Saturday, May 27, 2017

509. ජීවිතේ ගඟුලක්, එලෙසම සෙනෙහසද කවියක්....


නුවර  වැව අබියස කසුන් සහ සත්‍යා..ඡායාරූපය - ඉඳුවර ගුණසේකර

ජීවිතේ ගඟුලක්,
ගලායන නඟා රැළි සහසක්,
සෙනෙහසත් කවියක්,
ලියැවුනු ඔබ නෙතඟ රහසක්,

ප්‍රේමයේ අබිමන්,
පසක් කල රත ලවන මදහස්,
නෙතට නොව කවදත්,
සිතට දැනුනේ ඔබේ මුදු සෙනෙහස්,

පෙර බවෙක නිකැලැල්,
සිටම බැඳි පෙම් දමක අනුහස්,
ඔබේ හද පුදසුන්,
මතම පිදුවෙමි සෙනෙහෙ මල් කැකුළක්,

දසත මල් උයනක්,
විකසිත සෙනෙහසක සුවඳක්,
සසර මඟ වෙහෙසින්,
මුදවන ඔබේ සෙනෙහස……….
මහමෙරක්,
මසිත් සනහන…..
ස්නේහයේ ගඟුලක්,

කසුන් නයනජිත් සහ සත්‍යා නිර්මාණී……

මා දයාබර සොයුර, සොයුරිය…...

ඔබ දෙදෙනගේ සෙනෙහස සසර වසන තුරු නොවෙනස්ව පවතීවා යයි ඉත සිතින් පතන්නට රන්දිකා ද මා හා එක්වන්නීය!!!

Thursday, May 18, 2017

508. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 35 - ගොපල්ලව වලව්ව සහ දිවංගත බණ්ඩාරනායක....


ජලයෙන් පිරෙමින් පවතින මොරගහකන්ද
ජලාශය...

ගුරුවරියක සමඟ මගේ ජීවිතය ගැන මම ලියනවා බොහොම හොරයි කියල චෝදනාවක් එල්ල කරනව අපේ මානවික්ස් මෙනෙවිය. බලාගෙන යනකොට ඒ කතාව බොරුමත් නෙවෙයි. ඒ හින්ද මම හිතාගත්ත මින් මනත ගුරුවරිය සම්බන්ධ කතන්දර මාසෙකට දෙකක් වගෙ තරමවත් ලියන්ට උවමනයි කියල.

හරි එහෙනම් පහුගිය සවුද ලියපු කතන්දරේටම ඈඳල අද කතන්දරෙත් ලියන්නංකො. ඉතිං ඔන්න අපි ආස්සරේ කරන්ට පටංගෙන අවුරුද්දක් තරම ගෙවිල ගියාට පස්සෙ චරිත්‍රානුකූලව යෝජිත මනාල මහත්මියගෙ ගෙවල් දොරවල් ජනෙල් ෆෑන් ලයිට් එහෙම බලන්ට යන කාලෙ උදාවුනා.

"මේ ඔයා මේ සෙනසුරාද නිවාඩු දානවද?"

සඳුද උදේ මාතලෙං හයට පිටත් වෙලා කදුරුවෙල යන මේල් බස් එකේ හාමුදුරු සීට් එකට පස්සෙ සීට් එකේ ඉඳගෙන යන අතරෙ ඈ ඇහුවෙ බහින්ට කිට්ටු වෙනකොට. ඈ බහින්නෙ ඈලගෙ ඉස්කෝලෙ ගාවිං. ඇලගමුව මහ විදුහලේ ඈ ඒ දවස්වල ඉගැන්නුවෙ. අද ඈ දරුවන්ට අකුරු උගන්නපු පංති කාමරවල මාළු පීනනව ඇති. ඒ කිව්වෙ ඇලගමුව මුලු ගම්මානෙම සම්පූර්ණයෙන්ම මොරගහ කන්ද ජලාශෙට යට වුනා. මෙදා නිවාඩුවට ගියහම අපි දෙන්නගෙ අංක එකේ මුදුන්පමුණුවා ගත යුතු කාර්ය භාරය නොහොත් ඉලක්කය තමයි ජලයට යට වෙච්ච ඇගේ පරණ ඉස්කෝලෙ නරඹන්නට යන එක.

නයින්ටීන් නයින්ටි පයූව් වල අපි බැඳල නයින්ටීන් නයින්ටි නයින්වල මම රස්සාවෙං අස්වෙලා ගෙදර එනකල්ම ඈ සේවය කලේ ඔය ඉස්කෝලෙ. මම අස්වෙලා ආවට පස්සෙත් මාස හයක් තරම ඈ ඒ ඉස්කෝලෙම වැඩ කලා නුවරට ස්ථාන මාරුව හදාගන්නකල්. ඒ කාලෙ එයාලගෙ මහ ගෙදර ඉඳල වැඩට ගියේ බඳින්ට කලින් කාලෙ විදිහට. 

පස්සෙ අන්තිම දවස්වල මාතලේ ටවුන් එකේ අපේ හිතවත් අක්ක කෙනෙක්ගෙ ගෙදර නැවතිලා හිටිය. දෙදාහෙ ජනවාරි මාසෙද කොහෙද නුවර ගෝතමී එකට මාරුව හදාගෙන ආව. 

ඉතිං මම මේ කියන්ට ආවෙ ඔය ඇලගමුවෙ දැනට මොරගහකන්ද ජලාශයට යට වෙලා තියෙන ඉස්කොලෙ ගැන බොහොම සුන්දර මතකයන් රැසක් ඇයට වගේම මටත් තියනව. අපි එහෙ ගත කරපු අවුරුදු හතරක තරම කාල සීමාවෙදි ඒ පාසලේ විදුහල්පතිතුමා එතකොට ඇගේ සහෝදර ගුරුවර ගුරුවරියො මම එක්කත් බොහොම හිතවත් වුනා. මම ඒ කාලෙ ඇතුලත අධ්‍යාපන චාරිකා තුන හතරකටම වගෙ සහභාගිවුන ඒ ස්ටාෆ් එකේ සහෝදර ගුරුවරු ගුරුවරියො සහ සිසු දරු දැරියන් සමඟ.

ඒ ගිය එක චාරිකාවක විස්තර මම ලිව්ව සිත්තරාගේ සමාධිය කියල කාලෙකට ඉස්සෙල්ල. ඒ අපි කොළඹ ගිය චාරිකාවක්…

ඔන්න ආයම දවසක් එයාලගෙ ඉස්කෝලෙ වාර්ෂික ක්‍රීඩා උත්සවය. වාර්ෂිකද ද්වි වාර්ෂිකද මන්ද...ඔව්..මට මතක විදිහට දැං ඉස්කෝලවල ස්පෝට්ස් මීට් තියන්නෙ අවුරුදු දෙකකට සැරයක්. ඒ ඒ අතරට වැටෙන අවුරුද්දෙ කරන්නෙ අධ්‍යාපන චාරිකාවක් යන එක. ඔන්න ඔහොම මොකක්ද තමයි දැං ක්‍රියා පටිපාටිය. 

ඉතිං අර මම කිව්ව ස්පෝට්ස් මීට් එක දවසෙ දහයට වගෙ එයාලගෙ ඉස්කෝලෙට ගියා. කට්ටිය ඉතිං මාව සාදරයෙන් පිළිඅරගෙන සංග්‍රහ කරල මමත් වේදිකාවෙ පිටිපස්සට වෙන්ට ඉඳගෙන හිටිය. ඈට ඉතිං ඕං දහසක් රාජකාරි. ක්‍රීඩා භාර ගුරුතුමියනෙ. හැමදේම හොයල බලන්ට එපාය...එහාට දුවනව මෙහාට දුවනව ඔලුවෙ කැප් එකකුත් දාගෙන පයිල් මිටියකුත් කිහිල්ලෙ ගහගෙන...හෙහ්,හෙහ්, 

ටිකකිං ඈ ඇවිල්ල මම ලඟ  අසුනෙ ඉඳගත්ත. "හප්පේ පණ යනව අප්ප..මේ කට්ට අවුවෙ එහෙ මෙහෙ දුවන්ට ගියාම…."

"ඒක නම් ඇත්ත..මමත් මොනවහරි කරන්න තියනවනම් කියන්න.."

"නෑ..දැන් ආය එහෙමට වැඩක් නෑ..ආ..මේ ඉන්ඩකො මරු වැඩක් කියන්ට.. අර අතන ළමයි උස පනින තැන ඉන්නව නේද සුදු උස පිරිමි ළමයෙක්.."

"කෝ කවුද? කොයි එක්කෙනාද? "

"අර අත්දෙක පස්සට බැඳගෙන ඉන්නෙ..අන්න..අන්න..දැං මේ පැත්තට හැරුන.."

"හරි හරි මම දැක්ක.. ඉතිං මොකක්ද ඒ ළමයගෙ විශේෂෙ? "

"හිහ්..මොකක්ද දන්නවද විශේෂෙ? විශේෂෙ ඇවිල්ල ඒ ළමයගෙ නම…"

"මොකක්ද නම?"

"දිවංගත බණ්ඩාරනායක…"

"මොකක්?" මගෙ ඇස් දෙකත් එක්ක උඩ ගියා…"දිවංගත බණ්ඩාරනායක? බොරු කියන්ට එපා අනේ..එහෙමත් නං තියනවද ආය?"

"ආය බොරු කියන්නෙ මොකටද මං? ඔය ළමය මගෙ පංතියෙ ඉන්නෙ. සම්පූර්ණ නම එච්. එම්. ඩී. බණ්ඩාරනායක. හේරත් මුදියන්සේලාගේ දිවංගත බණ්ඩාරනායක…."

මම පස්සෙ විදුහල්පතිතුමාගෙන් විස්තරේ ඇහුව. එතුමාගෙ නම හේරත් අයිය. කේ.බී. හේරත්..එතුමා ඒ ගමේම කෙනෙක්. එහෙම මගෙ කුතුහලය සංසිඳව ගන්ට ඇහුව උනත් එතකොටත් මම හිතාගෙන ඉවරයි වෙලා තියෙන්නෙ මොකක්ද කියල.. හේරත් අයිය මගෙ අනුමානය තහවුරු කලා. 

"ඔව්..මල්ලි...කතාව සම්පූර්ණ ඇත්ත.... ඔය ළමයගෙ අම්ම නෑකමට මගෙ දුවෙක් වෙන්නෙ. තාත්ත නම් මෙහෙ මනුස්සයෙක් නෙවෙයි ඔන්න ඔය කළුන්දෑව පැත්තෙ…."

