Friday, March 30, 2018

573. අනුර ගැන මගේ මතක - Reminiscing about AB…..

සුනේත්‍රා, චන්ද්‍රිකා, අනුර සහ සිරිමා මැතිණිය....

මේ දවස්වල මෙහෙ ශීත සෘතුව කෙමෙන් අහවර වෙමින් ග්‍රීෂ්ම සෘතුව ලබමින් යනව. ඔය සංක්‍රාන්ති සමයෙදි වැහි ඇල්ලක් දෙකක් වගෙ අනිවාර්යයි. එක පාරට සීතලේ ගැහි ගැහි ඉඳල රස්නෙ වැඩිවෙනකොට බොහොම දෙනෙකුට අසනීප හැදෙනව. මහ දරුණු එව්ව එහෙම නෙවෙයි. කැස්ස, හෙම්බිරිස්සාව, උණ, සෙම් කෝප වීම වගෙ එව්ව. මටත් පහුගිය සතියෙම වගෙ ප්‍රබල කැස්සක් තිබ්බ.

මුලිම්ම සුපුරුදු ලෙස මියුකොසොල්වන් බෝතල් දෙකක් බීල බැලුව. ම්හු...හරියන්නෙම නෑ. ඒ පාර ගියා දොස්තර නෝනෙක් ගාවට.එතුමී ඇවිල්ල හිට පිලිපීන්. 

මගෙ පපුවෙන් එන රූං රූං සද්දෙ අහල දොස්තර නෝනා නියම කලා එක්ස්-රේ එකක්. ඒ අරගත්තු එක්ස්-රේ එක අර වෙසක් එකට අපි පොඩි කාලෙ හදපු එළිය පෙට්ටියක් වගෙ එකකට හයි කරල පිටිපස්සෙන් ලයිට් එකක් දාල බලල ඒ නෝනා කියාපි මයෙ දකුණු පෙණහැල්ලෙ සෑහෙන්ට පැතිරිලා ගිය ඉන්ෆෙක්ෂන් එකක් තියනවයි කියල. 

ඒ පාර ඒ නෝනා බොහොම සැර ප්‍රතිජීවක කරල් වගේකුයි බොන බෙහෙතකුයි, ඉන්හේලර් එකකුයි නියම කරල ඊට වැඩිමනත් වසයෙන් මට උපදෙස් දීපි බොහොම පරිස්සම් වෙන්ටෙයි කියාල.

ඉතිං ඒ කියාපු විදිහටම දැන් සතියක් වගෙ තිස්සෙ බොහොම පරිස්සමින් තමයි ඉන්නෙ. මොකද Severe Lung Infection කියන්නෙ සෙල්ලමක් නෙවෙයි. ඒ හින්දම වැඩ ඇරිල ඇවිල්ල කාල එහෙම කලින්ම නිදියනව. අනික රෑ කැස්ස ගතිය කොහොමත් වැඩියි.

ඉතිං මම මේ කරුණු කාරණා සියල්ල කිව්වෙ සෑහෙන දවසකින් මොකක්වත් ලියන්ට බැරිවුනේ මොකදැයි කියල ඔබ තමුන්නාන්සෙලාට පහදල දෙන්ට. අනන්‍යාගෙ කතාවෙ ඊලඟ කොටසත් බාගෙට ලියල තියෙන්නෙ. ඊට අමතරව අසනීප වෙද්දි අනුර හාමු ගැන පොඩි සටහනක් වගෙ එකක් බාගෙට ලියලයි තිබ්බෙත්. 

දැන්නම් ඇත්තටම අනුර ගැන කියන්න කල්පහු වෙලා සෑහෙන්න. ඒත් මම හිතුව මෙහෙම දෙයක් කලානම් හොඳයි නේද කියල. කොහොමත් අනුර ගැන අපිට ආයම කතා කරන්න වෙන එකක් නෑ. ඒත් අනුර කියන්නෙ කතා කලයුතුම චරිතයක්. ඒ හින්ද අනුර ගැන කලින් ලියල තිබ්බ අසම්පූර්ණ සටහන සම්පූර්ණ කරලම අනන්‍යා ගැන ලියන්නම්ය කියලයි මම මේ කල්පනා කලේ. මොකෝ කියන්නෙ? එහෙම හොඳයි නෙවද?

