Monday, June 6, 2016

419. ඥාණේතුමාගෙ නවතම අඩව්ව සහ සත් වසරකට පෙර ඒ බිහිසුණු මොහොත නොහොත් පෝද්දල ජයන්තගේ කතාව


අපේ චීවරධාරී ඥාණේ තුමා ඊයෙ පෙරෙයිද අපූරු පුරස්නයක් අහල තිබ්බ. 2015 ජනවාරි 8 වෙනිද මේ ආණ්ඩුව පත් කරගත්ත අයට දැං සතුටුද කියල. අවසර උන්නැහේ..ඒ පුරස්නෙට දෙන්ට තියෙන්නෙ බහුවිධ උත්තරයක්. නැහැ සහ ඔව් කියල දෙකම කියන්ට වෙනව.

නැහැ කියන්නෙ මේ හින්ද. ඇතුලෙ ඉන්ට ඕන පට්ට හොරු රැලෙං සීයට අනූවක් තාම ඉන්නෙ එලියෙ.තවම හරි හමං එකෙක්වත් අවුරුදු පහ හයකට වැලිකඩ යවාගන්ට බැරි වෙච්චි එක ගැන නම් හරිම දුකයි. 

අනික් අතට අඩුගානෙ ඒ නීල කාස හොරු රැල ආයම බලය ගන්ට දඟලන දැඟලිල්ල, එතනින් ගිහාම කියවන මරු කියවිල්ල බලාගෙන අහගෙන ඉන්නකොට පුදුම සන්තෝසයක් හිතට එන්නෙ. අනේ, බොලේ අපි කොයිමක් කරල හරි මේ ගෙවල පෙරේතයො ටික එලවල දැම්මනෙ නේද කියල.

දැං මේ ඥාණේතුමා ඊයෙ පෙරේද නුවර ගිහිල්ල ආයම අඩව්වක් අල්ලන්ට වගේ ලෑස්තිය. නුවර කලිං හිරගෙදර තිබ්බ තැන ඒ එක්කම එහා පැත්තෙ තියනව මුස්ලිම් පල්ලියක්. ඕකට මැලේ පල්ලිය කියලය කියන්නෙ කියල මම දැනගෙන හිටියට නියම නම මැලේ මිලිටරි මොස්ක් කියල දැනගත්තෙ මේ ඥාණස්ගෙ සීන් එක නිසා. 

මුස්ලිම් පල්ලිවල තියනව උසට හදපු කුළුණක්. ඒකට කියන්නෙ මිනෙරෙට් කියල. මධුරගෙං ඇහුවම කියන්නෙ ප්‍රාසාදශෘංගය කියල. ඒත් එහෙම කිව්වම අපේ ශ්‍රංගය එක්ක පැටලෙන්ට ඉඩ තියෙන හින්ද මම මිනාරෙට් එක කියලම කියන්නං.ඉස්සර කාලෙ ඕක උඩට නැඟල තමයි යාඥාවලට එන්ටය කියල මුස්ලිම් බැතිමතුන්ට දැනුම් දීල තියෙන්නෙ. ඉතිං පුළුවන් තරම් දුරකට ඇහෙන්ට ඕන නිසා ඔය මිනාරෙට් එක උසට හදනව. අද උනත් ඕකෙ හතර පැත්තට ලවුඩ් ස්පීකර් හයි කරල තියනව දැකල ඇති වැඩිම දුරකට ඇහෙන්ට. 

ඉතිං ඥාණෙගෙ සීන් එක මේකයි.ඔය නුවර මැලේ පල්ලියෙ අලුතින් හදන මිනාරෙට් එක දළඳා මාළිගාවට වඩා උසය ඒකෙන් දළඳාවට ලොකු අපසාසයක් අගෞරවයක් වෙනවය කියල ඥාණේ තුමා ලොකු ජල්ලියක් අල්ලල. අර නඩුකාරයින්ට නොමිලේ නීතිය යුක්තිය ගැන පංති පවත්වන්ට ගිහිල්ල සති දෙක තුනක් වැලිකඩ වැඩ ඉන්ට සිද්ද උනාට පස්සෙ උන්නැහැගෙ සද්දෙ ටිකක් අඩුවෙලයි තිබුනෙ. 

මුස්ලිම් පල්ලිය ඉදිරිපිට උද්ඝෝෂණය -
ඡායාරූපය අන්වර් මනතුංග බ්ලොග් අඩවියෙනි.