(කළුන්දෑව ගැනත් වචනයක් කියන්න ඕන. කළුන්දෑව තියෙන්නෙ දඹුල්ල -බකමූණ පාරෙ... ලංකාවෙ දැනට ස්ථිර සාක්ෂි සහිතව පිළිගතහැකි අඛණ්ඩව මිනිසුන් පදිංචිව සිටින පැරණිම ගම්මානයක් කියලයි කළුන්දෑව සැලකෙන්නෙ. මම කොහෙදි හරි ඔය ගැන කියෙව්ව මතකයි මොකක් හරි පර්යේෂණයක් ගැන ලියවුනු පොතක. මුළු ලෝකෙම වැඩිම කාලයක් එක දිගටම මිනිස්සු පදිංචි වෙලා හිටිය නගරය මොකක්ද කියල දන්නවද? ඒ සිරියාවෙ අගනුවර....ඩැමස්කස් නගරය. අවුරුදු 11,000 කට කලින් ඉඳල ඩැමස්කස් නගරයෙ මිනිස්සු ඉන්නවය කියල තමයි විද්වතුන්ගෙ පිළිගැනීම) 

"ඉතිං මේ මනුස්සයගෙ පරම්පරාවම ඇටුවම් බැහැපු ශ්‍රී ලංකා කාරයො. බණ්ඩාරනායක මහත්තයට තාම දෙයියන්ට වගෙ සලකන්නෙ. හැබැයි මහ මෝඩය. ඔය පත්තරවල එහෙම ලිපි පලවෙනවනෙ දිවංගත බණ්ඩාරනායක මහතා කියල. එව්ව දැකල මේ යස්සය කල්පනා කරල තියෙන්නෙ දිවංගත කියන්නෙ බණ්ඩාරනායක මහත්තයගෙ මුල් නම කියල. ඉතිං කෙල්ලො තුන්දෙනෙකුට පස්සෙ කොල්ලෙක් ඉපදුනහම දැම්ම නම දිවංගත බණ්ඩාරනායක කියල ..." හේරත් අයිය සවිස්තර පැහැදිලි කිරීමක් ඉදිරිපත් කලා.

"හෙහ්,හෙහ්, හොඳ වෙලාවට මිනිහ දැකල තියෙන්නෙ පත්තරේ ඔච්චරයි ඒ කියන්නෙ ඔය දිවංගත කෑල්ල විතරයි. කොහොමද හේරත් අයියෙ මෙහෙම නම දැම්මනං? හේරත් මුදියන්සේලාගේ පොදුජන යුගයේ නිර්මාතෘ ජනතා නායක දිවංගත බණ්ඩාරනායක කියල හෙහ්,හෙහ්," හේරත් අයියයි මායි දෙන්නම හක හක ගාල හිනාවුනා.

ඉතිං ආයම ප්‍රධාන කතාවට ආවොත්....ඒ එළඹෙන ඉරිදා අපේ කට්ටිය එයාලගෙ ගෙදර යන්ට දින යොදාගෙන තිබ්බෙ.

"මේ ඔයා මේ සෙනසුරාද නිවාඩු දානවද?" ඈ ඇහුව.

"ඕනෙ නැහැනෙ. මම සෙනසුරාද වරුවත් වැඩ කරලම ගෙදර යනව. සෙනසුරාද අපේ බ්ලොක් මීටිං එකත් තියනවනෙ ඒකට ඉන්නම ඕන"

පහුගිය සතියෙ වැඩ කටයුතු ප්‍රගති සමාලෝචනය සහ ඉදිරි සතියේ සැලසුම් සාකච්ඡා කරන්නෙ සෑම සෙනසුරාදම උදේ වරුවෙ අපේ ප්‍රධාන කාර්යාලයෙ පැවැත්වෙන බ්ලොක් මීටිං එකේදි නැත්නම් කොට්ඨාශ රැස්වීමෙදි. ඒ ජනවාරි මාසෙ අන්තිම වගෙ. මහේ ගොයම කිරිවදින කාලෙ. කුඹුරු වලට වතුර සැපයීම බොහොම ක්‍රිටිකල්. වතුර මදිවෙලා ගොයම මැරුනොත් එහෙම ගොවි මහත්වරු අපේ ඔෆිස් වටලන්නෙ අන්තරේ කට්ටිය මෙලෝ සිහියක් නැතුව දුවගෙන ගිහිල්ල සයිටම් වහපියාව් කියල බෙරිහන් දීගෙන අධ්‍යාපන අමාත්‍යංශෙ වටලනව වාගෙ.

"මේ දවස්වල කුඹුරුවලට වතුර දෙන එක ටිකක් කේස්. අනික සම්ටයිම්ස් ලබන සතියෙ දවස් දෙක තුනක් නිවාඩු දාන්ට වෙයිද කියන්ටත් බෑනෙ.." මම ඈ දිහා හොරැහින් බලල අහල බලාගත්ත. 

"ඇයි ඒ ලබන සතියෙ නිවාඩු දාන්නෙ? "

"නෑ කියන්ට බෑනෙ ඔයාගෙ අම්ම අප්පච්චි කිව්වොත් අනේ පුතේ එහෙනං ආය තවත් බල බල ඉන්නෙ මොහොකටද? මේ එක්කම මේ යෝදිවත් එක්ක යන්ටකො කියල."

"හෙහ් හිතේ ඇති. අපෙ අම්මලට එහෙමට අහේනියක් නෑ දන්නවද?"

"හරි හරි මම කිව්වෙ එහෙම වුනොත්වත් කියලනෙ...මේ ඒක නෙවෙයි ඔයාලගෙ ගෙදර හොයාගන්න එක තමයි වැඩේ.."

"මොකද අනේ එහෙම අමාරුවක් නෑ ගේ හොයාගන්ට...අනික ඔයා හිතුවද අපි මේ ඉන්නෙ බැදි මූකලාණක කියල. එහෙම නෑ. එහෙත් ඉන්නෙ හොඳට කාල ඇඳල ඉන්න මිනිස්සු…"

"හරි හරි මම එහෙම එකක් හිතල කිව්ව නෙවෙයි ඔන්න. අනික අවුලක් වෙන එකක් නෑ සුමනෙත් අපිත් එක්ක එනවනෙ."

සුමනෙ කියන්නෙ මාත් එක්ක එකට වැඩ කරන මගෙ අතිජාත මිත්‍රය. සුමනෙ පදිංචි වෙලා හිටියෙ අළුවිහාරෙ. අළුවිහාරෙ තමයි දන්නවනෙ නේද? අර ත්‍රිපිටකය පළමුවරට ග්‍රන්ථාරූඪ කලේ එහෙම.

සුමනෙ අළුවිහාරෙ ගේ හදද්දි ගෙදෙට්ට ඕන ලී අරගෙන තියෙන්නෙ ඔය අපෙ උන්දැගෙ ගමත් පහු කරල තව කන්ද උඩහට ගිහිල්ල. ඒ හින්ද ඒ හරිය ගැන සුමනෙ යමක් කමක් දන්නව. 

"දූල්ලෑව ඉස්කෝලෙ කිව්වනම් ඕන කෙනෙක් කියයි පාර. ඉස්කෝලෙට පොඩ්ඩක් එහා තමයි ගොපල්ලව මහත්තයගෙ පාරම්පරික වලව්ව තියෙන්නෙ. පාර අයිනෙම. තව හැතැම්ම බාගයක් ඇති අපේ ගෙදරට."

"හූ කීයක් විතර? "

"හූ? මොන හූද?"

"ඇයි අනේ මම හිතාගෙන හිටියෙ ඔයාලගෙ ගම් පැත්තෙ දුර මනින්නෙ හූ වලින්ය කියල"

"ඔව් ඔව්..හූ වලින් තමයි..මම කිව්වයි කියල හිතා ගන්නකො"

ගොපල්ලව මහත්තය ගැන අහල තියනව නේද? ශ්‍රී ලංකාවේ පළමුවන ජනාධිපතිතුමා. 1962 අවුරුද්දෙ මැතිණිගෙ ආණ්ඩුව බලයෙන් පහ කරන්ට කරපු අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට එවකට හිටපු අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලකගෙ සහයෝගය ලැබුණයි කියන සැකය මත ඔහු ඉවත් කරල විලියම් ගොපල්ලව මහත්මයව අග්‍රාණ්ඩුකාර ධුරයට පත් කලා. විලියම් ගොපල්ලව කියන්නෙ සිරිමා මැතිණියගෙ මාම වෙන්නෙ. මැතිණිගෙ මල්ලි දොස්තර මැකී රත්වත්තගෙ භාර්යාව විලියම් ගොපල්ලවගෙ වැඩිමහල් දියණිය.

විලියම් ගොපල්ලව මහත්තය ඉපදුනෙ ඔය අපෙ ප්‍රියම්බිකා තොමෝලගෙ ගෙවල් අහල පහල තියෙන දූල්ලෑව මහ වලව්වෙ උනාට සෑහෙන කාලෙක ඉඳලම ඒ කිව්වෙ එයාලගෙ අප්පච්චි පොඩි දවස්වල වගෙ ඉඳලම ඒ වලව්වෙ ඒ පවුලෙ කවුරුවත්ම ඉඳල නෑ. වලව්ව බලාගන්ට බාරදීල හිටපු පවුලක් විතරයි ඉඳල තියෙන්නෙ. 

ජනාධිපති විලියම් ගොපල්ලව කියල එතුමාගෙ චරිතාපදානය බොහොම අපූරුවට ලියල තියනව ගුණදාස ලියනගේ මහත්මය නොහොත් ගුලි. ඒ පොතේ ඔය දූල්ලෑවෙ වලව්ව ගැන බොහොම අපූරු විස්තරයක් තියනව. පස්සෙ මම දන්න කාලෙ ඒ වලව්ව ප්‍රතිසංස්කරණය කරල තරුණ තරුණියන්ට රැකියා පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගියා. ඒකට මූලිකත්වය ගත්තෙ එතුමාගෙ පුතා මොන්ටි ගොපල්ලව මහතා.

"මොනවද දවල්ට උයන්න එහෙම ඕන? "

"ඔය එහෙමට විශේෂයක් නෑ. මොනවහරි ටිකක් රහට තිබ්බනං ඇති..ආ..මේ අර එක දවසක් මාළු බැදල ඔයා අරගෙන ආවෙ…"

"ආ..හරි හරි අර ඔයා රහයි කිව්වෙ.."

"අන්න හරි අන්න ඒ විදිහට මාළු බැදල තිබ්බනං ඇති...ටිකක් යහමිං බදින්ට. පහුවදා සඳුද උදේ එනකොට ඔතාගෙන එන්ටත් එක්ක ඇතිවෙන්ට."

"හාකො හාකො…" ඈ හිනාවෙලා අත වනාගෙන ඉස්කොලෙ ගාවින් බැස්ස.