අනුර බණ්ඩාරනායක කියන්නෙ ඇත්ත වශයෙන්ම දේශපාලන විචාරකයින් අතර කතාබහට ලක්වියයුතු චරිතයක්. ඒත් ඔහුගේ අවාසනාව වගේම රටේ අවාසනාව වෙන්නත් පුලුවන් අනුර නොහොත් A.B. මියගිහිල්ල දසවන සංවත්සරය ගෙවිල ගියාවුනත් පත්තරේක ඒ ගැන ලිපියක් තබා යම්තමට සඳහනක් වත් තිබ්බයි කියල මම නම් දැක්කෙ නැහැ. එහෙම වෙච්චි එකට අනුරත් සෑහෙන ප්‍රමානයකින් වගකියන්න ඕනයි කියලයි මගේ හැඟීම.

අනුර අපේ රටේ විතරක් නෙවෙයි මුලු ලෝකෙම ගත්තත් ඉතාම අවාසනාවන්ත දේශපාලනඥයෙක් කියල එක හෙලාම කියන්න පුලුවන්. වංශගත දේශපාලනය නොහොත් Dynastic Politics ඇටුවම් බැහැපු දකුණු ආසියාවෙ අනුර වගෙ කෙනෙකුට රටේ නායකත්වයට එන්ට ලැබුනෙ නෑ කියන්නෙ එක අතකට විශ්වාස කරන්ටත් බැරිතරම් විශ්මයජනක කාරණයක්. තාත්තා රටේ අගමැති. අම්ම රටේ අගමැති. අක්ක රටේ ජනාධිපති. ඒත් අනුරට සිද්ද වුනේ කථානායක කමෙන් සෑහීමට පත්වෙන්ට. පාරුවේ පුවක් එතකොට පූරුවේ පවක් කියන්නෙ ඔන්න ඔය වගෙ එව්වට තමයි.

හරියට ඔලුව පාවිච්චි කරල වැඩ කලානම් 94 ජනාධිපති වෙන්න තිබ්බෙ චන්ද්‍රිකා නෙවෙයි අනුර. ඒත් ඊට අවුරුද්දකට කලින් එජාප පරාජය පෙනි පෙනී අනුර එජාපයට ගියා. ගියා නෙවෙයි යන තැනට වැඩ සිද්ද කලා. හෙහ්..හෙහ්..කවුද එහෙම කලේ කියල ඇහුව? වෙන කවුද ඉතිං? "ලොක්කා කිසිදේකට බයවෙන්ට එපා..කවදකහරි ලොක්කා මේ රටේ නම්බර් වන් කරලයි මම පස්ස බලන්නෙ. ලොක්ක එක මම දෙක.." අන්න එහෙමලු ඔය මනුස්සය අනුරව මුරුංග අත්තෙ තිබ්බයි කියන්නෙ. ඒ කරල යටින් ගේම දුන්න.

අනික් කාරණේ....අනුර බොහොම තදට සායිබබා ඇදහුවයි කියල කියනව. සායි බබා අනුරට කිව්වලු බය වෙන්ට එපා කවදක හරි ඔබ ඔබේ රටේ නායකය වෙනවයි කියල. ඒ හින්ද අනුර බලා හිටියයි කියනව නායකත්වය ඔඩොක්කුවට වැටෙනකල්. අන්තිමට කෙල වෙනකල්ම දන්නෙ නෑ. සායි බබා වගෙ ලෝක හොරු අදහන මිනිස්සුන්ට ආය ඔහොම නූනොත් තමයි එක අතකට පුදුම වෙන්ට ඕන. හෙහ්,හෙහ්.

