Saturday, April 29, 2017

504. Three Of A Kind…Remembrances of Ilandariya, Oba and Wicha…...


අපේ විචාතුමා..
ඡායාරූපය Transylvania බ්ලොග් අඩවියෙනි.

අප්‍රේල් සහ මැයි මාස ලාංකික බ්ලොග්කරුවන්ට මාරාන්තික අපල කාලයක්ද කියල වෙලාවකට හිතෙනව. 

මම බ්ලොග් ලියන්ට ඇවිදිල්ල මාස හයක් යන්ට උනේ නෑ සහෝදර බ්ලොගර් කෙනෙක් මියගියා. ඒ දිලුම් ...දිලුම් දිසානායක....දිලුම් බ්ලොග් එකක් ලිව්වෙ ඉලන්දාරියා යන නමින්. 

මට මතක විදිහට කණෙහි ඇතිවූ දරුණු ආබාධයකට ප්‍රතිකාර ගනිමින් සිටියදී ඇතිවූ යම් සංකූලතාවයක් නිසා දිලුම් අප අතහැර ගියා. 


ඉලන්දාරියා ගැන මම ලිව්ව සටහනට මෙතනින් පිවිසෙන්න පුලුවන්.

ඒ 2011 මැයි මාසෙ………….

ඊලඟට හරියටම අවුරුද්දයි ගත වුනේ....2012 මැයි මාසෙ ඔබා නොහොත් ඔබ්සර්වර් නොහොත් සනත් විජේවර්ධන අපෙන් සමුගත්තා.

ඔබා පදිංචිවෙලා හිටියෙ ඕස්ට්‍රේලියාවෙ පර්ත් නගරයෙ. හදිසියේම එහෙදි ඔහු මියගිය බව අපිට දැනගන්නට ලැබුනා.

මේ ඔබා ලියපු අවසන් සටහන....

එතකොට මේ මම ඔබා වෙනුවෙන් ලියපු මතකානුස්මරණය...

වියුණු අවකාශයේ තවත් අසමසම ලක්ෂණයක් මම හිතන්නෙ මේක. ඒ කිව්වෙ ලියපු පුද්ගලයින් මෙලොව අතහැර ගිහිල්ල සෑහෙන කලක් වුනත් ඔවුන්ගේ නිර්මාණ  කී ස්ට්‍රෝක් කීපයක පරතරයෙන් අප අතරම පවතින එක.

මේ දෙන්නගෙන් ඉලන්දාරියා ජිවිතේ හිරිමල් වියේ පසුවූවෙක් වන විට ඔබා ජීවිතේ සැඳෑ සමය ගත කලෙක්...ඒත් මරණයට දින නියමවෙලා තියෙන්නෙ කවදද කියන එක වැදගත් නෑ. එනකොට දුන්නු වීසා එක එක්ස්පයර් වෙනකොට යන්නම වෙනව. ආය ඤං පචං මොකවත් බෑ. ආන්න ඒකයි ඒකෙ අවයවය..

හිතවතෙකුගෙ සහෘදයකුගෙ නික්ම යාමකදි අපි අනිවාර්යයෙන් මරණය ගැන ආයෙම හිතන්න පෙළඹෙනව. එහෙම අවස්ථාවක හැර අපි ඔය මරණය ගැන සිතුවිල්ල හිතේ පතුලෙම තියන යකඩ සේප්පුවකට දාල ඉබ්බෙකුත් දාලයි තියෙන්නෙ.

එක අතකට එහෙම නැතුවත් බෑ. අපි හැමෝම කවදාහරිම මැරෙනව තමයි. ඒත් ඉතිං එහෙමෙයි කියල 24/7 මරණය ගැන හිත හිත ඉන්ටත් බෑනෙව. ඔලුව නරක් වෙයි එහෙම හිතන්ට ගියොත්.

විචා හමුදා සේවයෙන් විශ්‍රාම ගිහිල්ල වියුණුවක් ලියන්ට පටන්ගත් පුද්ගලයෙක්. ඒ එක්කම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිපූර්ණ වියුණු රචකයෙක්. ඔහු තමන් ලියන දේ පිළිබඳව දවසෙන් සෑහෙන ප්‍රමාණයක් වැය කරල අධ්‍යයනය කරල, ඒ ලියන කරුණුවල මූලාශ්‍ර ගැන පූර්ණ වශයෙන් සෑහීමට පත් වෙලයි යම් ලියවිල්ලක් ප්‍රසිද්ධ කලේ.

ඉතින් එහෙම දැඩි කැපවීමකින් වියුණුකරණයෙහි නියැලුනු හින්දම වෙන්න ඕන අනවශ්‍ය කමෙන්ට් වලින් ඔහු බොහොම ඉක්මණට කෝපයට පත්වුනා. එහෙම වෙන්නත් එපාය එක අතකට. අච්චර මහන්සියෙන් සමහරවිට පවුලේ උදවියගෙ නොරිස්සුමට පවා ලක් වෙමින් කරුණු සොයා බලල ලිපියක් ලියල පල කලාම පාඨකයො ඒ ගැන කතා නොකර වෙන අභූත චෝදනා එල්ල කරනකොට කෝපයට පත්වෙන එකේ කිසිම පුදුම වෙන්ට දෙයක් නෑ.

විචා ඇවිල්ල අන්න ඒ ජාතියෙ පැෂනේට් බ්ලොගර් කෙනෙක්. හමුදාවෙ විනය නිසාමද කොහෙද ඔහු කරන දේ හරියටම කරන කෙනෙක්…වියුණු ලොවෙහිදී ඔහු මට අනන්ත මුණ ගැසී තිබුණත් සැබෑ ලොවෙහිදී ඔහු මුණ ගැසීමට නොලැබීම ගැන මම තවමත් දුක්වෙනව.

Eulogy නැත්නම් මරණානුස්මෘති සැමරුම් සටහන් කියල කියන්නෙ යම් කිසිවකු මිය ගියහම ඔහුගේ හෝ ඇයගේ ගුණානුස්මරණය කරමින් පබඳින කව් පෙලක් එහෙම නැත්නම් ලියන ලිපියක් එහෙමත් නැත්නම් කරන කථාවක්....ලෝක ප්‍රසිද්ධ මරණානුස්මෘති සැමරුම් සටහන් බොහොමයක් තියනව...ඒවයින් මම කැමතිම දෙකක් මේ. ඉස්සෙල්ලම ෂේක්ස්පියර්ගෙ හැම්ලට් නාට්‍යයෙ හැම්ලට් මරණාසන්න මොහොතෙ හොරේෂියෝ මෙහෙම කියනව.

Now cracks a noble heart. Good night sweet prince:
And flights of angels sing thee to thy rest!

උදාර හදකිය නිසල වූයේ, 
සුබ රැයක් දයාබර වූ කුමරුනි, 
දෙවඟනන් කැල ගයන ගී සර, 
අසමින් නිදනු මැනව සදා ඔබ,

දෙවැන්න මාක් ට්වේන් තරුණ වියේදීම මියගිය තම දියණිය වෙනුවෙන් ලියූ පැදිපෙලක අවසාන පද කිහිපය.

Warm summer sun, shine friendly here 
Warm western wind, blow kindly here; 
Green sod above, rest light, rest light, 
Good-night, Annette! 
Sweetheart, good-night!

උණුසුම් වූ ගිම්හාන හිරු මඬල, 
මෙහි ඔබේ සැඩ වූ රැස් මුදු කල මැනව, 
උණුසුම් වූ අවරදිග මාරුතය, 
මෙහි සුමුදු ලෙස හමනු මැන, 
හරිතවන් තණ බිස්ස, 
ඇය මත සැහැල්ලුව රැඳෙනු මැන,
සුබ රාත්‍රියක්, දයාබර ඇනට්,
මා සොඳුර, ඔබට සුබ රාත්‍රියක්!

විචා විශ්‍රාමික හමුදා නිලධරයෙක් හින්ද හමුදාවට අදාල මේ උද්ධෘතයෙන් මම මේ ගුණානුස්මෘති සැමරුම් සටහන නිමා කරන්නට කල්පනා කලා.

"If it moves, salute it; if it doesn't move, pick it up; and if you can't pick it up, paint it."

So My Dear Wicharaka, 

Course you didn't move,
But strode like a colossus among us,
So I salute you with profound regrets in my heart,
Because we never had the opportunity to meet in real life, 
But we would meet there somewhere,
Where you are now of course,

Until then….

My deeply respectful salute to you Wicha….

Friday, April 28, 2017

503. Abandon all hope ye who enter here - මෙහි ඇතුළු වන්නෝ සියළු අපේක්ෂාවන් අත්හැර ගතයුත්තෝය.


13 වන සියවසේ විසූ සුප්‍රසිද්ධ ඉතාලි ජාතික  කවියකු
වන ඩන්ටේ ඇලිගියරි විසින් රචිත Divine comedy
නම් කා
ව්‍යයෙහි නිරයට ඇතුළුවන ප්‍රධාන දොරටුව 
ඉහලින් මෙසේ සඳහන් වන බව කියවේ.

"Q & A" පොතේ පරිවර්තනයෙ දෙවෙනි කොටසක් ගැන මගෙ හිතේ ඇත්තටම තිබ්බෙ නෑ. 

ඒත් එක්කම අපේ නිර්මාණි ගැන මගේ හිතේ තියෙන්නෙ ලොකු ගෞරවයක්. ඒ හින්දම නිර්මාණිගෙ බලවත් ඉල්ලීම කරන කොටගෙන සහ වෙනත් සහෘදයින් කීප දෙනෙකුගෙම ඉල්ලීම්ද සලකා බලා ඔන්න එහෙම එකකුත් කරන්ට වුනා.

****************************************


පොලිස් පරීක්ෂක ගෝඩ්බෝලේ මැදිවියේ පසුවන්නෙකි. බැලූ බැල්මට ඔහු සතළිස් වියෙහි මැද භාගයේ පසුවන්නෙකැයි අනුමාන කල හැක. කෙස් වියැකෙමින් තිබූ ඔහුගේ හිස සහ ඝනව වැඩුණු උඩු රැවුලෙන් යුතු මහත්වූ මුහුණ නිරතුරු රත්පැහැයෙන් දිලුනේ කවුළු සියල්ල තර කොට වසා තිබූ හෙයින් සුළං රැල්ලකුදු හමා නොආ පොලිස් ස්ථානය තුලවූ දැඩි දාහය හේතුකොටගෙන විය යුතුය. තැනින් තැන පැලී කඩතොළුවූ පොලිස් ස්ථානයේ සිමෙන්ති පොළව මත ශබ්ද නැඟෙන ලෙස බරට පියවර තබා ඇවිදීමට ප්‍රියකල ගෝඩ්බෝලේ හැඳ හුන් කාකි කළිසමෙහි ඉණට ඉහළින් ඔහුගේ විශාල උදරය ඉදිරියට නෙරා එල්ලී තිබිණි.

"මේ කාලකන්නි මැස්සො…. මළ කරදරයක්නෙ මේක…. දෙයියන්ගෙ නාමෙට...." 

එසේ බිරුසන් දෙමින් ඔහු තම මහත් නාසය මත වසන්නට තැත් කල කළු පැහැති විශාල මැස්සෙකුට සුරතින් පහරක් එල්ල කලේය. නිරුපද්‍රිතව ඉගිල ගිය මැස්සා ගෝඩ්බෝලේගේ හිස වටා සරන්නට වූයේය.

ගෝඩ්බෝලේ අද කෙළසකවත් සුහද මනෝභාවයකින් (In a good mood) නොසිටින බව උදෑසන හිරු එළිය මෙන් සුපැහැදිලිය. ඔහුගෙ හිස වටා නිරතුරු සරන මැස්සෝ ඔහුට මහත් හිරිහැරයකි. එලෙසම පොලිස් ස්ථානය තුල පවතිනා අධික උණුසුම ඔහුට මහත් කරදරයකි. දහදිය බිඳු වැලක් ඔහුගේ හිස් මුදුනෙන් ඇරඹ මහත්ව එල්ලා වැටෙනා කොපුල් තල මතින් පහතට ගලා යන්නේය. ඔහු දැඩි නොඉවසිල්ලෙන් සුරත ඔසවා ඒ දහදිය කමිස අතෙන් පිස දමන්නේ "Bloody hell" යනුවෙන් තොල මතුරමිනි.

