Saturday, April 2, 2016

123. පිරුණු කළය සහ පිපිරුණු කළය... සහ තවත් කතා

පිරුණු කළය සහ පිපිරුණු කළය




ඔහු කත් අදින්නෙකි. ඔහු ගෙන යන්නේ වතුර පිරවූ කළ ගෙඩි දෙකකි. එයින් එක කළයක පිපිරුමක් වූ නමුදු අනෙක ඉතාමත් අනර්ඝ තත්ත්වයේ තිබිණ. ඔහු මේ කද ගෙනයන්නේ බෙල්ල පසු පසින් ලීය දමා දකුණු අත පැත්තෙන් පිපිරුම සහිත කළයත් වම් අත පැත්තෙන් අනෙක් කළයත් එල්ලාගෙනයි. දිය පහරේ සිට සෑහෙන දුරකින් පිහිටා තිබූ ඔහු සේවයට බැඳී සිටින මහත්මයාගේ නිවසට ලඟා වන විට දකුණු පැත්තේ කළයේ ඉතිරිව තිබෙන්නේ ජලය හරි අඩක් පමණි. නමුදු වම් පැත්තේ කළය නිරුපද්‍රිත ව එහි ලඟා වේ.

ඉතිං සෑම ගමනාන්තයක් ම අනර්ඝ අන්දමින් අවසන් කරන තමන් ගැන වම් කළය පසු වූයේ මහත් වූ අභිමානයකිනි. නමුදු සැමදා නියමිත ප්‍රමාණයෙන් අඩක් රැගෙන යන තමා පිළිබඳ ව දකුණු කළය වූයේ බොහෝ සෙයින් රිදවාගත් සිතකින් යුතුවය.

මෙසේ කලක් ගත ව ගියේය. මේ කටුක සිත් රිදවීම සමගින් තව දුරටත් රඳනු නොහැකි වූ තැන දකුණු කළය කත් අදින්නා සමග කතා කළේය.

“මට හරි ලැජ්ජයි මං ගැන. මගේ නොහැකියාව ගැන මට ඔබගෙන් සමාව ඉල්ලන්න ඕනෑ”

“ඔබේ නොහැකියාව?... සමාව?... මගෙන්?...” කත් අදින්නා කිසිවක් වටහා ගත නොහැකි වූ ලෙසින් විමසා සිටියේය.

“බලන්න හැම වාරෙම මට පුළුවන් වෙන්නේ ඔබට වතුර භාගයකින් සේවය කරන්න විතරයි. මේ පිපිරුම නිසා ඔබේ මහත්තයාගේ ගෙදරට යන මග දිගට මං අතින් ඉතිරි භාගේ හැලෙනවා. දිගින් දිගටම හැලෙයි. මගේ වැරැද්ද නිසා ඔබ කරන සේවයට ලැබෙන්න ඕනෑ නියම වටිනාකම කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මට බොහොම කණගාටුයි. මට සමා වෙන්න”

කත් අදින්නාට දුක හිතිණි. සෑහෙන වයසැති, පිපිරුමක් සහිත මේ කළය පිළිබඳ අනුකම්පාවෙන් ඔහුගේ සිත පිරිණි.

“අනේ මගේ කළේ... නුඹ කණගාටුවන්න එපා. මේ ලෝකේ ඔය වගේ දේවල් ඕනෑ හැටියේ වෙනවා. අද මහත්තයාගේ ගෙදරට යද්දි මං නුඹේ හිත හැදෙන්නත් එක්ක ලස්සන, බොහොම අලංකාර මල් පාත්තියක් පෙන්වන්නම්කෝ”

කන්ද නැග යනවිට මීට පෙර කිසිදා දකුණු කළයේ සැළකිල්ලට ලක් නොවුණු අලංකාර මල් පාත්තියක් මග දිගට ම ඔවුනට මුණ ගැසිණ.

කළය පෙළුණු කණගාටුවෙන් මුදවාලන්නට යම් තරමකට එය සමත් වූ බව කිවමනාය. නමුදු ගමන අවසාන වනවිට නැවතත් තමන් අතින් පෙර පරිදීම වතුර භාගයක් හැලී ඇති බව පසක් වීමෙන් කළය පුරුදු වේදනාවෙන් පෙළෙන්නට විය.