1970 අවුරුද්දෙ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයකුත් එක්ක සමගි පෙරමුණ බලයට පත්වෙලා සිරිමා මැතිණි අගමැතිණි වෙනකොට අනුරට යන්තම් 21 යි වයස. 

වැඩි කාලයක් යන්ට ඉස්සෙල්ල සමගි පෙරමුණු ආණ්ඩුවෙ ජනප්‍රියතාවය සීග්‍රයෙන් පල්ලම් බහිනකොට ආණ්ඩුවට විරුද්ධව ප්‍රවෘත්ති පලවීම මොන දහං ගැටේ ගහල හරි වලක්වගන්ට ආණ්ඩුවට ඕනවුනා. 

ඒ කාලෙ රූපවාහිනී තිබුනෙ නැහැනෙ. ගුවන් විදුලිය කොහොමත් ආණ්ඩුව යටතෙනෙ තිබ්බෙ. ආණ්ඩුවෙ වැඩ කටයුතු ගැන ඉතාම සුන්දර චිත්‍රයක් මවල මහජනය ඉස්සරහ පෙන්නන එක ගුවන් විදුලියෙන් යස අගේට කෙරුනා. එකම අවුල තිබ්බෙ පත්තර. 

ඒ හින්ද ආණ්ඩුව කලේ ලේක් හවුස්, ටයිම්ස් සහ දවස යන පුවත්පත් සමාගම් තුනම ආණ්ඩුවට පවරාගන්න එක. සමාවෙන්න ලේක් හවුස් සහ ටයිම්ස් රජයට පවරාගත්ත. දවස නිවසට සීල් තිබ්බ. මට මතක විදිහට හදිසි නීතිය යටතෙයි එහෙම කලේ. ඒ හින්දයි 1977 පාර්ලිමේන්තු මැතිවරණය තියන්න ඉස්සෙල්ල මාර්තු මාසෙ විතර හදිසි නීතිය ඉවත් කලාම දවස ආයතනය සීල් තැබිල්ලත් ඉබේටම අවලංගුවුනේ.

රජයට පවරාගත් ටයිම්ස් සමාගමෙන් පලවුනේ ලංකාදීප සහ ඩේලි මිරර් යන පත්තර දෙක. ටයිම්ස් ආයතනයේ නිල නොලත් නිසි බලධාරියා විදිහට කටයුතු කලේ අනුර කියල තමයි ඒ දවස්වල හැමෝම කිව්වෙ. ඒ වෙනකොට අනුර ඔක්ස්ෆර්ඩ් ගිහිල්ල ඇවිල්ලද කොහෙද...

ඔයවෙනකොට අනුරගෙ අම්මගෙ ආණ්ඩුව පොදුජනයා අතර බොහොම අප්‍රසාදයට පත්වෙලයි තිබ්බෙ. රට දියුණු කරන්ට නම් විදේස විනිමය ඉතිරි කරන්ට ඕන කියල ආණ්ඩුව කලේ පිටරටින් බඩු ආනයනය කරන එක සම්පූර්ණයෙන්ම නවත්තල දාපු එක. ඇපල් ගෙඩියක් මිදි ගෙඩියක් සැමන් ටින් එකක් මම දැක්කෙ මට අවුරුදු දාහතරක්වගෙ උනාට පස්සෙදියි.

මැතිණිගෙ ආණ්ඩුවෙ ප්‍රතිපත්ති සමහරවිට රට සංවර්ධනය කරන ඉලක්කය එක්ක බැලුවම හරි වෙන්න පුලුවන්. ඒත් සාමාන්‍ය මිනිස්සු බොහොම දුකසේ ජීවත් වෙද්දි ඇමතිවරු එහෙම සුර සැප විඳිනවයි කියල රට පුරාම ආණ්ඩුව කෙරෙහි ලොකු අප්‍රසාදයක් ඇතිවෙලා තිබ්බ. විශේෂයෙන්ම ප්‍රබල ඇමතිවරයෙක් වුන ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ගැන මිනිස්සු පුදුම තරහකින් හිටියෙ. 