"ඔක්කොමත් හරි අයිසෙ තමුසෙගෙ නම තමයි වැඩේ..මොන ජාතියෙ නමක්ද ඕයි ඒක?" මැස්සන්ට සහ දහදියට වඩා ඔහුට මගේ නම හිරිහැරයක් වී ඇති සෙයකි. "රාම් මොහොමඩ් තෝමස්.....යකාගෙ නමක්නෙ ඕයි ඒක..මගෙ ජීවිතේට මම ඔහොම නමක් ඔය ඇහුවමයි. ඉන්දියාවෙ තියෙන ඔක්කොම ආගම්වලට සම්බන්ධ නම් අයිසෙ ඒ නමේ තියනවනෙ. එකත් එකටම තමුසෙගෙ අම්මට හරියටම ෂුවර් නැතිවෙන්ට ඇති තමුසෙගෙ තාත්ත කවුද කියල..හහ්,හහ්.හා..." යලිත් දෙකන්සෙන් ගලන දහදිය පිසිමින් ගෝඩ්බෝලේ මහහඬින් සිනාසුණේය.

මම ඒ අපහාසය නෑසුනාක්මෙන් නිහඬව පසුවීමට තීරණය කලෙමි. මගේ නම පිළිබඳව මීට වඩා දරුණු අපහාසයන්ට මම කුඩා කල පටන්ම මුහුණදී ඇත්තෙමි.

පොලිස් ස්ථානයේ චෝදනාගාරයේ දොරටුව දෙපස මුර කාවලෙහි නියුතු පොලිස් භටයින් දෙදෙන නහයට කෙලින් ඉදිරිය බලාගත්වනම සීරුවෙන් පසුවන්නේ පිළිම පරිද්දෙනි. චෝදනාගාරය තුල යම් උසස් නිලධාරියෙකු හිඳින බවට ඒ නිසැක සාක්ෂියකි. හෝරා දෙකකට පමණ පෙර ඔවුන් මගේ සිරකුටිය ඉදිරිපිට බුලත්විට සපමින් අසභ්‍ය විහිළු පවසමින් මහ හඬින් සිනාසෙමින් නිවී සැනසිල්ලේ පසුවූවෝ වෙති. ඔවුන් පසුවන අපහසු ඉරියව්ව දුටු මගේ මුවඟට යම්තමට සිනහවක් නැඟිනි. ඒ දුටු එක් පොලිස් භටයෙක් මුහුණේ ඉරියව්ව වෙනස් නොකොට ඔහුට හැකි අයුරු මදෙස රවා බැලීය.

චෝදනාගාරයෙහි දොර ඉහලින් හින්දි මරාති සහ ඉංගිරිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම චෝදනාගාරය යනුවෙන් ලොකු අකුරින් ලියූ නාම පුවරුවක් එල්ලා ඇත. ඒ දුටු වහාම මගේ මතකයට පැමිණියේ මා කුඩාකල හැදී වැඩුනු කතෝලික දේවස්ථානයෙහි ප්‍රධාන පියතුමා එකල මට ඉගැන්වූවකි. එනම් නිරයේ ප්‍රධාන දොරටුව ඉහලින් ශෛලමය පුවරුවක කොටා ඇතැයි සැලකෙන වාක්‍යයකි. "Abandon all hope ye who enter here" එනම් "මෙහි ඇතුළු වන්නෝ සියළු අපේක්ෂාවන් අත්හැර ගතයුත්තෝය" යන්නයි.

චෝදනාගාරයෙහි දොර විවරකල ගෝඩ්බෝලේ මා එතුලට තල්ලු කලේය. එතුල එක් බිත්තියක සවිකල වර්තමාන වසරෙහි මුම්බායි නාගරික බල ප්‍රදේශය තුල සිදුවූ ඝාතන, පැහැරගෙන යෑම්, ආයුධ සන්නද්ධ මංකොල්ලකෑම් වැනි භයානක ලෙස වර්ගීකරණය කොට ඇති අපරාධ පිළිබඳ සවිස්තරව සඳ හන් විශාල ප්‍රස්ථාරයක් ඉදිරියේ සිටගෙන සිටිනා පුද්ගලයින් දෙදෙනෙකි. මම එක්වනම ඉන් එක් පුද්ගලයෙක් හඳුනා ගතිමි. ඔහු ඒ තීරණාත්මක දිනයෙහි එනම් මා ඉදිරිපත්වූ ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන රූපගතකල දිනයේ එහි එනම් ඒ රූපගත කිරීම සිදුවූ මැදිරිය තුල අසුන්ගෙන සිටියේය. ගැහැණියක නැතහොත් රොක් ගායකයකු විලස දිගැති කෙසින් යුතු ඔහු හෙඩ්ෆෝනයක ආධාරයෙන් ප්‍රශ්ණ විචාරාත්මක තරඟය මෙහෙයවූ පුද්ගලයාහට නිරතුරු උපදෙස් දුන් බවද මට රහසක් නොවීය.

ඔහු සමඟ හුන් අනෙකා මම නොදත්තෙමි.සම්පූර්ණයෙන් මුඩුකල හිසකින් යුතුවූ ඔහු සුද්දෙකි. හෙතෙම නීලලෝහිත පැහැ (Mauve colored) කෝට් එකකින් සහ රඹපැහැ (Orange colored) ටයි පටියකින් සැරසී හුන්නේය. දාස්දෙන මෙවන් උණුසුම් කාලගුණයක ටයි පලඳින්නේ සහ කෝට් අඳින්නේ සුද්දන්ම පමණි. එසේ ඕනෑම කාළගුණයක නොවරදවා ටයි කෝට් පළඳින්නකු මගේ මතකයට පැමිණියේ නිරායාසයෙනි. කලක් මා සේවය කල ඕස්ට්‍රේලියානුවකු වූ කර්නල් ටේලර් මහතා ද එවැන්නෙකි.

දුහුවිලි බැඳුණු සිවිලිම් පංකාව උපරිම වේගයෙන් ක්‍රියාකරන්නේ වී නමුදු කිසිදු කවුළුවකින් තොරවූ චෝදනාගාරයෙහි තුල රජයන දැඩි උෂ්ණත්වය මඳකින් හෝ සමනය කිරීමට ඒ සමත්වූයේ නොවේ. බොහෝ කලකට ඉහත සුණු පිරියම් කලේයයි සිතිය හැකි කිලිටි බිත්තිවලින් නිකුත්වන හුස්ම සිරකරවන සුළු දාහය පිටත යා නොහී සතර දෙසින්ම වැසුණු කුඩා කුටිය තුලවී සිරවී කරකැවෙන්නේ මුළු සිරුරම ගිණියම් කරවමිනි.

කුටිය තුල වූයේ මළකෑ කුඩා යකඩ මේසයක් සහ ඒ වටා අපිළිවෙලට තැබුණු යකඩින්ම තැනුනු පුටු තුනක් පමණකි. මේසයට හරියටම ඉහලින් කුටිය හරි මැදින් ඒ හරහා දිවෙනා දැවමුවා බාල්කයකින් එල්ලුනු ඇළුමිනියම් ආවරණයකින් යුතු විදුලි බුබුලක් විය.

මාද කැඳවාගෙන ඔවුන් අසලට ගිය ගෝඩ්බෝලේ සුද්දාහට මා හඳුන්වා දුන්නේ තම සුරතල් සිංහ පෝතකයා නරඹන්නන්ට හඳුන්වා දෙන සර්කස් හිමි කරුවකු විලසිනි.

"සර් මේ තමයි රාම් මොහොමඩ් තෝමස්"

සුද්දා කලිසම් සාක්කුවකින් ඉවතට ගත් ලේන්සුවකින් නළලේ දහදිය පිසින අතර මදෙස හෙලූයේ ඔහුගේ විසිත්ත කාමරයේ දිලිසෙන පොළව මත හිඳ අහම්බෙන් නෙත ගැටුනු හැකරැල්ලකු දෙස හෙලන අයුරු නොපහන් බැල්මකි.

"හා...හා..හා..මෙයා තමයි එතකොට අපේ මේ සුප්‍රසිද්ධ කෝටිපතියා..මම අහපු විදිහට නම් බලාපොරොත්තු වුනේ මීට වඩා ලාබාල කොලුවෙක්"

මම නළල රැලිකොටගත් වනම ඔහුගේ වචන උච්ඡාරණයෙන් ඔහු කුමන ජාතිකයෙක්දැයි නිර්ණය කොටගැන්මට උත්සාහ කළෙමි. අග්‍රාහි ටජ්මහල් මාළිගයෙහි සංචාරක මඟ පෙන්වන්නකු ලෙස කටයුතු කල කාලසීමාව තුල මම සංචාරකයින්ගේ වචන උච්ඡාරණයෙන් ඔවුන් කුමන රටක වැසියන්දැයි නිවැරදිව නිගමනය කිරීමට උගත්තෙමි. සාර්ථක මඟ පෙනවන්න්කු වීමට එමෙන්ම වැඩි මුදලක් උපයාගැන්මට එවන් හැකියාවක් අත්‍යාවශ්‍යය.

සුද්දාගේ නහයෙන් නිකුත්වන උච්ඡාරණය අනුව ඔහු අමරිකානුවකු බව මම තීරණය කලෙමි. බෝල්ටිමෝර් සහ බොස්ටන් වැනි අමරිකානු නගරවාසීන් ටජ්මහල් නැරඹීමට පැමිණ මා හා දොඩමළුවූයේද මෙවන් නාසික උච්ඡාරණයකිනි. මේසය වටා වූ පුටු තුනෙන් එකක් තමා වෙතට ඇදගත් සුද්දා එහි අසුන් ගත්තේ කකුලක් පිට කකුලක් දමා ගනිමිනි. ඇස් කෙවෙණි තුල ගැඹුරින් පිහිටි නිල් පැහැති ඇස් යුවලකින් සහ ලා රත් පැහැති විශාල නාසයකින් යුතු ඔහුගේ මුහුණෙහි තැනින් තැන නිල් පැහැ කුඩා ලේ නහර මතුව ඇත්තේ දිරාගිය පත්‍රයක නාරටි ලෙසිනි.

"හෙලෝ…." සුද්දා කෙලින්ම මගේ මුහුණ දෙස බලා මා ඇමතීය. "මගේ නම නීල් ජොන්සන්. මම තමයි නිව් ඒජ් ටෙලිමීඩියා ආයතනයෙ නියෝජිතය. නිව් ඒජ් ටෙලිමීඩියා ආයතනය තමයි මේ ප්‍රශ්ණ විචාරාත්මක තරඟය සංවිධානය කලේ. මේ තමයි බිලී නන්ද. ඒ වැඩ සටහනේ නිෂ්පාදකයා"

මම නිහඬවම පසුවූයෙමි. ඔබගේ විසිත්ත කාමරයේ ගෙබිම මත හදිසියේ හමුවන හැකරැල්ලෝ කථා නොකරන්නෝය. විශේෂයෙන්ම ඉංගිරිසියෙන් කථා නොකරන්නෝය.

මද වේලාවක් මදෙස බලාසිටි සුද්දා නන්ද දෙසට හැරුනේය. "මේ මනුස්සයට ඉංග්‍රීසි තේරෙනව නේද නන්ද?" 

"ඔහෙට පිස්සුද හැබෑටම නීල්? මොනවද මේ අහන විකාර? මේ මිනිහ ඔය කොහෙද අහු මුල්ලක තියෙන රෙස්ටුරන්ට් එකක වේටර් කෙනෙක්. ඉතිං එහෙම කෙනෙක් ඉංග්‍රීසි දන්නවයි කියල හිතන්නෙ කොහොමද?"

පොලිස් ස්ථානය වෙත වේගයෙන් ලඟාවන සයිරනයක හඬින් අපගේ අවධානය බිඳ වැටිනි. ඒ සමඟම දොර විවරකොටගෙන පැමිණි පොලිස් භටයෙක් ගෝඩ්බෝලේගේ කණට කොඳුරා යමක් පවසා එසැණින් යලි පිටව ගියේය. ඒ පසුපස ඉක්මන් ගමනින් කුටියෙන් නික්ම ගිය ගෝඩ්බෝලේ යලි පැමිණියේ උසස් පොලිස් නිලධාරියකුගේ නිල ඇඳුමින් සැරසුනු නූස් සහ එමෙන්ම ඉතා ස්ථුල තැනැත්තකු කැටුවය.