“අනේ ඉතිං මොන සතුටක්ද? ඔන්න අදත් වතුර භාගයක් ම හැලුණා” එය සිය ස්වාමියා හා දුකින් පැවසුවේය.

“අනේ මගේ කළේ... නුඹට තේරුණේ නැද්ද වෙලා තියෙන වැඩේ? නුඹේ පැත්තේ විතරයි ඒ අලංකාර මල් පිපිලා තියෙන්නේ. වම් පැත්තේ එහෙම නැහැ. දැනුණේ නැද්ද ඒ වෙනස?

මං කලක් යද්දි දැනගත්තා නුඹේ අඩුපාඩුව. මං කල්පනා කළා ඒ අඩුපාඩුවෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහක් ගැන.

ඉතිං මං කළේ ඒ ලස්සන මල් වල ඇට ටිකක් ගෙනත් වතුර හලාගෙන එන නුඹේ මග දිගට ඉහපු එකයි. හැමදාමත් දිය පාර ගාව ඉඳන් මං මහත්තයාගේ ගෙදරට එද්දී නුඹ ඒ මල් වලට වතුර දමාගෙන ආවා.

ටික දවසකින්ම මල් පිපුණා. එදා ඉඳන් මං හැමදාම ඒ මල් කඩාගෙන ඇවිත් මහත්තයාගේ ගෙදර සැරසුවා. මහත්තයා බොහොම පැහැදීමෙන් ඉන්නේ ඒ ගැන.

ඉතිං නුඹ මේ වගේ නොවී වම් කළය වගේ වුණා නං තව වැඩිපුර වතුර කළ භාගයක් ගේන්න පුළුවන් වෙන්න තිබුණා තමයි.

ඒත් ඒ වතුර කළ භාගයට, මහත්තයාට ඇති මගේ හිතෛශිවන්ත භාවය පහදලා දෙන්න පුළුවන් වෙයි කියලා නුඹට හිතෙනවද?”



පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි


****************************************************



ඔබට සෙනෙහසින්...



කන් දෙක පිරෙන්න තිබුණු සංගීත රාවය වෙනුවට දැන් අවකාශය පිරිලා තියෙන්නේ රාත්‍රී නිහඬතාවෙන්... සියලු සාද කතා නිම වී අවසානයි. අපේ විවාහ උත්සවය ඔයා බලාපොරොත්තු වූ අයුරින් ම උත්කර්ෂවත් වූවා නේද?. නමුත් මේ උදාවෙමින් පවතින්නේ එය අතීතයට එක් වී ගත වෙන පළමු දිනයයි.

විවාහ චාරිත්‍ර සම්පූර්ණයි.
මේ ඇරඹෙන්නේ අපේ හවුල් දිවියයි.
නැතහොත් පවුල් දිවියයි.
මේ එළඹ තිබෙන්නේ අපේ පවුල් දිවියේ පාදම ගොඩ නගන හෝරාවයි.

සියලු ම ආරාධිතයෝ, පිටව ගිහින්. දැන් ඉතිරිව ඇත්තේ අප දෙදෙනා විතරයි. හෙට දිනයේ අප යම් තැනකට ළඟා වන්නේද අද තබන්නේ ඒ ගමනේ පළමු පියවරයි. මෙයින් මතු එළඹෙන කාලය ගතවුණු කාලයට කිසිලෙසකින් සමාන නොවුනු ඇති.

මතකද ඔයා අර රතුපාට ලස්සන ගවුම ඇඳගෙන ආපු ඒ දවස? ඒ ගවුමට ඔයා මොන තරම් නම් හැඩකාරද? මට එදා ඔයාව ස්පර්ශ කරන්න උවමනා වුණා. අප දෙදෙනා චිත්‍රපටයක් නරඹන්න ගිහින්නේ හිටියේ. මම ඒ වෙලාවේ හිටියේ බොහොම උද්වේගයෙන්. ඔයාව නාන කාමරය වෙත කැඳවාගෙන ගොස් සිප වැළඳ ගන්න මට බොහොම තදින් උවමනා වෙලයි තිබුණේ. නමුත් මට ඒක කරගන්න බැරි වුණා. මොකද හිතෙන්නේ දැන්? ඔයා දැන් මගෙයි. දැන් මට එහෙම කඩිමුඩියේ කරන්න හිතන්න කිසිම දෙයක් නැහැ.