ඒ කාලෙ මන්ත්‍රීවරු පත්වුනේ කොට්ඨාස ක්‍රමයට. ෆීලික්ස්ට මිනිස්සු උපහාසයට කිව්වෙ පෑලිස් කියල. පෑලිස්ගෙ සීට් එක නොහොත් ආසනය ඇවිල්ල දොම්පෙ. ෆීලික්ස්ගෙ මහ විසාල කුකුල් ෆාම් එකක් තිබ්බ නයිවල.

මිනිස්සුන්ට කන්න නැතුව ඉද්දි ඔය ෆාම් එකේ කුකුලන්ට ලක්ස්ප්‍රේ පිටිකිරි දෙනවයි කියල රට පුරා ආන්දෝලනයක් තිබ්බ. බොහෝවිට යූඇන්පියෙ බොරු ප්‍රචාර වෙන්නත් පුලුවන්. ඒ කොහොම හරි ඔය ආදී කතා හින්ද මිනිස්සුන්ට ආණ්ඩුව එපාම වෙලා තිබ්බෙ. 

අනුරට යූඇන්පී එකෙන් දාල තිබ්බ අපහාසාත්මක වනම අත්තනගල්ලේ නූගත් රදළයා. ආ..තව එකක්..ඒ කාලෙ ගුවන් විදුලියෙන් "කාගෙද ගොන් වස්සා?" ගීතය ප්‍රචාරය කිරීම තහනම් කරලයි තිබ්බෙ කියලත් කියනව. ඒකටත් අපේ අනුර හාමු සම්බන්දලු.

ඔය කාලෙ ලංකාවෙ අංක එකේ ව්‍යාපාරිකයා එස්.ඩී. ගුණදාස නොහොත් දාස මුදලාලි. රාජ්‍ය අනුග්‍රහයෙන් මනුස්සයගෙ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු වුනා. ඩියුරෝ ෂර්ට්ස් දාස මුදලාලිගෙ නිෂ්පාදනයක්. කැළණියෙ විශ්ව විද්‍යාල මණ්ඩපය ඉස්සරහ එතකොට බොරැල්ල හන්දියෙ සහ කොල්ලුපිටියෙ තිබ්බ එයාගෙ දාස වෙළඳ මධ්‍යස්ථාන. ඔය දාස මුදලාලිගෙ දුවක් අනුර බඳිනව කියල ඒ කාලෙ රටපුරා හාහෝවක් පැතිරුනා. ඒත් එහෙම උනේ නෑ.

කැළණිය විශ්ව විද්‍යාල මණ්ඩපය කියල මම කිව්වෙ ඒ කාලෙ ලංකාවටම තිබ්බෙ එකම විශ්ව විද්‍යාලයයි. ඒ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය. කැළණිය ජපුර පේරාදෙණිය එහෙම ඒ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙ මණ්ඩප නොහොත් කැම්පස්. කැළණිය ජපුරත් නෙවෙයි ඒ මණ්ඩපවල නම්. විද්‍යාලංකාර මණ්ඩපය සහ විද්‍යෝදය මණ්ඩපය. එතකොට තව තිබ්බ කොළඹ මණ්ඩපය, පේරාදෙණිය මණ්ඩපය, යාපනය මණ්ඩපය. 

කැම්පස් එකේ ප්‍රධානියා හැඳින්වුනේ මණ්ඩපාධිපති කියල. කෙටියෙන් මණ්ඩපයා.76 අවුරුද්දෙ වගෙ පේරාදෙණිය මණ්ඩපයෙ මණ්ඩපාධිපති වෙලා හිටියෙ මහාචාර්ය විතානගේ. පේරාදෙණිය මණ්ඩපයෙදි ඇතිවෙච්චි ගැටුමකින් මියගිය වීරසූරිය නම් ශිෂ්‍යයා අනුස්මරණය කරල "මණ්ඩපයා අපට එපා. වීරසූරියට සාධාරණය ඉටු කරනු. මණ්ඩපයා පන්නමු " කියල අපිත් අපේ ඉස්කොලෙ ඉස්සරහ තිබ්බ ගල් බිත්තියෙ පෝස්ටර් ඇලෙව්ව.

