Tuesday, November 14, 2017

545. The Story Of My Marriage - 50 - Vanakkam..Vanakkam..Most Welcome To Our Home…..

ඉතිං මංජු මට හරිෂ් නොහොත් අනන්‍යාගෙ යෝජිත මනාල මහත්තය ගැන සියලු විස්තර කිව්ව. විවාහාපේක්ෂිත දියණියකගෙ මව්පියන්වන ඕනෑම දෙමළ අම්මෙක් නැත්නම් තාත්තෙක්ගෙ සිහින කුමාරය බවට නිතරඟයෙන් පත්වෙන්ට ඕනෑවටත් වඩා සුදුසුකම් හරිෂ්ට තිබ්බ. පහුගිය අවුරුදු දෙකක් විතර තිස්සෙම අනන්‍යාගෙ අම්ම නිතරම හරිෂ්ගෙ ගුණ වර්ණනා කරල අනන්‍යාගෙ කැමැත්ත ගන්ට උත්සාහ කරල තියනව. අනන්‍යා කිසිම විදිහකින් බුරුලක් නොදුන්නට අම්ම උත්සාහය අත ඇරලත් නෑ.

"අක්කගෙ කැමැත්තක් තිබ්බෙම නෑ. ඒත් අම්මගෙන් බේරුමක් නැතිම තැනයි මම හිතන්නෙ එයා ඔය කේන්දර බලන්ට කැමැත්ත දුන්නෙ.." මංජු ඇස් ලොකු කරගෙන කිව්ව.

හරිෂ් ඇවිල්ල හිට හොඳම වර්ගයෙ දමිළයෙක්. ඒ කියන්නෙ සුප්‍රා ග්‍රේඩ්. දමිළ ජන වර්ගයෙ, බ්‍රාහ්මණ කුලයෙ,  අයියර් උප කුලයෙ. ඒ බොහොම පැහැදිලිව වර්ගීකරණ තුනක්. පන්ජාබී අපි ඔක්කොම එක කුලේ හින්ද අපිට ඔව්වයෙ ගානක් නැතිවුනාට අනන්‍යාලගෙ නෑදෑ පරපුරට ඔය කුල කේස් බොහොම වැදගත්. මට මතකයි ඉස්සොරෝම අහ්මදාබාද් වලදි අනන්‍යා මුණගැහුණු දවසෙ මම "ඔයා දකුණු ඉන්දියාවෙන් නේද?" කියල ඇහුවම ඈ මෙහෙම කිව්ව.

"එහෙම නිකම්ම දකුණු ඉන්දියාවෙන්ය කියල විතරක් කිව්වොත් ඒක එච්චර හරි නෑ. මම ඇවිල්ල දමිළ..මේ... කරුණාකරල පටලගන්ට එහෙමනම් එපා ඔන්න ..මම දමිළ ..ම්ම්ම්....ඒත් හරියටම හරි නෑ..හරියටම කිව්වොත් දමිළ බ්‍රාහ්මණ වංශික. මතකයි නේ? දමිළ බ්‍රාහ්මණ වංශික. ඒක අමතක කරනව එහෙම නෙවෙයි හොඳද?"

හෙහ්..ඒ යෝදි එහෙම කිව්වෙ නිකම්ම එහෙමත් නෙවෙයි. මස් කෑල්ලක් හත් මාසෙකිං දැකල නැති ගානට කුකුල් අණ්ඩක් හපන ගමං......

ඉතිං මේ දමිළ, බ්‍රාහ්මණ වංශික සහ අයියර්......මේ Criteria තුනෙන් ඕන එකක් සුට්ටක් හරි අස්පට් උනොත්  යෝජිත මනමාලයෙක් නුසුදුස්සෙක් වෙන්ට පුලුවනි. ඇස්වහක් කටවහක් නෑ ආය ඔහෙලට කිව්වම මොකද මට ඔය තුනම නෑ.

මංජු මට හරිෂ් ගැන පරිපූර්ණ විස්තරයක් ඉදිරිපත් කලා. මනුස්සය ඉගෙන ගෙන තියෙන්නෙ චෙන්නයි අයි.අයි.ටී. එකේ. හරිෂ්ගෙ GPA එක 9.45ක්. 

(සටහන - GPA (Grade Point Average) කියන්නෙ විශ්ව විද්‍යාල සහ තාක්ෂණික ආයතන වගෙ උසස් අධ්‍යාපන ආයතනවලින් සමත්වෙන ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ගෙ දක්ෂතාවය මනින මිම්මක්. අධ්‍යයන කාල සීමාව පුරා ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් පරීක්ෂණ වලදි ලබා ගත් ලකුණුවල සාමාන්‍ය අගය තමයි ඒකෙන් කියවෙන්නෙ) 

හරිෂ් 10න් 9.45ක් ගත්ත කියන්නෙ අයිසෙක් නිව්ටන්ගෙ මට්ටමේ බුද්ධිමතෙක් වෙන්න ඕන. ඔය විස්තරේ අනන්‍යාගෙ අම්මට කියල තියෙන්නෙ අනන්‍යාගෙ නැන්ද. මතකයි නේද? අර ශෝභා ආන්ටි.... ආන්න එයා...

