සිටි බෝරිච්චි අත් යෙදූ හැට්ටය....චාම් ඔසරිය...දිගු වරලස....එක බැල්මෙන්ම කුසල් මේ සියල්ල හිතේ ඇඳගත්ත.......ඒ වැඩේ වැඩි අමාරුවක් උනේ නැත්තෙ ඒ රූපය සෑහෙන කාලෙක ඉඳල කුසල්ගෙ හිතේ ඇඳිල තිබුණු නිසයි.කුස රජ්ජුරුවො වගෙ රන් රූපයක් හැදුවෙ නැති උනාට කවදාහරි තමන්ගෙ සහකාරිය විය යුත්තෙ මෙන්න මේ වගේ යුවතියක්ය කියල කුසල්ගෙ හිතෙත් ඇඳිල තිබුන රූපයක්...... ඒ රූපයට පණ ආව වගේ වැඩක් මේ උනේ.

ඇය ඔලුව උස්සනකල් කුසල් හිටියෙ නොඉවසිල්ලෙන්....කුසල්ගෙ හිතේ තිබුනු රූපෙ...ඇස්... දිගටියි...නිල් පාටයි......

සාලෙ මැදට ආපු ඈ ඔලුව උස්සල බැලුව.....කුසල්ගෙ ඇසිපිය නොහෙලා ඒ ඇස් දෙක දිහා බලා හිටියෙ ගිණිකන වැටුන වාගෙ.....හරියටම හරි.....නිල් පාටයි....දිගටියි.......එයත් එක පාරටම කුසල් දිහාවෙ බැලුව..ඒ ඇස් දෙකෙත් මොනවදෝ වෙනසක් උනා. ඈ කුසල් දිහාට පියවරක් තිබ්බ...." "දෝණි මේ පැත්තට "....අම්මගෙ විධානයට අනුව ඈ ජයනාත්ට බුලත් හෙප්පුව පිළිගැන්නුව.

ඊට පස්සෙ සාලෙ කෙරිච්ච කතාබහ මොකවත් කුසල්ට ඇහුනෙ නෑ. ජීවිත කාලයක් හිතේ ඇඳී තිබුනු ඒ රුව ජීවමානව තමන් ඉදිරියේ...ඒත් ඈ තම එකම සොහොයුරාට යෝජිත මනාලිය........බොහොම අමාරුවෙන් ඈ දෙස නොබලා තව ටික වෙලාවක් ඉඳල කුසල් හෙමිහිට එළියට බැස්ස.

මිදුලෙ කෙළවරක වෙල්යායට මූණලා තිබුන බංකුවක්.....කුසල් ඒකෙ ඉඳගත්ත...වෙල්යාය පිසගෙන එන හීතල හුළඟ කුසල්ගෙ හිත නිවන්ට නම් කොහෙත්ම සමත් උනේ නෑ...ඒත්.....ජීවිතේ සමහර දේවල් තියනව අපිට උරුම නෑ.....ඈතින් ඉඳල දැකීමෙන් පමණක් සැනහෙනව මිසක් අයිති කරගන්ට වාසනාව නැති බොහොම දේවල් මේ ජීවිතේ තියනව කියන එක කුසල්ට අමුතුවෙන් කියල දෙන්ට ඕන කමක් තිබුනෙ නෑ...

හිතට අවුලක් ආවම හැමදාම කුසල් කලේ කවියක් ලියාපු එක....මේ වෙලාවෙත් එහෙම කරන්ට කියල කුසල් සාක්කුව අතගාල බැලුව....උදේ එද්දි අම්ම දුන්නු කොලේ තිබුන උඩ සාක්කුවෙ "පුතේ මේ එහාට යන විදිහ ඇඳල කපු මහත්තෙය දුන්නු කොලේ...පුතා ළඟ තියාගන්ට " 

ඒ කොලේ අනික් පැත්තෙ කුසල් කුරුටු ගාන්ට පටන් ගත්ත.

හදේ ඇඳි රුවක් විය,
කිසිදින දකින්නට සිතා නොසිටිය,
නෙතු ඉදිරියේ දිලුනු ඒ රුව,
සදා මා හට අහිමිය,

දුරින් ඉඳ බලා සැනසෙමි,
හිමි කර ගැනීමට නොවෙහෙසෙමි,
ජීවිතේ මට හිමි,
එපමණකි මම දනිමි, 

බෝ දුරක ඇවිද ගිය,
මහද අවසන නතර විය,
අබියස ඔබේ දෙනයන,
කියූ රහස ද ගොළු විය,

නෙත කඳුලු වියැකී,
සුසුම් හද නොමැකී,
මට අහිමි ළඳුනී,
සදා ඔබ මට මිණි පහනකී,

එක පාරටම කාගෙදෝ කටහඬක් ඇහිල කුසල් ඔලුව උස්සල බැලුව.

දෙයියෝ සාක්කි.......ඒ යුවතිය සමඟ සොයුරා තමා සිටින දෙසට එනු දුටු කුසල් වහා කවි ලියූ කොලය නවා සාක්කුවේ දමා ගත්තේය.

" මොකෝ අයියේ? ඔතන ඉඳගෙනත් කවි ලියනවද? '' ජයනාත් දුරසිටම හඬනඟා ඇසීය. කලබලයෙන් හිඳසිටි අසුනින් නැඟිටින අතරේ කුසල්ගේ දෑස යලිත් ඒ යුවතියගේ දෑස හා ගැටිණි. තම මුහුණට ලේපුරා එන බව දැනුනු කුසල් වහා ආපසු හැරී වෙල්යාය ඈත කෙළවර දෙස බලාසිටියේය.

'' ආ, මල්ලි.. මං ලඟටම එනකල් දැක්කෙ නෑනේ... මං මේ මිදුලට පොඩ්ඩක් ආවා ඇතුලේ කම්මැලියි... ''

'' ලස්සන විව් එක නේද... අයියා ආසම විදිහෙ පැත්තක්... '' වෙල්යාය දෙස බලා ජයනාත් කීවේය.

'' හ්ම්.........''

'' පබෝධා දන්නවද, මේ අපේ අයියා මාර ලස්සන කවි ලියනවා..., චිත්‍රත් අඳිනවා......'' ජයනාත් පබෝධා දෙසට හැරී කීවේය.

ඇගේ නම.....පබෝධා.......

'' ඇත්තද? අයියගෙ නම මොකද්ද?''

'' මම කුසල්. '' වෙල් යාය දෙස බලාගෙනම කී කුසල් වහා නැඟී සිටියේය.. "එහෙනං ඔය දෙන්නා ඔහොම ඉන්නකෝ, මං ඇතුලට යනවා."

'' නෑ නෑ, අයියා ඉන්න... '' ජයනාත් වහා කුසල්ගේ කර වටා අතක් දමාගත්තේය. "බලන්නකෝ, පබෝධා කැමතිත් නෑනේ මං අහන ජාතියේ සින්දු වලට..." ඔහු බංකුව මත හිඳගත්තේ කුසල් ද සමගිනි. "එන්න පබෝධා," ඔහු ඇයටද බංකුව පෑවේය. අර්ධ කවාකාර විසල් බංකුව මත තිදෙනාටම පහසුවෙන් හිඳගැනීමට ඉඩකඩ තිබුණි. "මෙයා කැමතිත් අයියා කැමති ජාතියේ ඒවටමලු."

'' එහෙමද?'' සොයුරන් දෙදෙනාට මඳක් ඈතින් ඈ අසුන් ගන්නා අතරේ කුසල් ඈ දෙස බැලුවේය. පබෝධාට වහා බිම බලා ගත්තීය.

එවිටම ජයනාත්ගේ ජංගම දුරකථනය නාද වන්නට විය. "එක්ස්කියුස් මී." ඔහු දුරකථනයද රැගෙන නැගිට මිදුලේ කෙළවරට ඇවිද ගියේය. පබෝධා නැවතත් සිය ඔසරි පොට අඹරන්නට පටන්ගෙන තිබුණි.

'' නංගිත් කවි වලට කැමතියි නේද?''

පබෝධා දෑස් විසල් කරගෙන කුසල් දෙස බැලුවාය. "කොහොමද දන්නේ?"

'' ඉස්කෝලේ සාහිත්‍යයනෙ උගන්නනවා කිව්වේ..''

ඇය රතු වී බිම බලාගත්තාය. "මං චිත්‍ර වලටත් ආසයි. අඳින්නනම් බෑ, ඇඳපුවා බලන්න ආසයි... මං මේ ලඟදි පත්තරේ කියෙව්වා ලිපියක් චිත්‍ර කලාවයි සාහිත්‍යයයි ගැන හරි ලස්සන විදිහකට එකට ගලපලා ලියලා තියෙනවා"

කුසල් වහා ඈ දෙස හැරී බැලුවේය. "ජනදින පත්තරේද?"

'' ඔව්. අයියත් ඒ ලිපි කියවනවද?'' 

කුසල් පුළුල් සිනහවක් පෑවේය. "ඒ ලිපි කියවන මට හම්බුණ මුල්ම කෙනා ඔයා තමයි.."

'' ඒවා ලියන්නෙ අයියද?''

උරහිස් හැකිලූ කුසල් මඳ සිනහවකින් ඒ එසේයයි ඇඟවීය. දුරකථන සංවාදය නිමා කළ ජයනාත් එතැනට ආවේය. "ඉතිං පබෝධා," ඔහු ඔවුන් දෙදෙනා අතරින් ඉඳගත්තේය. "ඔයාගෙ නැද්ද හොඳ යාළුවො එහෙම බැඳපු නැති?" 

'' ම්.. ඉන්නවා, ඇයි?''

'' නෑ මේ අපෙ අයියට...'' 

'' ජයනාත්! '' කුසල් අවධාරාණාත්මක හඬකින් කීවේය.

'' මං හිතුවෙ අයියා මෙලහකට බැඳලා ඇති, නැත්තං බඳින්න කෙනෙක්වත් ඇති කියලා... '' පබෝධා පුදුමයෙන් කීවාය.