ඉතිං එළඹෙන හෝරාව එළඹෙන්නට පෙර මට මේ ටිකත් කියන්න ඉඩ දෙන්න.

අදින් පසු මට ඔයාගෙන් වසංගන්න කිසිම දෙයක් නැහැ. මගේ දුරකථනය ඔයාගේ වගේ පාවිච්චි කරන්න ඔයාට පුළුවන්. මගේ ෆේස් බුක් ගිණුමත්, ට්විටර් ගිණුමත්, ඉන්ස්ටග්‍රෑම් ගිණුමත් අදින් පසු මගේ ‍පුද්ගලික දේවල් වන්නේ නැහැ.

අද පටන් මං ආපහු පොඩි දරුවෙක්. පහු ගිය අවුරුදු පහේ මම වැඩිහිටි පිරිමියෙක් ව හිටියා. මම උදේට තනියෙම අවදි වුණා. සමහර වෙලාවට මං කුසගින්නේ නින්දට වැටුණා. මං හැම දෙයක් ම කළේ මගේ තනි කැමැත්තට, මට හිතෙන විදිහට. මම ගෙදර ආවේ මට ඕනෑ වුණු වෙලාවට.

නමුත් අද ඒ හැමදේම අවසානයක් දකින දවසයි. අද පටන් ඔයා මගේ අම්මා.

මම පමා වෙලා ගෙදර එද්දි මට බණින,
වැඩට යන්න උදේ 6 වෙද්දී මාව අවදි කරන,
මට කුසගින්නේ නින්දට යන්නට ඉඩක් නැති බව සහතික කරන!

දන්නවද? ඔයා වෙතින් ආපහු අම්මා කෙනෙකු හමුවීම ගැන මට ගොඩාක් සතුටුයි.

ඉතිං මං උදක් ම බලාපොරොත්තු වෙනවා ඔයා මට හොඳ අම්මා කෙනෙක් වෙයි කියලා. ඒ කියලා මට ගොඩක් ම දරදඬු විදිහට සළකන්නේ නැහැ නේද? මමත් පොරොන්දු වෙනවා එච්චර ම ඇට්ටර කොලුවෙකු නොවී ඉන්නට.

මම ඔබට හිසේ අමාරු ගෙන දෙනවා, නමුත් මම පොරොන්දු වෙනවා ඒ හැම හිසේ අමාරුවක ම නිවාරණයත් මං ම වන බවට!.

දෙමව්පියන් මිය ගියාට පස්සේ සහෝදර සහෝදරියන් බලා ගත්තේ මම. මම ඔවුන්ට තාත්තා කෙනෙකු වුණා, ඒ ගැන ඔයා හොඳින් දන්නවා. ඉතිං ඔයාටත් තාත්තා කෙනෙකු වන එක, ඔයාට හිතාගන්න බැරි තරමට මට ලේසියි.

‘හැම පිරිමියෙකුට ම මෙහෙම වෙන්න පුළුවන් නම්?... ලෝකේ තියෙන ප්‍රශ්න වලින් තුන් කාලක් ම ලෝකේ නැති ප්‍රශ්න වෙයි’කියලා නේද ඔය හිතන්නේ?. 

ඉතිං මා ප්‍රිය ස්වාමි දියණියනි, ඔහොම ලස්සනට හිනා වෙවී ඊටත් වඩා ලස්සනට අඬන්න එපා. ඉතිරි ටික අහගන්න ඕනෑ නැහැ වගෙයි මට දැන්නම් දැනෙන්නේ. ඔව්... ඇත්තට ම...






පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි


****************************************************


කුහුඹු දැක්ම



දිනක් උදැසන මා, පිටුපස බරාඳයට වී පැයකට ආසන්න කාලයක් ගත කළේ පුංචි කුහුඹුවකු විශාල කුරුලු පිහාටුවක් රැගෙන යන ආකාරය නරඹමිනි.

කිහිප විටක් ම කුහුඹු මගෙහි නොයෙකුත් බාධක හමුවිය. එවන් විටෙක මද වේලාවක් නැවතිල්ලේ ගතකළ කුහුඹුවා වෙනත් පැත්තකට හැරී ගමන් කරන්නට වන්නේය.‍

විසල් කුරුලු පිහාටුවද ඇදගෙන ගමන් කරන පුංචි කුහුඹුවාගේ උවමනාව,ධෛර්යය ගැන මා තුළ පුදුමයක් ඉපැදෙමින් තිබුණු අතර හිතෙන හිතෙන පැත්තට හැරෙමින් ගමන් කරන මේ කුහුඹුවා ආයාලේ යන්නෙක්දැයි අනෙක් අතට මට සිතිණි.