හරිෂ් එතනින් නැවතිලා නැහැ ශිෂ්‍යත්වයක් හම්බවෙලා මාස්ටර්ස් එකක් කරල ඒකත් ඉහළින්ම සමත් වෙලා දැන් වැඩ කරන්නෙ ඇමරිකාවෙ සිලිකන් වැලීවල ඉහළම ගණයෙ අයි.ටී. කම්පනි එහෙක. ඒකෙ නම සිස්කෝ සිස්ටම්ස්. හරිෂ් මස් මාළු අනුබවයෙන් සපුරාම තොරයි. දුම්පානය ම්හු. මත්පැන් නෝ වේ ඇටෝල්. (ඔය ඔක්කොම නොකරන මනුස්සයෙක් අහවල් දේකට ජීවත් වෙනවද කියන එකනම් මට පොඩි කාලෙ ඉඳලම තිබ්බ දැවෙන පස්නයක්) 

හරිෂ් කර්ණාටික් මූසික් එක්ස්පර්ට් කෙනෙක්. ඊට අමතරව භාරත නාට්‍යම් රසිකයෙක්. මිනිහගෙ උඩු රැවුලෙ ගණකම අඟල් බාගයක් සහ තවත් සේසයක්. 

සැන් ෆ්‍රැන්සිස්කෝ නගරබදව තදාසන්න නියම්ගමක හරිෂ්ටම අයිති තට්ටු දෙකකි ගෙදරකි. ඒ වගේම කිරිසුදු අළුත්ම හොන්ඩා එකෝඩ් එකකුත්. කොටස් වෙළඳපලේ ෂෙයාර්ස් බර ගාණක්. මේ පහුගිය මාස දෙක තුන ඇරුනුකොට හරිෂ්ට අයිති කොටස්වල වටිනාකම සෑම මිනිත්තු දොළහකට සැරයක්ම දෙගුණ උනාලු.

ඒ ඔක්කොමත් කමක් නෑ කියමුකො. හරිෂ්ට එයාගෙම ටෙලස්කෝප් එකකුත් තියනවලු. මිනිහ සති අන්තෙ පුරාම කරන්නෙ ඒකෙං මන්දාකිණීද මොනවද බලන එකලු. මංජුට ඔක්කෝටම වැඩිය හිතට අල්ලල ගිහිල්ල තියෙන්නෙ ඒ ටෙලස්කෝප් එක. 

"අක්කා හරිෂ්ව කසාද බඳින්ට කැමති වුනොත් නම් මරු. මට එතකොට ටෙලස්කෝප් එකෙං හිතේ හැටියට තරු ග්‍රහලෝක එහෙම බලන්ට පුලුවෙනි" එහෙම කියනකොටත් මංජුගෙ ඇස් දිළිසුනා.

"ම්ම්ම්..වෙන මොකවත් එපාද? එහෙමද ආස?" එහෙම තොල මතුරමින් මම මිනිහ දිහා රවල බැලුව දාලපිච්චිල යන්ට.

මංජු බයවෙච්චි පාර එහෙම්ම කට වහගත්ත. "අර මූකලං බස්ස ගැන තව විස්තර අහගන්ට නම් මේ කොලුව බයකරල බෑනෙ.." මම එහෙම හිතල කොල්ලව ෂේප් කරගන්ට කටපුරා හිනාවුනා. 

"හරි හරි ඉතිං මංජු තව මොනවද හරිෂ්ගෙ විස්තර ඔයා දන්නෙ?"

"ම්ම්ම්....තව මොනවද නේද?....ආ හරිෂ් තව මට කිව්ව එයාගෙ ටෙලස්කෝප් එකෙං සෙනසුරුගෙ වළලුවල පාට බලන්නත් පුලුවන්ය කියල"

"හුහ් ඔය කිව්වෙ..සෙනසුරුගෙ වළලුවල පාට...සෙනසුරු වළලු විතරද දන්නෙ නෑ දාගෙන ඉන්නෙ? මාලෙ පාට පෙනුනෙ නැද්ද දන්නෙ නෑ අර යස්සයට.." මම තනියම කියාගත්ත.

"මොකක්ද කිව්වෙ මංජු? හරිෂ් ඔයාට කිව්වයි කියල නේද කිව්වෙ? ඒ කියන්නෙ මීට කලින් එයා මෙහෙ ඇවිල්ල තියනවද?"

"නෑ..නෑ.....එයා අමරිකාවෙ ඉඳල තුන් හතර ගමනක් ටෙලිෆෝන් කලානෙ. ඒ වෙලාවකයි මට ඔය විස්තර කිව්වෙ….."

"අක්කත් එයත් එක්ක කතා කලාද?" මම හුස්ම අල්ලගෙන ඇහුව.

"නෑ හරිෂ් කතා කරපු එක වෙලාවකවත් අක්ක ගෙදර හිටියෙ නෑ. අනික හිටිය උනත් අක්ක හරිෂ් එක්ක කතා කරන එකක් නෑ"

"ඒ මොකෝ?"

"එහෙම තමයි අපේ චාරිත්‍ර...කේන්දර ගැලපෙනකල් කොල්ලයි කෙල්ලයි කතා කරන එක තහනම්"

"හ්ම්ම්..කොල්ලයි කෙල්ලයි.." එහෙම හිතනකොටත් මට එන කේන්තිය කියල ඉවර කරන්ට බෑ…"කොල්ලයි කෙල්ලයි...හුහ්"

"දැන්නම් ඉතිං ප්‍රශ්ණයක් නෑ. කේන්දර ගැලපෙනවනෙ. දැන් දෙන්නට කතා කලෑකි. අද ඔය එන්නෙත් එහෙම කේන්දර ගැලපුන නිසානෙ.." 

මංජු බොහොම සන්තෝසෙං කියාගෙන ගියා.