ඔය මම කිව්වෙ මාළු බැදපුව එහෙම විශේෂයක් මොකවත් නෙවෙයි. මේ සාමාන්‍ය අර බිස්කට් කුඩුවල දවටල මාළු ගැඹුරු තෙලේ බදින්නෙ.අන්න එහෙම බැදපුව. 

ඔයිට මාසෙකට දෙහෙකට වගෙ කලිං සවුඳ දවසක එවුන්දැ මට දවල්ට බත් එකත් ඔතාගෙන එද්දි අර කිව්ව මාළු පෙති හත අටක් ගෙනල්ල තිබ්බ වෙනම ටිෂූ කොලේක ඔතල අයිස්ක්‍රීම් ගෙනාපු පෙට්ටියක දාල. මමයි සුමනෙයි දවල්ට එයිං අ මාළු කෑලි දෙකක් කෑව. හොඳ රසයි..

"මචං මේ ඉතුරු මාලු කෑලි හත අට නිකම්ම කන එක හරි නෑ. හවස අපි හීන්වට වගෙ මොකවත් කරමු මාලුත් එක්ක.." සුමනෙ මා දැක්ක එහෙම කිව්වෙ බත් කාල ඉවරවෙලා නැඟිටින ගමං.

එදා අපි දෙන්න ඔය සුට්ටක් ගත්ත අපේ ක්වාටර්ස් එකේ මිදුලෙ තණ බිස්සෙ වේවැල් පුටු දෙකකුත් තියාගෙන. 

"ෂෙහ්...මාර රසයි බං...දවල්ට වඩා දැන් තමයි රස…" සුමනෙ එහෙම කිව්ව දෙතුන් පාරක්ම. මම ඉතිං ඔන්න ඔය සීන් එක මතක් වෙලා තමයි අරම පොඩි බාසාවක් දාල බැලුවෙ.

ඉතිං ඒ කියපු දවසෙ ඒ කිව්වෙ ඉරිද කිසිදු අතුරු අන්තරාවක් අබග්ගයක්, කසිලියක්, හාහෝවක් විනම්බෑසයක් කැම්බැල්ලයක් නැතුව මමයි අම්මයි අප්පච්චියි සුමනෙයි එතුමීලගෙ ගෙදර ගිහිල්ල දවල්ට බැදපු මාළු පෙති හත අටක් එක්ක යහමිං බත් කාල ආපහු ගෙදර ආව. එන ගමං අළුවිහාරෙං සුමනෙව බස්සල ආව.

පහුවදා ඒ කිව්වෙ සඳුදා උදේ ඈ එනකොට බැදපු මාළු දහයක් පහළවක්ම ඔතල ගෙනල්ල මට දුන්න. රෑ වෙන්ට ඇරල සුමනෙයි මායි ගමනෙ ඊයෙ ගමනෙ විස්තරත් කතා කරමින් යංතං සංතං පදං අබිසමෙච්ච වෙන අල්ල පනල්ලෙ බැදපු මාලු සුට්ට සුට්ට හැපුව.

ඊට පස්සෙං පහු හරියටම දවස් දෙකයි ගතවුනේ. ඒ කිව්වෙ බදාදා... හීනෙං වත් නොහිතුව වැඩක් නෙව සිද්ද වුනේ. ඒ විස්තරෙත් ඇතුලුව තව ගොඩක් දේවල් කියන්ට තියනව එහෙනං ඊලඟ කතන්දරේදි ඒ විස්තර කියන්නංකො.

Monday, May 15, 2017

507. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 34 - සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ........



ජලාශයක් මත පායා දිලෙන පුන් සඳ
Google Images

පහුගිය බදාදනෙ වෙසක් පෝය. අපේ වහළෙ ස්ලැබ් එක උඩට නැග්ගම වෙසක් හඳ පේන්නෙ කරත්ත රෝදයක් තරමට. ලංකාවෙදි මම කවදාවත්ම එච්චර ලොකු හඳක් දැකපු බවක්නම් මට මතක නෑ. මට හිතෙන්නෙ කාන්තාර ප්‍රදේශවලට පුරා හඳ ලොකුවට පේනවද මන්ද. අපේ ඉකෝන් බොහෝවිට දන්නව ඇති ඒ ප්‍රශ්නෙට පිළිතුර. පහුගිය ටිකේ තාරකා විද්‍යාව ගැන බොහොම අපූරු පිලිපෙලක්ම ඉකෝන් ලියල තිබ්බ. 

අප්පටසිරි ඒක කිව්වම මතක් වුනේ. බ්ලොග් වසන්තෙට ඡන්දෙ දාන්නත් එපාය.අදද මන්ද අන්තිම දවස. කමෙන්ටර්ට නම් ඊයෙද පෙරේදද කොහෙද මනාපෙ ප්‍රකාශ කලා.

හඳ දිහා බලාගෙන ඉන්නකොට මට මතක් වුනේ ඒත් මේ වගෙ වෙසක් කාලෙක වෙච්චි පරණ කතන්දරයක්. 

"හරි දැං මොකද ඔයා කියන්නෙ?" මම ඇගෙන් ඇහුව.

"හරියටම වෙසක් පෝය දවසෙ ...ඔය වැඩේට නම් මගෙ මෙහෙමයි කියල කැමැත්තක් නෑ ඔන්න.." ඈ සුරතේ මැදගිල්ලෙ අන්තිම පුරුකට මාපට ඇඟිල්ල තියල පෙන්නුව. 

"ඒ වුනාට අනේ පොඩ්ඩක් කල්පනා කරල බලන්ටකො මම කියන එක."

"මොකක්ද දැං ඔය ඔයා කියන එක?" ඈ අපි ඉඳගෙන හිටපු සෝපාවෙ මා දිහාට හැරිල හරි බරි ගැහුන.

පළමෝත අත්දැකීමෙන් මම දන්නව ඔහොම ඔය ලෑස්ති වෙන්නෙ Full frontal assault එකකටය කියල. ඒ කිව්වෙ මුහුණට මුහුණ ලා කරන දරුණු ප්‍රහාරයකට. 

අපේ විචා මහත්තය දිවිය ලෝකෙ ගිහිල්ල හින්ද දැං බය නැතුව ඔය පළමෝත කියන වචනෙ ලියන්ට පුලුවනි. විචා ඉන්දැද්දි මම එක පාරක් ඔය පළමෝත කියන වචනෙ පාවිච්චි කරල ඒ යෝදය මගෙ ඇඟට ගොඩවුනෙ නැද්ද? 

"රවී කිව්වට තරහ වෙන්න එපා. හොඳද? අපිට නිකම් මේ ආවට ගියාට වචන හදන්න බෑ. සිංහල භාෂාවෙ වචන වර නැඟෙන සම්මත ක්‍රමයක් තියනව.ඒකට පිටිං මටවත් ඔයාටවත් ඕන විදිහට වචන හදන්ට බෑ. ඔය පළමෝත කියන වචනෙ සම්මත ක්‍රමයට වර නැඟෙන්නෙ නෑ. ඒ හින්ද මීට පස්සෙ ඒ වචනෙ පාවිච්චි කරල මං නරක මිනිහයි කියල කියන්න එහෙම එපා හොඳද? "

අන්න එහෙමයි විචාරක තුමා මට සුහද තර්ජනයක් කලේ. (සුහද තර්ජනයක් කියල කියල වචනයක් ස්වභාවිකව පවතින්න පුලුවන්ද කියල නම් මටත් සැකයි කිව්වම මොකද? හෙහ්,හෙහ් ඒක බොහෝවිට මට හිතෙන්නෙ Oxymoron එකක්. සිංහලෙන් කිව්වොත් විරෝධෝක්තියක් )

ඒ පාර මම විත්ති වාචකය වශයෙන් ඉදිරිපත් කලේ ඔය පළමෝත කියන වචනෙ ඇවිල්ල හිට මගෙ නිර්මාණයක් නෙවෙයිය ඔය වචනෙ නිර්මාතෘ නොහොත් වර්ඩ්ස්මිත් ඇවිල්ල ටැබූ මහත්මයාය කියල. ටැබූ ගැන අහල තියනවනෙ නේද? ටැබූ සබ්ජෙක්ට්ස් නොහොත් සාමාන්‍යයෙන් නොකියන කතා.......

විචා මගෙ කරුණු දැක්වීම තඹ සතේකට ගණං ගත්තෙ නෑ. "ටැබූ නෙවෙයි කවුරු කිව්වත් වැරදි වැඩේ වැරදිමයි.." අන්න එහෙමයි එතුමා කිව්වෙ...

හරි අපේ ගරු කටයුතු විචා තුමා පිළිබඳ ඒ ඉතා සොඳුරු මතක සටහනින් පසු ආයෙම එමු කතාවට...බෑක් ටු ද ස්ටෝරි නව්….

"මොකක්ද දැං ඔය ඔයා කියන එක?" ඈ අපි ඉඳගෙන හිටපු සෝපාවෙ මා දිහාට හැරිල හරි බරි ගැහුන.

පළමෝත අත්දැකීමෙන් මම දන්නව ඔහොම ඔය ලෑස්ති වෙන්නෙ ෆුල් ෆ්‍රන්ටල් ඇසෝල්ට් එකකටය කියල. ඒ කිව්වෙ මුහුණට මුහුණ ලා කරන දරුණු ප්‍රහාරයකට. 

"නෑ ඒයි මේකනෙ වැඩේ..මගේ ඔය එන යාලුවො ඉන්නවනෙ. උන්ට ඔය මොකවත් පොඩ්ඩක් හරි දුන්නෙ නැත්තං මටයි නරක නාමෙ" 

"හුහ්..ඒක පුදුම කතාවක්නෙ...නරක නාමයක් එන්නෙ කොහොමද හොඳ දෙයක් කරල.."

"හරි හරි ඒක අල්ලල දාමුකො...කොහොමත් මගෙ කිට්ටුම යාලුවො හත් අට දෙනෙකුට විතරයි මම මඟුලට කිව්වෙ. අනික් ඔක්කෝටම මම කිව්වෙ හෝම් කමිං එකට. ඔන්න ඒකට එහෙම තහනම් නියෝග නිකුත් කරන්ට ලැහැත්ති වෙනව නෙවෙයි තේරුණාද?"

"හරි හරි හෝම්කමිං එක ඔයගොල්ලන්ගෙනෙ. ඒක කැමති විදිහකට කරගන්ට. මම මොකවත් කියන්නෙ නෑ ඒ ගැන"

ඔන්න ඈයි මායි අවසාන වශයෙන් එකඟතාවයකට ආවෙ අන්න ඒ විදිහට. ඒකට කියන්නෙ Solving issues by using the three Cs කියල. එතන ත්‍රී සීස් කියන්නෙ ඉංගිරිසි හෝඩියෙ සී අකුර ගැන. ඒ කියන ත්‍රී සීස් තමයි Consultation, Compromise & Consensus.... සාකච්ඡාව, සම්මුතිය සහ එකඟතාව..

