Monday, June 26, 2017

514. මසිත් අහසේ පෑයු හිරු මඬල නුඹය සකි…...


මහනුවර දළඳා පෙරහැරේ දසුනක් ප්‍රති නිර්මාණය
කල සිතුවමක් ඉහත දැක්වේ. - Google images

රමසාන් උපවාසය අවසන්වුනේ ඊයෙ. ඊයෙ හඳ දැක්කට පස්සෙ. අද ඉඳල අපිට දවස් තුනක් නිවාඩුයි. මේ නිවාඩුව ඇතුලත අර තාපසයගෙ කතන්දරේ ලියනවයි කියල මම පොරොන්දු වුනානෙ. අපි ඇවිල්ල පොරොන්දුවක් උනොත් ආය නෑ බෙල්ල ගහල ගියත් ඉස්ට කරනව. යහ පාලනේ වගේම තමයි...හෙහ්,හෙහ්, අර කඩදහි කොලේ කියල බ්ලොග් එකක් ලියන ලිකිතා නෝනා මට පහුගියදා නෝන්ඩියකුත් දාල තිබ්බ. ඔහෙත් හරියට යහපාලනේ වගේම තමයි කියල. ඒ කියන්නෙ පොරොන්දු කඩකරනව කියන එක.

ඉතිං ඒ නෝනගෙ චෝදනාව ඇත්තක් වෙන්ටයි යන්නෙ. ඒ කිව්වෙ තාපස තුමාගෙ කතාව තව දවසකට කල් යනව. හරි..හරි..ඉන්ටලාකො පොඩ්ඩක් විත්ති වාචකය නොහොත් නිදහසට කරුණු ඉදිරිපත් කරන කල්. මිනීමරුවෙකුට උනත් තමංගෙ නිදහසට කරුණු කාරණා කියා හිටින්ට චෑන්ස් එකක් දෙන්ට එපාය..නැද්ද? ඒ ඇවිල්ල මිනීමරුවෙකුගෙ අනුල්ලංඝනීය අයිතිය. ඉතිං මගේ විත්ති වාචකය මෙහෙමයි.

ජීවිතේ අපි හීනෙකින්වත් නොහිතන දේවල් සිද්ද වෙනව හදිස්සියෙම. මටත් මේ ඊයෙ එහෙම එකක් සිද්ද වුනා. හරි මෙන්න මෙහෙමයි ඒ කතාව......

70 දශකයෙ මැද භාගයෙ අපි එදවස හිටියෙ කෑගල්ලෙ හොඳද? ඔය ටී.වී. එහෙම ඒ කාලෙ නෑනෙ. රේඩියෝ එකෙත් හැටහුටහමාරක් චැනල් තිබ්බෙ නෑ. තිබ්බෙ දෙකයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙ පළමුවන සේවය සහ දෙවන සේවය. පස්සෙ ඔය දෙක ස්වදේශීය සේවය සහ වෙළඳ සේවය කියල නම් මාරු කලා. මට හරියට මතකනම් නෑ ඒ නම් මාරුව කලේ මැතිණිගෙ ආණ්ඩුව කාලෙමද නැත්නම් ජේ.ආර්. ලොක්ක ඇවිල්ලද කියල. හරි කොහොමහරි ඒකෙන් වැඩක් නෑ. ඉතිං ඔය වෙළඳ සේවයෙ සතියෙ හැමදාම වගෙ රෑ 8.30 ට හඬ නළුවක් ප්‍රචාරය වුනා. ගුවන් විදුලි නාට්‍ය වලට හඬ නළුව කියල නම දැම්මෙ මට මතක විදිහට සුගතපාල ද සිල්වා මහත්තය නොහොත් සොඳුරු ආඥාදායකයා.

බ්‍රහස්පතින්දා හවස අටාමාරට විකාශය වුනේ ගජමුතු.  කතාව ලිව්වෙ ධර්ම ශ්‍රී මුණසිංහ. මෙහෙමයි කතන්දරේ ඔන්න. කන්ද උඩරට මහනුවර නගරයට තදාසන්න ගම්මානයක්. කතාවෙ කියවෙන විදිහට කටුගස්තොට කිට්ටුව. 

ගමේ බහුතරයක් ඉන්නෙ හීන කුළේ මිනිස්සු. බෙර වාදනය සහ නර්තනය තමයි ඔවුන්ගෙ ජීවිකාව. ගමේ කුඹුරු ඉඩම්වලින් වැඩි හරියක් අයිති ගම ඉහත්තාවෙ තියන වළව්වට. මොරපාතොට වළව්වට. ඒ කුඹුරු වල අඳේට වැඩකරනව අර හීන කුළේ මිනිස්සු.

ඒ මිනිස්සුන්ගෙ නායකය වගෙ ඉන්නෙ මට මතක විදිහට උක්කුවා වෙන්න ඕන. උක්කුවා නැටුම් සාස්තරේ සහ බෙර වාදනය පුහුණු කරනව ගමේ අනික් තරුණ තරුණියන්ට. ඒත් තරුණ වයසෙ බහුතරයක් ඒ පැරණි සාස්තර ඉගෙන ගන්ට කැමැත්තක් නෑ.

උක්කුවට ඉන්නෙ එකම දුවයි. ඇගේ නම මුතූ. මොරපාතොට නිළමෙට ඉන්නෙ දුවයි පුතයි. කතන්දරේ පටන් ගන්නෙ නිළමෙගෙ පුතා නොහොත් මොරපාතොට අප්පො ඉගෙන ගන්ට ගමෙන් පිට ගිහිල්ල ඉඳල ආපහු ගමට එන තැන ඉඳල. අප්පොට ඕන වෙනව නැටුම් සාස්තරේ ඉගෙන ගන්ට. නිළමෙයි මැණිකෙයි දෙන්නත් එහෙමට කුළ ගර්වය ඉහ උඩ තියාගත්තු උදවිය නෙවෙයි. ඒ හින්ද කලින් හොරෙං හොරෙං නැටුම් ඉගෙන ගන්ට ගියත් මොරපාතොට අප්පොට පස්සෙ නිළමෙගෙ අවසරය ලැබෙනව.

අප්පොට නැටුම් පුහුණු කරන්ට බාරවෙන්නෙ මුතූට. ඒ දෙන්න අතරෙ සෙනෙහසක් ඇතිවෙන්නෙ එයාලවත් නොදැනිම. 

"අනේ අප්පො මේ වග විත්තිය මහ නිළමෙට එහෙම ආරංචි වුනොත් අපි ඔක්කොමල ගමෙං පන්නල දායි අපෙ ගෙවල් වලටත් ගිණි තියල" දවසක නැටුම් පුහුණුවෙන් පස්සෙ නැටුම් මඩුවෙ බිත්ති කන්ද උඩ වාඩිවෙලා ඉන්න අප්පො ලඟම බිම ඉඳගෙන මුතූ එහෙම කියන්නෙ ඔලුව හරවල අප්පොගෙ මූණට එබිල. 

"හෙහ්.. බයවෙන්ට එපා. එහෙම උනොත් මම මුතූව කොළඹ එක්ක යනව. නිකම්ම නෙවෙයි කසාද පොතේ අත්සන් කරල…"

"අපෙ අප්පෝ විහිලුවටවත් එහෙම කියන්ට එපා මයෙ දෙයියො.."

"නෑ මුතූ බයවෙන්ට එපා. අපෙ අප්පච්චි එහෙම දරුණු තීරණයක් ගන්න එකක් නෑ. අනික එහෙම දෙයක් උනත් ඔයා බයවෙන්ට එපා. මම ඔයාට කරදරයක් වෙන්ට ඉඩ තියන්නෙ නෑ"

කතාවෙ අන්තිමට මොකද වෙන්නෙ කියල අඳෝ සංසාරයක් මට මතකනම් නෑ. සෑහෙන කාලයක්නෙ දැන්. ඒත් මගේ හිතේ මෙච්චර කාලයක් නොමැකී රැඳී තියෙන කතාවක් ඕක. ප්‍රධාන චරිතවලට හඬ කැව්වෙ කරුණාරත්න අමරසිංහ (මොරපාතොට අප්පෝ) සහ නිරංජලා සරෝජිනී (මුතූ) ධර්ම ශ්‍රී වික්‍රමසිංහ සහ ඇග්නස් සිරිසේන එහෙමත් හිටිය වගෙ මතකයි. හරි දැන් මම මේ කියන්ට ආවෙ ඉතිං ඔය වගෙ කතාවක් ලියන්ට ඕමනයි කියල කාලෙක ඉඳල මගෙ හිතේ තිබ්බ.

මම අර හැමදාම ලියනව කියල කියන්නෙ...අර කුමරියකට පෙම් කළෙමි.....ඒ කතාව කියවෙන්නෙ වළව්වෙ කුමාරිහාමිට පෙම් කරන සාමාන්‍ය ගැමි තරුණයෙක් ගැනනෙ. මෙතන ඒකෙ අනික් පැත්ත. වළව්වෙ අප්පො සහ කුළහීන යුවතියක්.

ඉතිං ඔය කතාවෙ මෙහෙම සීන් එකකුත් මගෙ හිතේ ඇඳිල තිබ්බ. අර අප්පො බස්නායක නිළමේ කෙනෙක් වෙලා දළඳා පෙරහැරේ යනව බොහොම ගරු ගාම්භීර තාලෙට. කුලහීන යුවතියටත් පෙරහැරේ රාජකාරී පංගුව විදිහට නටන්ට වෙනවා ඔහු ඉස්සරහම. ඒ වෙලාවෙ මේ දෙන්නගෙ හිත්වල මොනවගෙ හැඟීම් ඇතිවෙයිද?

ඉතිං ඔන්න දැන් එනව මම අර කියපු හීනෙකින්වත් නොහිතපු සිද්ධියට. ඒ කිව්වෙ දන්නව නේද අර පොකුරු වැහි නොහොත් වත්සලා විජයලත් නෝනා. එතුමී පහුගිය දවස්වල මුහුණු පොතේ බොහොමත්ම අපූරු කවි පංති දෙකක් පළ කරල තිබ්බ.

මේ එකක්.....

කරඬුවක් හිස නොලා පෙරහැරේ දුර ආව 
බොරු කකුල් ලූ පතුල් රිදුම් දෙයි හිත ගාව 
දියවඩන නිළමෙ නුඹ කරද්දී තේවාව 
වැටුන කඳුළක් අදත්...ඇති නුවර වැව ගාව

සංසාර පුරුදු අත හරිනු බැරි වෙන්නැතී 
වෙස්සන්තර වෙලා... මාව දන් දෙන්නැතී 
නා කපන වැස්සකත්...වැටුනෙ නැති දුක් ඇතී 
තරුවක් මියැදුනත්...මහ පොළොව දන්නැතී

මගෙ හිතේ උඩ මළුවෙ සක්මනේ හිඳීයන් 
ගව් පුරා නුඹ නමින් රන් විමන් මැවීයන් 
හීනයක පේ වෙලා මං ලඟින් පිපීයන් 
පාරමී පිරෙන දා....මටම මුණ ගැහීයන්...

මේ ඊට පස්සෙ එක...

රන්දෝලියේ උඹ සැඟවිලා හිත ගාව 
තිස්සේම හද ගැස්මෙ ඇහෙනවා තේවාව 
රඟ හලක සෙනසුනක් මවා දී අරුමැසිව 
බවුන් වඩනා හිතට උඹයි සක්මන් මළුව...

කොච්චරක් ඇස් අස්සෙ තියාගත්තත් තරුව 
දුර ඉන්න මට වඩා උඹට ළඟ සඳ පළුව 
අසා ඉමි උඹේ දුක කියන විට වැහි කළුව 
කදෝ පැණි එළියටත් ආදරෙයි මහ පොළොව...

සංසාරෙ කොහේ හරි කමටහන් බිඳෙන්ටැති 
වෙස්සන්තරව හෝ මං උඹව පතන්ටැති 
ප්‍රේමයේ හේවිසිය හෙටත් දියවඩනු ඇති 
රන්දෝලි මං හෙටත් තේවාව කරනු ඇති...

ඉතිං ඒ නෝනා මොනව හිතාගෙන ලිව්ව උනත් කවි පංති දෙක කියවපු සැණින් මගෙ හිතේ ආයෙම ඇඳුනෙ අර මම කලින් කිව්ව පෙරහැරේ දර්ශනය. ඒ කිව්වෙ තම සෙනෙහෙවන්තයා ඉදිරියේ නටන ඒ යුවතිය. ඒ Inspiration එකත් එක්කම මගෙ අතින් ලියවුනා ඒ ප්‍රස්තුත මොහොතෙ ඒ කුලහීන යුවතියගෙ සිතුවිලි මෙහෙම වෙන්න ඇති කියල. 

නුවර වැව් පතුලෙ වැලි කැටත් ඉකි බිඳීවී
රැජින හෝටලේ ලඟ සුළඟ දෙස් තියාවී
මහ මලුවෙ අතුල ගල් උනත් දුක් දරාවී
නුඹ ඉදිරිපිට රඟන මගෙ දුකට හඬාවී

ස්නේහයේ නගරයේ ඇවිදගිය වීදි දිග
ප්‍රේමයක් දැවුනු චිතකයෙ විසිරි අළු මතින
මේඝයක් වැටුනු මුත් මිහිමඬල තෙමාගෙන
ළසෝගිනි නොනිවේය වැස්සටත් කපනහන

කස්තිරම් අල්ලද්දි සිනාසුනු නුඹෙ දෑස
බිම්බරක් මේ සෙනඟ මැදත් මසිතේ මැවෙන
මැදිදුරම් තේවාවෙ රඟන අතරේ මසිත
සීවරම් දෙවියන්ට යදිමි නුඹ රකිනු මැන

සංසාරෙ පතා ආ සෙනෙහසක සුව විඳිමි
නිම්තෙරක මතු බවෙක හමුවන්ට පතන්නෙමි
පින්පුරන්නට දළඳාව ඉදිරිපිට රඟන්නෙමි
මසිත් අහසේ පෑයු හිරු මඬල නුඹය සකි

ඉතිං ඔන්න ඔයාකාරයි මගෙ විත්ති වාචකය නොහොත් නිදහසට කරුණු...............

පලි - තාපසයගෙ කතාවත් හැකි ඉක්මනින් ලියන්නං හොඳද?

Sunday, June 25, 2017

ශිෂ්‍ය අරගල ගැන වෙනස් කියවීමක්


පසුගියදා පැවති විශ්ව විද්‍යාල ශිෂ්‍ය උද්ඝෝෂණයේ
අවස්ථාවක් - Getty Images

කේ.ජී.පිලිප් ශාන්ත විසිනි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නායකත්වය දුන් ශිෂ්‍ය විරෝධතාවක දී පවතින නීතිය උල්ලංඝනය කිරීම මත ශිෂ්‍ය නායකයන් තිදෙනකු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. එම ශිෂ්‍ය උද්ඝෝෂණයට ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු වාමාංශික දේශපාලන කණ්ඩායම් කිහිපයක් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද සහාය දැක්වූහ. සහායදෙන කණ්ඩායම්වල අරමුණ කවරාකාරයේ වුවද මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දේශපාලන අරගල කරන්නේ අවංකවම බව නම් ස්ථිර ය. එහෙත් ඒ අවංකකම ඉක්මවා ඔවුන්ගේ දේශපාලනයේ ගර්භිතකම ඉස්මතුවීම නිසා මේ අරගලකරුවන්ට සාධාරණය ඉෂ්ඨ වන්නේ නැත.