'' අපොයි මෙයාට කවුරුවත් හොයන එක ලේසි නෑ.. '' එවර ජයනාත් කීවේ සොයුරාගේ පිටටද පහරක් ගසමිනි.

'' යමංකෝ ගෙදර.. '' කුසල් මිමිණුවේය.

පබෝධාට සිනහ පහළ විය. පෙනුමෙන්, ගතිගුණ වලින් හා රුචි අරුචිකම් වලින් කෙතරම් වෙනස් වුවද මෙම සොහොයුරන් දෙදෙනා එකිනෙකාට ඉතාමත් සමීප බව ඇයට අවබෝධ විය. "ඉතිං අයියාට කළිං මල්ලි බඳින්න හදන්නේ?" ඇය ඇසුවාය.

'' මෙයාට හරියන අය හොයාගන්න කොට මටත් නාකිවෙන්ඩ වෙයි. අම්මලා මෙයාට බල කරලා කරලා බැරිම තැන තමයි ඔය මට හොයන්ඩ ගත්තේ.'' 

'' ඉතිං අයියා මොන වගේ කෙනෙක්වද හොයන්නේ?'' පබෝධා ඇසුවාය.

'' හරියන කෙනා හම්බ වෙන කාලෙට හම්බ වෙන්නෙ නැතැයි,'' එසේ කියමින් කුසල් නැගිට්ටේය. "මං ගෙට යනවා එහෙනං..." ඔහු ආපසු හැරී නොබලාම ඉස්තෝප්පුව කෙළවරින් නිවෙසට ඇතුල් විය.

කවුළුවෙන් ඉවත බලා සිටිනා අතරේ එම බංකුව නැවතත් ඇගේ දෑසට ලක් විය. එදින ඔවුන් පිටව ගිය වහාම එකතු කර තිබූ පැරණි පත්තර ලිපි එකතුවම ඇදගෙන එකින් එක නැවතත් කියැවූ අයුරු ඇය සිහිපත් කළාය. අන්වර්ථ නාමයකින් එම අපූරු ලිපි ලියන්නා කෙදිනක හෝ හමු වීම ඇගේ එක් සිහිනයක්ව තිබූ අතර ඔහු මෙතරම් තරුණ වියේ පසුවන්නෙකැයි ඇයට කිසිදා සිතී තිබුණේ නැත.

"දෝණි..." අම්මාත්, අප්පච්චිත්, මාමාත් තිදෙනම එක්වරම ඇගේ කාමරයට ඇතුල් වූහ. "දැංවත් මේකට උත්තරයක් දෙන්න ළමයෝ..." අම්මා ඈ අසළින් ඇඳ මත හිඳගත්තාය.

"දැං සුමානයක් වෙන්ඩත් ආවා, ඒ පැත්තෙනුත් උත්තරයක් නෑ. මාමා හෙට යනවා එහෙ, ඉතිං මේ පැත්තෙං උත්තරේ අරං යන්ඩ එපැයි..." අප්පච්චිද කීවේය.

"කැමැත්ත හරි අකමැත්ත හරි ඕන එකක් කමක් නෑ දුවේ, කියන්න... හැබැයි අකමැති වෙන්න හේතුවක්නං නෑ ඒ කටයුත්තේ..." මාමාද එක් කළේය.

"එදා හැන්දෑවේ ඉඳං මං මේ ළමයගෙන් වචනයක් ගන්න බලනවා, කෝ ඒ ගැන කටක් හොල්ලන් නෑනේ..." අම්මා නැවතත් කීවාය.

පබෝධා පත්ව සිටියේ මහත් අසීරු තත්ත්වයකටය. දැන් එහි උපරිම අවස්ථාවට එලැඹ ඇත. ඇගේ දෙමාපියන්ට සිටි එකම දරුවා තමා වූ බැවින් සිය විවාහය ඔවුන් සොයා දෙන්නෙකු සමගින් සිදු කෙරෙනු ඇති බව ඇය ඔවුනට පොරොන්දු වී සිටියේ කිසිදු පසුතැවිල්ලකින් තොරවය. මෙම යෝජනාව පැමිණියේද එලෙසිනි. එහෙත් දැන් එම යෝජනාව නිසාම ඇගේ සිත වෙනෙකෙකු සොරාගෙන ඇත. මනාලයාගේම සොයුරා විසින් සොරාගෙන ඇත.

"මං ජයනාත්ට කැමති නෑ..." ඇය අවසානයේදී සෙමින් මිමිණුවාය.

"ඉතිං ඕක කළින්ම කිව්වනං ඉවරනේ. අපි කිව්වනේ, දූගෙ අකමැත්තෙන් මේ කිසිදෙයක් අපි කරන්නෙ නෑ කියලා..." පියා ඇගේ හිසද අතගාමින් කීවාය.

"මං එහෙනං හෙට ගිහිං මේ ගැන කියන්නං නේද, කෙළිංම අකමැති බව නොකියා මං වෙන මොකක් හරි කියන්නංකෝ..." මාමාද හිඳ සිටි පුටුවෙන් නැගී සිටියේය.

"ඒ උනාට..." පබෝධා ඇසෙන නෑසෙන හඬින් යළිත් එක් කළාය. "... මං එයාට අකමැති මං එයාගෙ අයියට කැමති නිසා..."

"ඈ???" මාමා නැවතත් ඉඳගත්තේය. අම්මා කම්මුලේ අතක් තබාගත්තේය. පියාගේ නළල රැළි විය.

"ඒ ළමයනං ඔය දෙවෙනි පුතා තරං ලොකු තානාන්තරේක නෙවෙයි, පත්තර කන්තෝරුවකද කොහෙදනේ රස්සාව කරනවා කිව්වේ..."

"අනික පබා බලන්න, එයා අර මල්ලිගෙ අයියා කියලවත් කියන්න පුළුවන්ද පෙනුමෙං?ඔයාට ගැලපෙන්නෙ නෑ දරුවෝ එහෙම කෙනෙක්..."

"ඒ උනාට මං කැමති එයාගෙ විදිහට..." පබෝධා නැවතත් මිමිණුවාය.

"බෑ, බෑ මේක කරන්න බෑ. ඔයාව බලන්න ආවේ ජයනාත්. ඔයා එයාට කැමතිද නැද්ද කියලා විතරක් කියන්න. මාමා කොහොමද ඕවා ගිහිං කියන්නේ ඒ මිනිස්සුන්ට?"පබෝධා නිහඬය. 

"මල්ලි, ඉස්සෙල්ලා කතාකරගත්තු විදිහට ගිහිං කියන්න හෙට... මේ මොන කෝලමක්ද!" අප්පච්චී එසේ පවසා බර අඩි තබමින් කාමරයෙන් පිට විය.

මාමා ඈ වෙත ආවාය. "අකමැති බව කියන්නද දුවේ?" පබෝධා යාන්තමින් හිස සෙලවූයේ වෙන කරන්නට දෙයක් නැති නිසාය. මාමාද, ඔහු පසුපසින් අම්මාද කාමරයෙන් පිටව ගියෙන් පබෝධා නැවත වරක් සිය සිතුවිලි අතර හුදෙකලාව අතරමං විය. ඇගේ තනියටදෝ කඳුළු බිඳු එකින් එක උනා එන්නට විය.

පසුදින රාත්‍රියේ මාමා හදිසියේම නැවතත් එහි ආවේය. 

"මල්ලි හදිසියෙම? දීපංගොඩ ගියාද?" 

කතාබහට මුලපුරමින් අප්පච්චි ඇසුවේය. අම්මාද ඔවුන් සමග එකතු වී සිටියෙන් මැද සාලයේ හිඳගෙන ලූනු සුද්ධ කරන අතරේ පබෝධා ඔවුනගේ කතාවට කන් දී සිටියාය.

"ගියා ගියා අයියේ, එහෙ ඉඳං තමයි මේ කෙළිංම ආවේ.. තාම ගෙදරවත් ගියෙ නෑ..."

"ඒ මොකෝ ඒ හැටි හදිසියෙන්? ඒ උදවිය මොකද කිව්වේ? දොස් කිව්වද?"

"මොන දොස්ද අක්කේ, මාව දැක්ක හැටියේ ඉඳගන්න කියලා මහ පුදුම කතාවක් තමයි කිව්වේ... පොඩි පුතා කිව්වලු එයාට පබා දෝණි ගැලපෙන්නෙ නෑ කියලා හිතෙනවා කියලා, ඒක ඇහිච්ච ලොකු පුතාගෙ මූණේ ලොකු හිනාවක් ඇඳුනලු... ඒ ලොකු එකාට මගුල් හොයන්න ඒ මහ දෙන්නා විඳපු දුකක්! කවුරු කැමති උනත් ඒකගෙ කැමැත්ත ගන්න බෑලු... දැං ඔන්න මල්ලි මෙහෙම කිව්වහම අයියා කිව්වලු 'මං ඒ ළමයට කැමතියි'කියලා... මේක අපිට කියාගන්නෙ කොහොමද කියලා හිත හිත ඒ උදවිය ඉඳලා තියෙන්නේ... කෝකටත් කියලා දෝණිගෙ කේන්දර කොපිය ලොකු පුතාගෙ එකටත් බැලෙව්වලු. ෂුහ්! පොඩි පුතාගෙ එකටත් වඩා හොඳට ගැලපෙනවලු..." 

පබෝධාගේ මවත් පියාත් මුහුණින් මුහුණ බලාගත් හ.

"ඉතිං මල්ලි කිව්වද අපේ දෝණි කියපු කාරණේ?"

"නෑ නෑ, මං ඒවා කියන්න ගියෙ නෑ, මෙහෙ උත්තරේ අරං එන්නං කියලා ආවා..."

"හ්ම්... එහෙම කරපු එක හොඳයි... කෝ මේ කෙල්ල... දෝණී..."

අප්පච්චිගේ හඬගෑම ඇසුණු පරක්කුවෙන් මතු වූ ඇගේ මුහුණේ වූ සිනහවෙන් සියල්ල අවබෝධ කරගත් වැඩිහිටියෝ තිදෙන සිනාසෙන්නට පටන් ගත්හ.

සති දෙකකට පසු.........................