ඔය ත්‍රී සීස් ගැන ඒ දවස්වල කකුලෙ ඇඟිලි වලින් ඉස්සි ඉස්සි ස්ටේජ්වල කෑගැහැව්වෙ අපෙ පේමදාස මහත්තය.

අර "උස කොල්ලෝ පේළියයි, මිටි කොල්ලෝ පේළියයි, උස කොල්ලෝ සිකුරුටී, මිටි කොල්ලෝ කංකරූ" කියන අලුත් රබන් පදේ නිර්මාතෘ ගරු එස්. පේමදාස නියෝජ්‍ය නායක තුමාගෙ පියාණෝ.

ඉතිං ආයම කතාවට ආවොත් ඒ විදිහටම වැඩේ වුනා. වෙඩිං එක දවසෙ නෝ මත්පැන්. හෝම් කමිං එක දවසෙ ...හෙහ්,හෙහ්,

ඉතිං දැන් මේ යස්සය මොකද මේ හිටපු ගමං වෙසක් කාලෙක වෙච්චි මංගලෝත්සවයක් ගැන මෙලෝ සිහියක් නැතුව කියවන්ට ගත්තෙ කියල ඔබ තමුන්නාංසෙලගෙ හිත්තුල යං කුකුසක්, කුතුහලයක්, විචිකිච්ඡාවක්, අත්තකිලමතානු යෝගයක් එහෙමත් නැත්තං පරචිත්ත විජාණන ඥාණයක් එහෙම ඇතිවෙලා නිකං වැලි කැටයක් ඇහේ වැටිල කෙවෙනව වගෙ දැනෙනවනම් එහෙම සමාවෙන්ට ඕමනයි. ඒ පිළිබඳව මම පැහැදිලි කරල දෙඤ්ඤම්. 

ඈයි මායි සරණ බන්ධනගත වෙලා අදට ඒ කිව්වෙ මැයි පාළොස්වෙනිදට අවුරුදු විසි දෙකයි. ඉංගිරිසියෙන් කිව්වොත් එහෙම A  score and two years….

අදත් හඳ පායල තියනව. පාළොස්වක තරම්ම නැතුවට රන් තැටිය වගේ තියනව. මම ඈට කතා කලා. 

"මට මෙතෙන්ට අපූරුවට හඳ පේනව. ඔයාටත් පේනවද?" මම ඇහුව. 

"මෙතනට නම් පේන්නෙ නෑ..ඉන්න බලමු එළියට ගිහාම සමහරවිට පෙනෙයි…"

තත්පර තිහක් වගෙ ගත වුනා.....

"ඔව්..අනේ ෂෝක් එකට පේනව හන්තාන කන්ද උඩිං පායල තියනව…"

"හ්ම්ම්ම්..හෙටත් තියෙයිද දන්නෙ නෑ නේද හඳ?"

"තියෙයි මම හිතන්නෙ..මේ ටිකේම වැස්සෙ නෑනෙ. මම හෙටත් බලල ඔයාට කියන්නම්කො.."

"හරි එහෙම කරමු එහෙනම්... සුබ රාත්‍රියක්............"

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ,
ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා,
මට සිඹින්න ඇස් පියන්න,
මගෙ ආදරේ හංගන්න,

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ,
ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා,
මට සිඹින්න ඇස් පියන්න,
මගෙ ආදරේ හංගන්න, 

සඳ නිදන්න ……..

සඳ සීත ගෙන එන්නෙ ආදරේ,
දඟකාර නිල් දෑස මානයේ,
ගුලි වෙන්න රතු රෝස හීනයේ,
ලඟ උන්න තුරුලේම මා ළයේ.,

අඩවන් දෑස කීවේ,
ජීවිතේ අරුතමයි සංවරයි මැණික මාගේ.....

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ,
ඉඩ තියන්න,

සමණලිය තටු සලන යාමයේ,
මල් සුවඳ මකරන්ද මාරුතේ,
දෙතොලතර සුසුමින්ද මේ රැයේ,
නිල්මල් විලෙන් හීන වෑහුනේ,

මුසපත් සේද යායේ,
උණුහුමින් හිත නිවයි පින්සරයි මැණික මාගේ....

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ,
ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා,
මට සිඹින්න ඇස් පියන්න,
මගෙ ආදරේ හංගන්න,

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ,
ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා,
මට සිඹින්න ඇස් පියන්න,
මගෙ ආදරේ හංගන්න,

සඳ නිදන්න ……..

Artist : Raween Kanishka
Music : Raween Kanishka
Lyrics : Gihan Chamika Rodrigo




Thursday, May 11, 2017

506. The Story Of My Marriage - 41 - "City never sleeps…yeah..absolutely right....but we also make our customer weeps"



"City that never sleeps"නොහොත්  "කිසිදා නොනිදන නගරය"
යනුවෙන් විරුදාවලි ලබා ඇත්තේ අමරිකා එක්සත් ජනපදයේ
නිව්යෝක් නගරයයි. එය "The big apple" යනුවෙන්ද හැඳින්වේ.

"ඔය ළමය නිතරම අනන්‍යාව හම්බ වෙන්ට එන්නෙ නැත්නම් මම කැමතියි. අපි වැඩිය කතා නොකරන බොහොම සරල මිනිස්සු. ඒත් අපේ නෑදෑ පරපුර අතර හොඳ පිළිගැනීමක් ගෞරවයක් අපිට එදත් තිබ්බ. අදත් තියනව"

"අංකල් මම මේ…"

අංකල් සුරත උස්සල මාව වැළැක්කුව. "ඉන්න මම කතා කරල ඉවර වනකල්...අර මම කිව්ව ගෞරවය පිළිගැනීම හෙටත් තියෙන්න ඕන. විශේෂයෙන්ම අනන්‍යාගෙ ගෞරවය කරුනාකරල ඒක නැතිකරන්න හදන්න එපා...මම දන්නව අනන්‍යයයි ඔය ළමයයි යුනිවර්සිටි එකේ බැච් මේට්ස්ල. එතකොට ඔයා අපේ මංජුට උදව්කරනව ඉගෙනීමට. මම එව්ව ඔක්කොම දන්නව. අපි කලගුන නොදන්න මිනිස්සු නෙවෙයි. අපිට ඔය ළමයට ඕනනම් තුන්වේලම කන්න දෙන්න උනත් පුලුවන් එක රුපියලක්වත් අය කරන්නෙ නැතුව. ඒක අපිට කරන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒත් මම මේ ඔය ළමයට බොහොම කරුණාවෙන් කියන්නෙ අපිට අනන්‍යාට ඔය ළමයව කසාද බඳින්න නම් කොහොමටවත් ඉඩ දෙන්න විදිහක් නෑ"

"අංකල් මම මේ කියන එක…." මට එච්චරයි කියන්ට වුනේ. අංකල් දෑත් එක්කරල ඔලුව එහෙම නවල මට ආචාර කලා. ඊට පස්සෙ ගියර් එක ෆස්ට් එකට දාල කාරෙක හෙමීට පාරට අරගෙන යන්ට ගියා. 

ඈත වාහන අතරෙ අංකල්ගෙ ෆියට් එක නොපෙනී යනකල්ම මම එතනට වෙලා ගල් පිළිමයක් වගෙ බලාගෙන හිටිය. "දෙයියෝ සාක්කි ඉතිං මොකද කරන්නෙ? අත් දෙක එකතුකරල වැඳල තාත්ත කෙනෙක් තමන්ගෙ දුව එක්ක ආශ්‍රය කරන්න එපා කිව්වම මොකද කරන්නෙ?" මට ඒ ප්‍රශ්ණෙට උත්තරයක් නෑ. මගෙ බ්‍රීෆ් කේස් එකත් උස්සගෙන මම ඈත පේන සිටි බැංකුව දිහාට ඇවිදගෙන යන්ට වුනේ හීනෙං ඇවිදිනව වගේ.

"සුබ උදෑසනක් ගරු කටයුතු මහතාණනි, ඔබට සුබ ම සුබ උදෑසනක්!"

බාලට කොච්චර උත්සාහ කලත් එයාගෙ කේන්තිය සඟවා ගන්ට පුලුවන් උනේ නෑ. ඒ බව මිනිහගෙ ස්වරයෙන් බොහොම පැහැදිලිව පෙනුන. ඒ හින්ද මනුස්සයගෙ සෝපහාසය (Sarcasm) කොහොමවත්ම සාර්තක වුනේ නෑ. ආ..මට කියන්න අමතක වුනානෙ. බාලා එහෙම කිව්වෙ මගෙ පුටුවෙ හොඳට හරි බරි ගැහිල පට්ටල වෙලා එහෙම ඉඳගෙන. 

"සමාවෙන්න මම ආපු ත්‍රී වීලර් එක ඇක්සිඩන්ට් වුනා. ඒකයි පරක්කු වුනේ.."

"ආ...ආ..එහෙමද? හැබැයි මම ටෙලිෆෝන් කරල ඇහුවම තමුංගෙ චමරියෙ ගෝලය නම් කිව්වෙ පාන්දර පහටත් ඉස්සර තමුං එහෙං පිටත්වුනාය කියල…"

"මොකක්?...මේ පොඩ්ඩට මිස්ටර් බාලා අපෙ චමරියටත් කෝල් කලාද? ඒත් දැන්නෙ යන්තං නමය වුනේ. අනික නමය නේද කොහොමත් නිල වශයෙන් මෙහෙ වැඩ පටන් ගන්න වෙලාව?"

"නෑ මේක ඇවිල්ල සිටි බැංකුව. තමුං ඔය කියන්නෙ ආණ්ඩුවෙ බැංකුවල වැඩ පටං ගන්න වෙලාව. අපිට ඒ වෙලාවල් අදාල නෑ. මට මතක විදිහට තමුං මෙහෙට ආපු මුල්ම දවසෙ මම ඒ ගැන හොඳටම පැහැදිලි කලා"

"ඒ කියන්නෙ සිටි බැංකුවෙ වැඩ කරනවනං ඉතිං වහල්ලු වගෙ වැඩ කරන්ට ඕන කියන එකනෙ" මම මටම කියාගත්ත.

"මොකක්ද කිව්වෙ?" බාලා ඒත් එක්කම ඇහුව.

"නෑ මොකවත් නෑ. අද දහයට මිසිස් ශ්‍රීනිවාස් එනව මාව හම්බවෙන්ට"

"මම ඒක දන්නව. ඒ එක්කම මට කියනවද ශ්‍රීනිවාස් නෝනත් එක්ක මොනවද තමා කතා කරන්න හිතාගෙන ඉන්නෙ කියල?...මම අර ඊයෙ කියවන්ට කියල දුන්නු රිපෝට්ස් එහෙම කියවන්ට වෙලාවක් තිබුනද? එහෙම නැත්තං එව්ව කියවන්ට ලෑස්ති වෙන්නෙත් දැන්ද?"