මේ ශිෂ්‍යයන් අරගල කරන්නේ නිදහස් අධ්‍යාපන ක්‍රමයත් නිදහස් සෞඛ්‍යය ක්‍රමයත් ආරක්ෂා කර ගන්නට ය. ඒ අරගලයේ පදනම සමාජවාදී දේශපාලනය වුවත් ඔවුන්ගේ අරගලයට පාදක වන සංකල්පයන් දෙකම සමාජවාදීන් විසින් නොව ධනපතියන් විසින් මෙරටේ ස්ථාපිත කළ සමාජ සුභසාධනවාදී සංකල්පයන් දෙකකි. ඉතිහාසයේ එක් නිශ්චිත මොහොතක ධනේශ්වර සමාජ ක්‍රමයේ පැවැත්මට අභියෝගයක් එල්ල වූ මොහොතක මේ දේශපාලන සංකල්පයන් දෙකම ප්‍රායෝගිකව ක්‍රියාත්මකවීම ආරම්භ වුණි. එය ධනේශ්වරයේ කේන්සියානු ක්‍රමයේ අග්‍ර ඵලයකි.

ශිෂ්‍යයන් වැරදි දෘෂ්ටියක

මේ කේන්සියානුවාදී දේශපාලන සංකල්පයන් දෙකම මේ වනවිට පැවැත්ම පිළිබද අර්බූදයකට මුහුණ දී ඇතැයි කීවොත් එය වඩා නිවැරැදි ය. මේ යුගය තුළ ධනේශ්වර ක්‍රමය කේන්සියානුවාදයෙන් දුරස්ව පවතී. එසේම සමාජ සුභසාධනවාදය තවදුරටත් වලංගු වුවත් එහි උපාය උපක්‍රම වෙනස් වී ඇත. ධනේශ්වරයේ ආර්ථික වෘද්ධියත් සමග විශාල මැද පන්තියක් බිහිවූ අතර මේ මැද පන්තිය විසින් සමාජ ක්‍රමයේ ගතිකය විශාල ලෙස වෙනස් කරන ලදි. එසේම සමාජ සංස්කෘතික හැසිරීම් ද වෙනස් වූයේ ව්‍යුහාත්මකව ය. මේ නිසා සමස්තයක් ලෙස භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ ආකාරය වෙනස් විය.

ඒ නිසා තවදුරටත් නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය සේවය මගින් ප්‍රතිලාභ ලබන්නේ සමාජයේ ආන්තික තීරුව පමණක් නොවන අතර එනිසා විශාල ලෙස රාජ්‍ය ධනය විනාශවීමක් සිදුවෙන්නට පටන් ගත්තේ ය. මිල දී ගැනීමේ හැකියාව ඇති පිරිස් වලට පවා මහජන මුදලින් එම සේවා හා භාණ්ඩ නොමිලයේ ලැබුණ අතර ඇත්තටම එම සේවාවන් නොමිලයේ ලැබිය යුතු ආන්තික සමාජ තීරුවට ප්‍රමාණවත් ලෙස ඒවා නොලැබීමෙන් අසාධාරණයක් වුණි. එනිසා ධනේශ්වර පාලන ක්‍රමය තුළ සමාජ සුභසාධන ව්‍යාපෘතියේ ව්‍යුහාත්මක වෙනස්වීමක් තාර්කිකව අවශ්‍ය වුණි. නමුත් ඒ වෙනස්වීම නිවැරැදිව කියවා ගැනීමට සමාජයට නොහැකි වුණි.

එක්තරා යුගයක ධනේශ්වර සමාජ ක්‍රමයේ ස්ථාවරභාවය වෙනුවෙන් හදුන්වාදුන් සමාජ සුභසාධනවාදී උපාය උපක්‍රමයන්ගේ වටිනාකම එම ක්‍රමයේම නොනවතින ගතිකය නිසා අවලංගු වී තිබේ. එමගින් අදහස් කරන්නේ ඒ සමාජ සුභසාධනවාදී සංකල්පය මුළුමනින්ම අවලංගු වී ඇතැයි යන්න හෝ එනිසා අහෝසි කළ යුතු යැයි යන්න නොවේ. තවදුරටත් සමාජ සුභසාධනවාදී සංකල්පයන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතුය. එනම් සමාජ සුභසාධනයන් ඉල්ලා සිටින අවකාශයක් සමාජයේ පවතී. නමුත් ඒවා ක්‍රියාත්මක කරන ව්‍යුහය අනිවාර්යෙන් ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු ය. ඒ ප්‍රතිසංස්කරණයන් මොනවාදැයි කියවා ගැනීම සමාජයට ගැටළුවක් වී තිබේ.

සමාජ අරගලය වෙන එකක්

1978න් පසුව ශ්‍රී ලංකාවට ප්‍රාග්ධනය ගලා ආ අතර ඒ නිසා සමාජ ව්‍යුහයන් වෙනස් වෙමින් සමාජය අලුතින් ප්‍රති නිර්මාණය වුණි. මේ අලුත් සමාජයට අවශ්‍ය වන්නේ අලුත් සමාජ සුභසාධන අඩංගු ආර්ථික ප්‍රතිසංස්කරණයන් ය. නමුත් ශිෂ්‍ය දේශපාලනය විසින් අවලංගු වෙමින් පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමයත් නිදහස් සෞඛ්‍යය ක්‍රමයත් වෙනුවෙන් පෙනී සිටී. ඉතිහාසයේ පැරණි දේ ඉවත් වෙමින් අලුත් දේ ස්ථාපිතවීම සමාජ ප්‍රගමනයේ දී අනිවාර්යෙන් සිදු වේ. පෙරටුගාමී දේශපාලන ව්‍යාපාරයක් කළ යුත්තේ ඉවත්වන පැරණි දේට ඉවත්වන්නට ඉඩ දී ස්ථාපිත වෙන අලුත් දේට ස්ථාපිත වන්නට සහාය දීමයි. එහෙත් වත්මන් ශිෂ්‍ය ව්‍යාපාරය විසින් මහන්සි වී කටයුතු කරන්නේ ඉතිහාසයේ අවලංගු වී ඉවත්වෙමින් පවතින දෑ බලය යොදවා නතර කිරීමටයි. ඒ අර්ථයෙන් ශිෂ්‍ය දේශපාලනය අරගල කරන්නේත් සටන් වදින්නේත් අලුත් දේ වෙනුවෙන් නොව පැරණි දේ වෙනුවෙනි. එනිසා එය ශිෂ්‍ය දේශපාලනයේ දෘෂ්ඨිමය වරදක් ලෙස හැදින්විය හැකිය.

ධනේශ්වර සංවර්ධනය පිමි ගණනින් වර්ධනය වන්නේ කේන්ද්‍රයේ රටවල ය. පරිධියේ රටවල ඒ හැටි තරම් සංවර්ධනයක් සිදු නොවුනත් ප්‍රාග්ධන ගලා ඒමේ ක්‍රියාන්විතයේ ප්‍රතිඵලයක් ලෙස සාපේක්ෂ වර්ධනයක් ඇති නොවෙනවාම නොවේ. එනිසා මිල දී ගැනීමේ හැකියාවට සාපේක්ෂව සමාජ සුභසාධන ක්‍රමයන් නැවත ස්ථාපිත කිරීම අනිවාර්ය අවශ්‍යතාවකි. ධනේශ්වර සංවර්ධනයේ අතුරු ඵලයක් ලෙස ආන්තීකරණයට ලක්වන සමාජ තීරුවේ ශක්තිමත් පැවැත්ම සදහා තවදුරටත් සමාජ සුභසාධන ක්‍රමයන් අවශ්‍ය ය. එහෙත් ඒ මගින් මැද පන්තිය සතුටු කිරීම අවශ්‍ය දෙයක් නොවේ. මැද පන්තියට පවතින මිල දී ගැනීමේ හැකියාව මත යහපත් භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ මධ්‍යස්ථානත් ආන්තික සමාජ තීරුවට රජයේ අනිවාර්ය මැදිහත්වීම මත සමාජය විසින් පිරිවැය දරන්නා වූ අධ්‍යාපන හා සෞඛ්‍යය සේවාවකුත් ඇති කළ යුතුය. එය පවතින රාමුවෙන් ඔබ්බට ගොස් නිර්මාණය කළ යුතු අලුත් ව්‍යුහයකි.

නමුත් මෙකී විකල්ප දේශපාලන අවකාශය පිරවීමට නම් සමාජයට අලුත් කියවීමක් අවශ්‍ය වේ. ඒ අලුත් කියවීම තුළ නිර්මාණය වන නව දැනුම් පද්ධතිය මගින් මෙම දේශපාලන අවකාශය පුරවා ගැනීම සදහා දේශපාලනික සබුද්ධිකයන්ගේ ශක්තිමත් මැදිහත්වීම අනිවාර්යෙන් අවශ්‍ය වේ. ශිෂ්‍ය දේශපාලන ක්‍රියාකාරීන් මේ මොහොතේ කළ යුත්තේ ඒ කියවීම නිර්මාණය කර ගැනීමයි. එහෙත් ඔවුහු තම ජවය, ශක්තිය හා බලය ඒ සදහා වැය නොකරති.

දේශපාලන හිඩැසක්

ශ්‍රී ලංකාවේ ධනපති දේශපාලන ක්‍රමය තුළ පවතින ලොකුම අඩුපාඩුව වන්නේ නිර් ධනේශ්වරකරණය සදහා ශක්තිමත් දැක්මක් සහිත දේශපාලන ව්‍යාපාරයක් නොවීමයි. වමේ කියා ගන්නා වූ බොහොමයක් දේශපාලන ව්‍යාපාරයන් කරන්නේ ධනපති දේශපාලනයකි. ඒවා දෘෂ්ඨිමය වශයෙන් එක්කෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වේ. එහෙමත් නැත්නම් විකල්ප ධනපති පක්ෂ වේ. ලංකාවේ වමේ පක්ෂ සියල්ලේ ෆැන්ටසිමය අභිලාශය වන්නේ 1970 -77 සමගි පෙරමුණු ආණ්ඩුවේ ආර්ථික සමාජ ක්‍රමය ස්ථාවර කර ගැනීමයි. සමගි පෙරමුණු ආණ්ඩුව කළේ වාම හැඩරුවකින් යුතු රාජ්‍ය කේන්ද්‍රගත සුභසාධනවාදය ශක්තිමත් කිරීමයි. ලංකාවේ වම ව්‍යුහාත්මකව දකුණෙන් වෙනස් නොවී උපක්‍රමිකව පමණක් දකුණෙන් වෙනස් වෙමින් එතැනම රැදී සිටී.

නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය සේවය ආරක්ෂා කර ගැනීමේ ශිෂ්‍ය අරගලයන් වල දී ඔවුන්ගේ මූලික පදනම වන්නේ ආණ්ඩුවට දේශපාලනික බලපෑමක් කර ඉල්ලීම් දිනා ගැනීමයි. ආණ්ඩුවට දේශපාලනික බලපෑමක් කිරීම මූලික කරුණක් වුවද ඒ බලපෑම කරන ආකාරය මේ වනවිට වෙනස් වී ඇති නිසා එය ද විවාදාත්මක ය. ප්‍රාග්ධනය ලංකාවට ගලා එන්නට කලින් ජාතික රාජ්‍යයේ ආණ්ඩුවට එසේ යම් බලපෑමක් කර ඉල්ලීම් දිනා ගැනීම වලංගුව තිබුණි. 1978 වනතෙක් විපක්ෂය දේශපාලන ජයග්‍රහයන් ලබා ගත්තේ එලෙසිනි. නමුත් 1978න් පසුව ගෝලීය ප්‍රාග්ධනය ලංකාවට ගලා එන්නට පටන් ගැබුණි. එවිට රාජ්‍යයේ ආකෘතිය ද වෙනස් කරගෙන තිබුණි. ඒ අනුව ආණ්ඩුවට බලපෑමක් කර දේශපාලන අරමුණු ජයග්‍රහණය කර ගැනීම උගහට ය. එසේ වන්නේ ආණ්ඩුව ශක්තිමත් කර ගැනීමට විධායක ජනාධිපති ක්‍රමයක් ස්ථාපිත කර ඇති නිසා ය.

අලුත් උපක්‍රම වලට යා යුතු වීම හා ප්‍රති හෙජමොනික ක්‍රම

දැන් පරණ අර්ථයෙන් ආණ්ඩු මට්ටු කිරීම අවලංගු වූ සංකල්පයකි. ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සදහා ඉහළින්ම පවතින විධායක ජනාධිපති ක්‍රමය සබදතා පවත්වන්නේ මහ ජනතාව සමග නොවේ. ආණ්ඩුව හා මහ ජනතාව අතර එතෙක් තිබූ සබදතා බිද දමා ඒ අවකාශය තුළට ප්‍රාග්ධනය පැමිණ තිබේ. ප්‍රාග්ධනයේ නියෝජිතයන් ලෙස විධායක ජනාධිපති ධූරය හා ගනුදෙනු කරන්නේ බහුජාතික සමාගම් හා ප්‍රාග්ධන අයිතිකරුවන් ය. එනිසා මහජනතාවගේ බලපෑමට ආණ්ඩුව නොනැමේ.

පොදු ජනතාවගේ බලපැමට නොනැමෙන ආණ්ඩුවක් මට්ටු කරන්නට සම්ප්‍රදායි අරගල ක්‍රමයන් කෙරෙහි රදා පැවතීම පෙරලා හානි කරන්නේ මහ ජනතාවටම ය. විවිධ හේතූන් මත වැඩවර්ජනය කරන සෞඛ්‍යය ක්ෂේත්‍රය තුළ අරගල වලින් වඩාත්ම පීඩාවට පත් වන්නේ සමාජය ය. ඒ වැඩ වර්ජනයන් ආණ්ඩුවට පීඩා ඇති නොකරන අතර ශාරීරික පීඩාවක් නිසා සමාජයට බරපතල ලෙස හානිකරයි. සෞඛ්‍යය ක්ෂේත්‍රයේ වැඩවර්ජනයක දී සමාජයට සිදුවන පීඩාව ගැන තමන්ට වගකිව නොහැකි යැයි ද ඒ වගකීම ආණ්ඩුව විසින් භාර ගත යුතු යැයි වගකිව යුතු දේශපාලන ව්‍යාපාරයකට කිව නොහැක. මේ යුගය තුළ බලයට පත්වූ ආණ්ඩු සංවේදී වන්නේ මහජන බලයට නොව ප්‍රාග්ධනයට ය. එය දැන දැනත් මහ ජනයාගේ බෙල්ලට පිහිය තබා ඉල්ලීම් දිනා ගැනීමට අරගල කිරීම දේශපලාන ව්‍යාපාරයන්ගේ නොමේරුම්කමකි.