මට මගෙ අම්ම මතක් වුනා. මගෙ අම්ම මට ගෑණු ළමයෙක් ගැලපෙනවද කියල හොයල බලන්නෙ ළමයගෙ පියතුමාට අයිති පෙට්රල් ෂෙඩ් කීයක් තියනවද? එතකොට එව්වයිං කීයක් ගෑණු ළමයට දෑවැද්දට දෙනවද? කියන එක විතරයි. අනේ වාසනාවන් එහෙම අම්මල…

"මංජු ඔයා ඉගෙන ගන්නෙ විද්‍යාව. ඔයා ඇත්තටම විද්‍යාවට ගණිතයට දෙකටම එක වගෙ දක්ෂයි. ඒ වගේම සෙනසුරුගෙ වළලුවල පාට බලන්ටත් ඔයා ආසාවෙන් ඉන්නව. ඒ එක්කම කේන්දර ගැලපෙන්නෙ නෑ කියල කොල්ලෙකුයි කෙල්ලෙකුයි කතා කරන එකත් වැරදියි කියලත් ඔයාම කියනව. මට තේරෙන්නෙ නෑ ඔයා හිතන විදිහ"

"ඒකෙ තේරුම් ගන්ට ඔය හැටි අමාරු දෙයක් නෑ. මම ඉගෙන ගන්නෙ විද්‍යාව. කවදක හරි මගෙ අනාගතය වෙන්නෙ විද්‍යාව. ඒ එක්කම මේ අපේ සංස්කෘතිය" මංජු කිව්වෙ බොහොම බැරෑරුම් විදිහට..

"හ්ම්ම්ම්ම්…..ඒකත් එහෙමද?" මම දිග හුස්මක් පාතට දාල හෙමීට කිව්ව.

"කරුණාකරල දැන්වත් මගෙ සටහන් පොත දෙනවද?" මංජු ඔලුව උස්සල මා දිහා බලල ඇහුව.

"හරි හරි තරහ වෙන්න එපා…." මම සටහන් පොත මංජුට දුන්න.

"දැන් හරිෂ් එනවද?"

"ඔව්..ඊයෙ අම්ම කතා කරල කිව්ව උදේ කෑමට එන්නෙයි කියල එයාලට"

"එයාලට කිව්වෙ?"

"හරිෂ්ටයි එයාගෙ අම්මටයි තාත්තටයි...තව කවුරු කවුරු එයිද දන්නෙ නෑ….." මංජු ආයෙමත් සටහන් පොතට ඔලුව නවා ගත්ත.

"හරි මංජු...මම යන්නං එහෙනං"

මම නැඟිටල මගෙ බෑග් එක අතට ගත්ත. අනන්‍යා එක්ක මට තිබ්බෙ උහුලගන්ට බැරි කේන්තියක්. "මේ අම්මණ්ඩි ආය දෙකක් නෑ මේ නාඩගම ගැන දැනගෙනම ඉන්ට එපාය. ඒත් මට වචනයක්වත් කිව්වද? කමක් නෑ මම නිවාඩු පාඩුව එයාව අල්ල ගන්නංකො" මට මේ වෙලාවෙ ලොකුවටම ඕන කම තිබ්බෙ මෙතනිං හැකි ඉක්මනට පිටවෙලා පුලුවන් තරම් දුරකට යන්ට.

"මංජු මම යනව.." මම එහෙම කියල හෙමිහිට ඉස්සරහ දොර පැත්තට ගියා.

"ක්‍රිෂ් අයියෙ...." මංජුගෙ කටහඬට මම සාලෙ මැද නැවතිල ආපහු හැරුන. මංජු ඉඳගෙන හිටපු පුටුවෙම පැත්තකට හැරිල මා දිහා ඇස් ලොකුකරගෙන බලා ඉන්නව.

"ඇයි මංජු?" මම ඇහුව.

"මේ... මම මේ..පොඩි කාරණයක් අහන්ට කියල ලෑස්ති වුනේ.."

"ඔව්..මොකක්ද?"

"මම මේ අහන්ට ආවෙ..මේ...බ්ලූ ෆිල්ම්ස් බැලුවම මොනව හරි නරක දෙයක් වෙන්ට පුලුවන්ද?"

මම උත්තරයක් නොදී මංජුගෙ මූණ දිහාම බලාගෙන හිටිය

"නෑ...නෑ.....මම මේ ඇහුවෙ.... මම ආය කවමදාකවත් බලන්නෙ නෑ…..මට නිකමට වගෙ දැනගන්ට ඕන..ඒකයි ඇහුවෙ…" කොළුව හතර අතට ඇඹරෙමිං කෙඳිරි ගෑව.

"මංජු අහන්නෙ බ්ලූ ෆිල්ම් එකක් බැලුවොත් විතරක් මොකවත් වෙන්නෙ නැද්ද කියලද?"

"ඔව්..බැලුවම විතරක්...ම්ම්ම්ම්...මෙහෙම කියමුකො. බලල ඉවරවෙලා තව මොනව හරිත් කලොත් එහෙම?" මංජු අහක බලාගෙන ඇහුව.

"මම කියන්ටද? හොඳ වෙලාවක් බලල ඔයා ඔය ප්‍රශ්නෙ ඔයාලගෙ තාත්තගෙං අහන්ට…"

"පිස්සුද අයියෙ?... අයියත් මොනව කියනවද මන්ද…" මංජුගෙ ඇසුත් ලොකු වෙලා කටත් ඇරුන. 

"මම එහෙනං ඇත්තම කියන්ටද? ඔයාගෙ ඇස් පේන්නෙ නැතුව යන්ට පුලුවන්. වෙනනම් එහෙමට දෙයක් වෙන එකක් නෑ" මම බැරෑරුම් පෙනුමක් ආරූඩ කරගෙන කිව්ව.