මෙසේ ගමන් කරන අතරතුරේ එවර කුහුඹු මගට හරහට හිටියේ අඟල් භාගයක පමණ පළල පැල්මක් සහිත මහා විසල් ප්‍රපාතයකි. එය කොන්ක්‍රීටය දිගේ අඟල් ගණනාවක් දිගු වූ බොහෝ දුරකට විහිද තිබිණ. එවර නං වැඩේ අහවරවනු ඇතැයි මට සිතිණි. මම කුහුඹුවා දෙසට මගේ ඇස වඩ වඩාත් ලං කළෙමි.

පිහාටුව පසෙකින් තැබූ පුංචි සතා පැල්මේ ගැට්ට දිගේ එහෙට ගියේය. මෙහෙට ගියේය. හිසත් ඉදිරි පාදත් ඔසවා පුංචි සංවේදක සොලවමින් ඈත මෑත බලමින් මද වේලාවක් ගත කර, අනතුරුව පිහාටුව ගෙන පැල්ම හරහා පාලමක් සේ දමා ඒ හරහා ගමන් කළේය. ඉන්පසු නැවතත් පිහාටුව ඇදගෙන පෙර පරිදිම ගමන් කරන්නට වන.

මෙසේ මග දිගට හමු වූ නොයෙකුත් බාධක මග හරිමින්, බොහොම වෙහෙස වී ගමන් කළ කුහුඹුවා අවසානයේ බරාඳයේ කෙළවරෙහි වූ මල් පාත්තිය වෙත ලඟාවිය. බාධක හමුවේ මග වෙනස් කළද ඔහු අයාලේ ගොස් තිබුණේ නැත. ඒ බවට එතැන පෙනෙන්නට තිබූ කුහුඹු ගෙදර පුංචි දොරටුව මට සාක්ෂි කියා පෑවේය.

නියම ගැටලුව පැන නැගුනේ එහිදීය. ඒසා විසාල කුරුලු පිහාටුව කෙසේ නම් ඒ පුංචි සිදුරෙන් ඇතුලට ගන්නද? ඇත්ත වශයෙන් ම එය කළ නොහැකි දෙයක් විය.

දන්න තරම් සියලු ම උපායයන් යොදමින්, මග දිගට හමු වූ සියලු බාධක ජය ගනිමින්, බොහොම වෙහෙස මහන්සියෙන් ගෙන ආ ඒ පිහාටුව අතහැර දමා, තවත් තත්පර නොවූ කුහුඹුවා නිවස තුලට යන්නට ගියේය.

කෙසේ හෝ පිහාටුව රැගෙන යමි’යි යන අදිටනින් කුහුඹුවා නැවත පැමිණෙතැයි සිතා මා එතැන මිනිත්තු කිහිපයක් රැඳී සිටියත් එවැන්නක් සිදුවූයේ නැත.



පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි


****************************************************

48 comments:

  1. Replies
    1. ස්තුතියි උඩුවා

      Delete
  2. පළවෙනි දෙක හැර අනිත් දෙකම අලුත් මට... ඇයි දන්නෑ අර කුහුඹුවා ආයෙ ආවෙ නැත්තෙ.. ඔය දන්නැති වුනාට පස්සේ කට්ටිය එක්ක ඇවිත් පිහා‍ටුව කෑලි කරලා අරන් යන්න ඇති...

    ReplyDelete
    Replies
    1. ළමයි තුන් දෙනෙක් ඉන්න පවුල් වල ලොකු දෙන්නායි පොඩි දෙන්නායි කියලා විඩෙන් විඩේ කියනවානේ. ඒ වගේ තමයි අද සෙන්නා කියලා තියෙන එක. අද තියෙන්නේ කතා තුනයි! :D

      හස්බන්ඩ් කිව්වා මේක කියෙව්වාට පස්සේ මතක් වුණේ කියලා, කුහුඹු ගුල් වල කුරුළු පිහාටු කෙලින් අතට හිර වෙලා තියෙනවා දැකලා තියෙනවා කියලා. එයා කිව්වේ ඒක එක්කෝ සිග්නල් එකක්, නැත්නම් වාතාශ්‍රය ගන්න කරන වැඩක් හරි මොකක් හරි වෙන්න ඇති කියලා. පස්සේ ගූගල්ගෙන් අහලා බලන්න ඕනෑ