කුසල් ඒ බංකුවේම හිඳ සිටියේය. පබෝධා ඔහු ලඟින්ම හිඳ සිටියේ ඔහුගේ සුරත දෑතින්ම පිරි මදිමිනි.

'' අයියා....මතක ද සති දෙකකට ඉස්සර මේ බංකුවෙම අපි දෙන්න ඉඳගෙන හිටිය...''

'' හෙහ්, හෙහ්...මොකද අප්ප අමතක?....මේ මදෑ ඔය අයිය කෑල්ල...මට කුසල් කියන්න...''

'' හා...එහෙනම් කුසල්....එදා අපි මෙතනට එනකොට කුසල් මොනවද කර කර හිටියෙ?'' 

'' මම කවියක් ලිය ලියා හිටියෙ...''

'' කවියක්?..." පබෝධා ඔහුගේ දෑසට එබුණාය...." කා ගැනද?''

'' ඔයා ගැන '' කුසල් පැවසූයේ ඇගේ  දෑස දෙස එක එල්ලේ බලමිනි....'' පබා ගැන''

'' මම ගැන ලියන්න...ඔයා මාව දැක්කෙත් එදානෙ....''

'' මට ඔයා දැක්කෙ එදා උනාට.....ඔයා ගැන කවියක් ලියන්න ඒක ප්‍රශ්නයක් උනේ නෑ.....මට හිතුනෙ මම ඔයාව ආත්ම ගානක ඉඳල දන්නව කියලයි....'' කුසල් පැවසූයේ සෙමින් ඇගේ කොපුල් තලය සිප ගනිමිනි.

ලැජ්ජාවෙන් ඇඹරී ගිය ඇගේ වතට ලේ පුරා ගියේ අනායාසයෙනි." කෝ ඒ කවිය.... තියනවද?"

උඩ සාක්කුවේ තිබූ හතරට නැවූ කොලය ඔහු ඇයට දුන්නේ මඳ සිනහවක් නගමිනි.

කවිය කියවූ ඇගේ නෙත් තෙත් වූයේ ඇයට ද නොදැනීමය.

" කුසල්......කවදාවත් එහෙම වෙන්නෙ නෑ...'' මිමිණූ ඇය ඔහුගේ උරහිස මත හිස හොවා ගත්තාය.

'' මම දන්නව පබා....'' කුසල් පහත් වී ඇගේ පියවුනු දෑස සිප ගත්තේය.

" හරි දැන් ලියන්නකො ඉතිං මේ කවිපෙලටම ඈඳලා නිකං ඉනික්බිති එකක් වගෙ එකක්....'' මද වේලාවකින් පසු ඇය පැවසුවේ සිනාසෙමිනි.

" හරි...මේක ඔයාගෙ පළවෙනිම ඉල්ලීම..ඉතිං බෑ කියල කොහොමද? ඉන්නකො ''

ඒ කවි පෙලටම පහලින් කුසල් නැවත කවියක් ලියන්නට වූ අතර පබා ඔහුගේ උරහිස රැඳවූ හිසින්, දෙතොලග නලියන මද සිනහවෙන් යුතුව අපමණ සෙනෙහස පිරි හදින් ඔහුගේ දෙනෙත දෙස බලා සිටියාය.

ජීවිතය පුරා මම,
සෙවූ ඒ රුව ඔබය,
නිල් දෙනෙත,
දිගු වරල,
සඳක් වූ වත මඬල,

සසර සරනා තුරා,
අත නොහැර ඔබෙ සුරත,
කැටුව යමි අනන්තෙට,
ඔබ සමඟ පියෙන් පිය,

සෙනෙහසේ නවාතැන,
සොඳුර ඒ ඔබේ හද,
මගෙ ගමන නතර විය,
ඔබේ දෙනුවන් අසල,

මෙලෙස අප හමුවුයේ,
පෙරත් අප පැතූ ලෙස,
සසර ඉම තෙක්ම එමි,
ඔබෙ සුරත අත නොහැර,

අවසානයේදී කවි පෙල මුමුණමින් කියැවූ පබා දෙනෙතින් කඳුලු ගලා හැලෙද්දී කුසල් ගේ ගෙල වැලඳ ඔහුගේ පපුවෙහි මුහුණ හොවා ගත්තීය.

*************************************************

හරි දැන් තමයි කතන්දරේට එන්නෙ...ෂරී?....සිත්තමී මේ දවස්වල ලියාගෙන යනව තවත් අපූරු කතන්දරයක්. අපරාදෙ කියන්ට බෑ අර මම ලියන කතන්දර වගේ එහෙම නම් නෙවෙයි. හෙහ්...මයෙ කතන්දරවල කොස් කපන්ට ඉඳගන්න ගෑණු ළමයි අඩුමගානෙ මාස හයක්වත් එක දිගට කොස් කපනව. එතනිං ගිහාම නිල් කට්රොල් මල් වලට වතුර දාන ළමයිත් එහෙම්මම තමයි.

අන්න ඒකට සිත්තමී...දවසට එක ගානෙ කතාව දානව. හරි එහෙනං ආය ආරලු බූරළු ඔනැන්නෙ නෑ. කියවලාම බලන්ටකො. වැනේසා සහ එඩ්වඩ්ගේ කතන්දරේ....එකෝමත් එක කාලෙක කතාවක්...

Thursday, August 20, 2015

341. ගාල්ලේ ආශ්චර්‍යය නොහොත් සංගාට ලැබුණු හොඳම සමුගැනීමේ ත්‍යාගය. The Miracle of Galle & Most Probably The Finest Farewell Gift Ever to Sanga.


Google Images

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අළු බඳුන උදෙසා පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය කියන්නෙ ක්‍රිකට් ගැන යම්තමට හෝ උනන්දුවක් තියෙන ලෝකෙ කොහේ හෝ වාසය කරන ඕනම රසිකයකුගේ සිත ඇද බැඳ තබාගන්නක් නිසැකවම. මාරුවෙන් මාරුවට දකුණු ගිම්හාන සෘතුව බලපැවැත්වෙන සමයේ ( නොවැම්බර් සිට පෙබරවාරි දක්වා ) ඕස්ට්‍රේලියාවෙත් උතුරු ගිම්හාන සෘතුව බලපැවැත්වන සමයේ ( මැයි මස සිට අගෝස්තු මස දක්වා ) එංගලන්තයෙත් පැවැත්වෙන මේ ටෙස්ට් තරඟාවලියේ ඉතිහාසය වසර 1882-83 දක්වා දිවෙන්නක්.

ඉස් ඉස්සෙල්ලාම මම අළු බඳුන තරඟාවලියක් ගැන උනන්දුවුනේ 1974-75 සීසන් එකේදි. ඒ පාර ඕස්ට්‍රේලියාවෙ පැවතුනු තරඟාවලියෙන් ඔවුන් ජයගත්තා තරඟ 4 - 1 වශයෙන්. එක තරඟයක් ජය පරාජයෙන් තොරව අවසන් වුනා. ඩෙනිස් ලිලී සහ ජෙෆ් තොම්සන් යන ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් දෙදෙනාගෙ අධිවේගී බවුන්සර් පන්දු ඉදිරියේ එංගලන්ත පිතිකරුවන්ට සිදුවූයේ බොහෝවිට ලකුණු ලබාගන්නට නොව තව ජීවිතය බේරාගන්නට සටන් කරන්නට.

එදා ඉඳල පැවැත්වුනු හැම අළු බඳුන තරඟාවලියක් ගැනම මම බොහොම උනන්දුවෙන් හොයා බැලුව. අළු බඳුන තරඟාවලියක් පැවැත්වෙන්නෙ වසර හතරකට වරක්. 

අවසාන වරට 2013 වසරෙ එංගලන්තෙ පැවැත්වුනු තරඟාවලිය එංගලන්තය 3 - 0 ලෙසින් ජයගත්තා. තරඟ පහකින් සමන්විත වුවුනු තරඟාවලියෙ තරඟ දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වුනා.ඒ එක්කම 2013-14 වසරේ ඕස්ට්‍රේලියාවෙ ඊලඟ අළුබඳුන තරඟාවලිය පැවැත්වුනා. 3 - 0 ලෙස එංගලන්තයේදී පරාජයවී යන්තමට මාස හතරකට පසුව පවැත්වුනු මේ තරඟාවලියෙන් ඕස්ට්‍රේලියාව 5 - 0 ලෙස ජයගත්තා.

සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියා - එංගලන්ත තරඟාවලියකදි මගේ සහයෝගය හිමිවන්නේ තරඟාවලිය ජයගනීවියැයි සිතිය නොහැකි කණ්ඩායමට. ඉංගිරිසියෙං කිව්වොත් Underdogs ලට. කොහොමත් ඕස්ට්‍රේලියා - එංගලන්ත විතරක්ම නෙවෙයි ඕනම තරඟාවලියකදි ලංකාව සහභාගී නොවන්නේනම් සහ ඒ තරඟ කරන කණ්ඩායම් දෙකම එක්ක මගේ විශේෂ අමනාපයක් හෝ මනාපයක් නැත්නම් මගේ සහයෝගය අනිවාර්‍යයෙන්ම පරදියි කියල හිතන කණ්ඩායමට තමයි.මම හිතන්නෙ අපිත් මතක ඇති කාලෙක ඉඳල අන්ඩර්ඩෝග්ස්ල හින්ද වෙන්න ඇති සමහරවිට.

ඕස්ට්‍රේලියාව එක්ක 1995 ඉඳල පැවත එන පරණ කෝන්තරයකුත් තියනව වුනත් ( මුරලිගෙ කේස් එක මතකයි නේද? ඩැරල් හෙයාර් සහ ඊට පස්සෙ රොස් එමර්සන් ) ඔය Supporting The Underdogs Syndrome එක හින්දම 2013 එංගලන්තෙ තරඟාවලියෙදි මම ජයග්‍රහණය ප්‍රාර්ථනා කලේ ඕස්ට්‍රේලියන් කණ්ඩායමේ. ඒත් මොකද කරන්නෙ ඉතින්? ඕස්ට්‍රේලියාව පැරදුනා. හැබැයි ඒ එක්කම ඕස්ට්‍රේලියාවෙ ගහපු තරඟාවලියෙන් ඕස්ට්‍රේලියාව විශිෂ්ඨ ජයක් ලබල මගෙ බලාපොරොත්තු ඉෂ්ඨ කලා.