ම්හු.. එහෙම පීකරේ වහල දාල ඉන්ට බැරි හැඩක් වගේ පේන්නෙ. බෙරේ ඇතුල හිස්නෙ. ඉතිං බෙරෙං තියන එකම වැඩේ සද්ද කරන එක විතරයි. සද්ද නැත්තං බෙරෙං වැඩකුත් නෑනෙ. අන්න එහෙම දෙයක් තමයි මෙතනත් වෙන්නෙ. මේ වගෙ මිනිස්සුන්ට අනික් අයගෙ අවධානය දිනාගන්ට, අපිත් ඉන්නව කියල පෙන්නන්ට මොකක් හරි ඔය වගෙ විකාරයක් කරන්ටම ඕන. නැත්තං හරියකට නින්ද යන්නෙත් නෑ.

නුවර මාළිගාව අවට වැව රවුම, කැන්ඩි සිටි සෙන්ටර් එක, මාකට් එක, බෝගම්බර හිර ගෙදර ඔය හැම තැනම කරක් ගහපු මනුස්සයෙක් හැටියට මම සහ සුද්දෙන්ම කියන්ට දන්නව ඔය කතාව කිසිම පදනමක් නැති ප්‍රලාපයක් කියල. පොළවෙ මට්ටම් වෙනස ගැන මූලික අවබෝධයක් තියන කෙනෙකුට උනත් හොඳටම පැහැදිලි වෙන්ට ඕන දළඳා මාලිගාවට හුඟක් පල්ලෙහා මට්ටමකයි ඔය කියන පල්ලිය තියෙන්නෙ කියන එක.

මේක මේ ඉතාම පැහැදිලිව වෙන මොකවත් නෙවෙයි තමංගෙ තියන මූඪභාවය ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමක්. 

මට පේන්නෙ මේ මනුස්සයට ඕන අර බුරුමෙ විරාතු වගෙ චරිතයක් ලංකාවෙ රඟ පාන්ට. ඒ ඔක්කොමත් හරි මේ මහානායකල කියන අයටත් එක්කෙනෙකුටවත් නෑනෙ කොන්දක් මේ මනුස්සය කරන විකාර නවත්තන්ට.මට තියන එක කණගාටුව මේ වගෙ දෙකයි පණහෙ ගොං පාට් වලින් ලෝකෙ පුරාම නම සවුත්තු වෙන්නෙ අර සියලු සත්වයින්ට මෛත්‍රී කරන්නටෙයි කියල වදාල ගෞතම බුදුන් වහන්සෙගෙය කියන කාරණේ.

අර ඥාණෙ තුමා කලින් අහපු ප්‍රස්ණෙට ඒ කිව්වෙ 2015 ජනවාරි 8 වෙනිද මරා තුමා පරද්දල අලුත් ආණ්ඩුවක් පත්කරගත්තු අයට දැං සතුටුද කියන ප්‍රස්ණෙය උත්තර දෙන්ට ඉස්සෙල්ල පොඩ්ඩක් මේ ලිපිය කියවල බලන්ට. මේ මරාතුමාගෙ මළයගෙ නොහොත් අති ගෞරවාර්හ ධුරන්ධර ගොට්ටාතුමාගෙ වැඩ. ආයම පාරක් මේ වගෙ මිනිස්සු බලයට පත්කරගන්නවද කියල තම තමන්ගෙ හෘද සාක්ෂියෙන් අහල බලන්ට.

මේ වගෙ අමනුස්සයො රැලක් එලවල දැම්මම ආය සන්තෝසද කියල අහන්ටත් දෙයක්ද ඥාණෙතුමෝ?

සවන්දෙන්න ඔහුට..ඔහු පෝද්දල ජයන්ත...


*********************************************

විදුලි සැරක් සේ වම් කකුලේ විලුඹෙන් මතු වන වේදනාව, ශරීරයම දවමින් හිස් මුදුන කරා යයි. හරියටම සීත සෘතුවල පාදයේ අභ්‍යන්තරයෙහි ඇති ලෝහ තහඩු සීතල වීම නිසා දැනෙන අපා දුක මෙනි. මා මේ ඉරියව්වෙන් කොපමණ වෙලාවක් ඉඳ සිටියාදැයි නොදනිමි. ඒත් කඩදාසිය හිස් ය. මිනිසුන් දහස් ගණනකගේ කතාත්, තව බොහෝ දේත් හනි හනික ලියා පුරුදු මට, ලිවීම මේ තරම් අසීරු දෙයකැයි කිසි දා දැනී නැත.