ජොන්සන් වෙතට ගොස් තම කහපැහැ දසන් පෙන්වමින් සිනාසුනු ගෝඩ්බෝලේ අමුත්තා හඳුන්වා දුන්නේය. "මිස්ටර් ජොන්සන්... මේ අපේ පොලිස් කොමසාරිස් මහත්මයා"

හිඳ හුන් අසුන පසුපසට කරමින් ජොන්සන් නැඟී සිටියේය. "ආපු එකට බොහොම ස්තූතියි කොමසාරිස් මහත්මයා. මම හිතන්නෙ ඔබ මේ බිලීව නම් දැනටම දන්නවා" කොමසාරිස්තුමාට අසුනක් දක්වමින් ජොන්සන් නැවත හිඳගත්තේය.

"ඔව්.." කොමසාරිස්තුමා හිස සොලවා එකඟ වෙමින් පැවසීය. "ස්වදේශීය කටයුතු බාර ඇමතිතුමා මට ටෙලිෆෝන් කරල විස්තරේ කියපු ගමන්ම තමයි මම මේ ආවෙ"

"ආ..හරි හරි අපේ ලොක්ක මිස්ටර් මිකයිලෝව්ගෙ බොහොම පරණ යාලුවෙක් ඇමති තුමා"

"ඉතිං මහත්වරුනි….. මගෙන් මොනවද ඔහෙලට කෙරෙන්න ඕන?"

"කොමසාරිස්තුමා මට ඔබගේ උදව් ඕන W3B සම්බන්ධව"

"W3B?...ඈ????.... ඒ මොකක්ද ඒ?"

"W3B කියන්නෙ කොමසාරිස් තුමා Who will win a Billion කියන එක කෙටියෙන්. වෙන විදිහකට කිව්වොත් ඒ වාක්‍යයෙ මුල් අකුරු"

"හරි හරි ඒක හරිය කියමුකො…. ඉතිං මොකක්ද ඔය W3B කියල කියන්නෙ? අන්න ඒක කියල ඉමු ඉස්සෙල්ලම...."

"මේක මේ ටෙලිවිෂන් ප්‍රශ්න විචාරාත්මක තරඟයක්. අපි මේ වැඩ සටහන පටන් ගත්තෙ මාස කීපෙකට ඉස්සෙල්ල. අපේ ආයතනය දැනට රටවල් තිස්පහක මේ වැඩ සටහන ක්‍රියාත්මක කරනව. ඔබතුමා දැක්කෙ නැද්ද අපි මුලු මුම්බායි නගරය පුරාම මේ ප්‍රෝග්‍රම් එක පටන් ගන්න ඉස්සෙල්ල මේ ගැන ප්‍රචාරය කරල බිල් බෝඩ්ස් ගැහුවනෙ"

"ම්ම්..එහෙම ගැහුවනම් මට ඒ හැම එකක්ම මිස් වෙලා වගේ. කොටින්ම මම මේ ඔහොම එකක් ගැන ඇහුවමයි. හරි ඒක ඕන නෑ. ඇයි ඉතිං ඔය බිලියනයක්ම තෑගි දෙන්නෙ?"

"කොමසාරිස්තුමා ඔබ "Who wants to be a millionaire" ප්‍රෝග්‍රම් එක බැලුවද? "

"අපොයි ඔව්.." කොමසාරිස්තුමා මහ හඬින් සිනාසුණේය. "කවුන් බනේගා ක්‍රෝර්පති. හප්පච්චියේ ඒ ප්‍රෝග්‍රම් එක මේ ඉන්දියාව පුරාම මහ පිස්සුවක් වගේ උනානෙ. කිව්වම මොකද අපේ ගෙදර ඔය ප්‍රෝග්‍රම් එක ටීවී එකේ ප්‍රචාරය වෙන වෙලාවට මීයට පිම්බවගේ. ගෙදර බඩු මුට්ටු ඔක්කොම උස්සගෙන ගියත් කවුරුවත් දන්නෙ නෑ. මම හිතන්නෙ මම පොලිස් කොමසාරිස් හින්දම බඩු මුට්ටු බේරුනා මිසක.. " කොමසාරිස් තුමා යලිත් මහ හඬින් සිනාසුනේය.

"ඉතිං මට කියන්න ඇයි ඔබ තුමා හෝ ඔබතුමාගෙ පවුලෙ කට්ටිය ඒ ප්‍රෝග්‍රම් එක ඔච්චර ආසාවෙන් බැලුවෙ?"

"වෙන මොකක් හින්දද? ඒ ප්‍රෝග්‍රම් එක එච්චරම ඉන්ටරෙස්ටිං හින්ද"

"හරි එහෙනං මට කියන්න. අන්තිම තෑග්ග මිලියනයක් වෙනුවට දහදාහක් වගෙ උනානං ඔය ප්‍රෝග්‍රම් එක ඔච්චරම ඉන්ටරෙස්ටිං වෙයිද?"

"ම්ම්ම්ම්..නෑ මම හිතන්නෙ…"

"අන්න හරි ...ඔබතුමා දන්නවද මේ ලෝකෙ මිනිස්සු වැඩිපුරම කිතිකවන දේ එහෙමත් නැත්නම් මිනිස්සුන්ගෙ ලොකුම ඔබ්සෙෂන් එක මොකක්ද කියල. ඒ වෙන මොකවත් නෙවෙයි සල්ලි. හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නව ඒ සෙක්ස් කියල. නෑ ඇත්තම කිව්වොත් සල්ලි...ඉතිං ලැබෙන අවසාන ත්‍යාග මුදල ලොකු වෙන්න වෙන්න ප්‍රේක්ෂකයින්ගෙ පිස්සුව වැඩිවෙනව. ඔබ්සෙෂන් එක තවත් විශාල වෙනව"

"හරි හරි මට තේරුණා. ඉතිං කවුද ඔයාලගෙ ඔය ප්‍රෝග්‍රම් එක මෙහෙයවන්නෙ? මම කිව්වෙ මේ ප්‍රශ්ණ අහන්නෙ?"

"අපි ඒකට ගත්තෙ ප්‍රේම් කුමාර්.."

"කවුරු? ප්‍රේම් කුමාර්? අර දෙකයි පණහෙ චිත්‍රපටිවල රඟපාන නළුව? මම නම් කොහොමට වත් හිතන්නෙ නෑ ඒ මනුස්සය හරි යයි කියල...අනික කලින් අර ක්‍රෝර්පති ප්‍රෝග්‍රම් එක කලේ අමිතාබ් භච්චන් නේද? මේ යකා අමිතාබ්ගෙ අහලකින් වත් තියන්න පුලුවන්ද?"

"හරි හරි ඒ ගැන ඔබතුමා හිත අමාරුකර ගන්න එපා. ප්‍රේම් කුමාර් බොහොම අපූරුවට වැඩේ කරයි. අනික අපිට මිනිහව ගන්නම උනා. නිව් ඒජ් ටෙලිමීඩියා එකේ ඉන්ඩියන් හවුල් කම්පනි එකේ කොටස් සීයට විසිනමයක් තියෙන්නෙ එයාට…"

"හරි හරි මට තේරෙනව වැඩේ වෙන විදිහ...හෙහ්,හෙහ්....හරි දැන් එහෙනං මට කියන්න.කොහොමද මේ අපේ ....මොකක්ද මිනිහගෙ නම? ආ..රාම් මොහොමඩ් තෝමස් ...කොහොමද මිනිහ මේකට සම්බන්ධ වෙන්නෙ?"

"පහුගිය සුමානෙ අපි පටිගත කලා අපේ පහළොස්වෙනි ප්‍රෝග්‍රම් එක. ඒකෙ එක තරඟකාරයෙක් මේ රාම් මොහොමඩ් තෝමස්.."

"ඉතිං?"

"ඉතිං කියන්නෙ කොමසාරිස් තුමා මීට කලිං කවදාවත් නොවිච්ච දෙයක් එදා වුනා"

"ඒ මොකක්ද?" කොමසාරිස් තුමාගේ දෑස් විසල් විය.

"ඒ මොකක්ද කියන්නෙ මේ මනුස්සය ප්‍රශ්න දොළහටම හරියටම උත්තර දීල රුපියල් බිලියනයක් දිනාගත්ත"

"මොකක්?..." කොමසාරිස් තුමා හිඳහුන් අසුනින් උඩ පැන නැඟිට්ටේය. "ඔහෙල මට විහිළු කරනවද?"

"විහිළුවක් නෙවෙයි කොමසාරිස් තුමා. මේ සම්පූර්ණ ඇත්ත මම කියන්නෙ. අපිත් ඔබතුමා වගේම පුදුමවුනා. මේ මෙතන ඉන්න කොළුවා ලෝක ඉතිහාසෙ ලොකුම තෑගි මුදල දිනාගත්ත. මේ වැඩසටහන තවම අපි ප්‍රචාරය කලේ නෑ. ඒ හින්ද වැඩි දෙනෙක් ඒ ගැන දන්නෙ නෑ. ඒත් ඒක තමයි ඇත්ත"

"හරි ඉතිං මොකක්ද ප්‍රශ්නෙ? ඔහේලම කියනවනම් ඔහේලම පිළිගන්නවනම් මේ යස්සය රුපියල් බිලියනයක් දිනුව කියල ඔහෙල අදහන දෙයියන්ගෙ නාමෙට ඒ ගාන ඒ මනුස්සයට දීල දානව. එච්චරයිනෙ වෙන්ට ඕන. එතකොට වැඩේ අහවරයිනෙ"

ජොන්සන් මද වේලාවක් කොමසාරිස් දෙස එක එල්ලේ බලා සිටියේය. ඉක්බිති ඔහු කථා කලේ පහත් හඬකිනි. 

"කොමසාරිස් තුමා....මේ....බිලීටයි මටයි ඔබතුමා එක්ක පෞද්ගලිකව පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?"

Monday, April 24, 2017

502. නිදහස් සිතුවිලි ගැන ලක්බිමේ.......

නිදහස් සිතුවිලි පිළිබඳව ලක්බිමේ පළවූ ලිපිය
ඉහත ඡායාරූපයෙහි දැක්වේ.


ඔබ බ්ලොග් රචනයේ යෙදෙන්නට පෙළඹුනේ කෙසේද?

ඉතාම අහම්බයෙන් කියල කියන්න පුලුවනි කිසිම සැකයක් නැතුව. ඇත්තටම බ්ලොග් එකක් ලියන්නට මාව පෙළඹුවෙ මගේ ළබැඳි හිතවතියක් වන රන්දිකා රණවීර ප්‍රනාන්දු මහත්මිය. තවත් විස්තර කලොත් මම බ්ලොග් ලිවීමෙහි යෙදෙනා නිදහස් සිතුවිලි බ්ලොගයේ හිමිකාරිය ඇයයි. තනිකරම ඇගේ දිරි ගැන්වීම මතයි මම මෙහෙම දෙයක් පටන් ගත්තෙ. ඒ හින්ද ඒ ගෞරවය සම්පූර්ණයෙන් ඇයට ලැබෙන්නට අවශ්‍යයයි.

ඔබේ පෞද්ගලික තොරතුරු දැනගන්න අප කැමතියි

මම දැනට මැද පෙරදිග ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක නිරත වෙලයි ඉන්නෙ. මගේ පියා ජීවතුන් අතර නැහැ. මගේ මව බාල සහෝදරියන් දෙදෙනා සහ මගේ භාර්යාවගෙනුයි මගේ පවුලේ උදවිය සමන්විත වෙන්නෙ.

බ්ලොග් රචනයෙහි යෙදීමට පෙර ඔබ වෙනත් ලේඛන කටයුතුවල යෙදී තිබුනාද?

කාලෙකට පෙර කවි සහ කෙටිකතා රචනයෙහි යෙදුනා විනෝදාංශයක් වශයෙන්. ඒත් පසුකාලීනම කාර්ය බහුලත්වය මත ඒ කටයුතු කෙමෙන් අතපසු වෙලා අන්තිමට නැත්තටම නැතිවෙලා ගියා.