ඊට පස්සෙ 2015 ලෝක කුසලාන එහෙම දිනල ඕස්ට්‍රේලියාව ආයම අංක එකට ආව. එංගලන්තෙ ලෝක ශූරතාවයෙන් මුල් වටයෙන්ම පැරදිල ගෙදර ගියා. ඔන්න ආයෙම මගෙ ප්‍රෙෆරන්ස් එක වෙනස් වුනා. එංගලන්තෙ දැන් අන්ඩර්ඩෝග්ස්ල. එනිසාවෙන් සුපුරුදු ලෙස මගේ සහයෝගය එංගලන්තෙට ඒ කියන්නෙ අන්ඩර්ඩෝග්ස්ලට.

තරඟාවලිය පටන් ගත්තෙ ජූලි අටවෙනිද. කාඩීෆ්වල තිබ්බ පළවෙනි ටෙස්ට් එකෙන් එංගලන්තෙ ලකුණු 169 කින් දිනුව. ලෝඩ්ස් පිටියෙ තිබ්බ දෙවෙනි තරඟෙ සම්පූර්ණයෙන්ම ප්‍රථිපලේ කණපිට ගහල ඕස්ට්‍රේලියාව ළකුණු 405 කින් දිනුවෙ. හෙහ්...සෙල්ලං ගානකින් එහෙම නෙවෙයි හොඳද? ඊ ළඟට තිබ්බ තුන්වෙනි තරඟෙන් එංගලන්තෙ විකට් අටකින් දිනුව. දැන් තරඟ තුනයි තත්වය එංගලන්තෙ 2 සහ ඕස්ට්‍රේලියාව 1 යි. තරඟාවලිය අඩුම ගානෙ ජය පරාජයකින් තොරව හෝ අවසානයක් කරගන්න නම් ඕස්ට්‍රේලියාව ඊලඟ තරඟය ජය ගන්න වෙනව. නැත්තං අඩුමගානෙ ජයපරාජයෙන් තොරව ඉවර කරගන්න හෝ ඕනෙ. 

අම්මට සිරි.......අහෝ මේ ලොව කොතරම් කූරද? පළවෙනි දවසෙ දවල් කෑමට තරඟය නවත්වන්ට ඉස්සෙල්ල ඕස්ට්‍රේලියාව ඕල් අවුට්. ලකුණු?..හෙහ්...හෙහ්..ලකුණු 60 යි. ඔක්කොම ඕවර් 18.3 යි ෆේස් කලේ. කොහොමද ආතල් එක? අන්න ක්‍රිකට්..කිරිකැට් කිරීඩාවේ ආවේණික අනපේක්ෂිතතාව…The Sheer Unpredictability of Cricket.

කොහොම හරි අන්තිමට එංගලන්තෙ ඉනිමක් සහ ලකුණු 78 ක පරතරයක් ඇතුව දිනුව. දැන් මේ මොහොත වෙනකොට එංගලන්තෙ කොහොමත් අළු බඳුන දිනල 3 - 1. පස්වෙනි සහ අවසාන තරඟය මේ සතියෙ බෘහස්පතින්දා ( 20 වෙනිදා ) ඕවල් පිටියේ ආරම්භ වෙනව. ඒ තරඟය මොන විදිහට හරි ඕස්ට්‍රේලියානුවන් දිනුවත් වැඩක් නෑ. එංගලන්තෙ අළු බඳුන දිනල ඉවරයි.

මම මේ තරමට අළු බඳුන තරඟාවලිය ගැන විස්තර කිව්වෙ මේ දවස්වල ඉන්දීය කණ්ඩායම ලංකාවට ඇවිල්ල හිටියට මට ඒ ගැන කිසිම උනන්දුවක් තිබ්බෙ නැති හින්ද. ගිය මාසෙ ආපු පකිස්තානෙ එක්ක ගහපු ටෙස්ට්, එක් දින සහ විස්සයි විස්ස තරඟාවලි තුනම අපි පැරදුනා. ඒකෙනුත් අන්තිම ටෙස්ට් එකේ පකිසො විකට් 3 ක් විතරක් වැටිල තුන්සිය අසූපහක්ද කොහෙද ගහලයි දිනුවෙ. ඒ විලි ලැජ්ජා නැති පරාජයෙන් පස්සෙ මට ලංකාවෙ ක්‍රිකට් එපාම වුනා. මට ඔහොම කාලෙන් කාලෙට ක්‍රිකට් එපාම වෙනව. පස්සෙ ආයෙමත් හරියනව ඉතිං.....හෙහ්,හෙහ්,

ඉන්දියන් කණ්ඩායමත් එක්ක පළවෙනි ටෙස්ට් එක පටන් ගත්තෙ පහුගිය බදාදා..12 වෙනිද. ඇන්ජලෝ ගොයිය ටොස් එක දිනල ඉස්සෙල්ලාම බැට් කලා. එදා උදේ ඔෆිස් ගිහිල්ල යන්තමට මුල ඕවර් දෙකක් විතර බලල මම ගියා අපේ එම්බසි එකට. අපි වැඩ කරන කම්පනි එකෙන් අයින් වෙලා අලුත් එකකට යනවනම් ඒ මාරුවීම ලියාපදිංචි කරන්න ඕන මෙහෙ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙ. ඒකට තමන්ගෙ රටේ තානාපති කාර්‍යාලයෙන් චරිත සහතිකයක් වගෙ එකක් ගන්ට ඕන. ඒකට කියන්නෙ Clearance certificate කියල. 

ඉතිං ඕකක් ගන්න ඕන හින්ද මම ගියා එම්බසි එකට. ඒකට අදාල අයදුම් පත්‍රයකුත් අරගෙන සහ ඒ අදාල විස්තර අහගෙන ආපහු ඔෆිස් එකට ඇවිල්ල ඒ ගමන හදිසි වැඩ වගේකට හිරවුනා. ඒකත් කරල දාල හවස ඕෆ් වෙලා යන්ට කිට්ටුවයි ඔන්න ආයෙම මැච් එක මතක් වුනේ. දනිපණි ගාල ක්‍රික්ඉන්ෆෝ ගිහිල්ල බැලුවා..ඈහ්..මෙන්න යකෝ ඉන්දියාව 128 / 2 කියල තියනව. මොකක්? එතකොට අපි? දෙයියෝ සාක්කි..ඔය තියෙන්නෙ කෙළවගෙන . අපි ඕල් අවුට් 183 යි. මදැයි!!!

පහුවදා උදේ වැඩ කරන ගමං ඇහැ දාල විඩෙං විඩේ බැලුව. මොන? කෝලියි ධවාන් ගොයියයි දෙන්නම පටන් ගත්තෙ නැතෑ දිගට හරහට දෙන්ට . එවුං දෙන්නම සෙන්චරීස් ගැහුව. ඉන්දියාව 375 ක් ගැහැව්ව. ඒ කරල අපිට දවස ඉවර වෙන්ට මුහුණ දෙන්ට තිබ්බෙ ඕවර් 4 ක් විතරයි. අපරාදෙ කියන්ට බෑ ඇස් වහක් කටවහක් නෑ ඒ බෝල 24 දාල ඉවර වෙනකොට අපි ලකුණු 5 යි විකට් දෙකයි. සංදුක්කාරේ!!

පහුවදා සිකුරාදා මෙහෙ නිවාඩුනෙ. බෘහස්පතින්ද රෑ සුට්ටං ආතල් එකකුත් අරගෙන නිදාගන්න කොට රෑ එකත් පහුවෙලා. සිකුරාද නැඟිටිනකොට නමයයි. නාල කියල කාරිය ගේ දොර අතුපතුගාල දාල රෙදි පෙරෙදි එහෙම හෝදල කියල උදේටත් පාං කෑල්ලක් එහෙම කාල කරල උයන්ට පටන් ගත්ත.සිකුරාද මම උයනව දවස් දෙහෙකට වගෙ ඇතිවෙන්ට මාළු පිණි. ඒ කරල ප්ලාස්ටික් පෙට්ටි වල දාල දානව ෆ්‍රිජ් රාජයා ඇතුලෙ. දිනපතා රයිස් කුකර් එකේ හාල් හුණ්ඩුවක් තියාගත්තම අර කලින් උයාගත්තු එව්ව එක්ක කන්ටයි තියෙන්නෙ. ක්ෂුද්‍ර තරංග වලිං රත් කරගත්තම ආය නෑ මේ දැං ඉව්ව වගෙ තමයි. මේ දවස්වල මගෙ යාලුව නිවාඩුවට ගිහිල්ල. මම විතරයි අපාට්මන්ට් එකේ ඉන්නෙ. තනියම ඉන්නකොට දිනපතා උයනව කියන එක මරන්නා වගෙ.

රයිට් ඉතිං මම ඔන්න ඉවුම් පිහුම් පටන්ගත්තයි කියමුකො. ඒ අතර ලාවට වගෙ පොඩි ආතල් එකකුත් ගන්නව. පොඩි සිංදුවකුත් කාරිය කියනව. මම ඒ කාලෙ ඉඳල බොහොම කැමති ගීතයක්. ගායකයා ඇවිල්ල ඩබ්ලිව්.ඩී. ආරියසිංහ.

" මා ලඟටම තව ලංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා..."