විවිධාකාර වේදනාවන්ට මුහුණ දුන් මිනිස්සු, තමන් විඳි වේදනාව මෙලොව මිනිසකුට දැරීමට අසීරුම අත්දැකීම ලෙස දකිති. වධහිංසාවට ලක් වීම නැමති කුරිරු අපරාධයේ වින්දිතයකු වූ මා සම්බන්ධයෙන්ද එය එසේමය. වධහිංසාවලට ලක්ව, සුව කළ නොහැකි ලෙස ආබාධිත වූවෙක් ඉතිරි ජීවිත කාලය පුරාම ගෙවෙන හැම තත්පරයක් පාසාම කායිකවත්, මානසිකවත් වධ හිංසාවට ලක් වෙයි. ඒත් දැන් මට සිතෙන්නේ, හිතේ කොණක නිදා-නොනිදා අඳුරු මතකයක් ලෙස පවතින ඒ බියකරු අත්දැකීම අනුපිළිවෙළින් ආවර්ජනය කිරීම තරම් වේදනාවක් තවත් නොතිබිය හැකි බවය. හිස් කඩදාසියක් අබිමුව, මා මේ මොහොතේ විඳිමින් සිටින්නේ ඒ වේදනාවයි.

මා පැහැරගෙන ගොස් වධහිංසනයට ලක් කිරීමේ කුරිරු සිදුවීමට, මේ ජුනි 01 වැනිදාට වසර 7කි. එතරම් දිගු කලකට පසුවත්, මට ඒ සිදුවීම අදටත් ප්‍රකෘති මනසකින් සිහිපත් කළ නොහැකිය. තව කොපමණ වතාවක් යළි යළිත් විස්තර කළද වධහිංසාවකට ලක් වූවකු විඳින මානසික පීඩාව, එවන් අත්දැකීමක් නැති කෙනෙකුට අවබෝධ කර දිය හැකි වෙතැයි නොසිතමි. පසුගිය වසර හත තුළ අඩු තරමින් පස් හය වතාවක් වත් මගේ මිතුරන්ගේ ඉල්ලීම මත මේ අත්දැකීම ලියා තැබීමට වෑයම් කර ඇතත් එය කළ නොහැකි විය.

ඒ අඳුරු මොහොත

එදා වැඩ ඇරී ආපසු ගෙදර එන ගමන්, ඇඹුල්දෙණිය හන්දියෙන් බසයෙන් බැස, ඉතිරි දුර පයින් ඇවිද යමින් සිටියෙමි. ඒ දිනවල මා සිටියේ දිගින් දිගටම එල්ලවූ තර්ජන හේතුවෙන් ස්ථිර පදිංචි නිවසින් බැහැරව තාවකාලික කුලී නිවසක ය. මගේ එක් අතක ලිපි ගොනුද, බිරිඳට හා දියණියට ගත් මාළුපාන් ගෙඩි දෙක සහිත කවරය අනිත් අතෙහිද විය. පටු අතුරු පාරට හැරී ඉදිරියට යන විට සුදු වෑන් රියක් එහි නතර කර තිබිණි. පාර පටු බැවින් ඉතිරිව තිබුණේ සුළු ඉඩකි. ඒ ඉඩෙන් වෑන් රිය පසු කර යන්නට පය තැබුවා පමණි. ඒ ප්‍රීතිමත්, නිරෝගී මිනිසකු ලෙස මා පොළොව මත තැබූ අවසාන පියවර කිහිපයයි.

ඇසිල්ලකින් මා ඇතුළට ඇදගෙන දොර වසාදැමූ නාඳුනන(උන්ගේ හාම්පුතා කව්දැයි දන්නා මුත්) මැරයෝ, මා බිම පෙරළාගෙන පණ නැති වන තුරු ලවක් දෙවක් නැතිව පහර දුන්හ. මුහුණට-හිසට-පපුවට-බඩට-යටිබඩට හෙණ පහර සේ පහරවල් සිය ගණනක්. මට මතක හැටියට ඒ ජංගම වධකාගාරයේ මැද අසුනක් තිබුණේ නැත. මා දෑත් දෙඇස් බැඳ පෙරළාගැනුණේ ඒ ඉඩෙහි ය. කිසිදු පුද්ගලික කෝන්තරයක් නොතිබූ මිනිසෙකුට එතරම් කුරිරු අන්දමින් සැලකීමට ඒ මිනිසුන්ට ලැබී තිබුණු පුහුණුව පුදුම සහගතය. ඔවුහු මගේ රැවුළ හා කොණ්ඩය කපා මුව තුළට එබූහ, දෑත්වල ඇඟිලි තැලූහ, අත් අඹරවා දැමූහ. මගේ කකුල් දෙකම කඩා දැමීමට වෑයම් කළ මුත් දරුණු ලෙස හානි වූයේ වම් කකුලටය. එය වළලුකරින් වෙන් වන ලෙස කඩා දැමුණේ, ලී කොට කැබැල්ලක් මත තබා, තවත් ලී කොටයකින් පහර දීමෙනි. අන්තිමේදී මුව තුළට එබූ රැවුල් කොණ්ඩා අහුරු සමග කට බැඳ, ලේ ගලන, මළමිනියක් සේ අකර්මණ්‍ය සිරුර පද්දා අගලකට විසි කර දැමූහ.