1978 න් පසුව ආණ්ඩු විරෝධී දේශපාලනයට ඇති ලොකුම ගැටළුව වන්නේ ආණ්ඩුවට සංවේදී වන දේශපාලන විරෝධයක් ගොනු කර ගන්නා අන්දම කියවා ගත නොහැකිවීමයි. තාමත් කරන්නේ පැරණි අර්ථයෙන් ආණ්ඩු මට්ටු කරන්නට යෑමත් එනිසා සමාජය අඩත්තේට්ටම් වලට ලක් කිරීමත් ය. ආණ්ඩු මට්ටු කිරීමේ අලුත් උපාය උපක්‍රමයන් සොයා ගැනීම පහසුවෙන් කළ නොහැක. ඒ සදහා නොනවතින අධ්‍යයනය අවශ්‍ය වේ. 1978 න් පසුව කිසිම ආණ්ඩුවක් පරාජය කළේ මහජන විරෝධයකින් පමණක් නොවේ. ඒ සදහා එක්කෝ ආණ්ඩුවේ අභ්‍යන්තර පිපිරීමක සහාය අවශ්‍ය විය. නැතිනම් ආණ්ඩුව වෙනස් කිරීමේ ජාත්‍යන්තර අවශ්‍යතාවක් ඇතිවී එමගින් ආණ්ඩුව පිරිහී තිබිය යුතුය. ඒ හැරෙන්නට සාමාන්‍ය මහජන විරෝධයකින් ආණ්ඩු මාරුවී නොමැත. ආණ්ඩු එසේ මාරු වන්නේ ද නොවේ. පවතින හෙජමොනික දේශපාලනය පරාජය කිරීමට ප්‍රති හෙජමොනික දේශපාලනයක් අවශ්‍ය අතර ඒ සදහා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් නිර්මාණය කරගත යුතුය.

ජෙනින්ස් අනුව යමින් ශිෂ්‍යයන්ට නිදහස

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති සර් අයිවර් ජෙනින්ස් එකල ශිෂ්‍ය කැරලිකරුවන් දෙස ත්‍රස්තවාදීන් දෙස බලන කෝණයෙන් නොවේ. තම දරුවන් වරදක් කර ඇතිවිට ඊට තමනුත් දෙමව්පියන් වශයෙන් වැරැදිකරුවන් බව ජෙනින්ස් කල්පනා කළේය. ඒ අනුව ජෙනින්ස් තීන්දු තීරණ ගත් අතර වරදකරුවන්ට දඩුවම් දුන්නේ දෙමව්පියන් තම දරුවන් වැරැදි කළ විට දඩුවම් දෙන සෙනෙහෙබර ආකල්පයෙනි. මේ මොහොත තුළ විශ්ව විද්‍යාලයේ තරුණ තරුණියන් දේශපාලන වශයෙන් වැරදි දෘෂ්ඨිමය රාමුවක හිදිමින් වැරදි දේශපාලනයක් කර තිබේ. එහෙත් ඔවුන් අපේ දරුවන් හා සහෝදර සහෝදරියන් ලෙස සලකමින් ඔහුන්ව දෘෂ්ඨිමය දේශපාලන වරදින් මුදවා ගනිමින් නිවැරැදි දේශපාලන ගමනක් ආරම්භ කිරීම සමාජයේ වගකීමයි.

ඒ සදහා අලුත් සබුද්ධික දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගා ගත හැකිනම් මේ යුගය තුළ ලොකුම ජයග්‍රහණය එය වනු නො අනුමානය.


Shan.info1978@gmail.com

Friday, June 23, 2017

513. තාපසයා සහ සූටි කයියා සමඟ වැඩිහිටියන්ගේ කතා.....1

වැවුරුකන්නල පන්සලේ අඹා ඇති අපායෙහි
යම රජතුමා සහ යමපල්ලන් තිදෙනෙක්
ඉහත ඡායාරූපයෙහි දැක්වේ

අද නං ඔන්න අර මම කලිං කියපු තාපසයගෙ කතාව කියන්නයි තනන්නෙ. මේක මම ගුරුවරියක සමඟ කතා මාලාවට දාන්නෙ නෑ. එහෙම දාල අපෙ උන්දැ බැරිවෙලාවත් මේක කියෙව්වොත් එහෙම මම වසල හමාරයි.

"මොනවද මනුස්සයො අර ගුරුවරියක සමඟ මගේ ජීවිතය කියල අර ලියල තියෙන බහුබූත? මේ මම නොකිව්වයි කියල කියන්න එහෙම එපා ඔන්න. ඕන එකක් ලියාගන්නව මගෙ නම ඈඳගන්නෙ නැතුව…"

ආය දෙකක් නෑ ඔන්න ඔහොම කියල කෑගහනව මේක දෙකක් වෙන්ට. ඒ හින්ද ඒ මනුස්සදූගෙ නම ඈඳන්නෙ නැතුව අපි මේකට තාපස කතාව කියමු හොඳද?

ඔය තාපසයො ගැන මම හිච්චි එකා සන්දියෙ හිතාගෙන උන්නෙ තාපසයො කියන ජාතිය කරන්නෙ කැලේට ගිහිල්ල සිතාර් එකක් ගගහ ඉන්න එක කියල. එහෙම හිතුනෙ අර සුනිල් අයියගේ සිංදුව මට ඒ කාලෙ ඇහුනෙම මෙන්න මෙහෙම හින්ද "තාපසයාණනි, ඔබේ සිතාරය සත් සර නංවන දුක් ගී රාවය....දුක් ගී රාවය..."

තාපස කකුළුවො කියල ජාතියකුත් ඉන්නවනෙ. Hermit Crab. අපි හතේ පන්තියෙ වගෙ ඉන්දැද්දි කොළඹ ට්‍රිප් එකක් ගියා ඉස්කෝලෙං. වන්ඩේ එඩියුකේෂනල් ටුවර් එකක්. ඒකෙදි සූ එකටත් ගියා. ඒ ඔය මින් මැදුර එහෙම හදල හාපුරා කියල විවෘත කරපු අලුත.

අර "මින් මැදුරේ හෝ පුංචි පැලේ හෝ ඈත බවේ හෝ මා ඔබ හමුවී තිබුනා...හමු වී තිබුනා.." කියල සිංදුවක් එහෙම කිව්වෙ මම හිතන්නෙ ඔය මින් මැදුර විවෘත කිරීමේ උත්සවයට වෙන්න ඕන. 

හරි ඉතිං අර ටාපෂ කකුලුවගෙ විස්තරේට ආයම ආවොත් මින් මැදුරෙ තාපස කකුලුවයි කියල බෝඩ් එකක් ගහපු ටැංකියක් තිබ්බට ඒකෙ මොනම සතෙක්වත් අඩුගානෙ ගොම්බෙල්ලෙක්වත් හිටියෙ නෑ. අපිත් එක්ක ගියපු ජයසිංහ සර් කිව්ව "ළමයි තාපස කකුළුවයි කියන නමෙන්ම තේරෙනවනෙ ඒ සතා වැඩිය එලි පෙහෙලියට එන්නෙ නෑ. ඒ හින්ද ඔය තාපස කකුළුව බලන්ට මෙතන පොරකන වෙලාවෙ යමු අනික් සත්තු බලමු" කියල. බලාගෙන යනකොට ඒකත් ඇත්ත තමයි කියල අපි ඉතිං තාපසය බැලිල්ල පැත්තක තියල ඉස්සරහට ගියා.

හරි එහෙනං තව එහාට මෙහාට අදින්නෙ නැතුව බහිමු කතන්දරේට. ආ.....ඊට කලිං වෙරි ඉම්පෝටඩ් කතාවක් කියන්ටම ඕමනයි. මම අද මාතෘකාව ලිව්වෙ ඩබ්ලිව්. ජයසිරිගෙ කෙටිකතා පොතක නමේ අනුසාරයෙන්. " සිරිසේන, තෙපානිස් සමඟ වැඩිහිටියන්ගේ කතා...." ඒ තමයි ජයසිරිගෙ පොතේ නම. ඩබ්ලිව්. ජයසිරි දන්නව නේද? මේ දවස්වල ඔය බොහොම ජනප්‍රිය වෙලා තියන සිදූ ටෙලි චිත්‍රපටයෙ ලොකු හාමුදුරුවන්ගෙ චරිතය කරන්නෙ ඩබ්ලිව්. ජයසිරි... බඹරු ඇවිත් ෆිල්ම් එකේ උදුම්බරා හිනැහෙනවා ගීතයෙ රචකයත් ජයසිරි.

රායිට් ඔන්න එහෙනං කතාව...ආ...මම කලින් කිව්ව නේද තාපසයගෙ කතන්දරේ කියන්ට ඉස්සෙල්ල ඒ වගේම තව කතාවක් තියනව ඒකත් ඒ එක්කම කියන්නම්ය කියල. හරි..ඉස්සෙල්ල එහෙනං ඒ අතුරු කතාව කියල ඉමු. අතුරු මිතුරු දඹදිවතුරු රාජ කපුරු හෙට්ටියා...අපි පොඩි දවස්වල කරපු සෙල්ලමක් ඔය. ඔය කවිය පබැඳිල තියනවයි කියන්නෙ සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ගෙ අවසාන කාලෙ අගමැති වෙලා හිටිය අරිට්ඨ කීවෙන්ඩු නොහොත් මාන්නපපෙරුම මොහොට්ටාල අරභයා..,,,

හරි ඒ අතුරු කතාව මෙහෙමයි. මේක සිද්දවුනේ ඈස් ෆා ඈස් අයි කැන් රිමෙම්බර් නමසිය අනූහතේ වගේ. චන්ද්‍රිකා නෝන අනූ හතරෙ බලයට ආවනෙ. අනූ හතරෙ අප්‍රේල් වෙනකොට ප්‍රාදේසීය සබා මන්ත්‍රීකමක් වත් නොතිබිච්ච ඒ අම්මණ්ඩි මෙන්න ඉස්සෙල්ල බස්නාහිර මහ ඇමතිවුනා. ඊලඟට මාස දෙකක්ද කොහෙද ගියේ අගමැතිවුනා. තව මාස තුනයි ගියේ මෙන්න එච්චී වෙච්චී. එහෙම තමයි ඉස්ටාර් එක කියන එක. පක්සිය රජකරන කොට බමරා වැල්ලෙත් කැරකෙන කොට ආය මොනව කරලවත් නවත්තන එක බොරු. විජේ අකාලෙ මැරුනෙ එතකොට ලලිත් මලේ ඔය ඔක්කොම චන්ද්‍රිකාගෙ බලසම්පන්න ග්‍රහයෝග හින්දයි කියල බොහොම දෙනෙක් කියනව.

ඉතිං කොහොම හරි අනූහතේ තිබ්බ මොකක්ද මන්ද චන්දයක්....පලාස්සබා වෙන්න ඕන බොහෝවිට. ඒ චන්දෙට ප්‍රචාරක කටයුතු කරද්දි නාලන්ද එල්ලාවල තරුණ මන්ත්‍රී තුමාට වෙඩි තියල මැරුව. මැරුවෙ ඒ කාලෙ යූ.එන්.පී. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා හිටිය පුංචි නිලමෙ කියල තමයි රටපුරා කතාව පැතිරුනේ. ඒකට නඩුවකුත් තිබ්බද කොහෙද. මට මතක විදිහට පුංචි නිලමෙ ඒ නඩුවෙං නිදහස් වුනා.

හරි ඒ මොකක් හරි මම මේ කියන සිද්දිය වුනේ ඔය මිනීමැරුම වෙච්චි අලුතම වගෙ. පුංචි නිලමෙ හැංගුනා. දැං පොලීසිය රටපුරාම මිනිහව හොයනව. මේ දවස්වල අර වහං වෙලා ඉන්න නානෙව පොලීසියෙං හොයනව වගෙ. 

ආණ්ඩුවත් මට පේන්නෙ මේ නානෙගෙ හැංගිමුත්තමෙදි ඔලුව පාවිච්චි කරල වැඩ කරනව වගෙ. ඒ කියන්නෙ දැං කරන්ට තියෙන හොඳම වැඩේ තමයි නානෙ ඉන්න තැන දැනගත්තත් මනුස්සයව අල්ලන්නෙ නැතුව දන්නෙ නෑ වගෙ ඉන්න එක. දැං නානෙට වෙලා තියෙන්නෙ අර ගලේ පහරපු බළලට වෙච්චි දේ. එළියට ඇවිල්ල ගොන් පාට් දාන්නත් බෑ. ඔය ඉන්න තැනකට වෙලා සද්ද වහල ඉන්න එක තමයි කරන්න තියෙන්නෙ.

ඉතිං ආයම එමු අර නාලන්ද කේස් එකට. ඔය පුංචි නිලමෙ ආගිය අතක් නැතුව ඉන්න කාලෙ මාතලේ ප්‍රදේසය පුරා හාහෝවක් පැතිරුනා පුංචි නිලමෙ හංගාන ඉන්නෙ ඇලික්ය කියල. ඇලික් දන්නව නේද? බොහොම පරණ යූ.එන්.පී. කාරයෙක්. කැබිනට් ඇමති කෙනෙක්. ඔය මං කියන කාලෙ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී. 

ඉතිං ඔය කාලෙ මාතලේ හිටිය හොඳ වැදගත් ප්‍රභූ කාන්තාවක්. චන්ද්‍රිකා එක්ක ලඟ සම්බන්ධකම් තිබ්බ නිසා ජනාධිපති කාර්යාලෙ සම්බන්ධීකරණ ලේකම්ද කොහෙද තනතුරකුත් හම්බවුනා කියමුකො. මේ මනුස්සය ඉතිං කරපු වැඩේ නාලන්දගෙ මිනීමැරුම ගැන අපිත් මේකට නිකං ඉන්න හොඳ නැතය මොනවාම හරි කරන්ට ඕනමය කියල දවසක් මාතලේ පල්ලෙහා බස් ස්ටෑන්ඩ් එක ගාව (ඔය මාතලේ දේසපාලන රැස්වීම තියන්නෙ එතන.කොළඹ හයිඩ් පාක් එක, කැම්බල් පාක් එක වගේ) රැස්වීමක් සංවිදානය කලා. පුංචි නිලමේ එළියට දමනු කියල. අන්න ඒකයි රැස්වීමේ තේමා පාඨය.

ඉතිං ඔය රැස්වීම ඉවරවෙලා අර මම කිව්ව ලේඩීස් ප්‍රමුක අනික් බබලත්තු නඩේ (එතන බහුතරයක් ඉඳල තියෙන්නෙ පෙයාරර් සෙක්ස් එකේ අය) වාහන පෙළපාලියක් ගියාලු මාතලේ ටවුම මැදිං. "පුංචි නිලමෙ දියව් දියව්. මිනීමරුව දියව් දියව්" කියල. 