ඒ අඩුමගානෙ පෝස්ටර්වල ලියල තියෙන්නෙ මොනවද කියල අඳෝ සංසාරයක්වත් දැනගෙන එහෙම නෙවෙයි. කවුද අයියල වගයක් අපිට ඒ පෝස්ටර් ගෙනත් දුන්න අලවපල්ල කියල අපි ඇලෙව්ව. එච්චරයි. ඒත් එක දවසයි එහෙම කලේ. ප්‍රින්සිපල්ට වැඩේ අහුවෙලා මුලු පන්තියටම දුන්න වේවැල් කසාය මදි නොකියන්ට.

ඔය මහාචාර්ය විතානගේ ඇවිල්ල භූ විද්‍යාඥයෙක්. වික්ටෝරියා වේල්ල හදල තියන තැන පොළව අභ්‍යන්තරයෙ විශාල විභේදනයක් තියනවයි කියල එතුමා ඒ දවස්වල කිව්ව. 

පස්සෙ විශ්ව විද්‍යාල සේවයෙන් විශ්‍රාම ගිහිල්ල ඒ මහත්තය ඔය දළඳා මාළිගාවට එහා තල්වත්ත හරියෙ පදිංචි වෙලා හිටිය. 1998 අවුරුද්දෙ දළඳා මාලිගාවට කොටි බෝම්බ ගහපු සද්දෙ නුවර අවට බොහෝ පළාත්වලට ඇහුනනෙ. එදා මම හිටියෙ පිළිමතලාවෙ අපේ මහ ගෙදර. යන්තමට සද්දයක් එක්ක අපේ සාලෙ ජනේලවල වීදුරු හෙලවෙනව මට මතකයි. පස්සෙයි දැනගත්තෙ ඒ දළඳා මාළිගාවට කොටි බෝම්බ ගහපු එකය කියල.

ඉතිං අපේ මහාචාර්ය තුමා ඒ සද්දෙ ඇහිල ගෙදර හිටපු කාගෙන්ද අහල තියනව "ඒ මොකක්ද සද්දෙ?" කියල. පස්සෙ ගෙදර කට්ටිය ආරංචි කරල බැලුවම සීන් එක දැනගෙන. අනේ ගෙදර කට්ටිය එතුමාට විස්තරේ කියල තියෙන්නෙ කොටි බෝම්බ ගහල දළඳා මාලිගාවෙ ගන්ඩ දෙයක් නෑ ඔක්කොම සුන්නද්දූලි වෙලයි කියල. ඒක අහල ඒ මහත්තය එතනම පපුව අල්ලගෙන වාඩි වුනාලු . එච්චරම තමයි.

77 අවුරුද්දෙ ඡන්දෙ ලංකරල යූඇන්පී එකෙන් පොතක් ගැහුව "හත්වසක ශාපය" කියල. 70-77 කාලෙ ආණ්ඩු කරපු සමගි පෙරමුණු ආණ්ඩුවෙ මජර වැඩ උපහාසාත්මකව සහ අපහාසාත්මකව බොහොම අපූරුවට ඒකෙ ඉදිරිපත් කරල තිබ්බ. අර ඒ කාලෙ චිත්‍රකතා තිබ්බෙ. ලන්දේසි හටන, බිලි පූජාව, සඳ කුමරි එහෙම කියල. අන්න ඒ මොඩල් එකට ගහල තිබ්බ ඒ හත්වසක ශාපය පොතේ මට මතක විදිහට පිටු 20 වගෙ තිබ්බ. 