"ඒ රිපෝට් නම් මම කියෙව්ව. ඒත් මිස්ටර් බාලා එව්ව මේ කිසිම වැදගැම්මකට ඇති එව්ව නෙවෙයි"

බාලාගේ ඇස් උඩ යනවත් එක්කම කටත් ඇරුන. "වචන පාවිච්චි කරනකොට ඔයිට වඩා ටිකක් පරිස්සම් උනොත් හොඳයි කියල මම තමුන්ට අවවාද කරන්න කැමතියි. ඔය තමා කිසිම වැදගැම්මකට නෑ කියල දෙකේ කොලේට දාල කතා කරන්නෙ අපේ බැංකුවෙ පර්යේෂණ අංශය පිළියෙල කරපු වාර්තා ගැන. අන්න ඒක මතක තියාගන්න එක තමුංගෙ අනාගතයට හුඟක් හොඳවෙයි මම හිතන්නෙ........"

මට මේ විකාරෙ දැං ඇතිවෙලයි තියෙන්නෙ. අනන්‍යාගෙ තාත්ත උදේ මගෙ බලාපොරොත්තු ඔක්කොම විනාස කරල දැම්ම. ඒ අස්සෙ මේ මනුස්සය මගෙ පුටුවෙම තප්පලං ගහගෙන ඉඳගෙන රටේ නැති විකාර කියවනව. මගේ ඉවසීමෙ සීමාව පැන්න. "ඉවසීමේ සීමාවත් පැන්නා වළහා නරියගෙ හොම්බට ඇන්නා.." දෙකේ පන්තියෙදිද කොහෙද කියවලු ළමා කවි පොතක ඔහොම කවියක් තිබ්බ නේද කියලත් මට එක පාරටම මතක් වුනා. මේසෙට අත්දෙක තියල මම බාලා දිහාට පාත්වුනා.

"මේ මිස්ටර් බාලා අපි මේ පිස්සු විකාර කියවන එක නතර කරල වැඩකට ඇති දෙයක් කතා කරමුද? තව පැයක් යනකොට මිසිස් ශ්‍රීනිවාස් මෙතනට එනව. ඒ එන්නෙ යස්සාරූඩ වෙලා. අපි ඒ තත්වෙට මූන දෙන්නෙ කොහොමද කියල කතා කලොත් හොඳ නැද්ද? ආ..ඒ ඔක්කෝටම කලින් කරුණා කරල මට මගෙ සීට් එක දෙනවද? හිටගෙනම කතාකරල මට දැං ඇති වෙලයි තියෙන්නෙ"

බාලාගෙ කට ආයෙම ඇරුන. මම හිතන්නෙ මිනිහ කවදාකවත් හිතන්න නැතුව ඇති මිනිහගෙ යටතෙ වැඩ කරන සේවකයෙක් මිනිහගෙ මූණටම එහෙම කියයි කියල. "අනෙහ්..මගෙ මොකද? කෙහෙම්මල් බැංකු රස්සාව..හිතුනොත් දමල ගහල අදම යනව ආපහු...අනික අනන්‍යාගෙ තාත්ත අත්දෙක එකතු කරල වැඳලම කිව්වනෙ අනන්‍යා ගැන බලාපොරොත්තු තියාගන්න එපාය කියල. ඉතිං තවත් අහවල් දේකටද මම චෙන්නයිවල ඉන්නෙ?"

බාලගෙ ඇරිච්ච කට මනුස්සයම ඒ එක්කම ආයම වහගත්ත. වහගෙන පුටුවෙනුත් නැඟිට්ට. මම මේසෙ වටෙන් ගිහිල්ල මගෙ සීට් එකේ ඉඳගත්ත. බාලා මගෙ මේසේ ඉස්සරහ තිබ්බ සීට් එකේ ඉඳගත්ත. මේ උගුරට හොරා බේත් කන එක මට ඇති වෙලයි තිබ්බෙ. මම අත් දෙක මේසෙට බර කරල ඉස්සරහට නැවිල කෙලින්ම බාලගෙ ඇස් දෙක දිහාබලාගෙන කතාකලා.

"මිස්ටර් බාල ක්‍රිෂ්ණන් අපි ඇත්ත කතා කරමු. එහෙම නැතුව අපි අපිවම රවට්ටගෙන වටේ යන්ට ගියොත් වෙන්නෙ තත්ත්වය තව දුරටත් නරක් වෙන එක"

බාල එක වචනයක්වත් කිව්වෙ නෑ. හත් අට පාරක් වේගයෙන් ඇසිපිය ගහල මගෙ මූණ දිහාම බලාගෙන හිටිය. 

"හරි... ඇත්ත ඇති සැටියෙන්ම කිව්වොත් එහෙම මිස්ටර් බාලක්‍රිෂ්ණන් තමයි මට බල කලේ කොහොමහරි මේ ඉන්ටර්නෙට් කම්පනීස්වල ස්ටොක්ස් අපේ පාරිබෝගිකයින්ගෙ ඇඟේ ගහන්ටෙයි කියල. හරි... ඇත්තම කියන්න... එහෙම කිව්වද නැද්ද? එහෙම මට බල කලාද නැද්ද?"

බාලා කිසිදෙයක් කිව්වෙ නෑ. උගුරෙ මනි පිට්ටු හිරවෙලා වගෙ දිගටම මාදිහාවෙ බලා හිටිය.

මම දන්නව මලාට මේ මනුස්සය වැරැද්ද පිළිගන්නෙ නම් නෑ. ඒත් සද්ද නැතුව මූකළං බස්ස වගෙ ඉන්න එකත් මදැයි. ඒකට කියන්නෙ "Admission of guilt by being silent" කියල. "නිශ්ශබ්දව සිටීමෙන් ඔබ වරද පිළිගත් බව සැළකේ"  ඒ හින්ද මම දිගටම කතාකරගෙන ගියා.

"ඉතිං මිස්ටර් බාලක්‍රිෂ්ණන්ගෙ උපදෙස් පරිදි මම උපරිම උත්සාහ අරගෙන ඒ සමාගම්වල කොටස් අපේ ගණුදෙනු කරුවන් කීප දෙනෙකුට විකුණුව. මිසිස් ශ්‍රීනිවාස් එයින් එක්කෙනෙක්. කොහොමහරි අපි බලාපොරොත්තු වුනදේ නැත්නම් අපි අපේ ගණුදෙනුකරුවන් ඉදිරියේ මවල පෙන්නපු සුන්දර සිහිනය සැබෑ වුනේ නෑ. කොටස් මිල බොහොම දරුණු විදිහට පහළ ගිහිල්ල අපේ ගණුදෙනු කාරයින්ට සෑහෙන පාඩුවක් වුනා. විශේෂයෙන්ම මිසිස් ශ්‍රීනිවාසන්ට. ඒ මනුස්සයගෙ මම හිතන්නෙ මිලියනයක් වගෙ සල්ලි එක දවස් දෙක තුනකින් නැතිවුනා"

බාලා අත උස්සල මගෙ කතාව නැවැත්තුව. "හරි හරි ක්‍රිෂ් අපි ඔය ඔක්කොම දන්නවනෙ. ආයම ආයම ඕක කියන්න ඕන නෑනෙ"

"නෑ මිස්ටර් බාලක්‍රිෂ්ණන් මම මුල ඉඳලම මේ විස්තරේ කියන්නෙ වෙන මොකවත් හින්ද නෙවෙයි. මොකක්ද වුනේ කියල අපි දෙන්නම පැහැදිලිව එකඟතාවයකට එන්ට ඕන හින්ද"

"හරි හරි කියන්ටකො එහෙනං….." බාලා කලිසං සාක්කුවෙන් සුදු ලේන්සුවක් අරගෙන නලල පුරා මතුවෙලා තිබ්බ දාඩිය බිංදු පිහල දැම්ම.

"මිසිස් ශ්‍රීනිවාස් කියන්නෙ වයසක ගෑණු කෙනෙක්. බොහොම ලේසියෙන් කලබල වෙනව. එක අතකට ඒ මනුස්සයට වැරැද්දක් කියන්ටත් බෑ. ඒ මනුස්සය ඔය නොදන්න අටමගලෙකට අත ගැහුවෙ තනිකරම අපේ බල කිරීමට. දැන් අන්තිමට වුනේ ඒ මනුස්සයගෙ සල්ලි නැතිවුන එක. කවුද දැං ඒ මනුස්සයගෙ පාඩුව පියවල දෙන්නෙ?"

මම එහෙම අහල බාල දිහාම බලාගෙන හිටිය. බාල සුපුරුදු පරිදි ගල් ගිල්ල වගෙ බලාගෙන හිටිය මිසක එක වචනයක් කතා කලේ නෑ. 

"ඒ හින්ද මිස්ටර් බාලක්‍රිෂ්ණන් මට ඔයාට කියන්ට තියෙන්නෙ ඕනෑම දරුණු තත්වයකට මුහුණ දෙන්ට ලෑස්ති වෙලා ඉන්න කියල තමයි"

"ඒ කිව්වෙ? ඕනෑම දරුණු තත්ත්වයක් කිව්වෙ මොන වගෙ එකක්ද ක්‍රිෂ්?..." බාල දිවෙන් තොල් තෙමාගෙන ඇහුව.

"නෑ නෑ ඒ තරමට බයවෙන්ට දෙයක් නෑ මිස්ටර් බාලා. මිසිස් ශ්‍රීනිවාස් හැට්ටෙ අස්සෙ පිහියක් හංගගෙන ඇවිල්ල යටිගිරියෙං හූ තියාගෙන ඔහෙට දමල අනින එකක් නෑ මම හිතන්නෙ ...හෙහ්,හෙහ්….."

මම ඕනවටත් වඩා හයියෙන් හිනාවුනේ බාලගෙ හිත ටිකක් සැහැල්ලු කරන්ට කියල හිතාගෙන. මොන? මම හිතන්නෙ ඒ මනුස්සය හිටියටත් වැඩිය බය උනාද කොහෙද...

අනික බාලා දැක්ක එහෙම කිව්වට මිසිස් ශ්‍රීනිවාස් පිහියකිං අනිනවනං අනින්නෙ බාලට නෙවෙයි මට කියලත් මම හොඳාකාරව දැනගෙන හිටිය. මොකද බාලා පිටිපස්සෙං ඉඳගෙන උපදෙස් දුන්නට කුත්තු කලාට අවසාන වශයෙන් මිසිස් ශ්‍රීනිවාස් එක්ක කතා කරල එයාව ඔය මෝඩ වැඩේට පොළඹව ගත්තෙ මමනෙ. එහෙම බලනකොට මට කිසිම ගැලවුමක් නෑ.