ඉතිං ඔන්න ඕකත් හෙමිහිට මුමුණමින් ඉවුම් පිහුම් කරගෙන යනවයි කියමුකො. ඔන්න එක පාරටම මතක් වුනා..ජලාහුටා..මැච් එකකුත් තියනව නේද? පට ගාල ලැපා ඔන් කරල බැලුව. අම්මටසිරි ඔය තියෙන්නෙ මලක් වගෙ...ලන්ච් එකට මැච් එක නවත්තල ලංකාව 108 විකට් 5 යි.සංගා මැතිව්ස් දෙන්නම අවුට්. චන්දිමාල් සහ තිරිමාන්න ඉන්නෙ විකට් එකේ. අපි තවමත් ඉන්නෙ ඉන්දියාවට වඩා ලකුණු 84 ක් පිටිපස්සෙ. නෝ හෝප්ස්. කිසිම බලාපොරොත්තුවක් තියාගන්නට කොහෙත්ම නොහැක. චන්දිමාල් කාලෙක ඉඳලම ෆෝම් එකේ නෙවෙයි ඉන්නෙ. අනික තිරිමාන්නත් එහෙමයි. මේ ටිකේ මනුස්සය ගැහුවෙම නෑ..හ්ම්ම්ම්ම්...ඉතිං මොකද කරන්නෙ? මොනව කරන්ටද? මැරෙන්ටයි ආය? දුක තමයි..රයිට් අපි දුක තුනී කරගමු. තව පොඩ්ඩක් ගත්ත. ආයම අර සිංදුවත් කිව්ව.

" සඳගිරි පව්වේ පෙරදා සංසාරේ..සැතපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ..මහළු වෙලා අද සඳ වාගේ..යෞවන රෑතරු බලාන උන්නාවේ...." 

අම්මට උඩු නයා කිව්වලු.....බෝංචි එක තාම ළිපේ නේද? යකෝ ගින්දර අඩුකලෙත් නෑ නේද? අඩියට දෙකට දුවල බලනකොට හොඳටම හිඳිල යන්තමට අඩියත් අල්ලගෙන ඇවිල්ල. පට ගාල තව කිරි ටිකක් දාල ආයම හැඳිගාන්ට ගත්ත. සික් මට මතක් වෙන්නෙම ගාල්ලෙ මැච් එක.සංගා ගාල්ලෙ ගහන අන්තිම මැච් එක. සංගා දැනට ඩබල් සෙන්චරීස් 11 ක් ගහල තියනව. ඩොන් බ්‍රැඩ්මන්ගෙ තමයි ලෝක වාර්තාව. ඩබල් සෙන්චරීස් 12ක්. 

සංගගෙ අන්තිම මැච් දෙකේදි ( මේකයි, ඊට පස්සෙ 20 වෙනිද සරවනමුත්තු එකේ ගහන ඉන්දියාව එක්ක දෙවෙනි ටෙස්ට් එක සංගගෙ අන්තිම මැච් එක ) තව එක ඩබල් සෙන්චරියක් තලා ගත්තනං බ්‍රැඩ්මන්ගෙ රෙකෝඩ් එක සමකරන්ට තිබ්බ. ෂෙහ්, ඒ රෙකෝඩ් සමකෙරිලි තියා දැං අපි මැච් එකත් ඉනිංස් වලින් පරදින්නයි යන්නෙ. ඒකත් ලෝක විලි ලැජ්ජාවෙයි කියන්නෙ තුන්වෙනි දවස ඉවර වෙන්ටත් ඉස්සරවෙලයි පරදින්ට යන්නෙ..සිකේ.....අම්මපල්ල..මේ වෙලාවට තමයි.

ඔන්න ඔව්ව වැඩක් නෑ. තව එකක් ගමු . සිංදුවත් කියමු. 

" කල්ප කාල යුග අප අතරින් ගෙවිලා..අපි යමු මේ රෑ අනාගතය සොයලා..නලමුදු සුවඳේ නිදන මලේ..මට මල්…"

සික් මැච් එකම තමයි මතක් වෙන්නෙ..හ්ම්ම්ම්. දැන්නං මයෙ හිතේ වැඩේ ඉවරම ඇති...ඉනිංස් වලින් පැරදිලා ඇති ආය ඒකෙ දෙකක් නෑ. කෝකටත් දාලම බලමු..ඈ????..මෙන්න යකෝ වැඩේ...150 ක් ගහල විකට් පහට...චන්දිමාල් සහ තිරිමාන්න ගහනව හිටු කියල. හෙහ්...සිංදු ඔක්කොම එතනිං ඉවරයි. ෂොට් එකකුත් වක්කරගෙන මම ඉඳගත්ත ලැප් එක ඉස්සරහ. 

ආය මොනවද? චන්දිමාලයා ගැහුව කියන්නෙ ගැහිල්ලක්. ඇඬෙන කොලිටි එකට. තිරිමාන්න අවුට් වුනාට පස්සෙ ආව මුබාරක්. මිනිහත් ගැහුව 49 ක්. අන්තිමට චන්දිමාල් නොදැවී 162. ඉන්දියාවට ඉලක්කය 176ක්. එදා දවසෙ තරඟය ඉවර වෙන්ට ඉස්සරවෙලා රංගන හේරත් ඉන්දියාවෙ විකට් එකකුත් ගත්ත. අන්න එහෙමනෙ ළමයි වැඩ කටයුතු කරන්ට ඕන. දාන්ට බලන්ට පහක්!

ඊළඟට තරඟයේ හතරවෙනි දවස නොහොත් සෙනසුරාදා. සෙනසුරාද කියන්නෙ අපි වැඩ. ඒත් ඔය හෙමිහිට විනාඩි තුනෙන් හතරෙන් වගෙ මැච් එක දාගෙන බැලුව. හෙහ්..ආය මොනවද? ඉන්දියාවට කට උත්තර නෑ. ෂර්මා, ධවාන්, කෝලි රහේන් ඔය ඔක්කොමලට කරකියාගන්ට දෙයක් නැතිවුනා රංගන හේරත් සහ තරිඳු කෞෂාල් ගෙ බෝලිං වලට. ලංකාව ලකුණු 63 කින් දිනුවා. මේක ඇත්තටම අපේ කන්ඩායමෙන් සංගාට දෙන්ට පුලුවන් ඉහළම සමුගැනීමේ ත්‍යාගය කියල මට හිතෙනව. මුල ඉඳලම හතර අතේ ගහල කිසිම ගේමක් නැතුව දිනනවට වඩා ඇඟට පුදුම හයියක් ගටක් එන්නෙ මේ වගෙ නෝ හෙප්ස් මැච් එකක් අන්තිම මොහොතෙ නොහිතූ විදිහට දිනාගත්තම.

තුන්වෙනි දවසෙ ලන්ච් එක වෙනකල් ගේම ගෙනිච්චෙ ඉන්දියාව. ඊළඟට එදා ඉතුරු පැය හතරයි පහුවදා හතරවෙනි දවසෙ ලන්ච් එකෙන් පස්සෙ පැයක්වත් ගියේ නෑ. අපි දිනුවා..අන්න එව්ව තමයි ළමයි ගේම් කියන්නෙ. 

සංගා අද ( අගෝස්තු 20 වෙනිද ) තමන්ගෙ ටෙස්ට් ක්‍රිකට් ජීවිතයෙ අන්තිම තරඟයට සහභාගි වෙනව. අද තරඟයත් දිනාගන්ට ලැබුණොත් ඒක අපේ කණ්ඩායමෙන් සංගට දෙන්ට පුළුවන් හොඳම තෑග්ග වේවි. ඒත් ක්‍රිකට් ක්‍රීඩාව කියන්නෙ ඉතාම අවිනිශ්චිත ක්‍රීඩාවක්. ඒ හින්ද අද ඇරඹෙන තරඟය මොනව වෙයිද කියන්ට බෑ. අන්න ඒ හින්දයි මම මේ සටහන අද තරඟය පටන් ගන්ට ඉස්සෙල්ලා ලියල දාන්ට ඕමනාය කියල හිට කල්පනා කලේ. ඒ කොහොම උනත්, අද තරඟය මොනව උනත්, ආදරණීය සංගා ඔබට බොහොමත්ම ස්තූතියි!!!

For more than fifteen years you have given us thousands of moments of sheer joy. For a very very long time you would be in our minds even though you won't be wearing the golden lion of Sri Lanka ever again. Thank you Sanga the perfect cricketer and the perfect gentleman!!!

**************************

රයිට් මම අර කලින් කිව්වෙ....අර උයන ගමං ඒ වගේම පොඩි ආතල් එකකුත් ගන්න ගමං කිව්ව සිංදුව. කැමතිනං ඒක අහල බලන්ටකො ආයම සැරයක්. කවදවත් අහල එපා වෙන්නෙ නැති ගීතයක්.


Thursday, August 13, 2015

340. මැතිවරණ මතක සටහන්...1977 සිට 2005 දක්වා.

Google Images
කොස් කපන ළමයගෙ වග විස්තරෙත් ලියල ඉවරයක් කරල දාන්ට ඕන. ඒ අස්සෙ නිල් කට්රොල් මල්වලට වතුර දාන ළමයෙකුත් ඉන්නව. ගුරුවරියක සමඟ මගේ ජීවිතේ ගැනත් මොක මොකව හරි ලියවෙන්ටත් එපාය. අපොයි අන්දර මල් දමේ අර අමා යෝදි පටං ගත්තු කතාව ඉවර කරන්ටත් තියනව. සිත්තමී ලොක්කි කොයි වෙලෙත් ඒක මතක් කොරනව. හපොයි මේ අංගනාවියංගෙං මට බොහොම අපලයි. මයෙ කේන්දරෙත් එහෙම තියනව.

මේ ඊයෙ පෙරෙයිද කියවපු සෝක් පොත් දෙක තුනක් ගැනත් පොඩි විස්තරයක් ලියන්ට කියලත් හිතේ තියනව.කාර්තේජයේ හැනිබල් රෝමය ආක්‍රමණය කරපු එක ගැන ලියවෙච්චි බෙන් කේන්ගෙ තුන් ඈඳුතු කතාව එකක්.අනික ග්‍රෙගරි ඩේවිඩ් රොබට්ස්ගෙ " ශාන්තරාම්".  ඊටත් පස්සෙ එළිසබෙත් ගිල්බට් ලියපු ස්වයංලිඛිත චරිතාපදානෙ " Eat, Pray & Love"

ඒ ඔක්කොම අස්සෙ ඔස්ටේලියන් ටිම් එකට නැතිවෙන්ට දෙනව එංගලන්තෙ සුද්දො. හෙහ්..ඔක්කෝටම වඩා ආතල් එක ඒක. ඒ ගැනත් ලියන්ට පටං ගත්ත ඒකත් එතනමයි. හෙහ් අන්න ඒ අස්සෙ ඉන්දියාව දෙනව අපිට නැතිවෙන්ට ගාල්ලෙදි. මොකද ඉතිං කොරන්නෙ?