කාර්ය බහුලත්වය අතරේ බ්ලොග් ලිවීමට කාලය හොයාගන්නේ කොහොමද?

මම බ්ලොග් ලිවීම අරම්භ කලේ රැකියාව උදෙසා විදේශ ගත වුනාට පස්සෙ. ළබැඳියන්ගෙන් වෙන්ව හුදකලාව ගතකරන කාලය මම යොදා ගත්තෙ ලිවීමට. ඒ නිසාම කාර්ය බහුලත්වය බාධාවක් වුනේ නැහැ බොහෝවිට. රැකියාවේ නිරතව ගතවන කාලයෙන් පසු මගේ කුටියේ ගතකරන කාලය මම බොහෝවිට යොදාගන්නෙ ලිවීම උදෙසා.

ලංකාවේ බ්ලොග් කියවන්නන් සාපේක්ෂව අඩුයි. සීමිත පිරිසක් සඳහා ලියන විට ලැබෙන ප්‍රතිචාර ගැන සෑහීමට පත්විය හැකිද?

ඔබ පවසන කරුණ සම්පූර්ණ සත්‍යයක්. ලංකාවෙ බොහෝදෙනෙක් බ්ලොග් කියල දෙයක් තියනවද කියලවත් දන්නෙ නෑ. ඒත් ඇත්තටම ඒ සීමිත පාඨකයින් සංඛ්‍යාවක් හෝ අප ලියන දේ කියවා ඊට ඔවුන් දක්වන අවංක ප්‍රතිචාර, ඒ කියන්නෙ අගය කීරිම් සහ විවේචන දෙකම ගැන මම මේ කියන්නෙ,පිළිබඳව අවංකවම සතුටු විය හැකියි. තව කාරණයක් පුවත්පතක පලවන ලිපියක්, ඒ වගේම කවිපොතක් කෙටිකතා පොතක් නැත්නම් නවකතා පොතක් වගේ නෙවෙයි බ්ලොග් එකක පලවන නිර්මාණයකට එසැණින් ප්‍රතිචාර ලැබෙනව. අන්න ඒක මම හිතන්නෙ ඉතාම සුවිශේෂී කාරණයක්.

ඔබට පාඨකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොනවාද?

බොහෝවිටම පැසසුම් තමයි. දැඩි මතභේදයට හේතුවෙන කරුණු පිළිබඳව මම ලියනවා බොහොම අඩුයි. ඒ නිසා විවේචන බොහොම අඩුයි. එකම විවේචනයක් තියෙනව නම් තියෙන්නෙ එක දිගට එකම කතාවක් නොලියා අර කතාවෙන් කොටසකුයි මේ කතාවෙන් කොටසකුයි වගෙ ලියල පාඨකයා තුෂ්නිම්භූත කරවනවයි කියල. අනික් අතට මම හිතන්නෙ මේ වෙනකොට එහෙම ලියන එක මගේ අනන්‍යතාවය වෙලා ඉවරයි. ඒ හින්ද මට ඕන වුනත් ඒ ශෛලියෙන් මිදෙන්න බැරිතැනටම ඇවිල්ල.

ලංකාවේ බ්ලොග් ලියන්නන්ට ලැබෙන ප්‍රතිචාර ගුණාත්මකද?

කිසිම සැකයකින් තොරව එක හෙලාම ඔව් කියල කියන්නට පුලුවන්. යමක් ලියල බ්ලොග් එකේ පළකලහම පාඨකයො දක්වන ප්‍රතිචාර මත සමහරවිට රචකයා කිසිසේත්ම අදහස් නොකල මානයකට බලාපොරොත්තු නොවුනු දිශාවකට සාකච්ඡාව ඇදිල යන්න පුලුවන්. ඒ වගේම බොහෝ විට එහෙම සිද්ධ වෙලා ඉතාමත් හරබර ඒ වගේම ජීවිතයට ඉතාම වැදගත් කරුණු ඒ සංවාද වලින් ඉස්මතු වෙලා තියනව.

බ්ලොග් රචනයෙහි යෙදීමට ප්‍රිය කරන අයට ඔබ පැවසීමට කැමති කුමක්ද?

එහෙම උපදෙස් විදිහට නම් යමක් කියන්න මගේ කැමැත්තක් නෑ. මොකද බ්ලොග් ලිවීම කියන්නෙ අනෙකුත් හැම කලා කටයුත්තක් වගේම සම්පූර්ණ නිදහස ඇතුව නිරතවිය යුතු කටයුත්තක්. සමහරවිට වෙනත් බොහෝ කලා කටයුතුවලටත් වඩා නිදහස් මාධ්‍යයක් කියල කියන්නත් පුලුවන්. ඒ කියන්නෙ අනෙකුත් මාධ්‍යයන්ට ඇති සීමාකාරී බාධකයන් බ්ලොග් ලිවීමෙහි නෑ. යමක් කියනවනම් කියන්න තියෙන්නෙ "සහෘදයිනි, ඔබේ සිතැඟි පරිදි නිදහසේ නිරතවීමට හැකි මාධ්‍යයක් වන බ්ලොග් ලිවීමෙහි ඇති නිදහස උපරිමයෙන් භුක්ති විඳින්න. සිත් සතුටින් එහි නිරත වන්න" කියල තමයි.

ලක්බිමෙහි ලිපියට මෙතනින් පිවිසිය හැක.

Saturday, April 22, 2017

138. නොහිතන සිදුවීම්

ඔහු කලකට ඉහතදි මෙරට පමණක් නොව පිටරටත් චිර ප්‍රසිද්ධ වුණු, දැනටත් ඔහු දක්ෂකම් දක්වන ක්ෂේත්‍රයේ වගකිවයුතු නිලයක් දරණ අයෙක්. ඔවුනට දරුවන් දෙදෙනෙකු සිටින අතර මගේ මිතුරියක වන ඔහුගේ බිරිඳ නිවසේ රැඳී දරුවන්ගේ කටයුතු බලාකියාගෙන සිටින කෙනෙක්.





එම දෙදරුවන්ගෙන් එක් අයෙකු පහුගිය දිනෙක අසනීප වුණු නිසා කොළඹින් බැහැර පිහිටි, ඔවුන්ගේ නිවසට ආසන්න පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගන්න සිදුවුණා. දින 10කට ආසන්න කාලයක් නේවාසිකව සිට නැවත නිවසට යාමට සූදානම් වූ දින හවස 6ට පමණ ආගන්තුකයෙකු ඔවුන්ගේ කාමරයට පැමිණෙනවා. එවිට මගේ මිතුරියත් දරු දෙදෙනාත් පමණයි එහි සිටින්නේ. ඇය දරුවන්ට ආහාර කවමින් සිටි අතර මේ පුද්ගලයා ආචාරශීලිව කතාව අරඹනවා.


"මේ චින්තකගේ පේෂන්ට් නේද?"

"ඔව්... ඇයි?"


"අනේ මං රොෂාන්, චින්තක මගේ හොඳ යාලුවෙක්. අපේ තව යාලුවෙක් ඇක්සිඩන්ට් වෙලා දැන් ගෙනාවා. මගේ ෆෝන් එක ඕෆ් වෙලා. මට මිස් තරහා නැතිව චින්තකට කෝල් එකක් අරං දෙනවද?"



දෙවරක් නොසිතූ ඇය සිය කාර්යය මදකට නවතා සැමියාට ඇමතුමක් ගෙන රොෂාන් අතට දුරකතනය දෙනවා.

"මචං මං රොෂාන්... මාර වැඩේනේ කපිල ඇක්සිඩන්ට් වුණා. ඔව් ඔව් මේකට ම දැන් ගෙනාවා. කොහොමද ඉතිං. බබාලා දෙන්නා නං මචං ඇරපු අතක් නැහැ උඹ වගේමයි." ආදි වශයෙන් ආ ගිය තොරතුරු හුවමාරු වන අතරේ ඇය නැවතත් දරුවන්ට කෑම කවන්න පටන් ගත්තා. ටිකකින් රොෂාන් ඇමතුම දරාගෙන ම දොර අසලට යනවා. දොර විවිර කර ගන්නවා. දොරෙන් එළියට යනවා. ඇයට ඇමතුම තවමත් ඇහෙනවා. ආචාරශීලීත්වය ගැන සිතු ඇය ඔහුට ඇමතුම කරගෙන යන්නට හරිනවා. ටිකකින් හඬ නෑසී යනවා. එවිට ඇය පිටතටවිත් විපරම් කර බලනවා. රොෂාන් නැහැ!

ඇය වහා හෙද නිලධාරිනියන්ගේ දුරකතනයෙන් සිය දුරකතනයට ඇමතුමක් ගන්නවා. එය ඒ වනවිටත් ක්‍රියාවිරහිතයි!

අනතුරුව සැමියාට ඇමතුමක් ගෙන ඒ 'රොෂාන්' පිළිබඳ විමසනවා. රටේ ලෝකේ 'මචං'ලා වැහි වැහලා ඉන්න සියලුම සැමියන්ට පොදු දේ ඔහුටත් උරුමයි. ඔහු කතා කර තිබෙන්නේ මේ රොෂාන් කොයි රොෂාන්දැයි කියා නොදැන දෙගිඩියාවෙන්!


අනතුරුව ඇය වහාම රෝහල් පාලනාධිකාරය අමතනවා. සිසිටීවි දර්ශන ඒ මොහොතේ ලබාගත නොහැකි වන්නේ අදාළ කාර්යය මණ්ඩලය හවස 6 වනවිට වැඩ නිමවා යන නිසයි! (මීට වඩා දෙයක් සිදුවුවත් ඔච්චරයි) පසුව ලැබෙන සිසිටීවි දර්ශන තුල ඒ රොෂාන් විනාඩි 40ක පමණ කාලයක් තිස්සේ රෝහල තුළ ගැවසෙන අයුරු දැකගත හැකි වනවා. එම දර්ශන මේ වනවිට රහස් පොලීසිය දක්වා ගොස් හමාරයි. මෙය සිදු වූයේ මාර්තුවේ අග සතියේ වන අතර අද වනතුරුත් කිසිඳු තොරතුරක් නැහැ. දුරකතනයද මේ වනතුරු ක්‍රියාත්මක කර නැති බව අදාළ ආයතන මගින් දැන ගන්න ලැබී තිබෙනවා.

ඇය සිතන්නේ මෙය සොරකමක් නොවන බවයි. නිකමට හෝ ඇය දුරකතනය සොයා ඔහු පසුපස ගියා නම් දරුවන් කාමරය තුළ තනිවනවා. එය අනතුරකට අත වැනීමක්. 

රෝහල් ගතව දින 10කට පසු රෝහලින් පිටත් ව යන්නට යන මොහොතේ පැමිණෙන්නට තරම් ඔහු/ඔවුන් මේ පිළිබඳ ව සෙවිල්ලෙන් සිට තිබෙනවා.



සැමියාගේ ප්‍රසිද්ධිය හා ජනප්‍රියත්වය නිසා යම්කිසි අනතුරක් සැළසුම් කරගෙන ආ බවක් සිතුනත් ඒ කුමක්දැයි ඔවුනට පැහැදිලි නැහැ.



ඉතිං මං මේ කතාව කිව්වේ, මෙය කියවන ඔබ හා මා ඒ තරමට ප්‍රසිද්ධ හෝ ජනප්‍රිය පුද්ගලයින් නොවුණත් අපටද මෙවැනි හෝ මේ හා සමාන අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවිය හැකියි. නන්නාඳුනනා පුද්ගලයින් පිළිබඳ ව කිසිසේත් ම විශ්වාස නොකළයුතු වන අතර අපට සිතාගන්නටවත් නොහැකි ආකාරයට සූක්ෂ්ම වියමනකින් යුතු ලෝකයක අප ජීවත්වන බව වටහාගත යුතුව තිබෙනවා.
ඇය කල්පනාකාරී ව දුරකතනය පසුපස නොදුවා සිටියාට සිය දුරකතනය නැති වුවහොත් උන් හිටිතැන් අමතකවන පිරිස දුලභ නොවේ. මොන දේ වුවත්, මොනදේ අහිමි වුවත් දරුවන් හා අනෙකුත් සමීපතයින් පිළිබඳ සුපරික්ෂාව අත් නොහැර රඳවා ගැනීමට ඉතාමත් හොඳින් සිහියේ තබාගත යුතුව තිබෙනවා.