සිරිමා මැතිණිගෙ නෑදෑ හිතවත්තු ඔක්කොම රජයේ තනතුරුවලට පත් වෙලා සුර සැප විඳින අන්දම තමයි ඒ පොතෙන් පෙන්නුවෙ. මුල පිටුවෙම තිබ්බ බණ්ඩාරණායක පවුල් ගස කියල මැතිණිගෙ නෑදෑයො පරපුර අතුපතර විහිදුනු මහ ගහක් වගේ ලංකාවෙ සාරය උරාබීගෙන වර්ධනය වෙලා ඉන්න විදිහ දැක්වෙන රූප සටහනක්.

ඔය හත්වසක ශාපය පොත බොහොම රහසිගතව තමයි කියවන්ට වුනේ. අපේ පන්තියෙ හිටිය ඒ චන්දෙදි මීරිගමට යූඇන්පී එකෙන් ඉදිරිපත්වෙච්චි අපේක්සකයගෙ පුතා. මනුස්සය පංතියට ගෙනල්ල මම ඔය පොතක් හොර රහසෙ මගෙ ට්‍රැවලිං බෑග් එකේ අඩියටම දාගෙන ගෙදර අරංගියා. අප්පච්චි බය වෙච්චි පාර ඒ පොත වහාම අපෙ ගෙදර පරන ලට්ට ලොට්ට දාල තිබ්බ ඉස්ටෝරු කාමරේ හැංගුවා. අප්පච්චි කච්චේරියෙ වැඩ කරපු හින්ද බය වෙන්ට ඇති ආණ්ඩුව පස්පඩංගුවෙ විවේචනය කරන ඒ වගෙ පොතක් ගේ ඇතුලෙ එලි පෙහෙලියෙ තියාගන්ට.

77 චන්දෙන් සිරිමගෙ ආණ්ඩුව පජාත විදිහට පැරදුන. මන්ත්‍රීන් 168 ඉන්න ජාතික රාජ්‍ය සභාවෙ සමගි පෙරමුණෙන් ජයග්‍රහණය කලේ මන්ත්‍රීන් 8 දෙනෙක් විතරයි. අනුර කොහොමහරි මන්ත්‍රී කෙනෙක් වෙන්ට හිතාගෙන නුවර එළිය-මස්කෙළිය බහු ආසනයෙන් (මන්ත්‍රීල තුන්දෙනෙක් පත්වුනා ඒ ආසනයෙන්) ඉල්ලල තුන්වෙනි ස්ථානයට ආව. ගාමිණී දිසානායක එක. තොන්ඩමන් දෙක. තොන්ඩමන්ය කිවෙ දැං ඔය ඉන්න හාල්පාරුවා නෙවෙයි. මිනිහගෙ සීයා. සෞම්‍යමූර්ති තොන්ඩමන්.

මන්ත්‍රීල තුන්දෙනෙක් පත්වුනු තව ආසනයක් තිබ්බ. ඒ ඇවිල්ල මැද කොළඹ. පළවෙනි මන්ත්‍රී ආර්. ප්‍රේමදාස. දෙවෙනි මන්ත්‍රී ජබීර්. ඒ. කාදර්. (කොල්ලුපිටියෙ ලිබර්ටි ෆිල්ම් හෝල් එක එහෙම අයිතිවෙලා තිබ්බෙ ඔය ජබීර් ඒ. කාදර්ට) තුන්වන මන්ත්‍රී සමගි පෙරමුණෙන් පත්වෙච්චි හලීම් ඉෂාක්.

ශ්‍රී ලංකාණ්ඩුවට පක්ෂපාතවෙනවයි කියල දිවුරුම් දීම ප්‍රතික්ෂේප කරපු හින්ද ද්‍ර.එ.වි.පෙ. පක්සෙ මන්ත්‍රී ධුර අහිමිවුන හින්ද අමිර්තලිංගම්ගෙ විපක්ෂනායක ධුරයත් අහිමිවුනා. ඒ හින්ද 1983 අවුරුද්දෙ ඉඳල 1988 වෙනකල් පාර්ලිමේන්තුවෙ විපක්ෂනායක ධුරය දැරුවෙත් අනුර.