අනිත් අතට ඔය මොක කොරන්ටත් ඉන්නෙ මේ තනි මං විතර නෙව….:)

මහ චන්දෙ ලබන සවුද හින්ද මැතිවරණ උණුහුමත් නැඟල යනව. ගරු කටයුතු නීලකාස මුදියන්සේලාගේ බුරුසුපාල ගැන නං කතා කරල වැඩක් නෑ. ඒ මනුස්සයනං විලි ලැජ්ජාව කියන එක යන්තමට ගෑවිලාවත් තියන කෙනෙක් එහෙම නෙවෙයි. දේසපාලුවො කියන සත්තු කොට්ටාසයට විලි ලැජ්ජාව කියන එක නම් නෑ තමයි. ඒක මාත් දන්නව . ඔබ තමුන්නාන්සෙලත් හොඳාකාරව දන්නව. 

ඒත් මේ මනුස්සය ඒ විලි ලැජ්ජා නැතිකමේ නව නැම්මක් අපිට ප්‍රදර්සනේ කරනව. විලිබිය රහිත භාවයේ නව නැම්මක් නව මානයක් ඔබ වෙත ඉදිරිපත් කරමින් මෙන්න රට වටා රජ ගමනේ අපේ හිටපු මහරජ තුමා...ජයවේවා! ජයමවේවා!! ජයෙන් ජයම වේවා!!!..මහරජාණනේ! හොර දෙටුවාණනේ!

ඉතිං ඔය මොකව ලියන්ට ගියත් සවුද පහුවෙනකල්, ඒ කියන්නෙ මේ චන්දෙ දෙකිං එකක් වෙනකල් ලියන්ට ගන්න කිසිම අටමගලයක් හරියකට ලියවෙන්නෙ නැතුවා. ඒ හින්ද ප්‍රමුකස්තානය දියයුතු වැඩ ඉස්සෙල්ල කරල ඉම්මු. රයිට් ප්‍රමුකස්තානය දියයුතු වැඩ මුලිම්ම කියල කිව්වම මතක් වුනේ. මේ ඇවිල්ල මයෙ අතිජාත මිත්ත්‍රයෙක් ගැන සුට්ටං කතන්තරයක්. යාලුවගෙ නම ඇල්බට්..අපි කිව්වෙ ඇල්බා කියල.

මම ඔය කියන මගෙ යාලුව, ඒ කිව්වෙ මේ ඇල්බා බැඳල ලමයි දෙන්නෙක් එහෙමත් ඉන්නව. ගෙදර යන්නෙ මාසෙකට එකාමාරකට විඩයක්. ගෙවල් මේ හොරොව්පොතානෙනුත් එහාට යන්ට ඕන පැය බාගයක් විතර බස් එකේ. ඔපිස් එකෙං උදේ පිටත් උනහම ගෙදර යනකොට රෑ අට නමය වෙනව. හද්ද පිටිහර ගම් පලාත් නෙව. ලයිට් එහෙමත් නෑ. ලාම්පු තමයි.

ඉතින් ඔය කාලෙකට පස්සෙ ගෙදර ආහම ගෙදර ගෑණු මනුස්සයගෙ තියනවනෙ පැමිණිලි සහ දුක් ගැනවිලි සම්බාරයක් කියන්ට. ගෙදර වහලෙ අලුතෙන් හෙවිල්ලන්ට ඕනය, වැට තුන් හතර පොලකිම්ම හරක් පැනල කඩා දාලය. කුස්සියෙන් එලියට බහින දොර සරනේරු බුරුල් වෙලා අඩමානෙටය තියෙන්නෙ..ඔය ආදී වසයෙන්...

ඇල්බ ඉතිං කරන්නෙ ගෙදර ගිහිල්ල බත් එහෙම කාල ඇඳේ දිගාවෙලා ඉන්නව උඩ බලාගෙන … " හ්ම්ම්ම්ම්...වහළත් අලුතෙන් හෙවිල්ලල දාන්ට ඕන." හාමිනේ දුක්ගැනවිල්ල පටං ගන්ට කලිං ඇල්බම පටං ගන්නව. " වැටත් අබලං වෙලා නේද? ඒකත් හදල දාන්ට ඕන.කුස්සියෙ දොර පිනත් අලුතෙං දාන්ට ඕන..." එහෙම කියල පපුව පුරවල හුස්මක් එහෙම පහලට දානව.." හ්ම්ම්ම්ම්. එව්ව හෙටනෙ..දැං එමු බලන්ට මෙහාට ඔය ලාම්පුව එහෙම නිවල දාල.... "

ප්‍රයෝරිටයිසිං නොහොත් ප්‍රමුඛතා අනුපිළිවෙල කියන එක තීරණය කරන්නෙ අන්න එහෙමයි. ඒ හින්ද අපෙ ඇල්බගෙ ආදර්ශය අනුගමනය කරල මමත් හිතුව මේ දවස්වල මේ ඡන්ද උණුහුමත් එක්ක ඡන්ද කතන්දරයක්ම ලියන්නම්ය කියල. නෑ..නෑ..කලබල වෙන්ට එපල්ල. අබයාරාමයෙ කතාවක් නෙවෙයි. අපේ හිටපු රජතුමා මේ දවස්වල කියන විකාර කතාවලට නම් උත්තර දෙන්ටවත් වටින්නෙ නෑ. ඔය මරු කියවනව කියල කතාවක් තියෙන්නෙ. අන්න ඒක තමයි එතුමට වෙලා තියෙන්නෙ.

රයිට් එතුමගෙ පයිත්තියං ගැන ඒ ඇති. අපි කතා කරමු මැතිවරණ ගැන මගේ අත්දැකීම්. ඉස්සෙල්ලාම මට හීනෙං වගෙ මතක තියෙන්නෙ 1970 මහ ඡන්දෙ. ඩඩ්ලි මහත්තයගෙ එ.ජා.ප.ය පරදවල සිරිමා මැතිණියගෙ සමගි පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුව ඒ මැතිවරණය ගැන මට මතක තියෙන්නෙ අපේ ගෙදර හතර පස් දෙනෙක් වටවෙලා ට්‍රාන්සිස්ටර් රේඩියෝ එකේ රෑ තිස්සෙ ප්‍රතිපල අහනව විතරයි. ඒ කවුද කියලවත් මට මතක නෑ ඇත්තම කිව්වොත්. අප්පච්චි ඡන්ද ගණං කිරීමේ කටයුතුවලට ගිහිල්ල පහුවදා උදේ නමයත් පහුවෙලා ආපහු ගෙදර ආවෙ. අන්න ඒකනං ඔන්න මට අපූරුවට මතකයි.

ඊට පස්සෙ 1977 මහ මැතිවරණය. අවුරුදු පහෙන් පහට දිගටම තියාගෙන ආපු මහ ඡන්දෙ 1975 අවුරුද්දෙ තිබ්බෙ නෑ. 1972 අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත්තු නිසා ආණ්ඩුවෙ නිල කාලය ගණං ගන්නෙ 1972 ඉඳල අවුරුදු පහක්ය කියල කොල්වින් ගොයිය ගෙනාපු කැකිල්ලේ තර්කයක් පිළිඅරගෙන ( කොල්වියාගෙ අර ගොයං කොලේට මුවා වෙලා වෙඩි තියාපු කතන්දරේ එහෙම ඇත්තමදෝ කියල හිතෙන්නෙ වෙලාවකට මනුස්සයගෙ ඒ වගෙ කතා හින්ද තමයි ) සිරිමක්කා කරපු වැඩේ 1975 තියන්ඩ ඕන චන්දෙ අවුරුදු දෙකක් කල්දාගත්ත. 

හැබැයි ඒ ගොං වැඩෙං උනේ ආණ්ඩුව හත්පලේ ගාගත්ත වගෙ වැඩක්. නියම කාලෙට 75 අවුරුද්දෙ චන්දෙ තිබ්බනං සමගි පෙරමුණ ඔය තරං කැත විදිහට පරදින්නෙ නෑ. 1977 දි අවුරුදු හතකට පස්සෙ චන්දෙ තියල සිරිමා නෝනට හම්බ වුනේ ආසන අටයි. ජේ ආර්. පප්පගෙ යූ.ඇන්.පී එකට මන්ත්‍රී ධුර 168 න් 140 ක් ලැබුණා. පප්පා බලෙං මත්වෙලා පිස්සු කෙලියෙ ඔය 5/6 බලය හින්දයි. එහෙම බලනවනම් පප්පා බලයෙං මත්වෙලා මේ රටට ඊට පස්සෙ කරපු විනාසෙට සිරිමා ලොක්කිත් අනියම් විදිහට වග කියන්ට ඕන.

1977 අවුරුද්දෙ මම ඉස්කෝලෙ ගියේ කොළඹ. මට හොඳටම මතකයි චන්දෙ තිබ්බෙ ජූලි 21 වෙනිදා. චන්දෙට දවස් තුනක් හෝ හතරක් ඉස්කෝල වැහැව්ව හින්ද මම කලින්ම ගෙදර ගියා. එතකොට අපි හිටියෙ අනුරාධපුරේ. එදා ඒ චන්දෙට ගෙදර ගිය ගමනෙ තවත් විශේෂයක් තියනව. ඒ වෙනකොට මම අවුරුදු දෙකක් වගෙ ගෙදරින් පිට හිටියට කවදාවත් තනියම ගමනක් බිමනක් ගිහිල්ල නෑ. වාරාවසාන නිවාඩුවට එහෙම නැත්තං දීර්ග සති අන්තයකට ගෙදර ගියේ, ඒ වහේම ගිහිල්ල ආපහු බෝඩිමට ආවෙ එක්කො අප්පච්චි එක්ක. එහෙම නැත්තං අපෙ ගෙදර හිටිය මාමා එක්ක.අම්මගෙ විවාහ නොවිච්චි අයිය කෙනෙක් අපේ ගෙදර හිටිය මම දන්න කාලෙ ඉඳල. අන්තිමට අපේ ගෙදරමයි ඒ මාම නැතිවුනෙත්.