මා විසි කර දමා තිබුණේ අංගොඩ උණ රෝහල පාරේ ලඳු කැලෑ පෙදෙසකය. නිතර වාහන නොයන ඒ මග ගමන්ගත් ත්‍රී රෝද රථ රියදුරෙක් අහම්බෙන්, පාර අයිනේ බෑවුමේ ඒ මේ අත පෙරළෙන අත් පා බැඳි මිනිසකු දැක තිබේ. බියට පත් ඔහු වහාම අංගොඩ හන්දියට ගොස් ත්‍රී රෝද රථ ගාලේ මිතුරන් කිහිපදෙනෙකුද සමග පැමිණ, මා බැමිවලින් නිදහස් කොට කොළඹ ජාතික රෝහල වෙත ගෙන ගොස් තිබිණි. එතරම් අන්ධකාර යුගයකත්, මනුස්සකම දරා සිටි ඒ යහපත් මිනිසුන් නොවන්නට මගේ ජීවිතය එතැනින් කෙළවර වන්නට තිබිණි.

පෝද්දල ජයන්ත රෝහලේදී.....

හිංසනයේ ශේෂ පත්‍රය

සිදු කරන ලද වධ හිංසා හේතුවෙන් හදිසි අනතුරු වාට්ටුවේ පුරා දින 29ක් ප්‍රතිකාර ලැබීමට සිදුවිය. තුවාල, කැඩුම් බිඳුම්, ඇඹරුම් වලට අමතරව බඩට පහරදීම නිසා මුත්‍රාශයට සිදුවූ බලපෑම්වලින් හටගත් ආබාධය බරපතළ විය. වළලුකරින් වෙන් වන සේ කඩා දමා තිබුණු වම් පාදය යළි බද්ධ කර ඇත්තේ ජීවිත කාලයටම ඉවත් කළ නොහැකි ලෝහමය තහඩු මගිනි. රෝහලෙන් නික්ම යෑමෙන් පසු තවත් මාස 6ක් පමණ ඇඳ මත අනේක දුක් විඳි පසුව, තවත් වසරක තරම් කාලයක් ඇවිද්දේ කිහිලිකරුවල ආධාරයෙනි.

එතෙකුදු දුක නිමා වූයේ නැත. ශීත සෘතුවේදී කකුලේ ලෝහ තහඩු අධික ලෙස සීතල වූ විට නැගෙන වේදනාව හිස් මුදුන තෙක් දිවෙයි. එය ඉසිලිය නොහැකි වේදනාවකි. නිසි ලෙස පඩිපෙළක් නැග ගැනීමට නොහැකිය. කඩා දැමූ පාදය පැත්තේ අතින් සාමාන්‍ය බරක් හෝ රැගෙන යා නොහැකිය. ඇවිදීමේදී සිදු වන සුළු අසමබරතාවකින් පවා පාදයේ ඇතිවන වේදනාව සහ ඉදිමුම, සතියක් හමාරක් පවතී.

ශාරීරික වේදනාවන්ටත් වඩා, මානසික වශයෙන් කා වැදී ඇති බිය, කොතරම් වෙර දැරුවද තවමත් දුරු කරගත නොහැකිය. ලංකාවෙන් සැතපුම් දහස් ගණනක් දුර සිටියද, මහ මග ඇවිද යන විට පදික වේදිකාව ආසන්නයෙන් දිවෙන සුදු වෑන්වලට තිගැස්සී පස්සට පනින ගතිය තවම පහව ගොස් නැත. පැහැරගෙන ගොස් වධ හිංසා පමුණුවන මොහොතේ, තවත් මොහොතනින් මා මරා දමනු ඇතැයි සිතට කාවැදුණු මරණයේ බිය ඉන් පසු කිසි දා පහව නොයන බව ඉකුත් වසර 7 පුරාම මම අත්වින්දෙමි.

මා වධයට ලක් කළේ ඇයි?