මාතලේ ගැන දන්න කියන අය දන්නව ඇති ඇලිකගෙ ගේ තියෙන්නෙ මාතලේ ටවුම පහුවෙලා මීටර් පන්සීයක් හයසීයක් වගෙ දඹුල්ල පැත්තට යනකොට මහ පාර අයිනෙමයි කියල. ඉතිං මේ රත පෙලපාලිය ඇලිකගෙ ගෙදර ගේට්ටුව ඉස්සරහ නතර කරල එතනත් දෙකක් වෙන්ට කෑහැහුවලු අර විදිහට. කොයි විදිහටද?

"පුංචි නිලමෙ දියව් දියව්. මිනීමරුව දියව් දියව්"

ඇලික්ගෙ ගේ තියෙන්නෙ ටිකක් වත්ත ඇතුලට වෙන්ටවගෙ. සද්දෙ ඇහිල තමංගෙ ගෝල බාලයොත් එක්ක ඇලික් මිදුලට බහිනකොට අර රත පෙලපාලියෙ ආපු කට්ටිය වාහන සැර දමාගෙන ඇදල ගිහිල්ල. දඹුල්ල පාරෙ තව කිලෝ මීටර් හය හතක් ගියාම තියනව පළාපත්වල හන්දිය කියල ජන්කන් එකක්. එතනිං තමයි කුණ්ණෑගල පාරයි අනුරාජපුරේ පාරයි දෙකට බෙදෙන්නෙ. ඔතන ඉඳල ඒ හැටි දුරක් නෑ කවටයාමුණ පන්සලට.

ඔන්න බලමුකො ඒකෙත් හැටි දෙයියම්පල්ල ඔය කවටයාමුණ පන්සලත් අද කතාවෙ මාත්තුරුකාවට බොහොමත්ම අදාල වෙනව. ඒ කොහොමද ඒ? ඒ මෙන්න මෙහෙමයි. ඔය පංසල ඉතාම ප්‍රසිද්දයි චිරාත් කාලයක ඉඳල අපායෙ වද දෙන සීන් අඹපු රූප තියෙන තැනක් හැටියට. ඒ කිව්වෙ ලෝදිය පෙවීම, කටු ඉඹුලේ නැග්ගවීම, අතපය කැපීම, ගින්නෙන් පිච්චීම යනාදී අපායෙ ඔය දෙනවයි කියන දරුණු දඬුවම් අඹාපු රූප තියනව වෙනම විහාර මන්දිරයක අපාය කියල ලොකු බෝඩ් එකක් එහෙමත් ගහල.

මේ පහුගිය පාර නිමාඩුවට සී ලංකාවට ගිය වෙලාවෙ.... සී ලංකාව කියල තමයි මෙහෙ ඉන්න පොඩි එකා කියන්නෙ. මම කියල තියනවනෙ නේද මම මෙහෙ ඉන්නෙ යාලුවෙක් එක්ක එපාට්මන්ට් එකක් ෂෙයාර් කරගෙන කියල. ඒ යාලුවගෙ පොඩි පුතා තමයි ඔය සී ලංකාව කියල කියන්නෙ. තව ඔය මෙහෙ තියනව ලුලූ කියල සුප්‍රසිද්ධ සුපර් මාකට් චේන් එකක්. ඒකෙ අයිති කාරයො ඉන්දියාවෙ. කේරළ. ඔය ලුලූ එකට අර පොඩි එකා කියන්නෙ ලුනූ එක කියල...හෙහ්,හෙහ්, "රවි අංකල් තාත්ති ඇහුව ලුනූ එකට යනවයි කියල ඔයත් එනවද? කියල"

මෙහෙ ඉස්කෝල සමර් එකට නිවාඩු දුන්නනෙ ගිය සුමානෙ. පොඩි එකා අම්මයි අයියයි එක්ක පෙරෙයිද උදේ ගියා බෑක් ටු සී ලංකා. මට තමයි පාළුව. මට හරි පාඩුයි ළමයෝ...


බැක් ටු ද ට්‍රැක් වන්ස් අගේන්......ඉතිං මේ පහුගිය විඩේ මම සී ලංකාවට යනකොට ඔය මම කියපු ටී-රෙක්ස් ගොයියයි එයාගෙ අම්මයි තාත්තයි ඇතුලු කට්ටියමත් ගියා. සී ලංකාවට ගිහිල්ල එයාල අපේ ගෙදරත් ඇවිල්ල දවසක් නතරවෙලා ඉඳල ඊට පහුවද නුවර එළියෙ ගියා. 

නුවර එළි ගමනට අපිට එකතු වෙන්ට බැරිවුනා. ඒ මොකද කියනවානං.....(ප්‍රසිද්ධ කතා පවත්වනකොට නිතරම ඒ මොකද කියනවානං කියල කියන අපේ රටේ හිටපු නායකයෙක් ගැන ඔබ තමුන්නාන්සෙලා අහල තියනවනෙ නේද?) ඊට පහුවෙනිද අපෙ ඕ තොමෝගෙ අර මම කිව්ව මලල ක්‍රීඩා සංගමේ....අන්න ඒකෙ වාර්ෂිකද ද්වි වාර්ෂිකද මන්දා ක්‍රීඩා උළෙල පවත්වන්ට සියළු කටයුතු සූදානම් කරල තිබ්බෙ බෝගම්බර පිටැන්නෙ.

පිටැන්න කියල කියන්නෙ දකුණෙ ඈයො. දකුණෙත් හද්ද ඩොටේ කට්ටිය. ඩොටේ කියන වචනෙ හැදුන හැටි ගැන දන්න කෙනෙක් ඉන්නවනං හා කියමු අපිට දැනගන්ටත් එක්ක. ඔය ඩොටේම වැඩ වාසය කරන කට්ටිය ඒ ගැන දන්නව ඇතිනෙ නේද? හෙහ්..හෙහ්..

රයිට් බෑක් ටු ද ට්‍රැක් අගේන්...ඉතිං අර මගෙ යාලුවා සහ ඔහුගේ සුතනඹුවන් (සුතනඹුවන් කියල කියන්නෙ කාටද?) අපේ ගෙදර ආහම අපි ගියා මේ අහල පහල තියෙන ප්‍රසිද්ධ සිද්ධස්ථාන කීපයක් වන්දනා කරන්ට. එක දවසයිනෙ තිබ්බෙ. වැඩි දෙයක් බලන්ට බැරි වුනා. කොටිම්ම කිව්වොත් පේරාදෙණිය මල් වත්තට යන්ට උනෙත් නෑ.

ඔය පේරාදෙණියෙ මල්වත්තට කියන්නෙ රෝයල් බොටනිකල් ගාඩ්න්ස් කියල. ඒ කියන්නෙ රාජකීය උද්භිද උද්‍යානය........මේ ඊයෙ පෙරේද අර ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො ගැන පොතක් ලියපු ආචාර්ය ගණනාත ඔබේසේකර මම දැක්ක කියල තියනව ඔය පේරාදෙණිය මල්වත්ත පටන් ගත්තෙ සුද්දො නෙවෙයිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවොය කියල. බොහෝවිට ඇත්ත වෙන්නැති. ඒ මොකද කියනවනං කන්ද උඩරට රජකම ලැබෙන්ට ඉස්සෙල්ල කන්නසාමි කුමාරය කාලෙ ඔය යෝදය පේරාදෙණිය පැත්තෙ තම්පලා කොටුවක් වවාගෙන හිටියය කියල මම කොහෙ හරි කියවපු මතකයක් තියනව. ඒ හින්ද රජවුනායින් පස්සෙ ඒ තම්පලා කොටුව තිබ්බ හරිය රාජකීය මල් වත්තක් කරන්ට ඇති. මෝස්ට් ප්‍රොබබ්ලි නෝ? වඩියුසේ? ඇග්‍රීඩ් ඕ නොට්?

මම අද ඕ තොමෝට කතා කරපු වෙලාවෙ ආඥාවක් නිකුත් කලා මේ හෙට අනිද්ද කැන්ඩි සිටි සෙන්ටර් එකේ තියෙන පොත් සල්පිලට ගිහිල්ල අර ආචාර්ය ගණනාථගෙ පොත ගන්ටය කියල. දන්නවද උන්දැ කියපු එක. "පොත් ගන්ට නම් බැරිය. මට එහෙනං සල්ලි ටිකක් එවන්ට හොඳද?"...ඔන්න දැක්කද? කාටද ඉතිං මෙව්ව කියන්නෙ?

හරි හරි එව්ව ඕන නෑ. අර කියාගෙන ආපු කතාව කියල ඉමුකො. දැනටම මට හිතෙන්නෙ වචන එක්දාස් පන්සීයක් වගෙ වෙලාද කොහෙද. ඒකත් සෙල්ලං කෙලියක් නෙවෙයි දන්නවද? මම මේ කිව්වෙ වචන දාහකට වගෙ එහා පැත්තෙ නිකං ඔය වල්පල් වැල්වටාරං දොඩවන එක ගැන. හුහ් ඔහෙල හිතාගෙන ඉන්නෙ ඒක සෙල්ලමක් කියලද? ලියල බලන්ටලාකො එහෙනං කොහොමද කියල. ලේසි නෑ හොඳේ...

හරි ආයම එහෙනං දෙයියනේ කියල කතාවට ප්‍රවිෂ්ඨ වෙමුකො. ඉතිං මගෙ යාලුව සහ ඔහුගේ පවුලේ උදවිය අපෙ ගෙදර ආවය කියල මම කිව්වනෙ. එක දවසයි හිටියෙ. ඒ හින්ද අපි ගියේ අළුවිහාරෙ පන්සලටයි, කවටයාමුණ විහාරෙටයි විතරයි. හවස ගියා දළඳා මාළිගාවට..

ඉතිං ඔය කවටයාමුණේ සහ සූටි කයියගෙ සම්බන්දයක් තියනවයි කියල මම කලිම්ම කිව්වනෙ. ඒක මෙහෙමයි. කවටයාමුණේ අඹල තියෙන අපායෙ සීන්ස් වල ඉන්න එක යමපල්ලෙක්ගෙ යටිකය සම්පූර්ණයෙන්ම නිරුවත්ව අඹල තියෙන්නෙ. යස් ටෝටලි ඕපන් ඇන්ඩ් එක්ස්පෝස්ඩ්. ඔය නිරුවත් යකා අපි පොඩි කාලෙ එහෙම හරි ප්‍රසිද්දයි. ඒ කාලෙ ඔය වගෙ දේවල් බලන්ට අපිට ඉන්ටනැට් යනාදිය තිබ්බෙ නෑනෙ. ඉතිං ඔහොම දේවල් ගැන අපේ කුතුහලය උපරිමයි. පෝය දවසට එහෙම ඔය යමපල්ලගෙ යටිකය බලන්ඩම සෙනඟ එනවලු ඊස් මීස් නැතුව.

ඉතිං අනේ මේ පාරත් අපි ගියානෙ කවටයාමුණ. මොන යටි කයක්ද? ඒ යමපල්ලට අන්න දැං රෙද්දක් අන්දවල...හෙහ්,හෙහ්, ආ..ඔය කවටයාමුණ ෆුල් මොන්ටි යම පල්ල ගැන තව සෝක් කතාවක් තියනව 

එක දවසක් මම ඔය ඕ තොමෝ එක්ක කයියක් ගහගෙන සාලෙ ඉන්දැද්දි කොහොමින් කොහොමින් හරි ඔය කවටයාමුණ යමපල්ලගෙ කතාව ඇදිල ආව.

ඒ පාර මම නිකමට වගෙ ඇහුව.."මේ ඒකාලෙ ඔය මාතලේ ඉස්කෝලවල ගෑණු ළමයි ක්ලාස් යනවයි කියල ගෙවල් වලට කියල ඇවිල්ල කවටයාමුණ යනවයි කියල කියන්නෙ ඇත්තද? නෑ මම මේ නිකමට වගෙ ඇහුවෙ...ඔයත් යාලුවොත් එක්ක එහෙම ගියෙ එහෙම නැද්ද නිකමට වගේ?" කියල...

ආය මොනවද? හෙහ්..හෙහ්..ඔයාල හිතන්නෙ ඕ තොමෝ මට පස් පඩංගුවෙ බැණ අඬගැහුව කියලද? මොන? එක වචනයක් කතා කරේ නෑ එතුමී..අන්න එහෙමයි ගුණයහපත්කම..එක වචනයක්වත් කිව්වෙ නෑ.

අපෙ ගෙවල් ගාව හන්දියෙ තියනව සමණල හෝටලය කියල හෝටලයක්. ඊට පස්සෙ දවස් තුනක් මම උදේ දවල් රෑ තුන් වේලම කෑවෙ එන්න ඒ සමණල හෝටලෙං...ඒක වෙනම කතාවක්. කවටයාමුණ යකාට ඒක කොහෙත්ම අදාල නෑ..හෙහ්,හෙහ්,

හරි එහෙනං අදට ඇති හොඳේ? දැනටම මයෙ හිතේ වචන එක්දාස් පන්සීය පැන්න. මෙහම දිගට මාගල් වගෙ ලියනකොට වැල් වටාරං උනත් එපා වෙනව..නැද්ද හා? ඒ හින්ද අපි මෙහෙම කරමු.ඇලික්ගෙ කතාවයි, තාපසයගෙ කතාවයි ඊලඟ එපිසෝඩ් එකෙං නොහොත් කථාංගයෙන් බලාපොරොත්තු වන්න..

ආ...නෑ..නෑ..නෑ..ඒ හැටි කාලයක් යන එකක් නෑ..දැං කොහොමත් රාමසාන් උපවාස සමය ඉවරවෙලා ලබන ඉරිද නැත්තං සඳුද ඉඳල අපිට නිවාඩු දවස් තුනක් තියනව. ඒ හින්ද අවුලක් වෙන එකක් නෑ.. විගැහිං ඊලඟ කොටස ලියන්නං..ගෝඩ් ප්‍රොමිස්...

පලි - ආ අර කවටයාමුණ යම පල්ල බලන්ට ගියාද කියල ඇහුව එක වගෙ මොකක් හරි  ඊට පස්සෙ මට අහන්ට ඕන උනාම මම අනුගමනය කරන ක්‍රමවේදය    මෙන්න මෙහෙමයි........

"මේ ඔයාගෙන් පොඩි කාරණයක් අහන්ටත්නං තියනව"

"මොකක්ද?"

"ඉන්ටකො පොඩ්ඩක්.." මම ගෙට ගිහිල්ල සරම ගලවල කලිසමක් ඇඳගෙන එනව.

"ඔය මොකටද අනේ කළිසමක්?"

"නෑ මම මේ කල්පනා කලේ මම අර කියපු කාරණාව ඔයාගෙං අහන්ට ඉස්සර කෝකටත් හන්දියට ගිහිල්ල සමණල හෝටලේ මුදලාලිට හෙට ඉඳල දවස් තුනකට කෑම ඕඩර් කරලම ආවනං හොඳයි කියල....."