      Delete
    2. හුටා....... දැන්නේ දැක්කෙ මම මොකක්ද ලියලා තියෙන්නෙ කියලා...හෙහ් හෙහ්... :D

      Delete
  3. සුපුරුදු පරිදිම සුපිරියි.. ඒත් අන්තිම කතාව මට තේරුනේ නෑ නෙව..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අත් හැරිය යුතු තැනදී නොවලහා අත්හැරිය යුතුයි. නමුත් කිසිසේත්ම ඒ බාධක හමුවේ නොවේ. ඒක තමයි හොඳම කතාව..

      Delete
    2. ස්තුතියි ගස්, ස්තුතියි කමි විස්තර කළාට

      Delete
  4. ලස්සන කතා ටික .
    දන්න කියන කට්ටියක් ගෙයක් ඇතුලෙ වෙසක් කූඩුවක් හදලත් ඔය කූඹිය වගේම අංද මංද වෙලා හිටිය මතකයි :)

    ReplyDelete
    Replies
    1. අපිටත් එහෙම වෙලා තියෙනවා. පස්සේ ගේ ඇතුලේ එල්ලුවා. මං මේ කිව්වේ පුංචි කාලේ :)

      Delete
  5. පළවෙනි එකයි තුන්වෙනි එකයි කතා දෙකම මැනේජ්මන්ට්, පළවෙනි එකේනම් පැහැදිලියි නමුත් තුන්වෙනි එක තේරුම් ගන්න ටිකක් විස්තර වෙලා මදි.

    දෙවෙනි එකේ කොල්ලටනම් ඕනි නම් අපෙන් ඉගෙන ගන්න උනත් පුළුවන් හිටන්.. :)

    ReplyDelete
    Replies
    1. තුන්වෙනි එක තේරුම් ගන්න ඉඩ තිබ්බා. ඇත්තට ම මං ලියලා තියෙන තරම් ඔරිමජිනල් එකේ නැහැ කමි. මේ වගේ තේරුම් ගන්න අපහසුතාවක් ඇතිවෙයි කියලා මං වැඩිපුර පේළියක් එකතු කළා.

      //So the ant, after all this trouble and exercising great ingenuity, overcoming problems all along the way, just abandoned the feather and went home.// ඔන්න ඔහොමයි ඒක ඉවර වෙන්නේ

      Delete
    2. හි හි.. සමහර වෙලාවට ඒක ට්‍රාන්ස්ලේට් නොකර හිටියනම් එකපාර තේරුම් යන්නත් තිබ්බා.. (මට නෙවෙයි) "just abandoned" කියන එකේ ඉංග්‍රීසි තේරුම එකපාර සිංහලට හරවන්න අමාරුයි. ඒකයි ඒ.

      Delete
    3. ඇත්තට ම සම්පූර්ණයෙන් හිතෙන් ම අහක්කලරා දැම්මා කියන්න තනි වචනයක් නැති තරම් සිංහලේ. හරියට හිංදි භාෂාවේ 'ෆනා' වගේ.

      එකඅතකට පුදුමයි සංස්කෘතියට බුද්ධාගමේ බලපෑම මේ තරම් තිබිලත් abandon/abandonment යන වචන වලට තනි වචනයක් නොතිබීම. ඒ කියන්නේ සිංහලේ මිනිස්සු එහෙම දේකට සූදානම් නැති නිසාද?

      හැබැයි අත්හැර දමා කිව්වහම නැවත අත්පත් කරගැනීමේ බලාපොරොත්තුවක් නැතිව යන්න ගම්‍ය වනවා කියලයි මට හැඟෙන්නේ. ඒක නිසා එතනට ඒ වචනය යොදා ගත්තා.

      Delete
    4. රන්ඩිල් නෝනේ, සම්පූර්ණයෙන්ම අමතක කරල දානවට වචනයක් තියනවා. ප්‍රශ්ණේ තියෙන්නේ ඒක් ඕගොල්ලො දන්නෙ නැති එක..