මට කිසිවකු සමග පෞද්ගලික කෝන්තරයක් තිබුණේ නැත. මා පෞද්ගලිකව කිසිවකුට අගතියක් සිදු කරද නැත. එහෙත් රටට හෝ සමාජයට කිසිවකු හානියක් හෝ වරදක් සිදු කරන බව දුටු හැම විටකම මට හැකි උපරිමයෙන් ඊට ප්‍රතිචාර දක්වා ඇත්තෙමි. එය පුද්ගලයන් හෝ ආණ්ඩුවකට අදාළව විය හැකිය. ජනමාධ්‍යවේදියකු ලෙස මා වැඩිපුරම ලියා ඇත්තේ රටේ ජාතික ධනය කොල්ලකෑමට එරෙහිවය. ආසියාවේ ලොකුම වංචාව ලෙස සැලකෙන වැට් බදු වංචාව ම විසින් හෙළිදරව් කරන ලද්දේ එතරම් විශාල ලෝක හොරකමක තත්වයට පත් වීමට පෙරය. පොදු ජන යහපත උදෙසා වැරදි හෙළි කිරීමට මාධ්‍යවේදීන් සතු අයිතිය වෙනුවෙනුත්, පොදුවේ මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනුත් මාධ්‍ය සමාජය හා සිවිල් සමාජය සමග එක්ව අරගල කළෙමි. මා නොමරා මරා දැමීමට තරම් වැරදි වූයේ මේවාය.

මා පැහැරගෙන ගොස් වධහිංසාවට ලක් කළේ, දිගින් දිගටම රාජ්‍ය රූපවාහිනී මාධ්‍යවලින් මට එරෙහිව සිදු කරන අවලාද ගැනත්, මට එල්ල වී තිබූ තර්ජන ගැනත් මාධ්‍ය සංවිධාන නියෝජිතයන් හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් රටේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පවත්වමින් සිටියදීය. මා ඒ සාකච්ඡාවට යා යුතුදැයි කල් තියා සාකච්ඡා වූ නමුත් මම එහි නොගොස් ගෙදර ගියෙමි. එය මගේ ඉරණම්කාර ගමන වේ යැයි මා සිතුවේ නැත. මා පැහැරගෙන මොහොතකින් ඒ ආරංචියද ඒ සාකච්ඡාව අතරතුරදී මාධ්‍යවේදීන්ට ලැබී, ජනාධිපතිවරයාද දැනුවත් කර තිබිණි. එහෙත් අධි ආරක්ෂක කලාප හරහා මට වධ දෙමින් ගෙන ගොස් අගලකට විසි කර දැමීමට ඒ ‘සහතික ලත්’ මැරයෝ සමත් වූහ. මෙතරම් උත්ප්‍රාසවත් පසුබිම් කතාවක් සහිත පැහැරගැනීමක් සිනමා පටයදී වුවද අභව්‍ය යැයි බැහැර කෙරෙනු නිසැකය.

මා හිංසනයට ලක් කිරීමට මාස කිහිපයකට පෙර, ජනාධිපති සොහොයුරු- ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, එවකට ලේක්හවුස් සභාපති බන්දුල පත්මකුමාරට කළ දැනුම්දීමක් අනුව මාත් සනත් බාලසූරියත් කැඳවා, මාධ්‍ය නිදහස ගැන කරන උද්ඝෝෂණ නතර කරන ලෙස කළ දැනුම් දීමත්, එහිදී ඇතිවූ විවාදයත් රහසක් නොවේ. බන්දුල පත්මකුමාරද, කුප්‍රකට ලක්ෂ්මන් හුලුගල්ලේද එතැන වූහ. අප දෙදෙනාම ගෝඨාභයට තරයේ කියා සිටියේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යෑම, පහර දීම හා මාධ්‍ය ආයතනවලට සිදු කරන ප්‍රහාර නතර කරන තුරු ඒවාට එරෙහිව කරන අපේ උද්ඝෝෂණ නතර කළ නොහැකි බවයි.

එවකට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පවා දෑත් දෙපරැන්ද අස්සේ ගසාගෙන ඝෝඨාභය ඉදිරියේ නිවට වන පසුබිමක, ඔළුව උදුම්මාගෙන සිටි ඔහුට ඒ පිළිතුර කොහෙත්ම ඔරොත්තු දුන්නේ නැත. කෝපයෙන් වියරු වැටුණු ඔහු, සිය පහත් ගති ඉස්මතු වී ‘යකෝ මුන් කාට ජාතක වෙච්ච එවුන් දැයි’ බැනවැදුණු අතර එවැන්නකු සමග තව දුරටත් කතාවක් නැති බැවින් අපි නැගිට ආවෙමු. ඔහු ‘හොඳයි වෙන දේ බලාගන්න පුළුවන්’ යැයි කීවේය. මම අඩියක් ආපහු හැරී, ‘ඔබතුමාද කරන්නේ?’ යැයි ඇසූ විට ඔහු කීවේ, ‘නෑ. මම නෙවෙයි, කරන අය කරාවි’ යනුවෙනි. ඉතින් ‘කරන අය’ කිව් පරිදි ‘ඒ විදියට‘ කළ බව අමුතුවෙන් කිව යුතුද?