Friday, June 16, 2017

512. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 38 -රෝහණ අයියා, යසෝදරා සහ දස්කොන්-ප්‍රමිලා........


විහාරස්ථානයක බෝ ගසක බෝපත් කිහිපයක්
ඉහත ඡායාරූපයෙන් දැක්වේ.
ඡායාරූපය - ටී.ඩී.ආර්. ලක්මාල් (Picture.lk)
"ලාදළු බෝපත් සෙමෙන් සැළෙන සේ යසෝදරා දේවී..."

මේ දවස්වල ඇඟ පතට කිසිම ගතියක් නෑ. ඒකට හේතුව මෙහෙ මේ දවස්වල බල පවත්වන දේශපාලන අස්ථිරත්වයද නැත්නම් මේ දවස්වල තියන අධික උණුසුම් කාළගුණයද එහෙමත් නැත්නම් ඔය දෙකේම සම්මිශ්‍රණයක්ද දෙයියො තමයි දන්නෙ කොහොමින් කොහොමින් හරි හවස ගෙදර ආහම ආය ලැප් එක දිහා ඇහැක් ඇරල බලන්ට හිතෙන්නෙ නෑ. 

පහුගිය සතියෙම වගේ ඕ තොමෝට ස්කයිප් එකෙන් කතා කලෙත් පොහොං එකෙං ඔන්න කොටිම්ම.

"ආ..දැං ෆෝන් එකෙන්මයි නේද කතාව?" අද ඒ අම්මණ්ඩි කතාව පටන් ගත්තෙ ඔහොම කියල. 

"ඔව් අනේ..හවස ඇවිල්ල තේ එකක් බීල ටිකක් ඇලවුනා. දන්නෙම නැතුව නින්ද ගියා. ඔයාගෙ කෝල් එකේ සද්දෙට තමයි ඇහැරුනෙ."

"මම කතා කරපු එකත් හොඳයි එහෙනං නේ?"

"එහෙනං එහෙනං මොනවද මේ කතා?..ඉතිං? ඉතිං? මොනවද තොරතුරු? අර මොකක්ද රැස්වීමකට යනව කිව්ව නේද අද හවස? ගියාද?"

"ගියා ගියා ටිකක් හවස් වුනා එනකොට…."

"ආ...ඒ මොකෝ? වෙනද හතරහමාර පහ වෙනකොට ඔයාලගෙ ඔය රැස්වීම් ඉවර වෙනව නේද?"

"ඔව් අනේ ඒත් අද මේ පොඩි ප්‍රශ්නයක් වෙලා රැස්වීම ටිකක් ඇදුන.."

"ඈ? ප්‍රශ්නයක්? ඒ මොකක්ද?"

"නෑ මේ රෝහණ අයිය පහුගිය ක්‍රීඩා උත්සවේ අයවැය හරියට පිළිවෙලට නෑ පොඩි කචල් එකක් දැම්මනෙ"

"හෙහ්,හෙහ්, ආය අහන්ඩත් දෙයක්ය? ඔය මනුස්සයට ඉතිං අයුක්තිය අසාධාරණේ කියන එක පෙන්නන්ට බෑනෙව..මම දන්නෙ නැද්ද රෝහණගෙ හැටි"

රයිට් දැන් පොඩි පැහැදිලි කිරීමක් කරන්ට ඕමනයි. නැත්තං ඔබ තමුන්නාන්සේලා නිකං අර වාචාල චතුරයගෙ කතන්දරයක් අහගෙන හිටිය වගෙ උතුර දකුණ මාරුවෙලා තුස්නිම්බූත වෙලා ආලකමන්දා වෙලා යන මම දන්නව. 

හරි ඒ පැහැදිලි කිරීම නොහොත් පාපෝච්චාරණේ මෙන්න මෙහෙමයි. අපේ ඔය ඕ තොමෝ ඇවිල්ල සමාජ සේවයට කප් ගහපු ලලනාවියක්. දේස දීපංකරවල පවා ඇගේ ශ්‍රී නාමය ඒ අතිං ජනාකීර්ණයි. ජනප්‍රියයි. ඇගේ ඔය සමාජ සේවා කටයුතු ගැන දවසක් මම කලිනුත් ලිව්ව. 


ඉතිං අපෙ ඔය උන්දැ සමිති සමාගම් බර ගාණක නිලතල දරනව. ඉතිං ඔව්වැයෙ රැස්සීං වලට එහාට මෙහාට දුව පනින්ට ගියාම ඔවුන්දැට දවසෙ පැය විසි හතර මදි.

දැන් මේ ඔය ළමයි හොඳ විස්වාසෙට ගන්ට පහුගිය අවුරුද්දෙ මම මාසෙක නිවාඩුවකට ඇහිල්ල ගියානෙ. ඒ මාසෙං ඔන්නං මැක්ස් දවස් පහක් නැත්තං හයක් ඔවුන්දැත් එක්ක නිවී සැනසිල්ලෙ වචන දහයක් කතා කරන්ට ඇති. අනික් හැම දවසම මෙවුන්දැ උදේම ලෑස්ති වෙලා ඔන්න දොට්ට බහිනව.

"මේ මම දවල්ටත් එක්ක උයල තියෙන්නෙ හොඳද? අර ඉඳිආප්ප තියනව පොල් මැල්ලුමත් එක්ක ඒ ටික උදේට කන්ට. දවල් මම එන්ට පරක්කු උනොත් බත් බෙදාගෙන කන්ට. මම එනකල් ඉන්ට එපා."

එහෙම කියල දොට්ටත් බැහැල ආයම ආපහු හැරෙනව.. 

"ආ..මට කියන්ටත් බැරි උනානෙ. අද අපේ ප්‍රවීණයන්ගෙ ක්‍රීඩා සංගමේ විසේස මහ සබා රැස්වීමක්. ඔයා අද කොහෙවත් යන්නෙ නෑ නේද?"

"දැනට නම් එහෙම කල්පනාවක් නෑ. ඇයි එහෙම ඇහුවෙ?"

"ඔයා මේ දවස්වල ඇවිල්ල ඉන්නෙ කියල මම කිව්වම්, රෝහණ අයියල කට්ටිය ඔයාව බලන්ට එන්ට ඕනය කියලත් කිව්ව. සම් ටයිම්ස් රැස්වීම ඉවර වෙලා එන්ට බැරිත් නෑ කට්ටියත් එක්කම හිහ්..හිහ්…"

ඔය රෝහණ අයිය කිව්වෙ අපට වැඩිය අවුරුදු පහක් හයක් වගෙ වැඩුමල් මනුස්සයෙක්. හරිම අවංක ඒ වගේම හිත හොඳ මනුස්සය. අපෙ උන්දැ නුවරට මාරුවෙලා ආපු අලුතම ඔය ප්‍රවීණයන්ගේ (Veterans) සංගමේ වැඩ කටයුතු වලට ගිහිල්ලයි ඔය රෝහණ අයියව අඳුනගත්තෙ.

පස්සෙ අපි අර ඉස්කෝලෙ ක්වාටර්ස් වල ඉන්න කාලෙ දවසක් එහෙටත් ඇවිල්ල තේකක් කාරිය බීල ගියා. ඒ කාලෙ මගෙ ඔය පොත් පත් හරියාකාරව තියන්ට තැනක් නැතුව කෑම මේසෙ උඩයි, ටී.වී. එක උඩයි, ෆ්‍රිජ් එක උඩයි. ඒ මදිවට සාලෙ මුල්ලක කඩ්බෝඩ් පෙට්ටියක් මුනිං අතට තියල ඒක උඩත් පොත් ගොඩගහල තිබ්බ කිව්වම...හෙහ්,හෙහ්

ඒක දැකල රෝහණ අයිය පොතක් දෙකක් පෙරළල එහෙමත් බැලුව…"ආ..මල්ලි ගොඩක් පොත් කියවනව වගේ.."

"දන්නෙ නැද්ද අයියෙ ඉතිං ඔය?..පොඩි කාලෙ ඉඳලම මගෙ පුරුද්දක් ඒක...හෙහ්,හෙහ්,"

"හෙහ්..හෙහ්..ඒක හොඳයි..මල්ලි කියවනව විතරද? ලියන්නෙ එහෙම නැද්ද?"

"ම්ම්ම්..ඔය කෙටිකතා කවි එහෙම නම් ඉඳහිටල ලියනව අයියෙ…" මම එහම කිව්ව.

"ආ..ඒක හොඳයි..මල්ලිට වෙලාවක මම කියන්නංකො මගෙ ජීවිත අත්දැකීම්...මල්ලිට හොඳ කතාවක් ලිව්වැකි ඒකෙං…"

"ඔව් ..ඔව්...ඔව්.. මට ආරංචියි...මට ආරංචියි" මම අපෙ ඕ තොමෝ දිහා බලල හිනාවුනා.

"ඔය රෝහණ අයිය ඔයා දන්නවද 88/89 කාලෙ ආමි එකෙන් අල්ලගෙන ගිහිල්ල මාස හයක් විතර තියාගෙන ඉඳල යන්තං බේරිල ඇවිල්ල තියෙන්නෙ" ඕ තොමෝ මට කලින් දවසක එහෙම කියල තිබ්බ.

ඊට මාස දෙහෙකට වගෙ පස්සෙ බෝගම්බර ක්‍රීඩාංගණයෙ තිබ්බ අපෙ උන්දැලගෙ සංගමේ වාර්ෂික ක්‍රීඩා උළෙල. රෝහණ අයිය කලේ මීටර් හාරසීය. හාරසීය පලමු ස්ථානය එහෙම දිනල ක්‍රීඩාගාරයෙ පිටිපස්සෙ බංකුවක ඉඳගෙන රෝහණ අයිය මට ඔහුගේ ජීවිත අත්දැකීම් ගැන කිව්ව. ඒ අනුසාරයෙන් කෙටි කතාවක් ලියන්ට මගෙ හිතේ කාලෙක ඉඳල තියනව මහ මෙරක් වගේ.....

වසර විස්සක වගෙ ඉතාම කෙටි කාලයක් තුල ඇතිවුනු තරුණ සන්නද්ධ අරගල දෙකක් ඊට අමතරව ඒ සමඟම තිස් වසරක් පුරා ඇදීගිය පසුව අති බිහිසුණු යුද්ධයක් බවට රූපාන්තරණය වූ ජනවාර්ගික අරගලයක් අත්විඳි රටක ඒ සම්බන්ධයෙන් නිර්මාණය වූ කලා කෘතීන්ගේ දුර්ලභත්වය පිළිබඳව මේ පහුගිය දවස්වල මම කොහේ හෝ පුවත්පතක හෝ අන්තර් ජාලයෙ පලවූ අපූරු ලිපියක් කියෙව්ව. මට හිතෙන්නෙ ඔතන තියෙන්නෙ අපේ හිත් ඒ පිළිබඳව නිසි අයුරු කම්පනය නොවීමේ අඩුවක්. සුසර නොවීමේ අඩුපාඩුවක්.

"ළාදළු බෝපත් සෙමින් සැළෙනසේ යසෝදරා දේවී, 
වාවනු බැරි තැන රහසේ හැඬුවා,
පෙර සංසාරේ ඇසුර මතක්වී…"

යසෝදරාවෝ හඬා වැලපුනේ ලාදළු බෝපත් සෙමින් සැලෙනසේය. යසෝදරා ගේ හැඬුම කෙබඳුදැයි අසන්නට මද සුළඟක් සේම ඒ මද සුළඟේ සෙමෙන් සැළෙන්නට ලාදළු බෝපත්ද අත්‍යාවශ්‍යය. ලාදළු බෝපත් නොමැත්තේනම් මද සුළඟ කොපමණ හැමුවද ඒ සිලි සිලිය අසන්නට අපට නොහැකිවනු ඇත.

ජීවිත කාලයක් ඇහුවත් අපෝ නොවෙන ගීයක්..සුට්ටක් අහලම ඉම්මුකො.
 



මේකෙත් ඉන්නෙ පූජා උමාශංකර්. මේ දස්කොන්- ප්‍රමිලා කතාව...

සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරවි ඔබ කිසි දිනක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී............

සෙංකඩගල වට කළ පවුරු වළල්ලේ
පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
රන් තරු දෑස පියන රෑ හඳ පානේ
අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ..........

වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සංසාරේ........





පලි- අපේ දයා මහත්තය දෙතුන් පාරක්ම අහල තිබ්බනෙ "කෝ රවී ගුරුවරිය ගැන ලියන්නෙ නැද්ද?" කියල...ඒ හින්දමයි අද මේ ලිව්වෙ..

අර තාපසයගෙ කතාව ගැන අහල තිබ්බ සයුරි නෝම් මහත්තය. ඒ වගේම තව කතාවකුත් එක්ක ඒක ලියන්නං එහෙනං ලබන සැරේ..හොඳේ නෝනෙ?

Saturday, June 10, 2017

511. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 37 - Champions Trophy, Face Book, An ongoing Crisis & A Requiem For A Doomed King….


මේ සටහන මම පටන් ගන්ට හිටියෙ මෙහෙම නෙවෙයි. ඒත් පෙරෙයිද අර අපේ පකිරින්තුවො ටික නටපු නාඩගම හින්ද ඒ ගැන මොකවත් නොකියම බෑ. එහෙම උනොත් අර නානසාරගෙ බොඩු බල ශේනාවෙ කස්ටිය කියනව වගෙ මමත් දේස ද්‍රෝහියෙක් වෙනව. "ඔබත් දේස ද්‍රෝහියෙක් නම් සෙයාර් කොරන්න"...හෙහ්..හෙහ්..අන්න එහෙමයි කස්ටිය දාන්නෙ පෙහෙස් බුක්කෙකේ...

දැං අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි සියලු දහ මහ දෝසම පේස් භුක් එකේ දාන එක. ඔන්න කොහෙදි හරි වාහනේ හැප්පුනයි කියමු. පොලීසියට ඉන්ෂුවරන්ස් එකටදැනුං දෙන්නෙ දෙවනුව. ඉස්සෙල්ලම කරන්නෙ ඇස්සිඩං එකේ පෝටොස් අරගෙන පේස් භුක් දාන එක.

ඒ එක්කම ඇස්සිඩං එක ගැන පරීස්සන කරන්ට ආපු පොලිස් නිලදාරියගෙ කරට අත දාගෙන ගන්නව සෙල්පියක්. ඒ කරල දානව පේස් භුක් එකේ, "ෆීලිං ඇක්සිඩන්ටල් විත් සාජන් නල්ලතම්බි @ කොට්ටුකච්චිය හයිවේ….."