"හරි ඕනම දරුණු තත්වයක් කියල මම අදහස් කලේ මිසිස් ශ්‍රීනිවාස් ඇතුලු ඔය සල්ලි ලොස් වෙච්චි කට්ටියම එක පොදියට මෙහෙ තියන එකවුන්ට්ස් වහල සල්ලි අරගෙන යාවි වෙන මොකක් හරි බැංකුවකට. අන්න ඒ වගේ එකක්. ඒ ඇර එයාලට වෙන නඩු දාන්න වගෙ දෙයක් නම් කරන්න බෑ මම දන්න විදිහට. මෙතන වංචාවක් හෝ හිතා මතා අමාරුවෙ දැමීමක් වෙලා නෑනෙ"

"වංචාකලානම් ඒක තව නම්බුයි. මෙතන තනිකරම වෙලා තියෙන්නෙ මරි මෝල් කමනෙ" මම ඒ ටික තොල මැතුරුවෙ මට විතරක් ඇහෙන්ට.

"ක්‍රිෂ් මොකක්ද කිව්වෙ?............" ඔලුව පාත් කරගෙන මේසෙ දිහාවෙ බලාගෙන හිටපු බාල ඔලුව උස්සල බලල ඇහුව. 

"නෑ නෑ මොකවත් කිව්වෙ නෑ. අර මම කලින් කිව්වවගෙ මිස්ටර් බාලා එහෙනම් හොඳ ගණුදෙනු කාරයො දහ දොළොස් දෙනෙක්වත් නැති වෙන තත්ත්වෙකට මූණ දෙන්ට හිත හදා ගන්ට"

"එහෙම කොහොමද ඒ ගොල්ල අපිත් එක්ක තියෙන එකවුන්ට්ස් ක්ලෝස් කරන්නෙ? සිටි බැංකුව තමයි ඉන්දියාවෙ හොඳම බැංකුව.."

"අනේ මන්ද මම මෙච්චර වෙලා කිව්ව එව්ව මේ මිනිහගෙ එක කණකින් ඇතුලට ගිහිල්ල අනික් කණෙං පිටවෙලා ගිහිල්ලද කොහෙද එක වචනයක්වත් මඟ රඳන්නෙ නැතුව..."

"හරි හරි දැං තව විනාඩි දහයකින් වගෙ මිසිස් ශ්‍රීනිවාස් මෙතනට එයි අර කොහාටද මොනවද ගහපු මොකාද වගෙ. මිස්ටර් බාලා ඔය කතාව එයාටම කියන්ටකො"

මේ පහුගිය මාසෙ වගෙ ඉඳල සිටි බැංකුව අලුත් මොටෝ එකක් නැත්නම් ආදර්ශ පාඨයක් පාවිච්චි කරන්ට ගත්ත. ඒ තමයි "City never sleeps"

"City never sleeps…yeah..absolutely right....but we also make our customer weeps" පුටුවෙන් නැඟිටල වතුර එකක් බොන්ට පෑන්ට්‍රියට යන අතරෙ මම මටම කියාගත්ත.

Friday, May 5, 2017

505. The Story Of My Marriage - 40 - Mr. Swaminathan Earnestly Requests With Folded Hands……


ඉඩ්ලි සමඟ සාම්බාර්





ම්ම්..අටයි තිහට මෙහෙං පිටත් වුනා කියන්නෙ මම ඔෆිස් යනකොට මිස්ටර් බාලා නොහොත් මගේ බොස් වැඩට ඇවිල්ල පැයකුත් ගතවෙලා. එහෙම වෙන එක නම් මට එච්චර සුබ වෙන්නෙ නෑ කියල මට කවුරුවත් අමුතුවෙන් කියන්න උවමනා උනේ නෑ. ඒත් අනික් අතට අටහමාරට මෙහෙං පිටත් වෙනව කියන්නෙ තව පැය දෙකක් මම මෙහෙ ඉන්නව. ඊගාවට මගෙ ඔෆිස් එක ගාව මාව ඩ්‍රොප් කරනකල් අංකල් එක්ක මට ඕන දෙයක් කතා කලෑකි. ඔව්..අංකල්ගෙ හිත දිනාගන්ට මේක නියම චාන්ස් එකක්. අනන්‍යා මදුරෙයි යන්ට ඉස්සෙල්ල මට කිව්වෙත් මේවගෙ අවස්ථාවක් ගැන නේද? ඔව්...මේක පැහැර හරින්ට හොඳ නෑ කොහෙත්ම. බාලට බම්බු ගහගන්ට කියනව...හුහ්...

"හරි ප්‍රශ්ණයක් නෑ අංකල්..මම ඔෆිස් ඉන්න ඕනත් ඒ වෙලාවට තමයි.." මම හිනාවෙලා කිව්ව..

"ම්ම්ම්ම්..එහෙනං අවුලක් නෑනෙ..අපි එහෙම කරමු.."

අංකල් එහෙම කියල ආයම සෝපාවෙ හරි බරි ගැහිල පත්තරෙං මූණ වහගත්ත. පත්තරේ ඇවිල්ල හිට වෙනිං මොකක්වත් නෙවෙයි ද හින්දු.

හරියටම හතයි තිහට ස්වාමිනාදන් මහත්තයයි මායි පාතරාසයට ඉඳගත්ත. ඊට කලිං එයා සාලෙත් එක්කම ටිකක් එහාට වෙන්ට තිබ්බ පොඩි දේවාලෙට ගිහිල්ල යාඥා කරල ආව. දේවාලෙ දේවාලෙ කිව්වට ඒක මේ පොඩි කාමරයක්. ඇතුලෙ බිත්ති පුරාම එක එක ජාතියෙ දේවරූප එල්ලල. "අපේ බ්‍රාහ්මණ වංශික කට්ටියගෙ සිරිතක් ඒයි ඒක. ගේ ඇතුලෙම පොඩි කාමරයක් වෙන් කරනව දේවාලෙ හැටියට" අපි යාලු වෙච්චි අලුතම වගෙ දවසක් එහෙම මට කියල දුන්නෙ අනන්‍යා.

යාඥා කරල ආපහු එනකොට ස්වාමිනාදන් මහත්තයගෙ නළලෙ අර සුපුරුදු අළු තීරු තුන තිබ්බ. ලොක්ක පස්සෙන්ම ගිහිල්ල යාඥා කරානං ළකුණු ටිකක් දාගත හැකි නෙවද කියල මට හිතුනට ආයම එහෙම ගියොත් අනිවාර්යයෙන්ම මේ මනුස්සය මගෙ නළලෙත් අළු තීරු තුනක් උලන එක උලනවාමයි කියල මට හිතුන හින්ද සද්ද නැතුව නිකා හිටිය. ඔෆිස් එකට කොහොමත් දැන් පරක්කු වෙලා යන්ට වෙන එකේ තව අළුත් ගාගෙන පලයල්ලකො. මගෙ බොස් මිස්ටර් බාලා අහන එව්වට උත්තර දීල ඉවරයක් වෙන එකක් නෑ.

උදේ කෑමට හදල තිබ්බෙ ඉඩ්ලි. අනන්‍යාගෙ අම්ම ඉඩ්ලි පණහක් විතර ගෙනල්ල මේසෙ උඩ ගොඩ ගැහුව. අංකලුයි මායි නිස්සබ්දව ඉඩ්ලි කෑව. "අපෙ තාත්ත කොහොමත් ඒහැටිම කතාකරන කෙනෙක් නෙවෙයි" අනන්‍යා මට වේලපහ  කියල තිබ්බ. ඒ හින්ද මනුස්සයගෙ හිත දිනාගන්ට හොඳම ක්‍රියා පිළිවෙල පුළුවන් තරම් අඩුවෙන් කතා කරන එක තමයි කියල මමත් හිතාගත්ත. එහෙම හිතල නිස්සබ්දවම හිටිය.

එක වෙලාවක අනන්‍යාගෙ අම්ම ඇවිල්ල අඩුපාඩු බලල ගියා. "තව චට්නි ටිකක් දාන්නද?" චට්නි දාපු ඇලුමිනියම් බාජනේ අතට අරගෙන ඈ මගෙං ඇහුව. මම ඔලුව උස්සන ගමන්ම ඒ ඔලුවම දෙපැත්තට වනල එපා කියල හැඟෙව්ව. අංකලුයි මායි මේසෙට වාඩිවෙලා හිටපු විනාඩි විස්සක වගෙ මුලු කාලය ඇතුලත මම ඔලුව ඉස්සුවෙ අන්න එහෙම ඔලුව වනන්ට විතරමයි.

අංකල්ගෙ කාරෙක ෆියට් එකක්. ගේට්ටුව ඇරල මම එතන ඉන්දැද්දි අංකල් කාරෙක ගරාජ් එකෙන් රිවර්ස් කරල එළියට ගත්ත. එන්ජින් එක ස්ටාට් කරල අංකල් ඉස්සෙල්ලම පස්ස බලන කණ්නාඩිය හොඳට හදාගෙන එහෙම දෙතුන් පාරක් බොහොම උනන්දුවෙන් පිටිපස්සෙ හිටගෙන ඉන්න මා දිහා බලනව මම බලාගෙන. ඊට පස්සෙ මෙන්න බොලේ මේ මනුස්සය පැති කණ්නාඩි දෙකෙනුත් මා දිහා බලාගෙන හිටිය විනාඩියක් තරම. ඒ මදිවට මෙන්න ඊලඟට ජනේලෙන් එළිය ඔලුව දාල ඔලුව පස්සට හරවල දෙතුන් පාරක්ම මගෙ ඉහේ ඉඳල දෙපතුල් ගාවට යනකල්ම බැලුව. ඒ බලපු බැල්මටනම් මගෙ කොඳු නාරටිය දිගේ යම්තමට හීතලක් වගෙත් ගලාගෙන ගියා.

ඇයි දෙයියෝ සාක්කි කාරෙකක් රිවර්ස් කරනකොට පිටිපස්සෙ කවුරුහරි ඉන්නවනම් පොඩ්ඩක් හෝදිසියෙන් ඉන්න ඕන තමයි. ඒත් මේ මනුස්සය මේ ඔලුවත් එලියට දාල බොහොම උනන්දුවෙන් මා දිහා බලපු ආකාරයෙන් නම් මට හිතුනෙම මෙහෙම බලන්නෙ නම් ආය ඒකෙ හෝදන්ට දෙයක් නෑ බැරිවෙලාවත් මම හැප්පෙයි කියල පරිස්සමට නම් නෙවෙයි අම්මාපල්ල මට මේකව රිවර්ස් එකේ ෆුල් ස්පීඩ් ගිහිල්ල හප්පන්ට නැති හැටියක් කියල හිතනව වෙන්ට ඕන කියලමයි. මිනිස්සු කියන ජාතිය කෙරෙහි කිසිම විස්වාසයක් තියන්ට බැරි හින්ද මම කෝකටත් හෙමීට ගේට්ටුවෙන් එළිය ගිහිල්ල තාප්පෙට මුවා වුනා.