"ඇත්තටම?" මංජුගෙ කට ආයෙමත් ඇරුන.  "කොහොමද අයියෙ එහෙම වෙන්නෙ? ඇත්ත කියන්නකො අනේ.."

"හරි හරි ඇත්ත තමයි....කෝකටත් කියල ඔයා පරිස්සම් වෙන්නකො"

මංජුට ඇහැක් ගහල මම පුලුවන් ඉක්මනට එලියට බහින්ට හිතාගෙන ආපහු දොර දිහාට හැරුන.

"වනක්කම්.....වනක්කම්...මෝස්ට් වෙල්කම් ටු අවර් හෝම්........."

ඉස්සරහ දොර පැත්තෙන් එහෙම ඇහුන. මම එතනම පාසානිබූත වුනා.

**********************************

අසංක ප්‍රියමන්තගෙ මම කැමතිම ගීයක් මේ.....ඒකත් අහලම යන්නකො...

කවියක් වී තොල් පෙති මත මුමුණන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න

ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම
තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම
සංසාරෙම සුවඳදේවි බැඳුනාම
සඳ දෙව්දුව යන්න එපා නොකියාම

ඳුළු තාම නෙතු අද්දර නොදැනේද
බිඳුණු දාක මට තරවටු නොමවේද
රිදුම් එපා පෙම්කළ හිත කිසිදාක
ඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑක



43 comments:

  1. අම්මටසිරි.. දැන් හරි හරි වැඩනේ වෙන්නේ බ්ලොග් එකේ. ගානට කතාවක් යනවා කියල කිව්වහම දැනෙන මෙව්වා එක!

    අනේ මන්ද මුන් දෙන උපදෙස් නම්!

    ReplyDelete
    Replies
    1. ලිඛිතා,

      /අම්මටසිරි.. දැන් හරි හරි වැඩනේ වෙන්නේ බ්ලොග් එකේ.../

      ඈ බොල දැං ඒකත් අවුලක්දබොට?

      Delete
  2. හපොයි දෙයියනේ, ක්‍රිෂ් එක්කම අපිත් එහෙමම පාසානිබූත වුණා වගේ. කළින් කොටසත් දැන් තමයි කියෙව්වේ. කතන්දරේ නියමයි අයියෙ. :)

    ReplyDelete
    Replies
    1. Siththami,

      ස්තූතියි සිත්තමී.....:)

      Delete
  3. https://www.reddit.com/r/AskHistorians/comments/1kdknj/when_and_where_did_the_too_much_masturbation/

    ReplyDelete
    Replies
    1. Pra,

      Here is a "jack off" joke....:)


      “Jack and Jill were hired by a big computer corporation. They worked there for about half a year until hard times hit the company.

      The boss was forced to lay people off until it he got to Jack and Jill’s department. Jack was on his coffee break, so the boss told Jill:

      “‘I’m sorry, Jill. But I’m gonna have to lay you or Jack off.’

      “‘Well I’m sorry too,’ replied Jill. ‘You’re gonna have to jack off cause I have a headache!’”

      Delete
  4. ඔහේට පුලුවන්නෙ හරිෂ්ට ඔහෙලගෙ සිටි බැංකුවෙ ෂෙයාස් විකුණල මිනිහව එක රැයින් බංකොළොත් කරල දාන්න.

    මොනව උනත් බ්ලූ බලල ‍මංජුගෙ ටෙලිස්කොප් එක දිගෑරිල වගෙයි. තව මොනව හරි කළානං සෙනසුරුගෙ වළලුවල පාට විතරක් නෙමෙයි ප්ලූටෝ වල ඉන්න කුරුමිට්ටොත් බලාගන්න තිබ්බ. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      /ඔහේට පුලුවන්නෙ හරිෂ්ට ඔහෙලගෙ සිටි බැංකුවෙ ෂෙයාස් විකුණල මිනිහව එක රැයින් බංකොළොත් කරල දාන්න./

      අම්මට වූඩු ඔය තියෙන්නෙ අයිඩියාස්...නියමයි...:)

      Delete
  5. අයියේ රනිල්ව පීකොල් එකෙන් ප්‍රශ්න කොරන්ට යනවලු.
    ඇට දෙකෙන් එල්ලල ගහයිද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      අන්න මල්ලි දැක්කද වෙනස?...

      මෙතන මොකෙං කොහෙ එල්ලයිද කියන එක නෙවෙයි ප්‍රස්නෙ...අර නීල කාස පට්ට හොරාගෙ කාලෙදි නම් ඔහොම දෙයක් ගැන හීනෙකින්වත් හිතන්ට පුලුවන්ද?

      එහෙම තියා දෙනෝ දාහක් ඉදිරිපිට සංචාරකයෙක් මරල දාල තව කාන්තාවක් දූෂණය කරපු මේ යංතං ප්‍රාදේසීය සබා සබාපතියෙක් වෙච්චි නීලකාසයගෙ චක්ගෝලයෙක් අත් අඩංගුවට ගන්නත් බ්‍රිතාන්‍ය තානාපතිට තර්ජනය කරන්න උනා කියනවනෙ එහෙම නොකලොත් සම්බාධක දානවයි කියල..අන්න එහෙමයි රංජනී එදා පුලුකුනාවෙ තත්වෙ...

      ඒ වගෙ තක්කඩියෙක් ආයම බලයට ආවොත් එහෙම රටට මොකිං මොකක් වෙයිද කියල හිතාගන්ට ඉතිං බත් කන මිනිස්සුන්ට නම් යස අගේට පුලුවනි...