එහෙමත් නැත්තං දැං ඔන්න ඇස්සිඩන් එකෙන් පෙට්‍රල් ටැංකිය හිල් වෙලා පෙට්‍රල් දෝරෙ ගලනව. ගිණි ගැනීමේ අවදානමකුත් තියෙනව. ඒ අවදානං ඔක්කොම නොසලකා අර පෙට්‍රල් ගලන එක උඩම ඉඳගෙන ගන්නව සෙල්පියක්. සෙල්පියට ඇස්සිඩන් එක බලන්ට ආපු මනුස්සයෙකුත් අඬගහ ගන්නව. අපි හිතමු මිනිහගෙ නම සෙල්ලංසේන කියල. ඔන්න දානව පෙහෙස් බුක් එකේ "ෆීලිං ඉන්ෆ්ලැමබල් විත් සෙල්ලංසේන ඇට් තුම්මුල්ල ජන්කන්" 



හරි...හරි...ඔය පේස් භුක් නාඩගං ගැන වෙනම පෝස්ට් එකක් ලියන්නංකො....හෙහ්...හෙහ්...


රයිට් දැං පකිරින්තුවො සහ නාඩගම ගැන. පකිරින්තුවො කියල කිව්වෙ අපේ කිරිකැට් ටීම් එකට. නාඩගම කියල කිව්වෙ පෙරෙයිද උං අර කෝලි සහ දෝනි ඇතුලු ඉන්දියානුවන්ට රිඹ යන්ට නෙලුව එකට...හෙහ්...හෙහ්…



ආන්න..කොල්ලො මැච්....බොලා අපි ආතල වෙච්චි කාලෙක මුණුබුරන්ට විස්තර කරල දෙන්ට වටින මැච් තමයි එව්ව.



දැං මේ දවස්වල හිතත් එක්ක අකම්පාල වෙලා ඉන්න එකේ හිතට තංතෝසයක් අරං ආවට එතකොට සෙලිබ්‍රේෂන් ඔකේෂන් එකක් හදල දුන්නට ඇන්ජලෝ, කුසල් x 2, ධනුෂ්ක, සහ අසේල ඔබට පිං...

හරි මැච් එක ගැන ඒ ඇති. අනික මේ සවුඳ පක්කොන්ට තලාගන්ටම වෙනව සෙමි ෆයිනල් යන්ට නම්. ඉස්සරහට තියන මැචස් දෙකම දැං නිකම්ම ක්වාටර් ෆයිනල්ස් වෙලා.ඒ දෙකෙන් දිනන ටීම් දෙක තමයි සෙමි යන්නෙ. එක්කො පක්කො හෝ අපි දෙගොල්ලන්ගෙන් එක ටීම් එකක්. අනික ඉන්දියානුවන් හෝ දකුණු අප්‍රිකානුවන්. ඒ දෙගොල්ලගෙනුත් එක ටීම් එකක්.

එක අතකට පකිස්තානෙට පැරදිල ගෙදර ආවත් මොකෝ?  මැච් තුනම පරදියි කියල නෝ හෝප්ස් හිටපු එකේ මෙහෙමවත් වෙච්චි එක කොච්චර එකක්ද?


ඔය උඩහිං තියෙන්නෙ දැනට ගෲප් බී එකේ
පොයින්ට්ස් ටේබල් එක.

Ok Guys, Angelo & the team… Thanks so much for bringing on a rare smile to our faces and making life somewhat easier....No problem...what ever happens on Monday you made us proud to be Sri Lankans day before yesterday..that's all that matters.

රයිට් ඒ ඇවිල්ල හිට පෙරෙයිද මැච් එකෙන් පස්සෙ ඇඩිෂනලි ලියපු හරිය...මෙතන ඉඳල තියෙන්නෙ මම ලියපු ඔරිජිනල් පෝස්ට් එක....

මේ පහුගිය සවුඳ ඉඳල මෙහෙ (මෙහෙ කිව්වෙ මේ කටාර් රාජ්‍යයෙ) ඇතිවෙලා තියන අර්බුදය ගැන කවුරු කවුරුත් දන්නව ඇතිනෙ නේද? සවුඳ උදේ වැඩට යනකොටත් මම ඔය කේස් එක ගැන අබමල් රේණුවක තරං දෙයක් දන්නෙ නෑ ඔන්න කොටිම්ම කිව්වොත්.


මේ දවස්වල ....මේ දවස්වල කිව්වෙ දැං මාසෙක තරම ඉඳල මම යෙදිල ඉන්නෙ හදිසි සහ බාරදූර කාර්යයක....ඒ කියන්නෙ රාජකාරිය සම්බන්දව හොඳද? හෙහ්..හෙහ්...බාරදූර කිව්වම මට මතක් වෙන්නෙ මම බොහොම ආස කරන පරණ නාඩගං ගීතයක්. නාඩගම ඇවිල්ල ශ්‍රී වික්‍රම..ගීතය ඇවිල්ල මෙහෙමයි..



"රකී බුද්ද දම්ම සීල පූර්වේ රජුන් ලෙසේ ඉතිං ප්‍රීතියෙන්ම යමව් ඒ තුමා වෙතේ ඒතුමා ඒතුමා ඒතුමා වෙතේ දන්න වංහුං අප කන්නසාමි බාර දූරයේ...දන්න වංහුං අප කන්නසාමි බාරදූරයේ.... බාරදූර... බාරදූර.... බාර දූරයේ...දන්න වංහුං අප කන්නසාමි බාර දූරයේ....." හිච්චි එකා කාලෙ මම ඔය සිංදුව කිව්වෙ ඔන්න ඔහොම...

ඔතන කන්නසාමි කියල කියන්නෙ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවංගෙ ගිහි කාලෙ නම...ආහ්..සමාවෙන්න ඕමනයි..ගිහිකාලෙ නෙවෙයි රජවෙන්ට ඉස්සර කාලෙ. ඒ කාලෙ ඔය කන්නසාමි කුමාරය හිටියයි කියන්නෙ පේරාදෙණිය කිට්ටුව මහ වැලි ගඟ අයිනෙ තම්පළා කොටුවක් වවාගෙන. ඒ මනුස්සයගෙ කන්ද උඩරට රජවෙන්ට කිසියම්ම ආසාවක්වත් බලාපොරොත්තුවක් වත් තිබිල නෑ. තනියම තම්පළා කොටුවෙ පොඩි ගේකුත් හදාගෙන විවේක වෙලාවට බටනලාවකුත් වාදනය කරමින් කන්නසාමි පූර්ණ තෘප්තිමත් ජීවිතයක් ගතකරල තියනව.

කන්නසාමි කුමාරය කියන්නෙ ඒ කාලෙ හිටපු රජ්ජුරුවන්ගෙ ඒ කිව්වෙ රාජාධි රාජසිංහ රජ්ජුරුවන්ගෙ රිදී දෝලියකගෙ (එදවස රජකුගේ මෞලි මංගල්‍යයකදී රජු හා සමඟම අභිෂේක කරනු ලබන අග මෙහෙසිය නොවන වෙනත් අවශේෂ මෙහෙසියන් හඳුන්වන ලද්දේ රිදී  දෝලි යන ව්‍යාවහාරයෙනි. එලෙසම අවශේෂ අන්තඃපුර කතුන් හඳුන්වන ලද්දේ යකඩ දෝලි යන නමිනි.) සහෝදරියකගෙ පුතා. ඒ කියන්නෙ රජ්ජුරුවො නෑකමට වෙන්නෙ බාප්පා.



ඒ කාලෙ පැවතිච්ච සම්ප්‍රදාය විදිහට රජ්ජුරුවන්ට පුතෙක් නැත්නම් රජකම උරුම වෙන්නෙ අග මෙහෙසියගෙ සහෝදරයට. හැබැයි එකක් කියන්ට ඕන. ඔය Rule of Succession එක අපේ රටේ එතෙක් තිබ්බ සම්ප්‍රදාය නෙවෙයි. අපේ තිබ්බෙ රජකම ඊලඟට උරුම වෙන්නෙ වැඩිමහල් පුතාට. එතකොට පුතෙක් ඇත්තෙම නැත්නම් ඊලඟට ඉන්න සහෝදරයට.



ඔය මෙහෙසියගෙ සහෝදරයට කිරුළ උරුම වෙන සම්ප්‍රදාය ඇවිල්ල තියෙන්නෙ දකුණු ඉන්දියාවෙන්. කන්ද උඩරට රජවරු සූර්ය වංශික උභය කුළ පාරිශුද්ධ කුමාරිකාවන් ඒ කාලෙ ගෙන්නගෙන තියෙන්නෙ දකුණු ඉන්දියාවෙ තන්ජෝර් පළාතෙන්. ඒ කුමරියන් එක්ක එයාලගෙ නෑදෑ පරපුරම ඇවිල්ල මෙහෙ පැල පදියං වෙන එක සිරිතක් විදිහට කෙරුනලු. ඒ හින්ද ඒ කාලෙ උඩරට රාජධානියෙ රාජ සභාවෙ එහෙම වැඩිපුර භාවිතා වුනාය කියන්නෙ දෙමළ භාෂාව. කොටින්ම 1815 අවුරුද්දෙ මාර්තු දෙවෙනිදා බ්‍රිතන්‍යයන් එක්ක අත්සන් කරපු උඩරට ගිවිසුමට අත්සන් කරපු උඩරට ප්‍රධාන නිළමේ වරුන්ගෙන් සිංහලෙන් අත්සන් කරල තියෙන්නෙ කැප්පෙටිපොළ නිළමෙ විතරයිලු.



ඉතිං ඔය රාජාධිරාජසිංහ රජ්ජුරුවන්ගෙ රන්දෝලියටත් (ආ...අවශේෂ මෙහෙසියන් රිදී දෝලි කියල හැඳින්වෙද්දි අග මෙහෙසිය හැඳින්වුනෙ රන්දෝලිය කියල. අදත් ඔය දළඳා පෙරහැරේ රන්දෝලි පෙරහැර කියල කියන්නෙ ඇත්තටම ඒ කාලෙ ඔය පෙරහැරේ ගෙනිච්චයි කියන්නෙ අග බිසවගෙ රන් ආභරණ කියලයි කියන්නෙ) සහෝදරයෙක් ඉඳල තියනව මුත්තුසාමි කියල. ඉතිං සම්ප්‍රදාය අනුව රජකම උරුම වෙන්ට ඕන ඒ මුත්තුසාමිට වුනාට මහ අදිකාරම් (ඒ කාලෙ රටේ අගමැතිට කිව්වෙ මහ අදිකාරම් කියල) පදවිය දරපු පිළිමතලව්වේ මුත්තුසාමිට රජකම නොදී කන්නසාමි රජකරවන්ට රහසේ කටයුතු කලා. 



මිනිහට ඇත්තටම ඕන කලේ තමන්ගෙ රූකඩයක් වගෙ රජෙක් සිංහාසනේ ඉන්දවල පස්සෙ හෙමීට තමන්ටම රටේ රජකම ගන්ට කියලයි කියවෙන්නෙ. පිළිමතලව්වෙගෙ කේන්දරේ ඉතා බලගතු රාජයෝගයක් තිබ්බයි කියල කියනව. එහෙම තමංගෙ කේන්දරේ රාජ යෝග තියෙනවයි කියල හිතාගෙන ඉන්න කට්ටිය කරන්නෙ මොන දහං ගැටේ ගහල හරි මොන පාවාදීම කරල හරි ඒ අනාවැකිය ඇත්ත කරවන්ට දතකන එක.


පිළිමතලව්වේ තමන්ගෙ පළවෙනි බලාපොරොත්තුව ඉස්ට කරගත්ත. ඒ කිව්වෙ කොහොමින් කොහොමින් හරි මුත්තුසාමි කපල දාල කන්නසාමි රජ කෙරෙව්ව. ඒත් උන්දැගෙ දෙවෙනි බලාපොරොත්තුව ඉස්ට සිද්ද කරගන්ට බැරුව ගියා. ශ්‍රී වික්‍රම රාජසිංහ (මේ වෙනකොට කන්නසාමි ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජවෙලා) රජකමින් පහකරල තමන් රජවෙන්ට කරපු කුමන්ත්‍රණ කීපයක්ම එලිවෙලා රජ්ජුරුවො කීපවරක්ම සමාව දුන්නත් අන්තිමට බැරිම තැන රජ්ජුරුවො පිළිමතලව්වේ මරා දාන්ට අණකලා.

හරි අපි ඔය ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො ගැන අහල තියෙන්නෙ අන්තිම දරුණු දුෂ්ඨ, ක්‍රෑර රජෙක් විදිහටනෙ. අර ඇහැළේපොළ කුමාරිහාමිව සහ දරු තිදෙනා මරණයට පත්කපු විදිහ ගැන එහෙම මයිල් කෙලින් වෙන කතන්දරනෙ අපි අහල තියෙන්නෙ. නේ?..."අයියණ්ඩිය බිය නොවන්න, මැරෙනා සැටි මම පෙන්වමි"  ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා අම්ම සමඟ දරු තුන්දෙනෙකුට මරණය හිමිකලා. අන්න එහෙමනෙ නේ? ඒත් ඒ කාලෙ ඉඳලම මගේ හිතේ සුට්ටං කුකුසක් තිබ්බ මේ කියන විදිහටමද වැඩේ වුනේ කියල.

කුමාරිහාමිගෙ දරුවො තුන්දෙනා ගෙල සිඳ මරණයට පත් කලා. එතකොට ඇහැලේපොළ කුමාරිහාමි බෝගම්බර වැවේ ගිල්ලල මරල දැම්ම. අපි පුංචි කාලෙ ඔය ඇහැළේපොළ කුමාරිහාමිගෙ ආත්මය බෝගම්බර වැව වටේ පාරෙ හඳ තියෙන රෑට සැරිසරනව කියල අපිට කිව්ව. එහෙම කිව්වෙ අපෙ පොඩි අම්මගෙ දුවල. ඒ ගොල්ල ඒ කාලෙ හිටියෙ බෝගම්බර බන්ධනාගාර නිල නිවාස වල. බෝගම්බර වැවත් එක්කම තියෙන රජපිහිල්ල මාවතට ඉහලින් ඒ නිල නිවාස තිබ්බෙ. මිදුලට බැහැල යාර විස්සක් තිහක් පාර දිගේ පල්ලෙහාට ආවම හඳපානෙ බෝගම්බර වැවේ වතුර දිළිසෙනව පේනව රිදී කඳක් වාගෙ.

අපි ඒ කාලෙ හිටියෙ කෑගල්ලෙ. ඉතිං ඉස්කෝල නිවාඩු කාලෙට එයාල අපේ ගෙදර ඇවිල්ල සතියක් දෙකක් වගෙ ඉන්නව. ඊට පස්සෙ ඒ ගොල්ල ආපහු නුවර යද්දි බොහෝවිට මම එයාල එක්ක ඇවිල්ල සතියක් විතර පොඩි අම්මලත් එක්ක ඉඳල ඉස්කෝලෙ පටන් ගන්ට ඉස්සර ආපහු යනව. වේල්ස් චිත්‍රපට ශාලාව තිබ්බෙ ඔය මම කියන ක්වාටසුත් එක්කම පල්ලෙහා. ඩී. එස්. සේනානායක පුස්තකාලෙත් එක්කම. දැන්නම් ඒ ෆිල්ම් හෝල් එක කඩල දාල. ඒ පොඩි අම්මලගෙ ගෙදර ආපු එක නිවාඩු කාලෙක "වනරාජා නොහොත් සිංහල ටාසන්" ෆිල්ම් එක බලන්ට ගියා මට මේ අද ඊයෙ වාගෙ මතකයි.