ඔය වාහනයක් රිවර්ස් කරනකොට රියදුරාට නොපෙනන තැන් දෙකක්ද කොහෙද තියනව කියල මම ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්ට ඩ්‍රයිවිං පුරුදු වෙද්දි ඒ උපදේසක මහත්තය කියල දුන්න නේද කියල ඔන්න මට ඒ වෙලාවෙ මතක් වුනා. ඒත් ඒ බ්ලයින්ඩ් ස්පොට්ස් තියෙන්නෙ කොතනද කියල මට මතක නෑනෙ. අන්න ඒ තැන් මතක තිබ්බ නම් හරියට ඒ තැන්වලට වෙලා ඉන්ට තිබ්බ කිසි අවුලක් නැතුව. ඒත් ඔය හදිස්සියෙ කොහෙද ඔව්ව මතක් වෙන්නෙ? අන්න ඒ හින්දමයි මම සූදානම් සරීරෙ කියල පාරට ගිහිල්ල තාප්පෙටත් මුවා වුනේ කෝකටත් කියල. කියන්ට බෑනෙ ..මොකෝ ඔහෙල කියන්නෙ? 

අංකල් හෙමීට කාරෙක පාරට රිවර්ස් කරල ජනේලෙන් එළියට ඔලුව දාල ඔලුව හරව හරව මාව හෙව්ව. මම තාප්පෙ මුවාවෙං එළියට ආව. 

"ආ..මේ ඉන්නෙ... කොහෙද මනුස්සයො යන්නෙ? මොකද ඔය තාප්පෙ අස්සෙ කරන්නෙ?"

"නෑ අර රිවර්ස් කරද්දි තියෙන බ්ලයින්ඩ් ස්පොට් එක කොතනද කියල එක පාරට මතක් වුනේ නැති හින්ද කෝකටත් කියල මම මෙතනට මුවා වුනා.."

"මොකක්?" අංකල් ඇස් ලොකු කරගෙන මා දිහා බලා හිටියෙ දෙයියෝ සාක්කි මේ මිනිහට පිස්සුද ? නැත්නම් මට පිස්සුද කියල හරියටම තෝර ගන්ට බැරුව වගේ.."හා..හා.. එව්වයිං වැඩක් නෑ.. දැං මට පරක්කුත් වෙනව. මෙන්න මෙහෙ ඇවිල්ල නඟිනව ඔෆිස් යන්ට ඕනනං" අංකල් ඉතාමත්ම සුහදව ආරාධනා කලා.

මම වම් පැත්තෙ සීට් එකේ ඉඳගත්ත. මීට කලිං අන්තිම පාරට මගේ පෙම්වතියගෙ පියාණන් එක්කල එයාගෙ කාරෙකේ මේ විදිහටම ඉඳගෙන ගිය අවස්තාව මට මතක් වුනේ ඉබේටම. ඒ ඉතාම අමිහිරි මතකයන් එක්කල මගෙ පපුවත් ගැහෙන්ට ගත්ත ඩං ඩං ගාල. "ක්‍රිෂ් පිස්සු කෙලින්ට ලෑස්ති වෙන්ට එපා. ඒ එදා වගෙ නෙවෙයි අද..තේරුණාද? අද වෙනස්. අද කොහෙත්ම එදා වගෙ වෙන්නෙ නෑ.ඒ හින්ද හිතට ධෛර්යය ගනිං" මම හෙමීට මටම කියාගත්ත. එහෙම කියාගෙන ඇස් දෙක තදින් පියාගෙන පපුව පුරවල දීර්ග හුස්මක් අරං හෙමීට පිටකලා. ආයෙමත් එහෙම කලා. 

එහෙම කරල හිත ටිකක් සංසුන් කරගෙන ඇස් අරිනකොට අංකල් බයවෙලා වගෙ මා දිහා බලා ඉන්නව සිටියරිං වීල් එකත් දෑතින්ම බදාගෙන. 

"මොකද ළමයො අසනීපයක්වත්ද?"

"ආ..නෑ..නෑ..අංකල් බයවෙන්න දෙයක් නෑ...එහෙම එකක් නෙවෙයි. වාහනේකට නැග්ගම මගෙ සිරිතක් ඒ. වාහනේ යන අයට විශේෂයෙන්ම රියදුරු මහත්මයට කිසිම අතුරු ආන්තරාවක් නොවේවා කියල මම ඒ දෙවියන්ට යාඥා කලා"

"ආ..ඒක මිසක්..මම මේ ඒත් හිතුව.." අංකල් එහෙම කියල වාහනේ ස්ටාට් කරල පාරට ගත්ත.

අංකල් වාහනේ එළෙව්වෙ උපරිම පැයට කිලෝමීටර් දහයෙ වේගෙන්. ඒ ගාණටවත් ගියෙ මම හිතන්නෙ ඊට අඩුවෙන් එළෙව්වොත් වාහනේ පාරෙම නතරවෙයි කියල අංකල්ටම හිතෙන හින්ද වෙන්න ඕන. කොහොමහරි අන්කල් එක්ක විනාඩි දහයක් කාරෙකේ යද්දි මට හිතුනෙ නම් එහෙමයි.

ත්‍රී වීලර් ස්කූටර් වගෙ එව්වනම් කිසිම ගේමක් නැතුවම අපිව පහුකරගෙන ගියා. ඒ විතරක් නම් මදැයි ඔන්න  එක පාරක් රික්ෂෝ එකකුත් අපිට ඉස්සර කරන්ට ඔන්න මෙන්න කියල ආව. ඒ විඩේනම් අංකල් ටිකක් කලබල වෙලා ඇක්සලරේටරේ ඩිංගක් වගෙ පෑගුව. රික්ෂෝකාරයත් ඇරියෙ නෑ. සෑහෙන දුරක් අපි පස්සෙන්ම දුවගෙන ආව. අංකල් අපරාදෙ කියන්ට නම් බෑ මිනිහට ඉස්සර කරන්ට නම් දුන්නෙම නෑ. කොහොම හරි රික්ෂෝ කාරය මඟ හංදියක් ගාව නතර වෙනකල්ම අංකල් ගානට වාහනේ තියාගෙන ආව රික්ෂෝ කාරයට අඩි විස්සක් වගෙ ඉස්සරහිං...හෙහ්,හෙහ්,

මට අංකල් එක්ක කතා කරන්ට හොඳටම ඕනකම තිබ්බට අපි දෙන්නට ගහමරාගන්නෙ නැතුව කතා කරන්ට පුලුවන් එක මාතෘකාවක්වත් කොච්චර මොලේට වද දීල කල්පනා කලත් මගෙ ඔලුවට ආවෙම නෑනෙ. කොච්චරවත් එක වචනයක්වත් කතා නොකර බුම්මට්ට වගෙ ඉස්සරහ බලාගෙන යන්ට බැරි හින්ද මම මගෙ බ්‍රීෆ් කේස් එක ඇරල ඊයෙ ගෙදරදි කියවන්ට කියල හිතල ඔෆිස් එකෙන් අරංගිය රිපෝට්ස් වගයක් එලියට ගත්ත. 

ඒ රිපෝට්ස් වල තිබ්බෙ ඉතිං අපි හැමෝම හොඳාකාරවම දන්නදේ ආලවට්ටං දාල ආපහු ලියල. ඉන්ටර්නෙට් හා සම්බන්ධ සමාගම් වල කොටස් මිල පහුගිය සතියෙ 25% කින් පහළ ගිහිල්ල. මේ ඒ හැටි කාලයක් එහෙම නෙවෙයි යන්තං මාසෙකට ඉස්සෙල්ල ඔය සමාගම්වල කොටස්මිල සෑම සතියක් පාසාම තුන් ගුණයකින් වැඩි වෙනවයි කියල පරසක්වල ගහල අනාවැකි කියපු මහ ලොකු වාණිජ විශ්ලේෂකයො දැං කියන්නෙ මොනවද දන්නවද? ඒ ගොල්ල ආපහු පරසක්වල ගහනව මේ වෙලා තියෙන්නෙ කොටස් මිල පහත වැටීමක් නෙවෙයිලු. මෙතන වෙලා තියෙන්නෙ කොටස් වෙළඳපොල "සෙල්ෆ් කරෙක්ට් මෝඩ් " එහෙකට ගිහිල්ලලු.

සෙල්ෆ් කරෙක්ට් මෝඩ්.... හෙහ් ඇත්තම කියනවනම් හරිම අපූරු වචනයක්. අපේ උපදෙස් පරිදි ඉන්ටර්නෙට් සමාගම් විස්වාස කරල, එව්වයෙ තමං ජීවිත කාලයක් උපයාගත්තු සබ්බ සකලමනාවම ආයෝජනය කරල, ඒ ඔක්කොම එක සතියෙන් දෙකෙන් නැති කරගත්තු අවාසනාවන්ත ගෑණුන්ට සහ පිරිමින්ට අඩු ගානෙ තමන්ගෙ හිත සනසගන්නවත් පුලුවන් හරිම අපූරු වචනයක්. අපිටත් ජාම් බේරගන්ට හොඳ පොයින්ට් එකක්. සෙල්ෆ් කරෙක්ට් මෝඩ්.... ආච්චිගෙ රෙද්ද තමයි.

හැබැයි ඉතිං යන්තමකට හරි ඔලුව තියෙන මනුස්සයෙක් ඇහුවොත් "ඔය රෙද්දෙ සෙල්ෆ් කරෙක්ට් මෝඩ් එකට මාකට් එක යන බව ඔහෙලගෙ ඔය ඔලු කටු ඇතුලෙ තියන මොල ගෙඩි වලට කලින්තේ රුනේ නැත්තෙ මොන කෙහෙල්මලක් හින්දද?" කියල අපිට කට උත්තර නැති වෙනව. ඒ හින්ද ඔක්කෝටම කලිං අන්න ඒ ප්‍රශ්නෙට පිළිගත හැකි තර්කානුකූල උත්තරයක් හොයාගන්ට වෙනව.