      Delete
    2. තැන්කූ අයියෙ ගොඩක් වටිනවා උත්තරේ.
      මේ දවස්වල මගෙ මගේ තීසිස් එක 'පුලුකුනාව එදා සහ අද'
      ලියමින් ඉන්නෙ.

      Delete
  6. ඔය අසංග ප්‍රියමන්තගෙ සින්දුව තිබුණේ "සඳ දෙව්දුව" කියන සීඩී එකේ. ඒක තිබුණා තව හොඳ සිංදු ටිකක්. මතක හැටියට ඕක ලියලා තිබ්බේ චන්න ජයනාත්. ඒ කාලේ උච්ඡාරණය හොඳයි.

    ඒක නෙමෙයි බොලේ... හැපි බර්ත් ඩේ එකක් වේවා හෙවත් විෂ් යූ මෙනි හැපි රිටර්න්ස් ඔෆ් ද ඩේ!...

    ReplyDelete
    Replies
    1. සඳ දිය දෙවුණ සේ සිනහව පිපුණා ම
      නුඹ කොයි තරම් සුවඳ ද මගෙ හිත ගාව

      දෑ කුල සිරිත් සිටි සඳ මඟ අවුරාන
      හමු වී වැළපෙමුද මෙලෙසින් හැමදාම

      නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
      දිලිසෙන්නේ ද පුර පස වී සඳපාන

      ඒ හඳ ඇයි ද දියවක වී මුළු රෑක
      දියවී ගිහින් රැඳුනේ තරු ඇස ගාව

      ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
      සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව

      කඩ ඉම ළඟ ඉඳන්වත් නුඹ හැමදාම
      මට අත වන පන් නලියන නළ සේම........


      ගේය පද - නිලාර් එන් කාසිම්

      හඬ මුසුව - අසංක ප්‍රියමන්ත පීරිස්, මාලනී බුලත්සිංහල

      තනු නිමැවුම - සමන්ත පෙරේරා

      අමරදේවගෙන් බැට්න් එක අතට ගන්න හිටි මනුස්සය...අපරාදෙ නිකං නාස්තිවුනා...දුකයි ඇත්තටම....

      Thanks Thisara!!!

      Delete
    2. කවියක් වී තොල් පෙති මත මුමුනන්න
      හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
      දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න්න
      සඳ සාවී ඔබ හද කුටියට එන්න

      ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම
      තනුවකි ගීයකි මිහිරිය රැඳූනාම
      සංසාරෙම සුවඳදේවි බැඳූනාම
      සඳ දෙව්දුව යන්න එපා නොකියාම

      කඳූළු තාම නෙතු අද්දර නොදැනේද
      බිඳූණු දාක මට තරවටු නොම වේද
      රිදුම් එපා පෙම්කළ හිත කිසිදාක
      ඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑක..

      අන්නේක තමයි සඳ දෙව්දුව සිංදුව.. :) හම්මෝ.. මහා රෑ මහ මුහුදේ අහපු සිංදු..

      Delete
  7. මේ ක්‍රිෂ් ට පිස්සුනෙ රවී අයියෙ මන්ජු එක්ක ඉඳල උදේට බඩ පැලෙන්න කාල යන්නැතුව මගුලෙ යන්න හදනව.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      ඒකනෙ බං...මිනිහ ටිකක් එක විදිහක සෙන්ටිමෙන්ටල් පොර..ඒකයි අවුල...:)

      Delete
  8. අඟනුන්ට බය ඇති...
    රවියන් ඉතා බියගැති...
    මෙයමැ දිගටමැ ලියති...
    රටේ නොයෙකුත් පෙරළි නොමදති...

    සයිටම් වැසීලා...
    තෙල් නැත බයික් පැදලා...
    මෙව්ව නොම දැකලා...
    රවී ලිඛිතට යටත් වීලා...

    හූ.....හූ..හූ.......

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++
      Damith

      Delete
    2. සුරංග,

      "ඉඳපං වැස්ස පායනකල් මම තොපෙ XXXXX XXXXX" කියල අර වඳුර කිව්වයි කියනව වගෙ ඉඳහං වීක් එන්ඩ් එක වෙනකල් අප්පමාදෝ අමර පදං වෙලා තොට රෙදි හැලෙන්ට කයියෙම්ම උත්තරයක් දෙන්ට..හුහ්....බලාගෙන ඉඳහංකො එහෙනං...උඹ දන්නෙ නෑ මයෙ හැටි සුබාව...

      Delete
  9. හැපී බේත්ඩේ බොෂ්.. නිකම්ම යන්නේ නැතුව හරිසගේ හොම්බට දෙකක් ඇනලා ම ගියොත් මොකද? :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කළ්‍යාණ මලේ....

      අනී අනී අනිවා අනී...නෑන ඉන්න එකක් නෑ මයෙ හිතේ...හෙහ්,හෙහ්,

      Delete
  10. රවී මහතා, ඔබට ශුභ උපන්දිනයක් !!!

    // ඒ යෝදි එහෙම කිව්වෙ නිකම්ම එහෙමත් නෙවෙයි. මස් කෑල්ලක් හත් මාසෙකිං දැකල නැති ගානට කුකුල් අණ්ඩක් හපන ගමං......//

    // මස් මාළු අනුබවයෙන් සපුරාම තොරයි. දුම්පානය ම්හු. මත්පැන් නෝ වේ ඇටෝල්. (ඔය ඔක්කොම නොකරන මනුස්සයෙක් අහවල් දේකට ජීවත් වෙනවද කියන එකනම් මට පොඩි කාලෙ ඉඳලම තිබ්බ දැවෙන පස්නයක්) //

    මෙන්න සුපිරි පරිවර්තන......