(පුද්ගල නාමයන් මගේ හිතුමනාපය මත යොදන ලදී)


Friday, April 21, 2017

501. How Many Zeroes Are There In A Billion? Someone Please Tell Me Quickly Because I Have Just Won A Billion Rupees....


Slumdog Millionaire චිත්‍රපටයේ රඟන
දේව් පටේල් සහ අනිල් කපූර්

ඔවුහු මා අත් අඩංගුවට ගත්හ. සමාවන්න පළමුව ඔවුහු යනු කවරහුද යන්න මවිසින් පැහැදිලි කල යුතුය. ඔවුහු යනු පොලිස් නිලධාරීහුය.

වඩාත් පැහැදිලිව පැවසුවහොත් වංචා විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීහුය. ඔවුහු මා අත් අඩංගුවට ගත් හේතුව ඇසුවහොත් ඔබ විශ්මයට පත්වනු නිසැකය. ඔවුහු මා අත් අඩංගුවට ගත්තේ සාමාන්‍ය දැනුම ප්‍රශ්ණ විචාරාත්මක තරඟයකට ඉදිරිපත්වීම හේතුකොටගෙනය. නැත. එසේ පැවසීම නිවැරදිම නොවේ. මම එම ප්‍රශ්ණ විචාරාත්මක තරඟයට ඉදිරිපත්වූ බව සැබවි. එහෙත් ඔවුන් මා අත් අඩංගුවට ගත්තේ හුදෙක් එසේ ඉදිරිපත් වීම නිසාම නොවේ. ඉදිරිපත්ව සියළුම ප්‍රශ්ණ වලට නිවැරදි පිළිතුරු සැපයීම හේතු කොටගෙනය. 

තව දුරටත් පැහැදිලි කලහොත් එසේ කොට සියළුම ප්‍රශ්ණ වලට නිවැරදි පිළිතුරු සපයන්නට සමත්වන ජයග්‍රාහකයාට හෝ ජයග්‍රාහිකාවට ප්‍රදානය කරන බවට එහි සංවිධායකයින් සපථ කල මහා ත්‍යාගයට හිමිකම් පෑම හේතු කොටගෙනය. එම පොරොන්දු ප්‍රකාර මහා ත්‍යාග මුදල කොපමණදැයි ඇසුවහොත් එසේ සංවිධායකයින් පොරොන්දු ත්‍යාගය ප්‍රදානය කිරීම පසෙක තබා මා අත් අඩංගුවට ගැනීමට පොලීසිය හා එක්ව කුමන්ත්‍රණය කිරීම පිළිබඳව ඔබ කිසිසේත්ම විශ්මයට පත් නොවනු ඇත.

එසේය මා පිය සහෘදය, ඒ මවිසින් ජයග්‍රහණය කල ත්‍යාග මුදල රුපියල් කෝටි සියයකි. නැතහොත් ඔබ සැමට සුපුරුදු වදනින් පැවසුවහොත් රුපියල් බිලියනයකි.

පොලිස් නිලධාරීහු මා අත් අඩංගුවට ගැනීමට පැමිණියේ මධ්‍යම රාත්‍රියද පසුව අවම වශයෙන් හෝරා දෙකක් තුනක් හෝ ඉක්ම ගිය පසුවය. ඒ වනාහී මගේ ලෑලි ගැසූ කුඩා කුටිය එළිපත්තේ කෙළිදෙලෙන් පසුවන අයාලේ යන සුනඛයින් පවා සුපුරුදු ලෙස අළුයම් යාමයෙහි කොහේ හෝ අතුරුදන් වූ ඉක්බිතිය. එබැවින් පොලීසිය මා සොයා පැමිණෙන කල්හි මා වෙනුවෙන් හඬ නැඟීමට මා වෙනුවෙන් විරෝධය පාන්නට අවම වශයෙන් සුනඛයෙක් හෝ මගේ ලෑලි ගැසූ කුඩා කුටිය අවට නොවීය.

ඔවුහු පළමුව පා පහර දී මගේ කුටියේ ලෑලි දොර බිම දැමූහ. ඇත්ත වශයෙන්ම එසේ බලහත්කාරකම් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොවීය. ඔවුහු දොරට තට්ටු කොට කථා කලේවී නම මම කිසිදු විරෝධයකින් තොරව පිටතට පැමිණෙන්නෙමි. එලෙසම ඔවුනට මා අත් අඩංගුවට ගැන්මට අවශ්‍ය බව පැවසූයේ නම් මම වදනකින් හෝ එරෙහි වීමට උත්සාහ නොකොට ඔවුන් සමඟ පොලීසිය වෙත යන්නට තීරණය කොට සිටියෙමි. ඇත්ත වශයෙන්ම මම ඔවුන් අපේක්ෂාවෙන් පසුවුණෙමි.

එහෙත් පොලිස් නිලධාරීන් ක්‍රියාකරන අන්දම ඔවුන්ටම ආවේණික ක්‍රමවේදයකි. හැකි සෑම අවස්ථාවකදීම තම බල පරාක්‍රමය ප්‍රදර්ශනය කිරීම ඔවුන්ට බලවත් ප්‍රීතියක් ගෙන දෙන්නක් බව මම පළමෝත අත්දැකීමෙන් දනිමි.

එසේ හෙයින් ඔවුහු පළමුව මගේ කුටියේ ලෑලි දොර පාපහර දී බිම හෙලූහ. දෙවනුව මගේ දෑතට විලංගුලා, වහලය මත කරකැවෙමින් දිදුලන රක්ත වර්ණ ආලෝකයෙන් හාත්පස ඒකාලෝක කරමින් ගෙමිදුල මධ්‍යයේ නතරකොට තිබූ ජීප් රිය වෙත මා රැගෙන ගියෝහ. මගේ කුටිය අවට ඇසට අසුවන මානය තෙක් පැතිරගිය නානාවිධ ද්‍රව්‍ය වලින් නිමැවුනු පැල්පත් සමූහයෙහි ඒ වනවිටත් නිදි නොමැතිව සහස් සංඛ්‍යාත මිනිසුන් සමූහයක් වූ බවට මම කිසිදු සැකයකින් තොරව දැනහුන් නමුදු ඒ කිසිවකු අවම වශයෙන් මා වෙනුවෙන් වදනකිනුදු  විරෝධයක් නොපෑහ.

මගේ අසල්වාසින් කිසිවකු මා වෙනුවෙන් එසේ ඉදිරිපත් නොවී තම නිවෙස් තුලම හිඳ අඳ ගොළු බිහිරන්සේ මුනිවත රැකියද ඔවුන් නරුමයින් ලෙස හැඳින්වීමට යුහුසුළු නොවන ලෙස මම ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමි මා දයාබර පාඨකය. පොලිස් නිලධාරීන් රක්ත වර්ණ ආලෝකයෙන් දිදුලන ජීප්රියාරූඪව පැමිණ කිසිවකු හෝ අත්අඩංගුවට ගෙන රැගෙන යාම අප වසන ධරාවි පෙදෙසේ ඉතා සුලභ සංසිද්ධියකි.

එලෙසම පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නෙකු වෙනුවෙන් විරෝධය පෑම සපුරාම නිශ්ඵල ක්‍රියාවක් බව මගේ අසල්වාසීහු අත්දැකීමෙන්ම දනිති. ඊට අමතරව එසේ විරෝධය පෑම බොහෝවිට අත්අඩංගුවට පත්වන්නාගේ තත්වය තව දුරටත් අනතුරුදායක කරවීමටද හේතුවිය හැක. එසේ හෙයින් එදින පොලිස් නිලධාරීහු පැමිණ මා විලංගු ලා රැගෙන යද්දී ඒ පිළිබඳව තමනට හැකි පමණ හෝ විරෝධය පෑවේ මගේ කුටිය අසල වූ ඉපැරණි සියඹලා ගසෙහි මට මතක ඇති කාලයේ පටන් පදිංචිව හුන් මහළු බස්සා පමණි.

යථාර්තය එසේ වුවද පොලිස් නිලධාරීන් මා අත් අඩංගුවට පැමිණි කල්හි මගේ නිර්දෝෂිත්වය ඔවුනට හැඟවීමට යම් ක්‍රියාමාර්ගයක් මවිසින් ගත යුතු විනිදැයි මම බොහෝ විට කල්පනා කරමි. විරෝධය පෑම පසෙක තිබියේවා මා අත් අඩංගුවට ගැනීමට හේතුව පිළිබඳව හෝ ඔවුන්ගෙන් විමසීමක් කල බවක් මගේ මතකයෙහි නොමැත.

බොහෝවිට අප වැන්නවුන් එසේ නිහඬවම පොලීසියට එසේත් නැතහොත් නීතියට අවනත වන්නේ යම් ප්‍රබල හේතුවක් නිසා විය යුතුය. එසේය. මම ඒ පිළිබඳව බොහෝ ගැඹුරින් කල්පනා කොට ඇත්තෙමි. මේ මිහිකත මත ඔබගේ පැවැත්ම පවා නීති විරෝධී වන්නේනම් ඔබට සිදුවන්නාවූ යම් අසාධාරණයක් පිළිබඳව ප්‍රශ්න කිරීමට හා/හෝ  ඊට ඔබගේ විරෝධය ප්‍රකාශ කිරීමට ඔබට හිමිකමක්, අයිතියක් හෝ බලයක් ඇත්ද?

ඔබ ආසියාවේ විශාලතම නාගරික මුඩුක්කුවෙහි දිවිගෙවන, රාත්‍රියෙහි නිදාගැන්මට පමණක් භාවිතා කරන නිවස යයි හඳුන්වන අල්ලක් වන් වපසරියට පවා කිසිදු රජය පිළිගන්නා නීත්‍යානුකූල  හිමිකමක් නොමැති, මතකයෙහි ඇති කලෙක පටන් දරිද්‍රතාවයෙහි පත්ලෙහි ගැලී අනන්තවූ දුක්ඛ දෝමනස්සයන් විඳිමින් එයින්ම පත්තියම්වූ මිනිස් සත්වයකු වන කල්හි ඔබගේ අයිතිවාසිකම් සහ හිමිකම් පිළිබඳව කථා කිරීමට ඔබට ධෛර්යයක් උපදින්නේ කෙලෙසද?

එළෙසම මේ දුර්භාග්‍යය මවෙත කැඳවා ගන්නා ලද්දේ මවිසින්ම බවට අදහනා වැඳ නමස්කාර කරනා සියළු දෙවි දේවතාවන්ගේ නාමයෙන් දිවුරා පැවසීමට සූදානම් මගේ මිතුරන් සහ අසල් වාසීන් ඔබට අවශ්‍යනම් සහස් සංඛ්‍යාතව සොයාගත හැකිවනු ඇත.

"ඔය මිනිහට අපි අනන්ත කිව්ව. ඔය කෙහෙල්මල් ප්‍රශ්න අහන තරඟෙට යන්ට දඟලනකොටම අපි කටේ කෙල හිඳෙනකල් කිව්ව. කෝ ඇහුවද? ඔය කර ගත්තෙ ගිහිල්ල..ඕක තමයි අපි කිව්වෙ එදා ඉඳලම………"

මගේ වියපත් අසල් වැසියෝ තම පැසුණු හිස් ඉහළට සහ පහළට සෙමෙන් සොළවමින් ඔවුනට සවන් දීමට සූදානම් ඕනෑම පුද්ගලයකු හා කිසිදු සැකයකින් තොර ස්වරයකින් පවසනු ඇත.

ඔවුන්ගේ වැටහීම අනුව මවිසින් කිසිදා සමාව නොලැබෙනා වරදක් කොට ඇත. එනම් ධරාවී වාසී තුන්වන පන්තියේ පුරවැසියකු කිසිදා අතික්‍රමණය කල නොයුතු ශුද්ධ වූ තහනම් රේඛාවකින් එපිටට මා පය තබා ඇත.

මුම්බායි තදාසන්න මත්පැන් අලවිහලක වේටර්වරයකු වූ මට මුළු මහත් ඉන්දියාව පුරා විකාශය වන රූපවාහිනී ප්‍රශ්ණ විචාරාත්මක තරඟයකට ඉදිරිපත්වීමට පමණ ධෛර්යයක් ලැබුනේ කෙලෙසකද? එලෙස ධෛර්යක් තිබියේවී නමුදු එවන් කාර්යයකට නිර්භයව ඉදිරිපත්වීමට පමණ ඔහුට ඒ පිළිබඳව ඇති දැනුම කවරේද? 