ඉතින් ඔය 77 ජූලි මාසෙ මහ චන්දෙට ගෙදර ගිය ගමන තමයි මම හා හා පුරා කියල ඉස් ඉස්සෙලාම, නමෝ විත්තියෙන්, දෙයියනේ කියල තනියම ගෙදර ගියෙ. හවස 3.15 ට කොටුවෙන් පිටත්වෙන රජරට රැජිනෙ මම ගියෙ. ඒ යද්දි ස්ටේෂන් එක ඉස්සරහ පේව්මන්ට් එකෙන් ගත්ත චන්ද ප්‍රතිඵල සටහන් කරන්ට විශේෂයෙන් මුද්‍රණය කරපු පොතක්. මුල කවරෙ පරණ පාර්ලිමේන්තුවෙ චිත්‍රයක් තිබ්බ. ඇතුලෙ චන්ද කොට්ටාස අනුපිළිවෙලට තිබ්බ අපේක්ෂකයින්ගෙ නම් සහ ඉල්ලන පක්ෂෙත් එක්ක. ඊට අමතරව හැම චන්ද කොට්ටාසෙකම 1970 මහ මැතිවරණ ප්‍රතිපලෙත් සඳහන් කරල තිබ්බ.

ඔය පොතක මිල වුනා මට මතක විදිහට 1.50 වගෙ ගාණක්. නාවල ඉඳල කොටුවට බස් ගාස්තුව සත 30 වගෙ සහ කොටුව - අනුරාධපුර 3 වන පන්තියෙ දුම් රිය ගාස්තුව 8.50 වෙච්චි ඒ කාලෙ පාසල් ශිෂ්‍යයෙකුට ඒක ටිකක් විතර ලොකු ගාණක් වුනත් මම දෙපාරක් හිතන්නෙ නැතුවම එයින් පොතක් ගත්තෙ ඒ කාලෙ ඉඳලම මගෙ තිබ්බ දේසපාලන උනන්දුව හින්දමයි.

ජූලි 21 වෙනිද රෑ ඔන්න මම ලක ලෑස්තිවුනා චන්ද ප්‍රතිපල අහන්ට. අම්මගෙන් සල්ලි ඉල්ලගෙන දවල් කඩේ ගිහිල්ල එවරෙඩි රතු ලේබල් බැටරි කෑලි ගෙනාව හයක්ම. ඒ ඇවිල්ල හදිස්සියෙන් වත් ලයිට් ගියොත්ය කියල. පැන්සල් දෙකක් උල් කරල , අලුත් මකන කෑල්ලක්, පැන්සල් උල් කරන්ට කටර් එකක් එහෙම ලෑස්ති කරගත්ත. දවල්ට කාල නිදාගත්ත පැය තුන හතරක්.රෑ දහයට විතර සාලෙ තිබ්බ පොඩි වේවැල් මේස පොඩ්ඩ උඩ රේඩියෝ සෙට් එක තියල මගෙ මැතිවරණ සටහන් පොතයි පැන්සල් මකන කෑලිත් ඔක්කොම ලං කරගෙන හරි බරි ගැහිල ඉඳගත්ත.

අම්ම වඩේ වගයක් බැදල තිබ්බ. තව කඩල තම්බලත් තිබ්බ. ආ..උණුවතුර බෝතලේට කට කපල තේ එකකුත් හදල තිබ්බ. අප්පච්චි සුපුරුදු පරිදි ඡන්ද ගණන් කිරීමේ කටයුතු වලට ගිහිල්ල. රෑ දොළහ වගෙ වෙනකොට අම්ම, අත්තම්ම ඇතුලු අනික් අය නිදාගන්ට ගියා. මම ඇහැරගෙන එළිවෙනකල් චන්ද ප්‍රතිපල ඇහැව්වා. මුල්ම ප්‍රතිපලේ ආවෙ සමන්තුරේ ආසනයෙ. රෑ 1.30 ට වගෙ මට මතක. එජාපයෙ අබ්දුල් මජීඩ් සමන්තුරේ දිනුව. ඊට පස්සෙ එක දිගට ආසන තිහ හතළිහක්ම දිනුවෙ එජාපෙ. ඉස්සෙල්ලම ශ්‍රී ලංකා එක දිනුවෙ කොත්මලේ. ආනන්ද දසනායක.පහට වගෙ අම්ම එහෙම නැඟිටල එනකොට එජාපෙ ජයග්‍රහනය ඉස්තිරයි.

උදේ හයාමාරට වගෙ මහ සද්දෙට අහල පහල රතිඤ්ඤ පුපුරන්ට ගත්ත. " මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්. මැතිවරණ කොට්ඨාශ අංක..... අනුරාධපුර බටහිර..කේ.ඩී.එම්.සී. බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂය ලබාගත් චන්ද සංඛ්‍යාව ......." අපි ඒ දවස්වල හිටපු හරිය ඒ කිව්වෙ අනුරාධපුර නගරය අයිතිවුනේ අනුරාධපුර බටහිර චන්ද කොට්ඨාශයට. 

මැතිවරණ රාජකාරි ඉවර වෙලා අප්පච්චි ආවෙ උදේ දහයට වගෙ. " අත්තනගල්ල ප්‍රතිපලේ කිව්වද? " අප්පච්චි එනගමන්ම ඇහුව.

" නෑ තවම නෑ.. " 

" මැතිණිත් පැරදෙයිද මන්ද …" අප්පච්චි එහෙම කියල ගෙට ගියා. ශ්‍රී ලංකා එක ආසන අටට බැස්ස ඒ චන්දෙන්. මැතිණිනම් යන්තමට දිනුව.

අපිට සමහර වෙලාවට ජීවිතේ සමහර දේවල් ආයම මතක් කරනකොට ඒ හා සම්බන්ධව කිසිම සම්බන්ධයක් නැති දේවල් මතක් වෙනව නේද? දැං ඔන්න මට 1977 මැතිවරණය සම්බන්ධව එහෙම මතකයක් තියනව. ඒ තමයි සුජාතා අත්තනායක ගයන " බොලං පොඩි නංගි ටිකක් හිටපන් බුලත් විට කන්න නෙවෙයි " ගීතය. එදා රෑ මැතිවරණ ප්‍රතිපල විශේෂ විකාශයෙ ඔය ගීතය ප්‍රචාරය වෙනව මට මතකයි.

82 අවුරුද්දෙ තිබ්බ ජනාධිපතිවරණය වන් හෝස් රේස් එකක්ය, පප්පා නොවැරදීම දිනනවය කියල දැනගෙන හිටපු හින්ද මම නිකම් නිරපරාදෙ කඩල තම්බගෙන රෑ එලිවෙනකල් නිදි මරාගෙන චන්ද ප්‍රතිපල අහන්ට ගියේ නෑ. ඔලුවෙ ඉඳල පෙරවගෙන නිදියල උදේ නැඟිටල ටී.වී. එකේ ප්‍රතිපල බැලුව. ඒ වෙනකොටත් පප්පා දිනල.

අවුරුදු පහෙන් පහට පර්ලිමේන්තු මැතිවරණ පවත්වන සම්ප්‍රදාය ජේ.ආර්. පප්පගෙ 1978 ව්‍යවස්තාවෙන් වෙනස්කලා අවුරුදු හයකට. ඒ අනුව ඊලඟ පාර්ලිමේන්තු චන්දෙ තියන්න ඕන හරිනම් 1983 අවුරුද්දෙ. ඒ වෙනකොට මම නීත්‍යානුකූල නිසි වයස සපිරුණු වැඩිහිටියෙක් සහ ඡන්ද දායකයෙක්. ඒත් පප්ප නටපු ලාම්පු කළගෙඩි නාඩගම හින්ද 1983 චන්දයක් තිබ්බෙ නෑ. නැක්සලයිට් කුමන්ත්‍රණයක් තියනවය කියල අල්ලෙ පැලවෙන පචයක් අතෑරල පප්පා චන්දෙ නොතිය මඟ ඇරියනෙ...හෙහ්,හෙහ්,

මම ඉස්ඉස්සෙල්ලම හාහාපුරා කියල චන්දෙ පාවිච්චි කලේ 1988 ජනාධිපතිවරණෙදි. 

ඒ වෙනකොට අපි අනුරාධපුරෙන් ඇවිල්ල පිළිමතලාවෙ ස්ථිර පදිංචියට.මම රස්සාවක් කරනව.අප්පච්චි විශ්‍රාම ගිහිල්ල. අපෙ ගෙවල් පහුකරල ගම ඇතුලට කිලෝ මීටරයක් වගෙ යන්ට තිබ්බ චන්ද මධ්‍යස්තානෙට.අප්පච්චියි මායි නංගිල දෙන්නයි ගිහිල්ල චන්දෙ දාල ආව. ජේවීපී එක ඒ චන්දෙ වර්ජනය කලා.චන්දෙ දාන්ට යන මිනිස්සු මරන කතාවක් කිව්වට අපේ පැත්තෙ එච්චරම තත්වය දරුණු වුනේ නෑ. අහල පහල අපි දන්න හැමෝම වගෙ චන්දෙ දාන්ට ගියා.

මම චන්දෙ දුන්නෙ ප්‍රේමදාස මහත්තයට. ඒ වෙනකොට යූඑන්පී එක එපා වෙලා තිබ්බ වුනත් ප්‍රේමදාස ගොයිය මොනවහරි කරයි කියන විස්වාසෙ උඩයි එහෙම කලේ.අනික 70-77 කාලෙ මැතිණි එපා වෙච්චි එක, ඒ කාලෙ මම හිච්චි එකෙක් උනත් හිතෙන් මැකිල ගිහිල්ල තිබ්බෙ නෑ. ඒ එක්කම 1989 පෙබරවාරි මාසෙ තිබ්බ පාර්ලිමේන්තු මැතිවරණෙදිත් මම චන්දෙ දුන්නෙ යූ.එන්.පී. එකට.