මේ අප්‍රසන්න සංවාදයෙන් ටික දිනකට පසුව ලසන්ත වික්‍රමතුංග මහ මග ඝාතනය කර දැමුණු අතර ඒ අවමඟුල වියරු පාලනයට එරෙහිව පැන නැඟුණු පළමු දැවැන්තම විරෝධතාව විය. ‘ඝාතකයා සාටකයා’ යැයි මහ දවල් සටන්පාඨ කියැවුණේ එහි ය. මෙම අවමඟුලෙන් පසුව මටත් සනත්ටත් එල්ලවූ තර්ජන හමුවේ අපි ඉන්දියාවට පලා ගියෙමු. සති තුනකට පසුව මිතුරන් එපා කියද්දී මම නැවත ලංකාවට ආවෙමි. ඉන් පසුව වසර විසි පහකට වැඩි කලක් තිස්සේ සිහිනයක්ව තිබූ, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහා කාර්යාල ගොඩනැගිල්ලක් ඉදි කිරීමේ කටයුත්තට උර දුන්නෙමි. මා පැහැරගනු ලැබුවේ ඒ අතරතුරය. අවසානයේ, මගේ නම ඇසූවිට රාජ උදහසට ලක් වේ යැයි බියෙන් කුලියට නිවසක් වත් නොදෙන තරමට මව් බිම අනාරක්ෂිත තැනක් වූ පසු ඇමරිකාවේ දේශපාලන රැකවරණ පිළිගැණීම හැර අන් මගක් මට නොවීය.

හමාර කීම

වසර හතකට පසුව බොහෝ දේ වෙනස් වී තිබේ. ඒ මා පලා ගිය පසුවත්, තවදුරටත් බිහිසුනු තර්ජනවලට මුහුණ දෙමින් ඒකාධිපතිත්වයට එරෙහිව අරගල කළ ධෛර්යවන්ත මිනිසුන් නිසාය. ඔවුන්ට පින් සිදු වන්නට, සත් වසරකට පසුව ලංකාවට පැමිණ මහළු මව්පියන්ගේ මුහුණු ජීවමානව දැක ගැනීමේ වාසනාව මට හිමි විය. ඒකාධිපති රාජපක්ෂ නඩය සිහින දුටු පරිදි සදාකාලිකව පවුල් පාලනය තහවුරු වූයේ නම්, මට ඔවුන්ගේ මුහුණු යළි දකින්නට ලැබෙන්නේ නැත.

එහෙත් ගැඹුරින් බලන විට සැනසුම් සුසුම් හෙළීමට තරම් දෙයක් තවමත් සිදුවී නැත. ප්‍රගීත් අතුරුදන් කිරීම සම්බන්ධ පරීක්ෂණය හැරුණු විට මාධ්‍යවේදීන් ඝාතනය කිරීම ඇතුළුව ජනමාධ්‍යවලට එරෙහිව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් කිසිදු විධිමත් පරීක්ෂණයක් ආරම්භ වී නැත. මට කළ හිංසනය ඒ අතරින් එකක් පමණි. එහි බිහිසුනු පණිවුඩය නම්, මේ අපරාධවලට වගකිව යුතු වුන් තවමත් නිදැල්ලේ සිටින බවය.

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයේ සැකකරුවන් ‘රණ විරුවන්’ ලෙස අභිෂේක කරවමින්, උසාවියට පවා කඩා වදිමින්, රංචු පිටින් බන්ධනාගාරයට බඩගාමින් ‘මහ හොරා ඇතුළු ඒකාබද්ධ හොරු රැළ’ නටන නිරුවත් නාඩගම දකින විට, මේ අපරාධවලට ඔවුන්ගේ ඇති සම්බන්ධය කෙතරම් දැයි තහවුරු වෙයි. එසේ තිබියදී මොවුන් දැන් මාධ්‍ය නිදහස ගැන ප්‍රකාශ නිකුත් කරනු බලා සිටීමට සිදුවීම තරම් කරුමයක් තවත් තිබේද?

නැවත වරක් මේ ඒකාධිපතියා පිරිවරාගෙන යන පෙරහැර නතර කළ යුතුය. එය කළ හැක්කේ අපරාධ පිළිබඳ සොයා බලා වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාදාමය ශක්තිමත් කිරීමෙනි. එසේ වුවහොත් ඒ පෙරහැරේ මුදුනාගේ සිට තවත් බොහෝ දෙනෙකුගේ ගමන කෙළවර වනු ඇත්තේ සිර ගෙදරිනි.