"මොන පිස්සුද මේ මනුස්සය ජීවිතේට ඉස්කෝලෙකට ගිහිල්ල නෑ. පොතක් කියවන්න දන්නෙ නෑ. අඩුම ගානෙ පත්තරයක්වත් නොකියවන මනුස්සයෙකුට පුලුවන්ද ඔය වගෙ තරඟෙකට ගිහිල්ල අඩුම ගානෙ ප්‍රශ්ණ දෙකකටවත් උත්තර දෙන්න? මොන විකාරද?"

මා ඉදිරිපිට නොවූවද මගේ ආපන ශාලාවේ මා හා එකම රැකියාවෙහි යෙදෙන මගේ සගයින් එකිනෙකා හමුවූ කල්හි එලෙස මා පිළිබඳව පවසන බව මම දැන සිටියෙමි. ඔවුන්ගේ වැටහීම අනුව වේටර්වරුන් අත් පා සතර පමණක් භාවිතා කල යුතුය. හිස් කබල තුල පිහිටි මොළය නම්වූ අවයවය භාවිතා කිරීම ඔවුනට සපුරා තහනම්ය.

ආපන ශාලාවේ මගේ සගයින් කිසිවකු මා මුහුණ දුන් ප්‍රශ්ණ විචාරාත්මක තරඟය නරඹන්නට නොපැමිණීම ඇත්තෙන්ම අභාග්‍යයකි. මවිසින් සියළු ප්‍රශ්නයන්ට පිළිතුරු දුන් ආකාරය දුටුවේනම් ඔවුන් දැඩි විශ්මයට පත්වනු නිසැකය. සත්‍ය වශයෙන්ම එදින මගේ පිළිතුරු දීම වඩාත් නිවැරදිව පවසන්නේනම් එදින මගේ අසාමාන්‍ය භාග්‍යය පිළිබඳව මමද තවමත් විශ්මයට පත්ව සිටින්නෙමි.

එම වැඩ සටහන විකාශය වන්නට නියමිතව ඇත්තේ ඉදිරි සතිය තුලදීය. වැඩ සටහන තවමත් විකාශය නොවූවද මවිසින් යම් සැළකියයුතු පමණ මුදලක් ජයග්‍රහණය කොට ඇති බව මා සේවය කරන මත්පැන් හලෙහි කණින් කොණින් පැතිර ගියේ විදුලි වේගයෙනි. මගෙන් ඒ පිළිබඳව විමසූ කිසිවකුහට මම එක එල්ලේ පිළිතුරක් නොදුන්නෙමි.

එහෙත් මගේ දෙකට දෙවාරමේ පිළිතුරු පිළිබඳව රහසේ රැස්ව සාකච්ඡා කල මගේ සගයින්ගේ ඒකමතික නිගමනය වූයේ මවිසින් යම් සැළකිය යුතු මුදලක් ජයග්‍රහණය කොට ඇති බවය. ඒ අනුව ඔවුහු දින තුනකට ප්‍රථම මා වෙනුවෙන් මගේ ජයග්‍රහණය සැමරීමේ සාදයක් සංවිධානය කළෝය. මත්පැන්හල රාත්‍රියේ වසා දැමුණු පසු ඇරඹි සාදය පසුදා හිරුනැඟෙන තෙක් පැවතිණි.අප සියල්ලන්ම සිතැඟි පරිදි රස මසවුලෙන් සන්තර්පනය වූයෙමු. මත්පැන් පානය කලෙමු. එකිනෙකා වැළඳගෙන නර්තනයෙහි යෙදුනෙමු.

අළුයම් කාලයේදී සිහිසුන්ව මේසයක්ද පෙරලාගෙන ඇදවැටීමට මොහොතකට පෙර අපගේ වයස්ගත ප්‍රධාන බාර්ටෙන්ඩර්වර්යා ඔහුගේ තරුණ දියණිය පිළිබඳව විවාහ යෝජනාවක් මවෙත ඉදිරිපත් කලේය. කිසිම විටෙක මුහුණෙහි සිනාවක් දැකිය නොහැකි අපගේ කළමණාකාරවරයා පවා එදින මා හා යන්තමට සිනාසුනේය. සාදය අතරමඟදී මා ඔහුගේ කාර්යාලයට කැඳවූ හෙතෙම පසුගිය මස හිඟ වැටුප් මුදල මා අත තැබීය. එලෙසම ඔහු එදින වෙනදාමෙන් "කාලකණ්නියා" හෝ "පිස්සු හුටං" යන වදනින් මා ආමන්ත්‍රණය නොකලේය.

එහෙත් මේ මොහොතේ ගෝඩ්බෝලේ ඊටත් වඩා බොහෝසේ අප්‍රසන්න නාමකරණයෙන් මා අමතමින් පසුවන්නේය. අඩි දහය x අඩි හයක ප්‍රමාණයේ කුටියක පොළව මත මම එරමිණිය ගොතාගත්වනම පසුවන්නෙමි. දැඩිසේ මළ බැඳුනු යකඩ දොරකින් සහ කුඩා කවුළුවකින් සමන්විත මේ කුඩා කුටිය තුල පවත්නා දැඩි උණුසුම කෙසේවත් ඉවසිය නොහැක. 

බොහෝවිට මේ කුටියේ පූර්ව වාසියාගේ පයට පොඩිවී ගියේ යයි විශ්වාසයෙන් යුතුව උපකල්පනය කල හැකි කහ පැහැ අඹ කැබැල්ලක් මා ඉදිරියේම ගල් අතුල කිලිටි පොළව මත දක්නට ඇත. ඒ වෙත ලඟාවූ අඳුරු රතු පැහැති විශාල කැරපොත්තෙක් ඒ මත නැඟී තටු විදහා පියාන්නටදෝ සූදානම් විය. මම ඇසි පිය නොහෙලා කැරපොත්තා දෙස බලා සිටියෙමි. අද අළුයම අත් අඩංගුවට පත්වූ මොහොතේ පටන් කිසිදු ආහාරයක් නොලැබුනු හෙයින් මගේ කුසෙහි සාගිනි හැඟීම් අවදිවන්නට පටන්ගෙන ඇත.

තව නොබෝ වේලාවකින් මා යලි ප්‍රශ්න කරනු පිණිස චෝදානාගාරය වෙත රැගෙන යන බව මට මීට අඩ හෝරාවකට පමණ ප්‍රථම දැනුම් දෙනු ලැබීය. තවත් හෝරාවකට පමණ පසු කිසිවකු සිර කුටිය වෙත ලඟාවන පියවර හඬින් මම දෑස් විවර කළෙමි. ඉන්ස්පෙක්ටර් ගෝඩ්බෝලේ සිර කුටිය ඉදිරිපිට මදෙස කෝපාවිෂ්ඨ දෙනෙතින් යුතුව බලා සිටියේය. 

ඔහු දෙස මොහොතක් බලා සිටි මම දෙනෙත් පහතට යොමුකොට තැලුනු අඹ කැබැල්ල දෙසට යොමු කලෙමි. රතු අඳුරු පැහැති කැරපොත්තා තවදුරටත් ඒ මත නොවීය. 

"හ්ම්ම්ම්..ඌ ගිහිල්ල යන්ට.." මම සෙමෙන් පැවසුවෙමි. 

"මොකක්ද කිව්වෙ?" ගෝඩ්බෝලේ  බිරුසන් දුන්නේය. 

මම මුවින් නොබැන පහතට හරවාගත් දෙනෙතින් යුතුව පසුවීමි.

"හ්ම්ම්ම්..එනව එළියට..අපිට තියෙන වැදගත් දෙයක් සාකච්චා කරන්ට...තමුසෙ මේ ගිය සුමානෙ ප්‍රශ්න දොළහකට හරියට උත්තර දුන්නලු නේ? හරි යමු මම පටන් ගන්නං දහතුන්වෙනි ප්‍රශ්නෙ ඉඳල... මම අහන ප්‍රශ්න වලටත් හරි උත්තර දුන්නොත් තමුසෙ ගොඩ ….."

ගෝඩ්බෝලේ එසේ පවසා මහ හඬින් සිනාසී සාක්කුවෙන් ගත් යතුරකින් අගුල විවෘත කොට සිර කුටියෙහි දොර විවර කලේය.


"Slumdog Millionaire"  චිත්‍රපටයට පාදකවූ
විකාස් ස්වරූප් ලියූ "Q & A " නම් නවකථාව

විකාස් ස්වරූප්

Monday, April 17, 2017

500. මීතොටමුල්ල……..

හදිසියේ කඩා වැටුනු මීතොටමුල්ල යෝධ කුණු කන්ද
ඉහත ඡායාරූපයෙන් දැක්වේ. ඡායාරූපය
ගුවන් හමුදාව මඟින් ගන්නා ලද්දකි.

ඔබ මා සුරත එල්ලී මෙහි ආ දවස, 
මේ කුණු කන්ද බැලුවා ඔරවන් මදෙස,
ඒ කුණු කන්ද නෑගම් ආ අද දවස,
ඔබ මා අතැර සදහට නික්මුනු දවස.


වැහිබර අහස කඳුලක් හෙලනට තතනයි, 
සුළඟේ වැලපිල්ල හිත සැතකින් සූරයි, 
ළය පැලහෙනා ගින්දර නෙත කඳුළු දවයි, 
සිහිනය මියගියේ කුණු කන්දට වැහිලයි.

ඔබ මා සුරත එල්ලී මෙහි ආ දවස, 
මේ කුණු කන්ද වැඩ සිටියා ඔරවාන, 
ඒ කුණු කන්ද නෑගම් ආ අද දවස, 
ඔබ මා අතැර සදහට නික්මුනු දවස.



Tuesday, April 11, 2017

499. The Story Of My Marriage - 39 - ළඳුන් වෙනුවෙන් අපි කුමක් නොකරන්නෙමුද?


අනන්‍යාගේ පියා බොහෝ උනන්දුවෙන් කියවන
ද හින්දු පුවත්පත ඉහත 
ඡායාරූපයෙන් දැක්වේ.

"හරි මීට පස්සෙ මෙහාට ගෑණු ළමයි කිසිම කෙනෙක් එක්ක එන්න බෑ. දෙමළ හරි, බ්‍රාහ්මණ හරි, වැදගත් හරි, බැච් මේට් හරි, ඒවයිං වැඩක් නෑ කිසිම ගෑණු ළමයෙක් මේ ගෙදර එළිපත්ත පනින්න බෑ. පැහැදිලියි නේද?" නිවෙස් හිමියා පැවසූයේ තම සුරතෙහි දබරැඟිල්ල මගේ නාසයෙහි වදින තරමට දිගුකොට සොළවමින්ය.

"හරි ….එතකොට බියරුයි කුකුළ් මසුයි?" මම ඇසෙන නෑසෙන හඬින් විමසීමි. 

"එව්ව කොහොමත් කලින් ඉඳල තහනම්……." සෙන්දිල් බොහෝ තෘප්තිමත් හඬකින් පැවසීය.

මා අවට රැස්ව සිටියෝ යලිත් වරක් තම ජීවිත චාරිත්‍ර වාරිත්‍ර සහ තහනම් නීතිවලින් සිරවීමේ ප්‍රීතිය බෙදාගනුවස් එකේනෙකා දෙස බලා මද සිනහ පෑවෝය. 

ඊලඟ වර අනන්‍යා සමඟ එක්ව ඉන්දියාවේ මතු දියුණුව උදෙසා කටයුතු කරන්නට සුදුසු තැනක් පිළිබඳව මම දෙබැම ද රැළිකොටගෙන සිතන්නට වූයෙමි.

**************************************

"මට කෙමිස්ට්‍රි හොඳටම පුලුවං. මට උදව් ඕන කරන්නෙ ෆිසික්ස් වලට."