      අද ඉදලවත් එකතු කරගන්න ශබ්ධ කෝසෙට. ඒකට කියන්නේ "මතකබැරිස්" කියලා. එහෙනම්.. :D

      Delete
    5. අනේ අනේ සෙන්නෝ... :D

      Delete
  6. අපූරු කතා ටික.... හැම කතාවකම හිතන්න දෙයක් තියනවා....

    කමි කියුවා වගේ ජීවිතයට බාධක බාධාවක් කර ගන්න එක තේරුමක් නෑ.....
    මං කැමති ම කලේ කතාවටයි, කුහුබු කතාවටයි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මාණි. ඔබ හැමගේ අදහස් දැක්වීම් අපට හරි වටිනවා

      Delete
  7. පිපිරුණු කළේ සීන් එකේ මැනේජ්මන්ට් එක මොකක්ද කියල අයි ඩෝන්ට් අන්ඩර්ස්ටෑන්ඩ් ඇත්තම කිව්වොත්.එතන තියෙන්නෙ සම්පත් නාස්තියක් තනිකරම.කළේ පිපුරුම එක්කො රෙපයාර් කරන්ට ඕන නැත්තං බැරිම නං කළේ විසික්ක කරල දාල අලුත් කළයක් ගන්ට ඕන. එහෙම නැතුව පැලිච්ච කළ වලින් වැටෙන වතුරෙං මල් වවන එක මම හිතන්නෙ හරියන එකක් නෙවෙයි.

    මම අර මහත්තය නං කරන්නෙ වතුර සප්ලයර්ට කං වල ඇඟිලි ගහගන්ට දෙකක් කියල පඩිය කපනව බාගයක්. මම උඹට සල්ලි දෙන්නෙ වතුර ගේනවට මිසක ඒ වතුරෙං මල් වවන්ට නෙවෙයි කියල...:)

    ReplyDelete
    Replies
    1. සමහර සම්පත් තියෙනවා විසි කරලම දාන්න බැරි. ආපහු රෙපෙයාර් කරන්නත් බැරි. සමහර මානව සම්පත් එහෙම.. දිග කාලයක් පිට රැටියන් එක්කම වැඩ කල නිසාද කොහෙද ඒ ගැන රවී මහත්තයට සංවේදී නෑ වගේ.. එහෙම මානව සම්පත් අපේ සයිට් වලනම් ඕනේ හැටියේ ඉන්නවා. වැඩේ භාගෙට උනත් 'වතුර සප්ලයර්'ලා ඒ වෙනුවෙන් පොඩි අමතර මහන්සියක් වෙලා ඒවා ගොඩ දානවා. මල් කියන්නේ ඒ වෙනුවෙන් හිතේ සන්තෝසෙට වගේ ලැබෙන අමතර නැත්නම් අත්‍යවශ්‍ය නොවන සේවයක් වගේ.. :D

      Delete
    2. කමි කෙලින්ම වැඩ බිමෙන් ම උදාහරණ අරගෙන අදහස මතුකරලා පෙන්වලා තියෙනවා. අගෙයි.

      ඒ වගේ ම මේ වගේ දේවල් පවුල්වලත් තියෙනවා. නිකමට හිතන්නකෝ යම් ආබාධයක් තියෙන දරුවෙක් පවුලේ ඉන්නවා. ආබාධය ස්ථිර එකක් නම් මොනවා කරන්නද? ඒ දරුවා අත් හැර දමන්නද? නැත්නම් දරුවාට වටිනාකමක් එකතු කරන විදිහක් බලන්නද? මේ කතාව මූණු පොතේ පල කරපු වෙලාවේ මං හොඳින් දන්න අඳුනන, නමුත් නිතර දෙවේලේ ප්‍රතිචාර නොදක්වන කෙනෙක් ඒ සඳහා යම් ප්‍රතිචාරයක් දැක්වූවා. ඒ වෙලාවේ මට වැටහුණා එයාට මේ කතාව දැනෙන්න ඇති වග. ඒ වෙනකම් මංවත් මේක පවුලකට ආදේශ කරගෙන හිතලා තිබුණේ නැහැ.

      Delete
  8. රසවත් කතා...පරණ ඒවත් කියවන්න ඕනේ. ඉඩක් ලැබුණ හැටියේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔබ හැමගේ අදහස් අපට දිරියක්

      Delete
  9. පිපුරුණු කළයක් කතාවේ අරන් තිබුනට වෙන ගොඩක් දේවලට ගොඩක් අවස්ථාවලට ආදේශ කර ගන්න පුලුවන්.... මං හිතන්නේ ඒ විදිහට හිතලා නෑ වගේ....