    අපි වගේ ඇත්තන්ගේ පහන්සුව පිණිස; මගෙන් ඔබට පුංචි ඉල්ලීමක්..... ඔන්න ඔය පහත ලින්ක් එකේ තියෙන අපේම කතාවත් ඉඩක් කඩක් ලැබුණ වහාම නිකමට වගේ පරිවර්තනය කරලා දාන්නකෝ .... මහත්තයෝ..... බොහෝම පින් සිද්ධ වෙන වැඩක්.

    මෙන්න link එක;

    http://www.gutenberg.org/files/14346/14346-h/14346-h.htm#d0e11060

    ReplyDelete
    Replies
    1. Unknown,

      ස්තූතියි බොහොමත්ම..

      ඔය පොතේ අපූරු සිංහල පරිවර්තනයක් තියනවනෙ එදා හෙළ දිව කියල...පරිවර්තනය ඩේවිඩ් කරුණාරත්න මහත්මයා..

      PS - ඔබ හුදෙක් විහිලුවක් පමණක් නම් කලේ මේ පිලිතුර නොසලකා හරිනු මැන :)

      Delete
    2. පළමුව ඔබගේ බ්ලොග් අඩවියේ සම කතෘ රන්දිකා රණවීර ප්‍රනාන්දු මහත්මීයගේ මවගේ හදිසි අභාවය පිළිබඳව මාගේ සංවේගය!

      අනේ නැහැ මම විහිළුවකට එහෙම නොවේ එම ඉල්ලීම කලේ. මම "එදා හෙළදිව" කියවලා තියෙනවා. එත් රවී මහත්තයාගේ අපුරු පරිවර්තන ආරට ඒ අපේම අතීත කතාවත් නැවත කියවන්න ආසා හිතුන නිසයි එම ඉල්ලීම කලේ.

      මම හිතනවා ඔබට එයද පරිවර්තනය කරන්න සිතුනොත් මා මෙන්ම සියලු දෙනාම බොහෝම ආශාවෙන් එය කියවාවි කියා.

      ඒ වගේම බොහෝම රසවත් (ඇත-මෑත) අතීත තොරතුරු කට්ටියගේ ප්‍රතිචාර තුලින් අසා දැනගැනීමට ලැබේවි කියා.

      Delete
  11. //ඇමරිකාවෙ සිලිකන් වැලීවල ඉහළම ගණයෙ අයි.ටී. කම්පනි එහෙක. ඒකෙ නම සිස්කෝ සිස්ටම්ස්. හරිෂ් මස් මාළු අනුබවයෙන් සපුරාම තොරයි. දුම්පානය ම්හු. මත්පැන් නෝ වේ ඇටෝල්. // මොකට සිස්කෝ එකේ වැඩට ගියා ද මන්ද

    ReplyDelete
    Replies
    1. අජිත්,

      ඇයි බොලේ සිස්කෝ එක අවුල්ද?

      Delete
    2. නැහැ බන් බොන්නෙත් නැතුව මස් මාළු කන්නෙත් නැතිව. උන් සිකුරාදා හවස ට කොම්පැනිය ගානේ බොන්න දෙනවා නේද?

      Delete
    3. අජිත්,

      අහ්..අජිත් කිව්වෙ හරිස් ගොයිය මස් මාලු නොකෑම සම්බන්ධව කියල මට මීටර් උනේ නෑනෙ...:)

      Delete
  12. මේක හරියට චේතන් භගත්ගේ නවල් එකක් වගේ
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මේක චේතන් භගත්ගේ නවල් එකක් තමයි සොයුරී. :D

      Delete
    2. විචාරක දියණිය,

      ඔය බගටා හෙණ හොරා..මම අවුරුදු ගානකට ඉස්සෙල්ල මේ කතාවෙ සිනොප්සිස් එකක් දැම්මනෙ. බගටා ඕක කියවල තමයි මේ කතන්දරේ ලියල තියෙන්නෙ...:)

      Delete
    3. විචාරක දියණිය,

      අනේ නෝනේ සමාවෙන්න ඕන..මම හිතුවෙ ඔබතුමිය විහිලුවට කියපු දෙයක්ය කියල...:)

      Delete
  13. මං ඊයෙ මේකෙ දැම්ම කොමෙන්ටුව කෝ එතකොට... ඒක පබිලිස් වෙලා නැද්ද කොහෙද...
    දැන් ඉතින් ඊයෙ කියපුවා ලියපුවා මතක නෑ...


    ReplyDelete
    Replies
    1. නිර්මාණි,

      අනේ මන්ද උඹල දෙන්න එක එකාගෙ ප්‍රොපයිල් වලිං සමෝසමේ කමෙන්ට් දාල දවසක මහ විනාසයක් කර ගන්නව..නොකිව්වයි කියන්න එපා ඔන්න..

      ආය හෝදන්ට දෙයක් නෑ අර උඩ කසුනගෙ ප්‍රොපයිල් එකෙං කමෙන්ට් එක දාන්ට ඇත්තෙ උඹ වෙන්ටැති. දැං ඒක මතක නෑ..මෙතන ඇවිල්ල නාහෙං අඬනව කෝ මගේ කමෙන්ට් එක කියල...පල යන්ට යන දිහාක අපිට කරදර නොකර...

      Delete
  14. මෙහෙම එකක් ෆිල්ම් එකේ තිබුණෙ නැහැනෙ?

    කොහොමත් ඉතින් ඒකත් සාදාරණයි.