ෆිල්ම් එක බලන්ට ගියේ පොඩි අම්මගෙ වැඩුමල් දුවයි මායි. පොඩි අප්පච්චි ටිකට් අරන්දීල අපිව හෝල් එක ඇතුලට දාල ආපහු ගියා ෆිල්ම් එක ඉවරවෙන්ට කිට්ටුව එක්ක යන්ට එන්නම්ය කියල. 



"අප්පච්චි නාව උනත් අපිට යන්ට පුලුවනි. අපේ ගෙවල් මේ ලඟනෙ" සුදු අක්ක මහදැනමුත්තියක් වගෙ කිව්ව මගෙ කණට කට ලං කරල. මම ඔලුව හෙල්ලුව. ඒ වෙනකොට මයෙ වයස ඔන්නම් දහයක්  වගෙ වෙන්ටැ. සුදු අක්ක මට වඩා අවුරුද්දක් වැඩුමල්.



වනරාජා ෆිල්ම් එකේ එකේ රඟපෑවෙ බැසිල් ද සේරම් සහ තලතා ගුණසේකර. බැසිල් ද සේරම් ඒ කාලෙ ප්‍රසිද්ධ වුනේ සිංහල සිනමාවේ උසම නළුවා කියල. වනරාජා ෆිල්ම් එකේ ප්‍රචාරක පත්‍රිකා වල තිබ්බෙත් සිංහල සිනමාවේ උසම නළුවා රඟපාන කියල. තලතා ගුණසේකර කියන්නෙ නදීකා ගුණසේකරගෙ අම්මා.



සුදු අක්කල ඔය ෆිල්ම් එක කලින් බලල තියනව. මං හින්දමයි ඔය ආයම බලමු කියල ආවෙ. ඉතිං වැඩේ කියන්නෙ ෆිල්ම් එක පටංගත්තු වෙලාවෙ ඉඳල මේ අම්මණ්ඩි මම ඉන්න සීට් එකට නැමිල ඊලඟට තියන සීන් එකේ විස්තරේ කියනව. මුලින්ම වැඩේ පටන් ගත්තෙ මම බයවෙයි කියල එහෙම බයවෙන සුළු සීන් ගැන වෝනිං එකකිං.


"රවි මල්ලි ඔන්න බයවෙන්න එහෙම එපා. ඊලඟට ඔය දොර අරිනකොටම කාමරේ මැදම තඩි නයෙක් ඉන්නව පෙණෙත් පුප්පගෙන. ඒත් ඌ අහිංසකයි දස්ට කරන්නෙ එහෙම නෑ.....හොඳේ?"

මමත් ඉතිං "හා මං බයවෙන්නෙ නෑ" කියල ඔලුව වනනව. ඒත් කෝකටත් ඇසුත් වහගන්නව...හෙහ්,හෙහ්, එහෙම අති බයංකාර සීන්ස් ගැන වෝනිං එකක් විදිහට පටං ගත්තු සුදු අක්කගෙ රනිං කම්න්ට්‍රි එක නොහොත් විස්තර ප්‍රචාරය ඊට පස්සෙ සම්පූර්ණ කතාවම කලින් කියන මට්ටමට දියුණු වුනා. 



"ඔතන මල්ලි ඔය ඉන්නෙ රැජිණ..නම මායා...ඊලඟට සේවිකාවෝ දෙන්නෙක් ඇවිත් රැජිනිව එක්කං ගිහිල්ල කිරි දියරෙං නාවනව.."



"මොනවා? ඇත්තම කිරි වලිං?" මගෙ කටත් එක්ක ඇරුන. ඒ ඔය සිරිමා මැතිණිගෙ ආණ්ඩුව කාලෙනෙ. බඩු බාන්ඩ එහෙම බොහොම හිඟයි. අන්න ඒකයි තනිකර කිරෙං රැජිනිව නාවනව කිව්වම මට පුදුම හිතුනෙ.



"නෑ..නෑ...මම හිතන්නෙ බොරුවට වතුරට පාටක් දාල වෙන්ට ඇති"

"එහෙම කිරි වතුරෙන් නාල ඊට පස්සෙ?" 

"ඊට පස්සෙ ලස්සන සළුවක් දෙනව ඇඳගන්ට"



"ඒක ඇඳගෙන? …"



මගේ ඒ ප්‍රශ්නෙට සුදු අක්කට උත්තර දෙන්ට ලැබුනෙ නෑ. පිටි පස්ස පේලියෙ ඉඳල බුරුසු රැවුල්ධාරී තඩි මූණක් අපි දෙන්න අතරට පාත් වුනා. 



"මේ ඔය ළමයි මේ ෆිල්ම් එක කලින් බැලුවනම් කටවල් වහගෙන ඉන්නවද? අපිටත් නිදහසේ මේක බලන්ට ඕන.."


"නෑ මම කලින් බලල නෑ මේ අක්ක තමයි කලින් බැලුවෙ.." මම සුදු අක්කව පෙන්නල බුරුසුවාට කිව්ව



"අක්ක හරි මල්ලි හරි කවුරුවුනත් කමක් නෑ...කෝ? ඔයාලගෙ නැද්ද කවුරුවත් වැඩි හිටියෙක් ඇවිල්ල?"



"නෑ අපි දෙන්න විතරයි..." මම හෙමිහිට කිව්ව.. 



"අන්න ඒකනෙ කියන්නෙ. පොඩි ළමයි තනියම ෆිල්ම් බලන්ට එවනව..මෙව්ව මේ ලමයින්ගෙ නෙවෙයි වැඩිහිටියන්ගෙ වැරදි..."



හැබැයි ඊට පස්සෙනම් සුදු අක්ක මීක් සද්දයක් නැතුව ෆිල්ම් එක බැලුව. 


ඉතිං මම අර කියපු විදිහට අපි සමහර දවස්වලට රෑට කාල ක්වාටර්ස් එකේ මිදුලෙ සෙල්ලං කරනව. හැංගිමුත්තං හෝ බට්ට පනින එක තමයි වැඩියෙන්ම කරන්නෙ. ඔන්න හිටපු ගමං සුදු අක්ක "ඔන්න ඇහැළේපොල කුමාරිහාමිගෙ අවතාරෙ එනෝ..." කියල කෑගහගෙන ගෙට දුවනව. අපි පොඩි එවුනුත් ගිරිය යටිං කෑගහගෙන ඒ පස්සෙ දුවනව. එක දවසක් එහෙම දුවද්දි එළිපත්තෙ පය පැකිලිම වැටිල මගෙ දනිස්ස තුවාල වුනා. එදානං පොඩි අම්ම සුදු අක්කගෙ පස්සට දුන්න වේවැලෙන් දෙකක්...හෙහ්,හෙහ්,

හරි ආයම කන්නසාමිගැන කතාවට ආවොත්.....මගේ හිතේ ශ්‍රී වික්‍රම රාජසිංහ නොහොත් කන්නසාමි ගැන ඇඳිල තියෙන කතාව ඔය අපි අහල තියෙන කතාවට වඩා බොහෝම වෙනස් ... කොහෙත්ම ඔය ඉතිහාස පොතේ තියන එක නම් නෙවෙයි..අපේ අතීතය ගැන මගෙ හිතේ එහෙම කතන්දර මහ ගොඩක් ඇඳිල තියනව. එව්ව බොහොම වෙලාවට අපි ඔය අහල තියන එව්වට වඩා වෙනස්. එහෙම කතන්දර දෙකක් මම මීට කලින් ලිව්ව. විජය රජ්ජුරුවන්ගෙ කතාව සහ අනුලා බිසවගෙ කතාව.

හරි ඒ මගේ කතාවට ඉස්සෙල්ල ඇහුංකං දෙන්නකො ආචාර්ය ගණනාත් ඔබේසේකරයන්ට. ඔහු වනාහී මේ ලඟදි මියගිය චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකරයන්ගෙ වැඩිමහළු සොහොයුරා. ආචාර්ය ගණනාත් කියන්නෙ ලංකාවෙ කවුරුත් වැඩිපුර නොදන්නව උනාට ලෝක ප්‍රසිද්ධ මානව විද්‍යාඥයෙක්. ඔහු මේ ලඟදි ප්‍රකාශයට පත් කලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන කල අධ්‍යයනයක්. පොතේ නම "The Doomed King - A Requiem For Śri Vikrama Rajasinha"

ආචාර්ය ගණනාත් ඔබේසේකරයන්ගේ
"The Doomed King" ග්‍රන්ථය ඉහත
ඡායාරූපයෙන් දැක්වේ.

පෝස්ට් එක නම් ටිකක් දිගවෙයි. කමක් නෑ අද සෙනසුරාද ඔය හැමෝටම වගෙ නිවාඩුනෙ..ඒ හින්ද කියවල බලන්න...හෙහ්,හෙහ්,

මේ මුලින්ම සිළුමිණේ පළවූ ලිපියක්....

ගණනාථ ඔබේසේකර, හේ ලංකාව විසින් බිහි කළ විශිෂ්ටම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ අලුත්ගම දර්ගා නගරයේ මීගමය. ඔහුගේ පියා ඩී. ඩී. ඔබේසේකර දේශීය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වූ අතර අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමිකයෙක් විය. 1955 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සඳහා මූලික උපාධිය ලබාගත් ඔහු වරක් ඔහුගේම උසස් අධ්‍යාපනය ගැන පැවසූයේ වාමාංශිකයන් පවා ඔක්ස්ෆර්ඩ් යෑමට පසු නොබෑ යුගයක තමා තුළ වූ යටත් විජිත විරෝධය නිසා ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් සඳහා ලැබුණ ශිෂ්‍යත්ව කිහිපයක්ම ප්‍රතික්ෂේප කළ බවය.

ඒ වෙනුවට ඔහු තෝරාගන්නේ ඇමරිකානු වීශ්ව විද්‍යාලයකි. නමින් ගණනාථ ඔබේසේකර නම් ඔහු ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි (1964) ලබා ගත්තේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් වන අතර පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ කලක් සේවය කළේය. ඔහු කැලිපෝනියා සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලවලද මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කළේය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය විසින් පළ කර ඇති Land Tenure in Village Ceylon: A Sociological and Historical Study(1966) නම් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධය දකුණු ලක මැදගම නම් ගම පිළිබඳවය. චිකාගෝ විශ්ව විද්‍යාලීය මුද්‍රණාලය විසින් පළ කර ඇති ඔහුගේ විශිෂ්ට කෘතීන්ගෙන් එකක් වන The Cult of the Goddess Pattini (1984) නම් පත්තිනි ඇදහිල්ල පිළිබඳ වූ කෘතිය ඉන්දීය උප මහද්වීපික කලාපයේ සංස්කෘතික ඥාතීත්වය හෙළි කරයි. රිචර්ඩ් ගොම්බ්‍රිච් සමඟ සම කර්තෘත්වයෙන් පළවූ Buddhism Transformed: Religious Change in Sri Lanka යන කෘතියත් සමඟ ඔහුගේ කතෘත්වයෙන් පලවූ කෘති දහයක් පමණ වේ.



ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාල මුද්‍රණාලය මගින් පලවූ සුදු මිනිහා ලෝකය ශිෂ්ට කිරීම පිළිබඳ මිථ්‍යාව ප්‍රශ්න කරන ඔහුගේ විවාදාත්මක කෘතියක් වූ The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific (1992) යන්න සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්‍රයේ අද්විතීය කෘතියට හිමි සම්මාන කිහිපයක්ම ලබා ගත්තේය. පසුගිය කාලයේ විදග්ධ යැයි සම්මත නොවූ ලේඛනවලින් හෙළි වන ඉතිහාසය අධ්‍යනයේ වැදගත් කම පිළිබඳ කතා කළ ඔහු එවැනි දුර්ලභ පුස්කොල පොත් ගණනාවක් පල කිරීමට මැදිහත් විය. ජනවාර්ගික අර්බුද සමයේ ඉතිහාසකරණය පිළිබඳ ඔබේසේකර හෙලන වැදගත් නිරීක්ෂණ සහ දුටුගැමුණුගේ හෘද සාක්ෂි අර්බුදය(Dutthagamini and the Buddhist Conscience) පිළිබඳ ඔහුගේ ගැඹුරු කියවීම සමකාලීන ලාංකික සමාජය මත ආලෝකයක් හෙලනු ලැබීය.



විත්තිපොත් කඩයිම් පොත් සහ එතරම් ප්‍රචලිත නොවූ ඉංග්‍රීසි සිවිල් සේවකයන් යටත් විජිත යුගයේ තැබූ සටහන් මනාව නිරීක්ෂණය කරමින් රචිත THE DOOMED KING: A REQUIEM FOR ŚRI VIKRAMA RAJASINHA පර්යේෂණ කෘතිය ඔහු අප අබිමුවෙහි තබා ඇත. මෙමගින් ගිරාපෝතක සම්ප්‍රදායෙන් බැහැරව සබුද්ධිමය සම්ප්‍රදායක් වෙත ඔහු ඔබ අපව කැඳවාගෙන යෑමට උත්සාහ කරයි. සිංහල පාඨකයින් අතර ජනප්‍රිය නොවූ මේ විද්වතා, ප්‍රාඥයා අප ඔබට හඳුන්වාදීමට සිතුවේ එනිසාය.

ආචාර්ය ගණනාත් ඔබේසේකර


"ද ඩූම්ඩ් කිං ‘(THE DOOMED KING) පොත ලියන්න ඔබව පෙළඹවූ කාරණය කුමක්ද?"