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මේ නිර්මාණි ඉහළ තිබෙන ප්‍රතිචාරයකට දක්වපු ප්‍රතිචාරයක් වෙන්න ඕනෑ. :)

      Delete
  10. බොහොම ලස්සන කතා පෙළක්..

    එකෙන් ඉගෙන ගන්න්න පුළුවන් පණිවිඩ බොහොම වටිනවා..

    ඒ වගේ කතා අපිත් එක්ක බෙදා ගන්න එක ඊටත් වඩා වටිනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විභීෂණ II. පුලු පුලුවන් විදිහට කරගෙන යන්න තමයි බලාපොරොත්තුව

      Delete
  11. මේ කතා, මුල් අයිතිකරුවන්ගේ අවසරය සහිතව, පරිවර්තන කෘතියක් (ළමා පොතක්) ලෙස මුද්‍රණය කළහැකිනම් බොහොම හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක. බොහොම සතුටුයි ඔබතුමා ව දකින්න ලැබුණාට එදා. නමුත් කතා කරන්න වුණේ නැහැ. වේලපහ ගියාද?

      කිහිප දෙනෙක් ම කිව්වා පොතකට යන්න කියලා. වැඩේ කියන්නේ මේ හැම කතාව ම අන්තර්ජාලයෙන් ගත්ත ඒවා. ඒ කතා හැම එකම වගේ ගොඩක් අඩවි වල තියෙනවා. කාගෙන්ද දැන් අවසර ගන්න වෙන්නේ? :)

      (අද දෙවැනි කතාවත් ඒ පොතට දානවද කියලා මේ කල්පනා කළේ :D )

      Delete
  12. මේ සතියේ කතා තුනම එකකට එකක් නොදෙවෙනි තරමටම ඉස්තරම්. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිත්තමි...

      වැඩ අතරේ 3යිනේ කර ගන්න පුළුවන් වුණේ. මේ සතියේ බලන්න ඕනෑ 5 ම කරගන්න

      Delete
  13. ජීවිතයට අපූරු පාඩම් රසවත්ව...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරුරසී අක්කා :)

      Delete
  14. අන්තිම කතාවෙන් මට මතක් උනේ "පොල්ලෙ බලේ..."
    http://kanolbooks.blogspot.com/2016/03/polle-bale.html

    ReplyDelete
    Replies
    1. මේක කියවලා නැහැ. ගෙදරට ම එවනවා කියලා තියෙන එක ලියුං කෑල්ලක් දාලා බලන්න ඕනෑ ගෙන්න ගන්න :)

      Delete
    2. බොරැල්ලෙ කොටා පාරෙ කීල්ස් එක ට අල්ලපු ඉඩමෙ තියෙන්නෙ ප්‍රගති ප්‍රකාශකයෝ. ගියොත් ගත්තැකි 20% ඩිස්කවුන්ට් එක්ක...

      Delete
    3. එතනද තැන? ගිහින් බලන්න ඕනෑ.

      මගේ සොඳුරු බාලේ ගෙවුණු තාලේ මුල් කෘතිය ගත්තෙත් එතනින් තමයි :)

      මොනවට ගාව ගත්තද කීල්ස්
      කියන්නකෝ කෙලින් ම කොමියුනිස්ට් :D

      Delete
    4. වඳවී යන සතුන් ගැන හැමෝම දන්නෑනෙ. ඒකයි කීල්ස් කිව්වෙ. :-)

      Delete
    5. ඒකත් හැබෑව! :)

      Delete
  15. කළේ කටහ්ව හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් අයියේ

      Delete
  16. ඔය පළවෙනි කතාව අපේ තාත්තා අපිට නින්ද යනකල් කියාදුන්න කතාවල තිබිච්ච මට මේ මොහොත වෙනකල් අමතක වෙලා තිබිච්ච කතාවක්. තව එහෙම අමතක වෙච්චා කොච්චර ඇද්ද

    ReplyDelete
    Replies
    1. ඔහොම යනකොට තව තව කතා මතක් වෙයි ඩූඩ්. මං මේ දවස් වල ජාලේ පිරලා පීරලා පනාවත් ගෙවිලා ඕං... :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...