    ෆිල්ම් එක = [ඔරිජිනල් පොත] - [සංස්කරණය]
    බ්ලොග් එක = [ඔරිජිනල් පොත] + [අනුවාදය හෙවත් රවී තුමාගේ පඳුරු තැලිලි සහ මඩ]

    //ඉතිං මේ දමිළ, බ්‍රාහ්මණ වංශික සහ අයියර්......මේ Criteria තුනෙන් ඕන එකක් සුට්ටක් හරි අස්පට් උනොත් යෝජිත මනමාලයෙක් නුසුදුස්සෙක් වෙන්ට පුලුවනි//

    ඇත්තටම මෙන්න මේක, හරිම පුදුමයි. දැන් අපේ ලංකාවෙත් ඔය නොයෙක් බෙදීම් තියනවනෙ. පැරණි බෙදීම් මදිවට දැන් ෆේස්බුක් එකේ ජනතාව පළාත් වශයෙනුත් බෙදිල නෙ. ඒත් අපි නිකමට හිතමු, අපි ඉන්න තැනකට අප්‍රිකානු කළු මනුස්සයෙක් එනව. ඒ රටේ ඉන්නෙ ජීවන තත්වය බොහොම අඩු, දුප්පත් මිනිස්සු. වංචාව දූෂණයත් පිරිල. ජන වාර්ගික ගැටුම් වලටත් ප්‍රසිද්ධයි. ඒ මනුස්සය ඇවිත් අපට කිවුවොත්, "මම අයිති වෙන්නෙ ඒ රටේ තියන ඉහලම කුලේට" කියල, අපිට ගානක් වත් තියනවද පින්වතුනි? නෑ. ඌ කොච්චර ලොකුකම කිවුවත් අර කාබේරියා කියලම තමයි ඌව අපට මතක.

    මේ කුල කතා තාම අපි අතර තියනව, කොටින්ම මගුලක් හොයද්දී උනත් මුලින්ම බලනව මේක. කොච්චර තේරුම් කලත් වැඩකුත් නෑ. අපෙන් පසු පරම්පරාව වත්, වෙනස් විදියට හදා වඩන්න ඕනි.

    ජපානේදී මුණගැහුණු මගේ දකුණු අප්‍රිකානු මිතුරියක් ඉන්නව. ඇය දකුණු අප්‍රිකානු උනත් දුඹුරු පාටයි, අපි වගේ. බැලුවම ඇගේ එක් පාර්ශවයක ආච්චිත් සීයත්, ඉන්දියාවේ සිට දකුණු අප්‍රිකාවට ගිහින් පදිංචි වෙලා තියනව. ආච්චි හා සීය ගෙන් එක්කෙනෙක් ටැමිල් ලු, අනිත් කෙනා මේ වගේම පන්ජාබි ලු. ඉතින් ඒ මිනිස්සුන්ට ඉන්දියාවේ ඉන්න බැරි තරම් ප්‍රශ්න ඇති වෙලා. මගේ මිතුරියගේ පරම්පරා කිහිපයක් ම දකුණු අප්‍රිකානු නිසා, ඇය නම් පෙනුමින් විතරයි ඉන්දියන්. ඉන්දියාවට ගිහින් වත් නෑ, භාෂාවත් බෑ.

    ReplyDelete
    Replies
    1. මානවික්ස්,

      බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පැවතුනු කාලෙ බ්‍රිතාන්‍ය යටත් විජිත අතර ඔය වගෙ යම් යම් කර්මාන්තවලට නිපුණතාවයක් ඇති ඒ වගේම උගත් වෘත්තිකයින් හුවමාරුවක් වෙලා තියනව.ඒක ඒ කාලෙ සාමාන්‍ය සිද්ධියක්.

      උදාහරණයක් විදිහට ඔය ඉන්දියානුවන් විශාල වශයෙන් දකුණු අප්‍රිකාවට සංක්‍රමණය වීම. මහත්මා ගාන්ධිත් එංගලන්තෙ ගිහිල්ල බැරිස්ටර් විභාගෙ පාස්වෙලා ඇවිල්ල බොහොම සුළු කාලයක් ඉන්දියාවෙ සේවය කරල ඊට පස්සෙ ගිහිල්ල තියනව දකුනු අප්‍රිකාවට නීතිඥයෙක් විදිහට වැඩ කරන්ට.(ඒ කාලෙ නම මහත්මා ගාන්ධි නෙවෙයි මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි)

      එහෙ ඒකාලෙ වර්ණභේද වාදය තදින්ම ක්‍රියාත්මක වුනානෙ. දවසක් කෝච්චියක සුද්දන්ට වෙන්කරපු මැදිරියක ගාන්ධි නැඟල ඉන්නකොට මේ පාදඩ රස්තියාදුකාර සුද්දෙක් ගාන්ධිව ඇදල එලියට දාල.ඒ වෙලාවෙ තමයිලු ගාන්ධි අධිෂ්ඨාන කරගත්තයි කියන්නෙ සුද්දොන්ගෙ ඔය මානය බිඳල උංගෙ අධිරාජ්‍යය නැතිකරල දාන තුරු සටන් කරනවයි කියල.

      හරි ආයම අර වෘත්තිකයින් හුවමාරුවට ආවොත් අටසිය අසූ ගනං අනූ ගණංවල සිංගප්පූරුවට ලාංකිකයො බොහොම දෙනෙක් ගිහිල්ල තියනව. විශේෂයෙන් දකුණෙ මිනිස්සු ව්‍යාපාරිකයො හැටියට.