1993 වෙනකොට චන්ද්‍රිකා ආපහු ශ්‍රී ලංකා එකට එන එක වළක්වන්ට බැරිබව පැහැදිලිව පේන්ට තිබුන. ඒ වෙලාවෙ රටේ මිනිස්සුන්ටත් ඕන වෙලා තිබ්බෙ එජාපයට විරුද්ධව නායකත්වය ගන්ට පුලුවන් ආකර්ශණීය චරිතයක්. චන්ද්‍රිකා ඒ නිර්නායකවලට අගේට ගැලපුනා. ඒ හින්ද අනුර කලේ යූඇන්පී එකට එකතුවෙලා විජේතුංග ජනාධිපතිතුමා යටතෙ උසස් අධ්‍යාපන ඇමතිකම ලබාගත්තු එක. 

ඒ එක්කම වගෙ පැවැත්වුනු දකුණු පළාත්සභා මැතිවරණයෙන් එක ආසනයකින් පොදු පෙරමුණ දිනුව. මහ ඇමති විදිහට අමරසිරි දොඩංගොඩට දිවුරුම් දෙන්ට නොදී යූඇන්පී ආණ්ඩුව ජසයා සහ ලෙන්චිනාට ඇන්දා. මහ ඇමති දිවුරුම් දෙන්ට ඕන පළාත් ආණ්ඩුකාරය ඉස්සරහනෙ. දකුණු පළාත් ආණ්ඩුකාර බකීර් මාකර් කලේ දිවුරුම් දීම කොහොමින් කොහොමින් හරි වලක්වන්ට හිතාගෙන මාතලේ එයාගෙ තේ වත්තට වෙලා හැංගිල හිටපු එක.

ඒ අතර ආණ්ඩුවෙ ලොක්කො ෆුල් ට්‍රයි එක දුන්න කවුරුහරි දෙතුන් දෙනෙක් ඒ පැත්තට බිලීබාගෙන බහුතරය හදාගන්ට. ඒත් ඒ වැඩේ හරිගියේ නෑ. ඒ දිවුරුම් දීමේ නාඩගමෙන් පාඩමක් ඉගෙන නොගත්ත ආණ්ඩුව ඊටපස්සෙ තමයි අර කුප්‍රසිද්ධ ප්‍රැන්සිස්කු මෙහෙයුම දියත් කලේ. 

 මහ ඇමති අයවැය කතාව ඉදිරිපත් කරල ඒකෙ ඡන්ද විමසීම පවත්වන දවසෙ ආණ්ඩුව පොදු පෙරමුනේ පලාත් සබා මන්ත්‍රී විමල් ප්‍රැන්සිස්කුව බලෙන් අරගෙන ඇවිල්ල හංගල තියාගෙන හිටිය. ඔය ප්‍රැන්සිස්කු  මෙහෙයුමේ මහ මොල කරුවා  අනුර බණ්ඩාරනායක කියල තමයි රට හැමතැනම කතාව පැතිරුනෙ. ඒ කිව්වෙ යූඇන්පී ආන්ඩුවට ආපු අලුතනෙ. ඒ හින්ද වැඩ පෙන්නන්ට ගිහිල්ල අනුර හත් පොලේ ගාගත්ත කියලයි හැමෝම කිව්වෙ.

ආයම අනුර යූඇන්පී එකෙන් පොදු පෙරමුනටත් ගියා. පාර්ලිමේන්තුවෙ කතානායක තනතුරත් දැරුව. ඒත් අන්තිමට අගමැතිවරයෙකුගේ සහ වරියකගේ එකම පුතා සහ ජනාධිපතිවරියකගේ මලණුවන් වූ අනුරට අත්වූ ඉරණම සෝචනීයයි. 