"දළදා මාළිගාව ආසන්නයේම පිහිටි හෝටලයක් තියෙනවා. මම නුවර යද්දි නිතරම දකිනවා මේ හෝටලයේ ඉංග්‍රීසි කොඩිය ඔසවා තිබෙනවා. මොකද මේ සිංහල මිනිස්සු ඉංග්‍රීසි කොඩියක් දාගෙන ඉන්නේ කියලා මම කල්පනා කළා. මේක මගේ හිතට කාවැදුණා. ඔහොම යද්දි මට හිතෙනවා, මේ හෝටලය ඉදිරියේ රජුරුවො හදපු ලස්සන වැවක් තියෙනවා, ඇයි කවුරුවත් මේ ගැන ලියන්නෙ නැත්තේ. මෙච්චර දේවල් නුවර ගැන ලියනව නමුත් මේ ලස්සන වැව හදපු ශ්‍රි වික්‍රම රාජසිංහ ගැන කවුරුත් ලියන්නෙ නැහැ. ඇයි ඒ? නුවර වැව විතරක් නෙවෙයි ඔහු තවත් කුඩා වැව් නිර්මාණය කර ඇති බව මම මේ පොතේ පෙන්නල තියෙනවා. මිනිස්සු දන්නේ ඒ මනුස්සයා බොහෝම දරුණු, පවිටු, සල්ලාල මිනීමරු රජ කෙනෙක් විදියටයි"

"ලංකාවේ ලියවෙච්ච ඇහැළේපොළ වර්ණනාව (වඩිග හටන) සහ කිරල සන්දේශය කියන කෘතිවලත් ඔහු දරුණු පාපී රජෙකු ලෙසයි හඳුන්වා දී ඇත්තේ. ඒ වගේම මේ පොත්වල ඔහුව හඳුන්වන්නේ රුදු දෙමළා, නපුංසක දෙමළා, පවිටු දෙමළා ආදී වශයෙන් දෙමළ විරෝධයකුත් දරුණුවට ඒ කෘතිවලින් මතුවෙනවා. නමුත් ඔහු නායක්කාර් පරපුරකින් පැවත එන්නෙක්. වඩුග කියන්නේ දෙමළ නෙමෙයි. උතුරු ඉන්දියානු සම්භවයකුයි ඔහුට තිබෙන්නේ. නමුත් ඔහු උපන්නේ ලංකාවේ. ඉගෙන ගත්තේ හාමුදුරුවන්ගෙන්. ඉතිං ඔහුට දෙමළ රජකෙනෙක් කියන එකේ කිසිම තේරුමක් නැහැ."

"ඔහු සම්බන්ධයෙන් පවතින ජනප්‍රියම කතා ප්‍රවෘත්තිය වන්නේ ඇහැළේපොළ කුමාරිහාමි ඇතුළු දරුවන්ට දඩුවම් කළ ආකාරයනෙ. මේ අධ්‍යනය තුළ දී අපට දකින්න පුළුවන් වුණා මේ විදියට ඔහු ගේ නාමය ලාංකික ප්‍රජාව තුළ ඉතිරි කර ඇත්තේ එවක යටත් විජිත පාලකයා වූ ඉංග්‍රීසීන් විසින් කන්ද උඩරට දිනාගැනීම සඳහා දියත් කළ බොහෝම සූක්ෂම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදියට බව"

"මේ කරුණු සනාථ කිරීම සඳහා මෙහි දී දේශීය මූලාශ්‍ර වගේම ඊට සමකාලීන ව ඉංග්‍රිසි ආණ්ඩුව යටතේ සේවය කරපු එතරම් අප අතර ජනප්‍රිය නොවූ ඉංග්‍රිසි ලේඛකයන්ගේ මූලාශ්‍රය ඇසුරු කරුනු ලැබුවා. ඉතිං ඇත්තට මේ දේවල් මගේ ඔළුවට ආවේ, අර හෝටලයේ ඔසවා තිබුණු ඉංග්‍රීසි කොඩිය නිසා. මට දැන ගන්න ලැබුණා මම මේ පොතට විස්තර හොයද්දි මෙහෙම පොතක් ලියනවා කියලා ආරංචිවෙලා හෝටලය අයිති උදවිය ඒ කොඩිය ඉවත් කළා කියලා."


"ඔබ සඳහන් කළා මෙය බ්‍රිතාන්‍යයන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නිසා ඇති වූවක්ය කියා?"

"මං කලින් සඳහන් කළා වගේ අප සොයා ගිය මූලාශ්‍රය තුළින් අපට දකින්න ලැබුණා ඔහු ඔය කියන ආකාරයේ බේබද්දෙක්වත් සල්ලාලයෙක්වත් මීනීමරුවෙක්වත් නොවන බව. ඊළඟට අපි කල්පනා කළා එහෙම නම් මේ දේ සිද්ධ වුණේ කොහොමද කියලා. රාජසිංහ රජුරුවන්ව අල්ලාගත් අවස්ථාවේ එක්නැලිගොඩ රජුට දරුණු අන්දමින් පහර දෙමින් රජ්ජුරුවන්ගෙ බිසෝවරුන් නිරුවත් කර කනකර ආභරණ ගලවා ගනිද්දිත් රජු බොහෝම උපේක්ෂා සහගතව බලාගෙන සිට රජෙකුට මෙහෙමද සලකන්නෙ කියලයි අහල තියෙන්නේ."

"රාජසිංහ රජ්ජුරුවන්ව පිටුවහල් කිරීම සඳහා කොළඹට රැගෙන එද්දි ඔහුගේ උදාර බව කෙසේද යත් ඔහුට ඇතුළු වන්න කොටු පවුර උඩ සිටි අයට බිමට බසින ලෙස අණකර තිබෙනවා . ජෝන්මාර්ෂල් කියලා රජුරුවන්ව බාරවෙච්ච වෛද්‍යවරයෙක් සිට තිබෙනවා. ඔහු මේ අන්දමින් පැහැදිලි කරනවා රජුරුවන්ගේ උදාර බව විශිෂ්ටත්වය. ඔහු සඳහන් කරනවා අඩු තරමින් රජ්ජුරුවෝ ඔවුන්ගේ කුඩා දරුවන් පවා බොන වයින් වීදුරුවක් හෝ පානය නොකළ බව. ඒවා ලබා දුන්නත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර තිබෙනවා."

"මෙයින්ම පේනවා ඔහු බීමට ඇබ්බැහිව සිටි බේබද්දෙකු නොවන බව. අනෙක් අතින් ඉංග්‍රීසි ලේඛකයින් තිදෙනකුම අවධාරණය කරනවා රජු දඬුවම් දුන්න නම් දඬුවම් ලබා දුන්නේ උඩරට තිබුණු නීතිය අනුව මිසක් ඔහුගේ හිතුමනාපයට නොවන බව. අනෙක ඔහු රජ වන්නේ වයස අවු 18ක් තරම් කුඩා වයසකදි. ඒ කාලයේ දී දැඩිව පිළිමතලාවේගේ ග්‍රහණයට හසුව සිටි ආකාරය, පිළිමතලාවේගේ කුමන්ත්‍රණ පසුව දැනගෙන රජු පිළිමතලාවට අවනත නොවුණු විට ඔහුට විරුද්ධව ද්‍රෝහීකම් කරනවා. ඒ ද්‍රෝහිකම්වල ප්‍රතිඵලයක් විදියට තමයි ඇහැළේපොල එක්නැලිගොඩ වගේ පිරිසක් පිළිමතලාවේගේ පාර්ශ්වය ගෙන රජුට සතුරු වන්නේ. නමුත් මුලසිට මේ සියල්ල පිසුපස සිටිමින් මෙහෙයවන පුද්ගලයා තමයි ජෝන් ඩොයිලි."



"ඒ කාරණාව ඇහුවාම නම් මෙහෙම අහන්නේ නැතුව ඉන්න බැහැ. ඇත්තටම ඒක සිද්ධවෙන්නේ කොහොමද?"



"1798 රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ලෙස පත්වීම ලබා ලංකාවට එන්නේ. එතකොට ඒ අවුරුද්දෙම තමයි ශ්‍රී වික්‍රම රජවෙන්නේ. ඒ වෙනකොට ලංකාව එංගලන්තයේ ක්‍රවුන් කොලනියක් විදියට ප්‍රකාශයට පත්කර තිබුණා. බ්‍රිතාන්‍ය ඒ කාලේ ප්‍රංසයත් සමඟ යුද්ධයකට මුහුණ දුන්නා. ඒකට කිව්වේ ඒනියන් යුද්ධය කියලා. ඉන් විශාල පරාජයකට ඉංග්‍රීසීන්ට මුහුණ දෙන්න සිදුවුණා. ඒ නිසා බටහිර රටවල් යටත් කිරීම නවතා ආසියාතික රටවල් යටත් කරගැනීමට ඔවුන් පෙළඹුණා. එහි දී කේන්ද්‍රස්ථානයක පිහිටි රටක් නිසා මුලින්ම ඔවුන් යටත් කර ගත යුතු රටක් ලෙස සැලකුවේ ලංකාවයි. ඒ නිසා මුලින්ම ආසියාවේ ක්‍රවුන් කොලනියක් වන්නේ ලංකාව. හතරවන ජෝර්ජ් රජ්ජුරුවන්ට යටත් රාජ්‍යයක් නිසා ලංකාවේ රජ කෙනෙක් ඉන්න බැහැ. ඒ නිසා බ්‍රවුන්රිග්ට නියම වෙනවා මේ රටේ සම්පුර්ණ බලය ඔහු යටතට ගන්න. 1803 දි බ්‍රවුන්රිග්ගේ සැලසුම් අනුව උඩ රට යටත් කරගැනීමට යෑමේ දී ඔවුන් නොසිතූ විරූ ප්‍රහාරයකට ලක්වෙනවා."



"මෙලෙස දරුණු පරාජයක් ඉංග්‍රීසීන්ට අත්වෙන්නේ මෙරට රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහගේ සූක්ෂම වැඩ පිළිවෙල නිසා. ඒ අනුව 1803 දී එය මෙහෙයවන පුද්ගලයා ඇතුළු ඉංග්‍රීසීන් සහමුලින්ම කන්ද උඩරට රාජ්‍යට යටත්වෙනවා. මේ ලැබූ දරුණු පරාජයත් සමඟ ඔවුන් උඩ රට ඇල්ලීමේ අදහස සහමුලින්ම අතහැර දමනවා. එහෙම අතහැරලා හිටපු වෙලාවක තමයි හොඳින් පුහුණු කළ රහස්පරීක්ෂකයකු වූ ජෝන් ඩොයිලි ලංකාවට එන්නේ. ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ උගත් දැනුමැති පුද්ගලයෙක්. ඔහුට පැවරෙන රාජකාරිය තමයි උඩරට රාජ්‍ය දුර්වල කර, ක්‍රමානුකූලව දියකර හැරීම. ඒ සැලැස්ම අනුව ඩොයිලි දකුණේ බලවත් භික්ෂුවක්ව සිටි මාතර කරතොට ධර්මාරාම හමුදුරුවන් ළඟ සිංහල ඉගෙන ගැනීමට යනවා. උන්වහන්සේ දේශපාලනික වශයෙන් හොඳ සබඳතාවයන් පැවැති භික්ෂුවක්. එතකොට ඉතාම පැහැදිලියි, ඔහු කරතොට හාමුදුරුවන් ළඟ නතරවෙන්නෙම ඔහුගේ සැලැස්ම උඩ. ඒ අනුව ඔහු භික්ෂූන් වහන්සේලා සමඟ සමීප සම්බන්ධතා ගොඩනගනවා. එමගින් උඩරට නායකයින්ට කිට්ටු වීමට ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. ක්‍රමයෙන් රජූ පිටුවහල් කරන තත්ත්වයට පත්වනකම් මේ සැලසුම් ක්‍රියාත්මක වුණේ කොහොමද කියන කාරණාව මගේ මේ කෘතිය තුළ ඉතාම විශ්වාස දායක මුලාශ්‍ර මගින් සනාථ කර තිබෙනවා."



"මොනවද ශ්‍රී වික්‍රම රජු කළ නිර්මාණ විදියට අද අපිට දකින්න පුලුවන් ?"

"පේරාදෙණියෙ තියෙන උද්‍යානය පවා රජුරුවො හදපු එකක්. ඒක රාජකීය උද්‍යානය. පස්සේ කාලේ සුද්දෝ එකට රාජකීය උද්භිද උද්‍යාන (Royal botanical Garden) කියා නම් කළා. අපේ ගොඩක් අය හිතන්නේ මේ සුද්දා හදපු උද්‍යානයක් කියලා. බෝගම්බර වැව, නුවර වැව, වලාකුළු බැම්ම, මාළිගය, සතර දේවාල ඇතුළු මුළු රාජ ගෘහයම ඔහුගේ අනුදැනුම මත නිර්මාණය වූ ඒවා. පුදුමය නම් අද මේවා ගැන කිසිවෙක් කතා නොකිරීමයි."

"ඔබ මීට ප්‍රථම දුටුගැමුණු රජු පිළිබඳව කළ ‘දුටුගැමුණුගේ හෘද සාක්ෂිය (Dutthagamini and the Buuddhist Conscience)‘ ගැන පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයෙක් වසර තිහකට පමණ පසුව පිළිතුරු කෘතියක් රචනා කර තිබෙනවා."

"ඒවා ලිව්වට කිසිම වරදක් නැහැ. මම සත්‍ය වචනයක් ලිව්වට ඒක පිළිගන්න ඕන නෑ මිනිස්සු. මම හිතනවා මේක ඇත්ත කියලා. එහෙමයි කියලා මේක පිළිගන්න වටින්නේ නැහැ. ඒකට තර්කයක් තියෙන්න ඕන විවාදයක් තියෙන්න ඕන. වාද විවාදවලට මේකෙන් උනන්දුවක් දෙනව නම් මට ඒ ගැන සතුටුයි. මටත් කීප දෙනෙක් ඒ බව පැවසුවා. නමුත් එය කියවන්න ඉස්පාසුවක් තිබුණේ නැහැ. ඇරත් මං කියෙව්වයි කියලා ඕවට උත්තර දෙන්න යන්නේ නැහැ. දැන් මේ පොත ගැන වුනත් කාට හරි වෙනත් මතයක් තියෙන්න පුළුවන්. එයාටත් මේකට මොකක් හරි ලියන්න පුළුවන්. ඒක හොඳ දෙයක්. කවුරුහරි බැරෑරුම්ව මේ කෘති කියවනව කියන එකනේ ඒකෙන් පේන්නේ. ඒක සතුටට කාරණයක්. මම කරන්නේ මම දකින දේ අධ්‍යයනයෙන් යුතුව පාඨකයාට ඉදිරිපත් කිරීම පමණයි. එය බාරගන්න හෝ නොගන්න එක පාඨකයා සතු කාර්යයක්. මේවා සිංහල ලේඛකයෝ තවදුරටත් විග්‍රහ කරලා පරික්ෂා කරලා බලන්න ඕන."

"මේ පොත කියවන කෙනෙක් ඔබ අතීතකාමය (nostalgia) පිළිබඳව අදහස් දරන්නෙකු ලෙස හැඳින් වුවොත්? ඒක ඇත්ත නේද?"



"අතීතකාමයක් නැතිව කොහොමද ජීවත් වෙන්නේ. මොකක් හරි වුණොත් අපි කල්පනා කරලා බලනවා. කවුරුවක්වත් මේ ගැන කලින් ලියලා නැහැනේ කියලා. ලියලා තියෙනවා නමුත් බොහෝම දරුණු විදියට. නමුත් එහෙම සිද්ධියක් වු‍ෙණ් නැහැ. අධිරාජ්‍යවාදය (imperialism) ඇති කිරීම සඳහා ගෙනගිය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියන එකයි මට මේකෙන් පෙන්නන්න ඕනෑ කළේ. සිංහල පාඨකයන්ටත් නුදුරේදීම මේ පොත කියවන්න ලැබේවී. මගේ අධීක්ෂණය යටතේ එච්.ජී.දයාසිසිර මහත්තයා තමයි ඒ පොත සිංහලයට නඟන්නේ. ‘නෙරපූ රජු ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය‘ කියන නමින්."



LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...