      මම කොහෙ හරි කියෙව්ව මතකයි පණස් ගණං වගෙ වෙනකල්ම සිංගප්පූරුවෙ විශාලම ස්වර්ණාභරණ සහ මැණික් වෙළඳ ව්‍යාපාරය අයිතිවෙලා තිබුනෙ කාලෙකට ඉස්සෙල්ල ගාල්ලෙන් ගිහිල්ල එහෙ පදිංචි වුනු බී.පී. ද සිල්වා කියන ව්‍යාපාරිකයගෙ දූ දරු මුණුපුරන්ටයි කියල.

      ඒ වගේම නමසිය විසිගණංවල මලයාවට (මලයාසියාවට ඒ කාලෙ කිව්වෙ මලයාව කියලා එහෙ සිවිල් සේවය පිහිටුවන්ට ලංකාවෙන් පලපුරුදු සිවිල් සේවකයො එක්කගෙන ගියාලු සුද්දො.

      එතකොට දකුණු අප්‍රිකාවෙ විතරක් නෙවෙයි උගන්ඩාවෙ, කෙන්යාවෙ සැම්බියාවෙ සහ ටැන්සානියාවෙත් සැළකියයුතු ඉන්දීය සම්භවයෙන් යුතු ජනතාවක් ඉන්නව.උගන්ඩාවෙ හිටපු ඉන්දියානුවන් නම් මට මතකයි 76 වගෙ ඒ කාලෙ හිටපු උගන්ඩා ජනාධිපති ඉඩි අමින් පැය 24 ඇතුලත රටෙන් පිටුවහල් කලා.

      බටහිර ඉන්දීය දූපත් වලත් සෑහෙන ඉන්දියානු අය ඉන්නව.ක්‍රිකට් ටීම් එකේ නම් වලින් ඒක හිතා ගත්තෑකි. ශිව්නරීන් චන්ද්‍රපෝල්, සුනිල් නරේන්, නගමූටූ,

      Delete
  15. මේ කතාව දැකල මතක් වුනේ. අපි රුසියාවේ ඉගෙන ගත් පළමු අවුරුද්දේ අපේ කාන්ඩේ හිටිය ඉන්දියන් කාරයෝ ටිකකුත්, බිහාර් , තමිල්නාඩු වගේ පැති වලින්. එක කෙල්ලෙක් හිටිය එයා අර උතුරු ඉන්දියානු ගෑනු (ඉන්දිරා ගාන්දි වගේ ) හම සුදුයි සුදුමැලි පාටටම. හැබැයි තමිල්නාඩු. වෙනස පේන්නේ අනිත් එවුන් එක්ක හිටියම. උන් ඔක්කොම අපි වගේ කළුයි. මේ කෙල්ල අපේ කාමරේට ඇවිත් කයිය ගහන් ඉඳල නිදා ගන්න විතරක් එයාගේ කාමරේට යනවා. අනිත් ඉන්දියන් උන් එක්ක කතා නැහැ. අනික වෙජිටේරියන්. අර හෙන හීතලේ සෙරෙප්පු නැතිව ඇවිදින්නේ කොරිඩෝර් එකේ. කතා කරන්නේ හෙන හිමින්, බිම බලාගෙන වගේ. පස්සේ මෙයා අපේ කෙල්ලෙකුට කියල තියනවා එයා බ්‍රාහ්මින් කුලයේ, අනිත් එවුන් එක්ක එකට ඉන්න බැහැ කියල. මුලදී මේ කෙල්ල හෙන වලි අදිනවලු අනිත් කෙල්ලෝ දෙන්න මෙයාට ට කලින් ඇඳට නැග්ගොත් නිදා ගන්න. අපේ එවුන් මේකිව සෑහෙන්න බයිට් කලා මේ අදහස් තියන් රුසියාවට ආවේ කොහොමද අරවද මේවද කියල. පව් කියලත් හිතෙනවා උන්ව හදල තියන විධිහ තමයි ඉන්දියාවේ. හැබැයි අපි හරක් මස් කනවා කියල දැනගත්තට පස්සේ ආවේ නැහැ. මාස තුනකට විතර පස්සේ කෝස් එකත් දාල ගියා යන්න.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      කොහොමත් ඔය කුල භේදය වගෙ එව්ව තදින්ම හිතට කාවැදුනව පිටරටකට ගියත් එව්වයින් මිදෙන්න අමාරුයි. අමාරුයි නෙවෙයි ඇත්තටම කිව්වොත් බැහැම තමයි.

      ආචීර්ණගත ආකල්ප කියන එව්ව මිනිස්සුන්ට ඇටුවම් බහිනව බොහොම ඉක්මනට.

      ආතර් සී.ක්ලාක්ගෙ රාමා සීරීස් එකේ තුන්වෙනි පොතේද කොහෙද කියවෙනව පෘථිවිය විනාශ වෙන්ට යනකොට ඉතාම දියුණු පිටසක්වල ජීවීන් කණ්ඩායමක් මිනිසුන් අතරින් තෝරාගත් නියැදියක් අරගෙන ගිහිල්ල එයාල නිර්මාණය කරපු කෘත්‍රිම ලෝකයක පදිංචි කරනව.

      ඒ මිනිස්සු බබාල වගෙ බොහොම ධාර්මිකව ආචාරශීලීව විනයගරුකව ඉන්නෙ බොහොම ටික කාලයයි. ආයම පටන් ගන්නව මරා ගැනිලි බෙලි කපාගැනිලි පිටිපස්සෙං ඉඳල පිහියෙං ඇනිලි ඔය වගෙ සුපුරුදු දුෂ්චරිත ඔක්කොම...

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...