දැං මේ අද උදේ වරුවෙ මට මීටිං දෙකක් තියනව මගෙ කස්ටමර්ල දෙන්නෙක් එක්ක. ඒ දෙන්නම මගේ... මගේ කිව්වට ඇත්තටම නම් අපේ... අපේ කියන්නෙ සිටි බැංකුවෙ උපදෙස් පරිදි ඩොට් කොම් සමාගම් කොටස්වල තමන්ගෙ සල්ලි ආයෝජනය කරල එක්කෙනෙක් ලක්ෂ දහයකට එහා පැත්තෙ ලොස් වෙලා ඉන්නෙ. ඉතිං එයාල තකහනියක් එන්නෙ I.I.M.A. (ඉන්දීය කළමණාකරන ආයතනය - අහ්මදාබාද්) එකේ M.B.A. උපාධිධාරී ගරු කටයුතු මිස්ටර් ක්‍රිෂ් (ඒ කියන්නෙ මේ මම හොඳේ) මහතාගෙන් ඒ නැතිවෙච්චි සල්ලි ආයම හම්බකරගන්නෙ කොහොමද කියල විසේසඥ උපදෙස් ගන්ට. හෙහ්..හෙහ්..නරකම නෑ නේද මගෙ රස්සාව?

රෙඩ් ලයිට් එකක් ගාව ෆියට් එක නතර කෙරුව. "මෙතන රෙඩ් ලයිට් එක ටිකක් වෙලා තියනව" එහෙම කියල අංකල් එන්ජින් එක ඕෆ් කලා. "ඔය රිපෝට්ස් ලිව්වෙ ඔය ළමයද?" මම අතේ තියෙන රිපෝට්ස් දිහා ටික වෙලාවක් බලා ඉඳල අංකල් ආයම ඇහුව.

"නෑ මම නෙවෙයි. මෙව්ව අපේ විශ්ලේෂණ අංසෙ කට්ටිය ලියන්නෙ"

"එතකොට ඔය ළමය ඇත්තටම මොකද ඔය බැංකුවෙ කරන රාජකාරිය?"

"මම කස්ටමර් සර්විස් ….." එහෙම කිව්වට රටේ නැති බොරු කියල මිනිස්සු දහ දුක් විඳල හම්බ කරපු දෙකයි පණහට කෙලෙප්පු කරවන එක කස්ටමර් සර්විස් එකක් වෙන්නෙ මොන පොතේ හැටියටද කියලනම් මටත් ලොකු සැකයක් තියනව.

"මේ... ඔය ළමය දන්නවද මේ වගෙ රිපෝට් ලියන්ට?" අංකල් ආයෙම ඇහුව. 

ඒ වෙනකොට ග්‍රීන් ලයිට් වැටිල. අපේ පිටිපස්සෙ තියෙන වාහන නොඉවසිල්ලෙං හෝන් ගහන්ට ගත්ත. කලබල වෙච්චි පාර අංකල්ට එක පාරට එන්ජින් එක ස්ටාට් කරගන්ට බැරුව ගියා. පිටිපස්සෙ හෝන් සද්දෙ එන්ට එන්ටම උග්‍ර වෙන්ට ගත්ත. "මදැයි දැං ටයි එකකුත් දාගෙන තල්ලු කරපංකො මේ ලදරම මේ ටවුම මැද්දෑවෙ.." එහෙම හිතල කියව කියව හිටපු රිපෝට්ස් ආපහු බ්‍රීෆ් කේස් එකට දාගෙන මම කලිසං කකුල් එහෙම නවා ගන්ට කියල පාතට නැමුන. 

"ගිය සුමානෙ මේක සර්විස් කරේ. ෂික් බලු වටින්නෙ නෑ මුංගෙ වැඩනම්.." අංකල් එහෙම තොල මතුර මතුර එන්ජින් එක ස්ටාට් කරන්ට උත්සාහ කරනව. වාසනාවකට වගෙ ගහපු හතරවෙනි නැත්නම් පස්වෙනි සැරේද කොහෙද එන්ජිම ස්ටාට් වුනා.

"ඔව් මට රිපෝට් ලියන්ට පුලුවන්. ඇයි අංකල්?" මේ කලබැගෑනියට ඉස්සෙල්ල අංකල් අහපු ප්‍රශ්නෙට මම උත්තර දුන්න. 

"නෑ..නෑ..එහෙමට දෙයක් නෙවෙයි. මේ අපේ බැංකුව මාස තුනකට වගෙ ඉස්සර තව ඔය මොකක්ද මූල්‍ය සමාගමක් එක්ක ජොයින්ට් වෙන්චර් එහෙකට ගියානෙ. ඉතිං ඒ අලුත් පාට්නර්ස්ල අපෙන් ඉල්ලල තියනව ඉස්සරහ අවුරුදු තුනකට බිස්නස් ප්ලෑන් එකක්. ඉතිං අපේ ජී.එම්. මට කිව්ව බිස්නස් ප්ලෑන් එකක් හදන්න කියල"

"ක්‍රිෂ් ළමයෝ ඔන්න පුතෝ උඹේ වෙලාව හොඳයි ඩෝන්ට් ලෙට් දිස් චාන්ස් ගෝ" මම හෙමීට මටම තොල මතුරා ගත්ත. "මට පුලුවන් අංකල් බිස්නස් ප්ලෑන් එකක් හදල දෙන්න" ඕන වැඩකට නෑ බෑ නොකිය වහාම ඉදිරිපත්වෙන බාලයක්ෂයෙක් වගෙ මම ක්සනිකව අංකල්ට දැනුම් දුන්න.

"හොර තක්කඩිය...බ්ලඩි රාස්කල්………" අංකල් එක පාරටම මහ හයියෙං කෑගැහුව. 

"මොකක්ද කිව්වෙ?" මම අංකල් දිහාට හැරිල ඇහුව. 

"නෑ ළමයො මම මේ තක්කඩිය කිව්වෙ අර අපේ ජී.එම්. වර්මාට. මම දැනට මේ බැංකුවෙ අවුරුදු තිහක් වැඩ කරල තියනව. මම කවමදාවත් ඔය රිපෝට් කියන එකක් හදල නෑ. ඒ මදිවට අර ජී.එම්. කියන මෝඩය කියනව මම පින්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකකුත් කරන්න ඕනලු"

"පින්පොයින්ට් නෙවෙයි අංකල් පවර්පොයින්ට්"

"ආන්න හරි, ආන්න ඔය කියපු ඒකක් තමයි. ඔය වර්මා ඒ කාලෙ ඉඳලම මාත් එක්ක හිත හොඳ නෑ. ඔය යකා මට අංචියක් අදින්ටම හිතාගෙනමයි ඔය මට නොතේරෙන මඟුලක් කරන්ට කියල බාරදුන්නෙ. අලුගුත්තේරුව" අංකල් හිතේ වේගෙටද කොහෙද දකුණු අත උස්සල ස්ටියරිං වීල් එකට ගැහුව.

"මට උදව් කරන්න පුලුවන් අංකල්" මම ආයම ඉදිරිපත් උනා. 

අංකල් ඇස් දෙකත් ලොකු කරගෙන මා දිහාට හැරුන. "නෑ..නෑ...උදව් අවශ්‍ය නෑ"

මම හිතන්නෙ මනුස්සයට අන්තිමට තේරුන හිතේ වේගෙට අනවශ්‍ය දේවලුත් මා එක්ක කියල දැම්ම කියල. අංකල් වහාම ක්‍රියාත්මක වන පරිදි සෙල්ෆ් කරෙක්ට් මෝඩ් එකට එන්ටර් වුනා.

"ඔය ළමය අර ඉස්සරහ හන්දියෙන් බහින්න. අර දකුණු පැත්තට තියෙන පාරෙන් ගිහාම, අර නිල්පාට කාර් එකක් ගියේ මේ දැන්, අන්න ඒ පාරෙන් ගියාම සිටි බැංකුවට මීටර් සීයක්වත් නෑ. බොහොම ළඟයි"

මම දොර ඇරල කාර් එකෙන් බැස්ස. ඊට පස්සෙ වටෙන් අංකල් ගාවට ගිහිල්ල මුව නොසෑහෙන සේ ස්තූති කලා. ඒත් අංකල් වචනයක්වත් කතා කලේ නෑ. බොහොම බැරෑරුම් මුහුණින් ඉස්සරහ බලාගෙන ඉඳල ඊට පස්සෙ ගියර් එකට වමත තියල ජනේලෙන් මා දිහා බැලුව.

"ඔය ළමය නිතරම අනන්‍යාව හම්බ වෙන්ට එන්නෙ නැත්නම් මම කැමතියි. අපි වැඩිය කතා නොකරන බොහොම සරල මිනිස්සු. ඒත් අපේ නෑදෑ පරපුර අතර හොඳ පිළිගැනීමක් ගෞරවයක් අපිට එදත් තිබ්බ. අදත් තියනව"

"අංකල් මම මේ…"

අංකල් සුරත උස්සල මාව වැළැක්කුව. "ඉන්න මම කතා කරල ඉවර වනකල්...අර මම කිව්ව ගෞරවය පිළිගැනීම හෙටත් තියෙන්න ඕන. විශේෂයෙන්ම අනන්‍යාගෙ ගෞරවය....කරුනාකරල ඒක නැතිකරන්න හදන්න එපා...මම දන්නව අනන්‍යයයි ඔය ළමයයි යුනිවර්සිටි එකේ බැච්මේට්ස්ල. එතකොට ඔයා අපේ මංජුට උදව්කරනව ඉගෙනීමට. මම එව්ව ඔක්කොම දන්නව. අපි කලගුණ නොදන්න මිනිස්සු නෙවෙයි. අපිට ඔය ළමයට ඕනනම් තුන්වේලම කන්න දෙන්න උනත් පුලුවන් එක රුපියලක්වත් අය කරන්නෙ නැතුව. ඒක අපිට කරන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒත් මම මේ ඔය ළමයට බොහොම කරුණාවෙන් කියන්නෙ අපිට අනන්‍යාට ඔය ළමයව කසාද බඳින්න නම් කොහොමටවත් ඉඩ දෙන්න විදිහක් නෑ"

"අංකල් මම මේ කියන එක…." මට එච්චරයි කියන්ට වුනේ. අංකල් හිස නමල, දෑත් එක්කරල මට  ආචාර කලා. ඊට පස්සෙ ගියර් එක ෆස්ට් එකට දාල කාරෙක හෙමීට පාරට අරගෙන යන්ට ගියා. 

ඈත වාහන අතරෙ අංකල්ගෙ ෆියට් එක නොපෙනී යනකල්ම මම එතනට වෙලා ගල් පිළිමයක් වගෙ බලාගෙන හිටිය. දෙයියෝ සාක්කි ඉතිං මොකද කරන්නෙ? අත් දෙක එකතුකරල වැඳල ඒ එක්කම ඔලුවත් නමල තාත්ත කෙනෙක් තමන්ගෙ දුව එක්ක ආශ්‍රය කරන්න එපා කිව්වම මොකද කරන්නෙ? මට ඒ ප්‍රශ්ණෙට උත්තරයක් නෑ. මගෙ බ්‍රීෆ් කේස් එකත් උස්සගෙන මම ඈත පේන සිටි බැංකුව දිහාට ඇවිදගෙන යන්ට වුනේ හීනෙං ඇවිදිනව වගේ.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...