ඊට පස්සෙ ආවෙ 1994 පාර්ලිමේන්තු මැතිවරණය. ඊට කලින් දකුණු පළාත් සභා චන්දෙදි ආණ්ඩුව පැරදිලා තිබ්බ නිසා අවුරුදු 17 කට පස්සෙ මෙදා පොටේ වෙනසක් කරන්න පුලුවන් වේය කියන බලාපොරොත්තුව අපි හැමෝගෙම හිත් ඇතුලෙ තිබ්බ. ආය අමුතුවෙන් කියන්ට උවමනා නෑනෙ 1994 මහ චන්දෙදි මම චන්දෙ දුන්නෙ පොදු පෙරමුණට ඒ වගේම ඊට පස්සෙ තිබ්බ ජනාධිපතිවරණෙදි චන්ද්‍රිකාට.

ඊලඟට ආවෙ 1999 ජනාධිපතිවරණය. ඒ වෙනකොට මම බැඳල.

" මේ ඔයා කාටද චන්දෙ දෙන්ට හිතාගෙන ඉන්නෙ." චන්දෙට සතියකට වගෙ කලින් අපෙ උන්දැ ඇහුව.ඒ වෙනකොට මම අර කාලයක් වැඩ කරපු අර්ධ රාජ්‍ය ආයතනයෙන් අයින් වෙලා පේරාදෙණිය - ගම්පල පාර හදන පෞද්ගලික සමාගමක වැඩ. 

" රනිල්ට තමයි . මට චන්ද්‍රිකාගෙ වැඩ එපා වෙලා තියෙන්නෙ. අනූහතරෙ අපි මහමෙරක් වගෙ බලාපොරොත්තු තියාගෙන 62% චන්දෙ දීල පත්කරගත්තු අම්මණ්ඩි ඊට පස්සෙ පිස්සු කෙළින්ට ගත්තනෙ. " 

" ඒක තමයි මාත් හිතාගෙන ඉන්නෙ එහෙමයි. රනිල්ට දීල බලනව " ඈ කිව්ව.

චන්දෙට කලින් මම හිතන්නෙ අන්තිම රැස්වීමෙදිද කොහෙද චන්ද්‍රිකාට බෝම්බයක් ගැහුව. මේ අම්මණ්ඩි කලේ මැතිවරණ නීති අමු අමුවෙම කඩ කරල ඇහැකුත් වහගෙන ඇවිල්ල රූපවාහිනියෙන් ජාතිය ඇමතුවා.

" පව් දෙයියනේ…" අපෙ උන්දැ දකුණු අතේ පිටි අල්ලෙන් ඇස් පිහදැම්ම.

" හ්ම්ම්ම්..මොකද දැන් කරන්න හිතාගෙන ඉන්නෙ? චන්ද්‍රිකාටම දීල නිකා ඉන්නවද? " ජාතිය ඇමතිල්ල ඉවර වෙලා මම ඇහුව. 

" ඒක තමයි...අනේ මන්ද…" ඈ කිව්ව. " ඔයා? ……" 

" මේ අම්මණ්ඩි මේ තනිකර නීති විරෝධී වැඩක්නෙ කලේ ජාතිය අමතල.මගෙ තීරණේ වෙනසක් නෑ." 

රනිල් පැරදුනෙ ලක්ෂ හතකින් විතර. චන්ද්‍රිකාගෙ බෝම්බ සීන් එක හින්ද ලක්ෂ තුනහමාරක් අනික් පැත්ත ගැහැව්ව කියල හිතන්ට අමාරුවුනත් බොහෝවිට එහෙම වෙන්ට ඇති කියල මට හිතෙනව.එහෙම හිතුවොත් රනිල් පැරදුනෙ එල්.ටී.ටී.ඊ. බෝම්බෙ හින්ද. ආ..ගෝනි පඩංගුව අස්සට ගියාට පස්සෙ අපෙ උන්දැ චන්දෙ දුන්නෙ චන්ද්‍රිකාටද රනිල්ටද කියල මට කිව්වෙත් නෑ. මම ඇහුවෙත් නෑ.කොටිම්ම අද මේ වෙනකල් මම දන්නෙත් නෑ.

ඊගාවට ආවෙ 2000 ඔක්තෝබර් පාර්ලිමේන්තු මැතිවරණෙ. මම චන්දෙ දුන්නෙ සීනුවට. මේ දෙගොල්ලම එපා වෙලා මට හිතුන වෙනසකටත් එක්ක ජේ.වී.පී. එකට දීල බලන්ට ඕන කියල. ජේ.වී.පී එක චන්ද්‍රිකා එක්ක එකතු වෙලා පරිවාස ආණ්ඩුවක් ගැහුව වුනත් කට්ටියක් කඩාගෙන ගිය හින්ද ආයෙම චන්දෙකට යන්ට වුනා. 2001 දෙසැම්බර් ඒ තියපු චන්දෙන් රනිල් අගමැතිවුනා. ජේවීපී එකට දීල හරියන්නෙ නෑ කියල හිතුනු හින්ද මම ආයම අලියට දුන්නා. ඒ වෙනකොට මම කුකුළේගඟ වැඩ.

රනිලා පිස්සු කෙලියා. පිස්සු කෙලියා කිව්වෙ ආර්ථික කළමනාකරනය පැත්තෙන් එහෙම නෙවෙයි හොඳද? ඒ ටික පොර ගානට කරගෙන ගියා. පිස්සු කෙලියා කිව්වෙ ආන්ඩුව නියමිත කාලයට කලින් විසුරුවන්නෙ නෑ කියල පොරොන්දු වෙච්චි චන්ද්‍රිකාගෙ වචනෙ විස්වාස කරපු එකටයි. ඒ යෝදි යන්තම් අවුරුදු දෙකක් යද්දි යූඇන්පී ආණ්ඩුව ගෙදර යැව්වා.ඊට පස්සෙ 2004 අප්‍රේල් මාසෙ තිබ්බ චන්දෙන් රනිල් පැරදිලා මහින්ද අගමැතිවුනා. ඒ වෙනකොට මම වැඩකලේ පස්සර. මගෙ යාලුවෙක් තේ ෆැක්ටරි එකක් හදන්ට ගත්තු කන්ට්‍රෑක්ට්  එහෙක. 

ඔය වෙනකොට අපි දෙන්න හිටියෙ එයයි උගන්නාපු ඉස්කෝලෙම කෝටස් එහෙක. ඒ පැත්තට තියෙන චන්ද මධ්‍යස්ථානය තියන්නෙ ඒ ඉස්කෝලෙ. ගමනාගමන පහසුව සහ අදාල ප්‍රදේශයේ මැද වගෙ පිහිටා තිබීම හින්දයි හැමදාම ඒ ඉස්කෝලෙ තෝරගන්නෙ ඔය වැඩේට.ඉතිං අපි දෙන්නට පඩි පේළි දෙක තුනක් පාතට බහින එක විතරයි තියෙන්නෙ චන්දෙ ප්‍රකාස කරන්ට.

ආ..තව එකක්..නුවර ඇසළ පෙරහැර කාලෙට දුර බැහැරින් පෙරහැර රාජකාරි වලට එන පොලිස් නිලධාරීන් තිහක් හතළිහක් හැම අවුරුද්දෙම ඔය ඉස්කෝලෙ නවාතැන් ගන්නව. ඒ කාලෙට වෙනම කුස්සියක් පැත්තක හදනව තහඩු වලින්.ඉවුම් පිහුම් ඔක්කොම කෙරෙන්නෙ ඒකෙ. හවසට රෝල්ස්, එළවලු රොටී , පෑන් කේක් එහෙමත් හදනව. අපිටත් ඉතිං නොමිලේම එව්ව හම්බවෙනව හවස තේ වලට. ඒ පෙරහැර ඩියුටි සීන්ස් ටික ආය දවසක කියන්නංකො.

ඊට පස්සෙ 2005 ජනාධිපතිවරණය……

" කාටද මෙයා මේ ගමන චන්දෙ දෙන්නෙ? " අපෙ උන්දැ සුපුරුදු පරිදි ඇහුව.

" රනිල්ට තමයි. " 

" ඇයි ඒ ?...මහින්ද හොඳ නැද්ද? " ඒ වෙනකොට මහින්ද ඔක්කොම ජාතිවාදී බලවේග එකතු කරගෙන රාජ්‍ය බලය උපරිමව යොදාගෙන කැම්පේන් එක ගෙනියනව. 

" මට ඒ මනුස්සය අල්ලන්නෙම නෑ. මහින්ද කොහොමහරි දිනන්ටයි බලන්නෙ. කිසිම ප්‍රතිපත්තියක් තියෙන මිනිහෙක් නෙවෙයිනෙ…. පේන්නෙ නැද්ද? චන්ද දහයක් හම්බ වෙයි කියල හිතෙනව නම්  ඕනම කාපාලුවෙක් ඕනම කයිතාඩුවෙක්ගෙ පස්සත් ඉඹියි. මම කැමති නෑ එහෙම මිනිස්සුන්ට. " 

නීලකාස අපුච්චියගෙ බල ලෝභයෙ දිග පළල මට සක් සුදක්සේ පැහැදිලිවුනේ අදක ඊයෙක නෙවෙයි.

2005 ජනාධිපතිවරණෙදි තමයි මම අන්තිමටම ඡන්දෙ පාවිච්චි කලේ. ඊට පස්සෙ 2010 ජනාධිපතිවරණෙ සහ පාර්ලිමේන්තු මැතිවරණෙ ඒ වගේම මේ අවුරුද්දෙ ජනවාරි 8 තිබ්බ ජනාධිපතිවරණෙදි මම ලංකාවෙ හිටියෙ නෑ.ලබන සඳුදත් එහෙමම තමයි.

************************

පලි - චන්දෙ ගැන පොඩි අනුමානයක් කලොත් මට හිතෙන්නෙ වැඩේ මෙහෙම වෙයි…..:)


UNP     - 108 

UPFA   -  90 

TNA     - 15 

JVP      -  8 

Others  -  4 

 Total   -   225 

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...