වචනයක් වචනයක් පාසා ඇස් බැමි ඉහල යවමින් එහෙම කිව්වෙ මංජුනාත්. ඇහිබැම ඉහල යන වාරයක් වාරයක් පාසා මිනිහගෙ නළලෙ ඇඳල තිබ්බ අළු තීරු තුනක් ඒ අනුසාරයෙන් ඉහළ පහල ගියා. මිනිහ කතාකලේ උදේ පාන්දර කුකුල් කොටුවෙන් එලියට දාපු ගමං කෙකර ගගා හතර අතේම දුවන කුකුළු නාම්බෙක් වගෙ බොහොම උනන්දුවකින්.

මංජුනාත් කියන්නෙ අනන්‍යාගෙ මලයා. වනැන් ඔන්ලි. මිනිහ කොයිවෙලෙත් පොතක් අතිං ගත්ත ගමං තමයි ඉන්නෙ. පොතක් කිව්වට මිනිහගෙ වයසෙ හැටියට වහවැටිල කියවන්ට ඕන සුපර්මෑන් නැත්නම් බැට්මෑන්ගෙ කොමික් පොත් එහෙම නෙවෙයි. මිනිහගෙ අතේ තියෙන්නෙම පාඩම් පොතක්. එක්කො "අකාබනික රසායන විද්‍යාවේ මූලධර්ම" නැත්නම් "භෞතික රසායන විද්‍යාවේ සිද්ධාන්ත" එහෙමත් නැත්නං "ව්‍යාවහාර යාන්ත්‍රණයේ උපයෝගිතාව" අනේ මන්ද, ඒ ටයිටල් කියෙව්වම මගෙ ඔලුව නරක්වෙනව.

අපිත් ඒ කාලෙ ඔව්ව කියෙව්ව තමයි. ඒත් එහෙම කලේ නොකර බැරිකමට. මේ කොල්ල එහෙමද? ඒ පොත් කියවන්නෙ බොහොම ආසාවෙන්. අනේ මන්ද බලං ඉන්නකොටත් මගෙ ඔලුව කකියන්ට ගන්නව.

(සටහන - මේ කතා කරන්නෙ ක්‍රිෂ් නෙවෙයි හොඳද? මම ..මම....අපි ඉස්කොලෙ යන කාලෙ ඔය මංජුනාත් වගෙ කොල්ලන්ට කිව්වෙ පයිතල කියල. පයිතගරස් මතකනෙ නේද? අර යුරේකා යුරේකා...කියල ෆුල් නේකඩ් ඇතන්ස් නගරයෙ වීදි දිගේ දිව්වයි කියන්නෙ..අන්න පොර..මේ ලඟදි අපේ රටෙනුත් බිහිවුනා ඒ වගෙ සූර ගනිතඥයෙක්. අර මාරාන්තික උපවාස කාරය. මිනිහ හොයාගත්තනෙ දෙක දෙකෙං බෙදුවම බිංදුවයි කියල...අන්න මහා ප්‍රාඥයො කියල කියන්නෙ එහෙම අයට) 

අද මං මේ උදේ පාන්දරම වදෙං පොරෙං නැඟිටගෙන අනන්‍යාලගෙ ගෙදර ආවෙ අනන්‍යාට වෙච්චි පොරොන්දුව ඉස්ට කරන්ට. ඒ එක්කම අනන්‍යා කිව්වත්නෙ මල්ලිට පාඩං කියල දෙන එක එයාගෙ අම්ම තාත්තගෙ හිත් දිනාගන්ට නොවරදින ක්‍රමයක් කියල. ඒ හින්ද ඉතිං වෙන මක් කරන්ටද? මමත් උදේන්ම නැඟිටල ඔන්න ආව. අනේ අප්පේ මට මේ කල්පනා වෙන්නෙ මේ බබලත්තු හින්ද පිරිමි අපි විඳින දුකක්...එහෙම කල්පනා වෙනකොටත් මට ඉබේටම හීල්ලෙනව.

ඒත් එක අතකට මේ උදේ පාන්දර ඇවිල්ල මල්ලිට පාඩං කියල දෙන එක මොකක්ද? මේක මොන දුකක්ද? අර බුද්ධාගම කියල ආගමක් තියෙන්නෙ. ඒකෙ නිර්මාතෘ බුදු හාමුදුරුවො කලින් උපන්න ආත්මෙක රජ කෙනෙක් වෙලා ඉඳලත් බබලතෙක් හින්ද කෝකි වැඩෙත් කලාය කියල කතාවක් තියනවලු. ඔයගොල්ල පුදුම වෙනව ඇති නේ මම ඒ විස්තර දන්නෙ කොහොමද කියල...හෙහ්..හෙහ්..

ඒ විස්තරේ මෙහෙමයි. මට ඔය අහ්මදාබාද් ආපු කිට්ටුව මුණ ගැහුන ලංකාවෙ සෙට් එකක්. එවුං එහෙ මොනව කරාද කියල දෙයියො තමයි දන්නෙ. ඒත් හොඳ ජොලි බුවාල. ඔය සෙට් එකේ හිටිය එකෙක්. දැං ලංකාවට ගිහිල්ල කඩයක් එහෙම දාගෙන මහා පරිමාණයෙන් බිස්නස් එකක් එහෙම කරනවයි කියල ආරංචියි. ආය හිටිය කෙට්ටු කොලුවෙක් උගෙ වැඩේ කොයි වෙලාවෙත් බැළලියක් ගැන කියවන එක. හෙහ්..හෙහ්...මම ලංකාවට ගියොත් අනිවා උංගෙ ගෙවල් වල එන්ටය කියල මඟිං මඟට පෙරැත්ත කර කරයි උං ආපහු ගියේ. ඇත්තටම මම හිතාගෙන ඉන්නෙ ලංකාවට ගිය දවසක එවුං හම්බ වෙන්ට යන්ට..හරි..හරි..ඒ වැඩි විස්තර ඇති..ආයම කතාවට එමු...

ඉතිං මම අද මේ අනන්‍යාගෙ මල්ලිට ඉස් ඉස්සෙල්ලම පාඩම් කියල දෙන්ට කියල ආපු දවස. ඒත් අනන්‍යානම් අද ගෙදර නෑ. ඒ යෝදි ඊයෙ ගියා මදුරෙයි කියල චෙන්නයි වල ඉඳල කිලෝ මීටර් පන්සීයක් වගෙ එහා තියෙන නගරයකට. අනන්‍යාට සතියක් වගෙ එහෙ ඉන්න වෙලා තියනව එයාලගෙ කොම්පැණියෙන් සංවිධානය කරපු සේල්ස් ප්‍රොමෝෂන් එකක් හින්ද. එහෙම තමයි ඉතිං ජීවිතේ හැටි. අපිට ඕන විදිහට මොකවත්ම කරන්ට පුලුවන්ය? හ්ම්ම්ම්.....මගෙ ඔලුව ඇතුලෙං හීන් කැක්කුමක් වගෙ එනව. ඒ තරම් දරුණු ඉසරදයක්මත් නෙවෙයි. ඒත් මහ වදයක්. කරදරයක්. උදේම නැඟිට්ටම මට බොහොම වෙලාවට ඔහොම වෙනව.

මම ආපු ගමන්ම අනන්‍යාගෙ අම්ම කෝපි කෝප්ප දෙකක් මල්ලිගෙ කාමරේට ගෙනත් දුන්න. ඒත් ඒ කෝපි එකෙන් ඒ හැටි සෙතක් උනේ නෑ. ඔලුව ඇතුලෙ පුපුරු ගැහිල්ල එහෙම්මමයි. ඊගාවට හිසරදේ තවත් වැඩිවුනේ මේ පෝරිසාදයට ඕන කරන්නෙ ෆිසික්ස් කියල දැනගත්තම. ඊයෙ රෑ වෙනකල් පොත් දෙකතුනක් දිග ඇරගෙන මම චුට්ටක් එහෙං මෙහෙං වගෙ බලා ගත්තෙ කෙමිස්ට්‍රි. මදැයි කොලා. දැං ඒ වෙච්චි මහන්සිය තනිකරම වතුරෙ.

"හරි හරි ඔයාට කෙමිස්ට්‍රි බොහොම ලේසි ඇති, ඒත් ආයම පාරක් පොඩ්ඩක් එව්ව බලාගත්තට වැඩියක් වෙන්නෙ නෑනෙ" මම ඊයෙ ගහගත්තු කෙටි සටහන් දිගාරින ගමන් මම කිව්ව. 

"අප්පෝ හයිඩ්‍රොකාබන්ද?" මගෙ සටහන් දැක්ක ගමං කොල්ලා මූණ ඇඹුල් කරගත්ත. "මම ඔය පාඩම දැං හතර පස් වතාවකට වඩා කරල ඇති. ඕක දකිනකොටත් මගෙ බඩ දඟලනව"

"හරි හරි අපි බලමුකො..එහෙනං මෙන්න මේකට උත්තරේ ලියන්නකො"

මම දුන්නු ප්‍රශ්ණෙට මේ යස්සය හරියටම මිනිත්තු එකහමාරකිං උත්තර ලිව්ව. ඊලඟට මම ටිකක් විතර අමාරු එකක් දුන්න. ඒකට මිනිත්තු දෙකහමාරයි.

ඒ අව් අස්සෙ අලි මදිවට හරක් කියල එහා කාමරෙං ඇහෙන්න ගත්ත වයසක බබලත්තු කාණ්ඩයක් ගිරිය යටිං කෑගහනව වගෙ බියකරු සද්දයක්.

"ඒ එම්. එස්. සුබුලක්ෂ්මී ...බොහොම ප්‍රසිද්ධ දෙමළ ගායිකාවක්..දේව ස්තෝත්‍ර ගීත එයා ඔය කියන්නෙ.." මංජු කටකොනකින් හිනාවෙමින් එහෙම කිව්වෙ මම ඒ සද්දෙට එක පාරටම ගැස්සෙනව දැකල.

"ආ..එහෙමද? මම හිතුවෙ මේ…" මම හිතුවෙ මොනවද කියල කියන එක එතරම් සුදුසු නෑ කියල මටම හිතිච්ච හින්ද මම ඉතුරු හරිය එහෙම්මම ගිල ගත්ත.

"හැම දෙමළ ගෙදරකම උදේම සුබුලක්ෂ්මීගෙ ගීත දානව අනිවාර්යයෙන්ම" මංජුනාත් ආයෙමත් කිව්ව. 

මළ ජංජාලයයි. අපි බැන්දට පස්සෙ අනන්‍යාත් පටන්ගනීද දන්නෙ නෑ අපේ ගෙදර උදේ පාන්දරම මෙව්ව දාන්ට. එහෙම උනොත් මහ ජංජාලයක් වෙලයි කෙළවර වෙන්නෙ. මටනං ඔය කරච්ච්ලේ මොන විදිහෙංහරි ඉවසං හිටිතැහැකි. ඒත් දෙයි හාමුදුරුවනේ මගෙ අසරණ අම්ම.....ඒ මනුස්ස දූට ඕක ඇති ඔලුව නරක්වෙන්ට..... ඒ අතර එහා කාමරෙන් එන සද්දෙ තීව්‍රතාවය එන්න එන්නම වැඩිවෙනව. ටිකෙන් ටික අඩුවෙමින් තිබ්බ මගෙ ඔලුව කැක්කුමත් ඔන්න ආයම වැඩිවෙන්ට ගත්ත.

"අයි.අයි.ටී. එකේ විස්තර ටිකක් කියන්නකො අයියෙ" මංජුනාත් ටික වෙලාවකින් මගෙන් ඉල්ලුව.

මම කලින් කියල තියනවනෙ මංජුනාත්ගෙ සහ ඊටත් වැඩිය මංජුනාත්ගෙ අම්ම තාත්තගෙ එකම බලාපොරොත්තුව මංජුනාත් කොහොම හරි අයි.අයි.ටී. එකට ඇතුලත් වෙන එකය කියල. ඒ බලාපොරොත්තුවෙන් තමයි මේ කොළුව මගෙන් මේ පාඩම් අහගන්නෙත්. අයි.අයි.ටී. එකේදි අපි කියපුව කරපුව මම මංජුට කිව්ව. ඒත් ඒ මගේ ස්වයං වාරණ මණ්ඩලයෙ කතුරට අහුවෙලා කපපු කොටපු සංස්කරණයක්. එහෙම නැතුව එහෙදි කරපුව ඔක්කොම අකුරක් නෑර මේ යස්සය එක්ක කියන්නෙ කොහොමද? හොඳට හිටියි.