පෝද්දල ජයන්ත | Poddala Jayantha




20 comments:

  1. ආගම, රට, ජාතිය ඔක්කොම විකුණල බලේ ගත්තු, බලේ හිටපු එවුන්ගේ බැලයන්ට ඒවම විකුණනව ඇරෙන්න වෙන කරනන් දෙයක් ඉතුරුවෙලා නැහැ. ඔච්චර අමාරුනම් උස්සපු සල්ලි දාල හදපල්ලකො ඊට වඩා උස පන්සලක්.

    ReplyDelete
  2. "නීල කාස හොරු"
    මාතලන්ගෙන් හොරකන් කොලා නේද

    ReplyDelete
    Replies
    1. රවී මේක හොරකම් කලේ අත්තම්මගෙන්,

      Delete
  3. Very good write this post. I agri hundred pasent. Nanasara is no wise man. He fool racism monk. We no want racism. Racism is bomb too. Sri lanka muslim people are human beens too. they rigts have to falow thir religen. They have rigt to bild mosks they like even more higt. Whay nanasara take pain. what thing hapen they go to mosk and prey? What the wrong? If think more corect we must remove tempals no wanted here more and more to give eqality to other religens. Muslims no wrong bild mosks they want why their populasion grow too.

    ReplyDelete
    Replies
    1. //Muslims no wrong bild mosks they want why their populasion grow too.//

      yes Ratathota. Muslims bild mosks to do sex. Nanasara shud bild tempals so monks can have sex too.

      Delete
  4. The unfortunate thing is that bayyas cannot make any sense of these things. See the ano comment above. They haven't got the wisdom to see through these things except for admiring the 'satake' and 'udu rawula'.

    ReplyDelete
  5. වැඩක් වෙන්නේ නෑ රවි.... මහින්දලාට එරෙහිව කිසිම ක්‍රියා මාරගයක් නොගන්න බවට ඔහුට සහතිකයක් දීලා තියෙනවා රනිල් හා මෛත්‍රී දෙදෙනාම... ඒ වගේම ගෝඨා ගන්න යන කතාවත් ඇත්ත... ඒ සැරේ මුන් ඔක්කෝම එක්කාසු වෙලා ගේම දෙන්න යන්නේ...

    ආයෙත් රට පුරාම ලේ ගලයි... මහා කාලකන්නි රටක්... ඉන්න රටක සදා කල්ම ඉන්න බලපන්...

    ReplyDelete
    Replies
    1. ජහ පාලනේට රෙදි නැතුව කඩේ ගිය ගූ කැලි දෙකක් බොරුවට හොද වෙන්න හදනවා

      Delete
    2. එහෙම ගිහින් හරි ගලවන්න ඕන එකාගේ රෙද්ද ගැලෙව්වනේ....

      Delete
    3. අනුන්ගෙ ගැලවිලි කෙසේවෙතත් දැන් හෙලුවෙන් බව රටටම පේනවා.... කොච්චර හොදද කිවුවොත් චන්දෙ දුන්න එකෙක්වත් බේතකටවත් නෑ හොයාගන්න

      Delete
  6. නුවර තියන කඳු වල හැටියට දළදා මාළිගාවේ වහලෙට පහලින් හිටින විදිහට ගොඩනැගිලි හදන්න නම් කඳු කපලා නුවරම ෆ්ලැට් කරන්න වෙනවා... යකෝ දැක් ඔය විදිහට ධර්මරාජෙ, මහාමායා එකෙත් සමහර බිල්ඩිං, හිල්වුඩ්, වේල්ස්පාර්ක් ඔක්කොම කඩලා අහක් කරන්න වෙනවද?

    ReplyDelete
  7. Mehema case ekak thiyanawa. oya dantha dathun portugese kale govata gena giyalu. anika pansalak kittuwa geval nam hadanna honda nehe.

    ReplyDelete
  8. ධාතු ගෑවුණු තැන කේස්.. හික්.. පෝද්දල ජයන්තගේ ගෑනියි දරුවයි කොයි හැටි දුකක් විඳින්න ඇද්ද? හ්ම්ම්ම්...