"මම කරන්න හිතාගෙන ඉන්නෙ ඒරොනෝටික්ස් "

මගෙ විස්තරේ බොහොම උනන්දුවෙන් අහගෙන ඉඳල මංජු කිව්ව. ...දෙයියෝ සාක්කි. මුගෙ වයසෙ ඉන්නකොට මම එහෙම වචනයක් තියනවයි කියලවත් දැනගෙන හිටියෙ නෑනෙ... නරකම නෑ මේ පෝරිසාදය මස්සිනා කමට... මට එහෙම හිතුන.

ඊට පස්සෙ මංජු මිනිහගෙ ෆිසික්ස් පොත අරගෙන මට ගාණක් හදන්ට දුන්න. 

" අයිය... බලන්ටකො මේ ගාණ පුලුවන්ද කියල"

මම තුන් හතර පාරක්ම සාවධානව ගාණ කියෙව්ව. ඊට පස්සෙ හත් අට පාරක්ම කියෙව්ව. ම්හු..ඒත් හරියන පාටක් නම් නෑ.

"මේ මංජු මට දැං මෙව්ව මතක නෑ...කොච්චර කල් කියලද? මම කියන්ටද? මම ගෙදර ගිහිල්ල මේ ගාණ හදල ගේන්නං.."

"හරි හරි කමක් නෑ..ඉන්නකො මම අයියට පැහැදිලි කරන්නංකො ඔය ගාණ ගැන.."

ඊළඟ පැයක කාලය අතුලත මංජු මට ෆිසික්ස් ගණං හදන විදිහ කියල දුන්න. දෙයියෝ සාක්කි මාර වැඩක්නේ,..ගෝලය දැං ගුරාට උගන්නනව..ඒත් මම මොකවත් කියන්ට ගියේ නෑ..සද්ද නැතුව අහගෙන හිටිය. මට ඕන කොයි මක්කරල හරි අනන්‍යාගෙ තාත්තට කොක්ක ගහන්ටනෙ. ඒ වැඩේ වෙනවනං මම මේ යකාට ඉගැන්නුවත් එකයි මේ යකා මට ඉගැන්නුවත් එකයි...හෙහ්,හෙහ්,

පැයකට වගෙ පස්සෙ මම නැඟිට්ට. 

"හරි අදට එහෙනං ඇතිනෙ..මට ඔෆිස් යන්නත් තියනව.."

මම එහෙම කියල මංජුගෙ කාමරෙන් පිටවෙලා සාලෙට ආව. සාලෙ සුපුරුදු සෝපාවෙ ඉඳගෙන අනන්‍යාගෙ තාත්ත එයාගෙ සුපුරුදු චාරිත්‍රයෙ නිරත වෙනව. ඒ කිව්වෙ ද හින්දු පත්තරේ බලනව. එක්කො මම එනව මනුස්සයට ඇහුනෙ නෑ ඒ තරමට හින්දු පත්තරේට වහ වැටිල. එහෙමත් නැත්තං මම එනව ඇහුනත් ගණං ගත්තෙ නෑ. ඒ දෙකෙං කෝක වුනත් අනන්‍යාගෙ තාත්ත ඔලුව උස්සලවත් බැලුවෙ නෑ. දිගටම ද හින්දු කියවගෙන ගියා.

අනෙහ්, එයයිට එයයිගෙ හින්දු එකත් එක්ක කුද ගහගන්ට කියනව. එහෙම හිතල මම ලෑස්ති වුනේ හෙමීට එළියට බැහැල යන්ට. 

ඒත් ඒ එක්කම අනන්‍යා මදුරෙයි වලට යන්ට කලිං අන්තිමට හම්බ වුනු වෙලාවෙ කියපු වචන මට නිකං ඇහෙන්න ඇහෙන්න වගෙ වුනා. 

"ක්‍රිෂ්, මම කියන දේ හොඳට අහගන්න හොඳද? අපේ තාත්ත නරක මනුස්සයෙක් නෙවෙයි. ඒත් ටිකක් එක විදිහක්. ඒ හින්ද මම ඔයාට කියන්නෙ මට ආදරයක් තියනවනම් කරුණාකරල එයාගෙ හිත දිනාගන්න පුලුවන් හැමදේම කරන්න. පුලුවන් තරම් වෙලා එයත් එක්ක ගත කරන්න. එහෙම උනොත් ඔයාට එයාගෙ හිත දිනාගන්න එක අමාරුවෙන්නෙ නෑ"

"හරි අනන්‍යා මට තේරෙනව. මම ඔයාට පොරොන්දු වෙන්නම්කො එහෙම කරනව කියල"

මම ඒ වෙලාවෙ අනන්‍යාගෙ නළල සිපගෙන කිව්ව. හ්ම්ම්ම්..එහෙනං ඉතිං මොකද කරන්නෙ? පොරොන්දුව පරිදි කටයුතු කරන්ටත් එපාය...එහෙම හිතල දිග සුසුමක් එහෙම හෙලල මම හෙමිහිට ගිහිල්ල අනන්‍යාගෙ තාත්ත ඉස්සරහ පුටුවෙ වාඩිවුනා.

මම පුටුවෙ ඉඳ ගන්න කොටම අත් ඔරලෝසුව බැලුව හින්ද සහසුද්දෙන්ම දන්නව හරියටම විනාඩි දහ අටකට පස්සෙයි අනන්‍යාගෙ තාත්ත ද හින්දු පත්තරේ බලල ඉවරවෙලා පත්තරේ පාත් කලේ. පත්තරේ පාත් කරනවත් එක්කම ඉස්සරහ පුටුවෙ ඉඳගෙන හිනාවීගෙන ඉන්න මාව දැක්කම අංකල් එක පාරට ගැස්සුනා. පත්තරෙත් අත ඇරිල බිමට වැටුන. මම නැමිල පත්තරේ අහුලල අන්කල්ගෙ අතට දුන්න. 

"එපා... මම බලල ඉවරයි" අංකල් කිව්ව. 

"ආ... ඇත්තද?" මම එහෙම කියල බොහොම ගෞරවයෙන් ඒ වගේම බොහොම ආදරයෙන් ද හින්දු පත්තරේ පිළිවෙලට නවල බොහොම පරිස්සමින් ඒ ලඟම තිබ්බ ටීපෝ එක උඩ තැන්පත් කලා. අංකල් මගේ මේ ක්‍රියාකාරකම දිහා ඇසිපිය නොහෙලා බලා සිටිය.

"ඉතිං මොකද තමා මෙතන?" පත්තරේ ගෞරවාන්විතව තැන්පත් කරල ආපහු එකත්පස්ව ඉඳගෙන අංකල්ගෙ මූණ බලල හිනාවෙච්චි මගෙං අංකල් ඇහුවෙ මූණට දමල ගහනව වගේ.

"එහෙම විශේෂ මොකවත් නෑ අංකල්. මම මල්ලිට පංතිය කරල ඉවරයි කියල කියන්ටයි මම මේ හිටියෙ.."

"ආ..ඉවරද? ඒක හොඳයි.." අංකල් එහෙම කියල අත් දෙක උකුල උඩ තියල ඒ දිහා බලා හිටියෙ එයාගෙ අත් දෙක ජීවිතේටම දැක්කෙ මේ දැන් වගේ. ඔහොම මිනිත්තු දෙකක් විතර ගෙවිල ගියා..

"කොහොමද බැංකුවෙ තොරතුරු එහෙම අංකල්?" මම ඇහුව. 

අංකල් අත්දෙක දිහා අනිමිස ලෝචනයෙන් බලා ඉන්න ඉරියව්ව අත ඇරල එක පාරට ඔලුව උස්සල බැලුව. "බැංකුව?... මොකක්ද බැංකුව කිව්වෙ...? මොන බැංකුව ගැනද ඔය කතා කරන්නෙ?"

"නෑ මම මේ මම මේ..අහ්ම්ම්ම්.." මම උගුර එහෙම ටිකක් විතර පාදල කාරිය හිතට ධෛර්යය ගත්ත. "මම මේ ඇහුවෙ අංකල් වැඩ කරන බැංකුව ගැන...රස්සාව එහෙම කොහොමද කියලයි ඇහැව්වෙ."

අංකල් මා දිහා බලාගෙන හිටියෙ හරියට මොන මෝඩ ප්‍රශ්ණයක්ද මේ යකා මේ අහන්නෙ? කියල හිතමින්ද කොහෙද…

"මොකක්ද රස්සාවක තියෙන හොඳ නොහොඳ? රස්සාවල් ඔක්කොම එකයි.."

"ඔව්..ඔව්..ඔව්..ඇත්ත තමයි" මම වහාම එකඟවුනේ ඔලුවත් බොහොම වේගෙන් ඉහලට පහලට වනමින්. ඔහොම තවත් මිනිත්තු දෙක තුනක් ගත වෙන්න ඇති. අංකල් ඉස්සරහට නැමිල මේ පොඩ්ඩකට කලිං කියවලා ඉවරයි කියල කිව්ව ද හින්දු පත්තරේ ආයම අතට ගත්ත.

දැන්නම් යන්ට වෙලාව හරි වගේ..එහෙම හිතල මම පුටුවෙන් නැඟිට්ට.."හරි අංකල් එහෙනම් මම ගිහිල්ල එන්නම්…"

"හ්ම්ම්ම්..හොඳයි එහෙනං…….." අංකල් උගුර යටිං කිව්ව. 

මම ඉස්සරහ දොරගාවට වගෙ යනකොට අංකල් ආයම මට කතාකලා. 

"මේ..ළමයා….."

මම ආපහු හැරුන. 

"උදේට කෑම එහෙම කොහොමද? "

"ඔෆිස් එකේදි ඔය මොනවහරි කන්නං….. ඒකෙ ප්‍රශ්ණයක් නෑ.." මම කිව්ව. 

"කොහෙද ඔය ඔෆිස් එක? "

"ඔෆිස් එක තියෙන්නෙ අන්නසාලේ පැත්තෙ.."

"ආ..එහෙමද? මම වැඩට යන්නෙ අන්නසාලේ පහු කරල. හරියට අටයි තිහට මම ගෙදරිං පිටත් වෙනව. උදේට ඔය තියන දෙයක් කාල ඔය ළමයට මාත් එක්කම ගිහෑකි. මම ඔයාව ඔෆිස් එක කිට්ටුවෙන් ඩ්‍රොප් කරන්නං"

ම්ම්.....අටයි තිහට මෙහෙං පිටත් වුනා කියන්නෙ මම ඔෆිස් යනකොට මිස්ටර් බාලා නොහොත් මගේ බොස් වැඩට ඇවිල්ල පැයකුත් ගතවෙලා. එහෙම වෙන එක නම් මට එච්චර සුබ වෙන්නෙ නෑ කියල මට කවුරුවත් අමුතුවෙන් කියන්න උවමනා උනේ නෑ. ඒත් අනික් අතට අටහමාරට මෙහෙං පිටත් වෙනව කියන්නෙ තව පැය දෙකක් මම මෙහෙ ඉන්නව. ඊගාවට මගෙ ඔෆිස් එක ගාව මාව ඩ්‍රොප් කරනකල් අංකල් එක්ක මට ඕන දෙයක් කතා කලෑකි. ඔව්..අංකල්ගෙ හිත දිනාගන්ට මේක නියම චාන්ස් එකක්. අනන්‍යා මදුරෙයි යන්ට ඉස්සෙල්ල මට කිව්වෙත් මේවගෙ අවස්ථාවක් ගැන නේද? ඔව්...මේක පැහැර හරින්ට හොඳ නෑ කොහෙත්ම. බාලට බම්බු ගහගන්ට කියනව...හුහ්...

"හරි ප්‍රශ්ණයක් නෑ අංකල්..මම ඔෆිස් ඉන්න ඕනත් ඒ වෙලාවට තමයි.." මම හිනාවෙලා කිව්ව..

"ම්ම්ම්ම්..එහෙනං අවුලක් නෑනෙ..අපි එහෙම කරමු.."

අංකල් එහෙම කියල ආයම සෝපාවෙ හරි බරි ගැහිල පත්තරෙං මූණ වහගත්ත. පත්තරේ ඇවිල්ල හිට ඔහෙලට මතකනෙ  නේ? වෙනිං මොකක්වත් නෙවෙයි ද හින්දු.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...