    ReplyDelete
  9. දැන් නම් ආගම් කියන එක මහම වදයක් වෙලානේ.මරා ගන්නවා ඇරෙන්න වෙන වැඩක් නැහැ. ඕනෑම දෙයක් ඕනවට වඩා ඕන නැහැනේ. පන්සල් පල්ලි කෝක වුනත් දැන් අපිට පමණට වඩා තියෙනව.තව වැඩිවෙන්න වැඩි වෙන්න ප්‍රශ්ණ වැඩි වෙනවා මිසක් අඩුවක් නැහැ.මිනිස්සුන්ට කල්පනා කරන්න හොඳ නිර්මාණ බිහිවෙන්න නව නිපැයුම් ඇතිවෙන්න වෙලාවක් නැහැ. ආගම වුනත් ඕනවට වඩා ඕන නැහැ.කොයි ආගමත් මම කියන්නේ.අපි පොඩි කාලේ තිබ්බට වඩා බුද්ධාගම වෙනස්.නානාප්‍රකාර අමුතු පුජාවල්..මම රහත් කියල තමුන්ම කියා ගන්න පිස්සෝ වැඩි වෙලා. මුස්ලිම් ආගමත් එහෙමයි.යසට හිටි ගැහැණු ළමයින් කළු අවතාර කරලා.කතෝලික ආගමේ මොනව වෙලාද කියන්න මම දන්නේ නැහැ.
    අනික් මිත්‍යා ව්‍යාපාරත් හතු පිපෙනවා වගේ.අද උදෙත් ඇත්තටම මට හිතුන මේ ගැන ලියන්න. කලකිරෙනවා දැක්කම.

    ReplyDelete
  10. හැබෑටම දැන් මේ හෙට අනිද්දා නියෝජ්‍ය නායක වෙන්න ඉන්න ගෝටා.............බය උන්නාන්සේ ඔහොම නරක වැඩක් කරයිද මං අහන්නේ. පෝද්දලයට පිස්සු.

    ReplyDelete
  11. හැමදාම වගේ දැනුත් සතුටු දේත් ඇත. අසතුටු දේත් ඇත.
    අසතුටු දේ කරමින් සිටි අය පරාජය කිරීමට චන්දය දීම ගැන අසතුටක් නැත. ඒ ඒ අපේක්ෂාව ඉටුවුන හෙයිනි.
    ඊලඟ චන්දය දීමට හැකිවුනොත් ඒ වෙලාවට වඩාත්ම අකමැති අය කවුරුද සිතා ඔවුන් පරාජය කිරීමට චන්දය දෙන්නෙමි. මොකෙක්වත් දිනවීමට වඩා අකමැති එවුන් පරාජය කිරීමට චන්දයදීම ලංකාවේ චන්දය දීමට වඩාත්ම සුදුසු ක්‍රමය බව විශ්වාස කරමි

    ReplyDelete
  12. පැවති මර්ධනකාරී පාලනය වෙනස් කරමින් නැවත ජනතාව විසින් බලය ලබා දුන්නේ එවැනිම මර්ධනයක් ක්‍රියාත්මකකර පලපුරුද්ද සහිත පුද්ගලයින් සමුහයකටය, එබැවින් ඔවුන්ද ඉදිරියේදී හොරකමද, දුෂණයද,මර්ධනයද කිරීමට නියමිත බැවින් එවා කරන්නට අණදුන් පුද්ගලයින්ව සොයන්නේ නැත. මේ පාලනයේද අවසාන කාලයට කිට්ටුවන විටදී ඔයවැනිම ආකාරයේ මර්ධනයන් හා මාධ්‍ය නිහඩකිරීම් බලාගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

    වෙනත් පාලනයක් ඉදිරියේදී ඇතිවන කාලයකදී පොද්දල ජයන්ත වෙනුවට වෙනත් කෙනෙකු මෙවැනිම අත්දැකිමක් ලියනු ඇත, ඒ කාලයට රවීලා සමහරවිට රනිල්ගේ පාලනය වෙනුවට විමුක්තිගේ හෝ නාමල්ව හෝ වෙනත් කෙනෙකුව ප්‍රමෝට් කරමින් ලියන ලිපි අපිට කියවීමට හැකිය.....

    මිනිසුන් මෙම තත්වය තේරුම් ගනිමින් කාලයෙන් කාලයට තමන් අකමැති පාලකයින් හෝ තමන් අකමැති නියෝජිතයින් ගෙදර යවමින් සතුටු වෙනවා වෙනුවට තමන් සක්‍රියව පාලනය සදහා මැදිහත්වන ක්‍රමයක් සකස්කර ගන්නාතුරු බලය සහිත පුද්ගලයින් අතින් දුර්වලයින්ට පිඩාවන්ට පත්වන්නට සිදුවනවා ඇත....

    ReplyDelete
  13. කියෙව්ව. x 2
    ජයවේවා..!!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...