ඒත් ඉතින් එක අතකට බැලුවම එහෙම හිතන්නෙ අපිනෙ. අනුරට ඕකෙ ගානක් නැතුව ඇති. පොඩි කාලෙ ඉඳලම නේරුල, ගාන්ධිල ටිටෝල එක්ක කතාබහ කරල ආශ්‍රය කරල හිටියම ඔය බලයට තියෙන පෙරේතකම ආසාව නැතිවෙනව. අනුරත් එහෙමද කියල කවුද දන්නෙ? 

ඒ මොකවුනත් අනුර කියන්නෙ ශ්‍රී ලාංකික දේශපාලනයෙ බොහොමත්ම වර්ණවත් චරිතයක්. ඒකෙ ආය කිසිම සැකයක් නෑ.

32 comments:

  1. Thank you Ravi. Well written. Some of the things I have heard from my parents,Others I had more knowledge of.

    Btw, is Good Friday a holiday in where you work?

    Hope you recover fast.

    Lotus

    ReplyDelete
    Replies
    1. Lotus,

      /Btw, is Good Friday a holiday in where you work?/

      Nope this is an Arabic country...so only Islamic holidays here. not even X'mas is a holiday here :(

      /Hope you recover fast./

      Thank you so much...:)

      Delete
  2. /// හරියට ඔලුව පාවිච්චි කරල වැඩ කලානම් 94 ජනාධිපති වෙන්න තිබ්බෙ චන්ද්‍රිකා නෙවෙයි අනුර. ඒත් ඊට අවුරුද්දකට කලින් එජාප පරාජය පෙනි පෙනී අනුර එජාපයට ගියා. ගියා නෙවෙයි යන තැනට වැඩ සිද්ද කලා. හෙහ්..හෙහ්..කවුද එහෙම කලේ කියල ඇහුව? වෙන කවුද ඉතිං? "ලොක්කා කිසිදේකට බයවෙන්ට එපා..කවදකහරි ලොක්කා මේ රටේ නම්බර් වන් කරලයි මම පස්ස බලන්නෙ. ලොක්ක එක මම දෙක.." අන්න එහෙමලු ඔය මනුස්සය අනුරව මුරුංග අත්තෙ තිබ්බයි කියන්නෙ. ඒ කරල යටින් ගේම දුන්න. ///

    /// 1993 වෙනකොට චන්ද්‍රිකා ආපහු ශ්‍රී ලංකා එකට එන එක වළක්වන්ට බැරිබව පැහැදිලිව පේන්ට තිබුන. ඒ වෙලාවෙ රටේ මිනිස්සුන්ටත් ඕන වෙලා තිබ්බෙ එජාපයට විරුද්ධව නායකත්වය ගන්ට පුලුවන් ආකර්ශණීය චරිතයක්. චන්ද්‍රිකා ඒ නිර්නායකවලට අගේට ගැලපුනා. ඒ හින්ද අනුර කලේ යූඇන්පී එකට එකතුවෙලා විජේතුංග ජනාධිපතිතුමා යටතෙ උසස් අධ්‍යාපන ඇමතිකම ලබාගත්තු එක. ///

    මේ උපුටා ගත්තු කොටස් දෙක ආපහු කියවන්න රවී. සුපුරුදු පරිදි මේ අස්සටත් මැක්කාගේ කතාව ඔබන්න ගිහින් මෙතැනදී අවුල් ගිහින් කුජීත වෙලා වගේ නේද...


    /// ඒත් ඉතින් එක අතකට බැලුවම එහෙම හිතන්නෙ අපිනෙ. අනුරට ඕකෙ ගානක් නැතුව ඇති. පොඩි කාලෙ ඉඳලම නේරුල, ගාන්ධිල ටිටෝල එක්ක කතාබහ කරල ආශ්‍රය කරල හිටියම ඔය බලයට තියෙන පෙරේතකම ආසාව නැතිවෙනව. අනුරත් එහෙමද කියල කවුද දන්නෙ? ///
    /// ඔය ප්‍රැන්සිස්කු මෙහෙයුමේ මහ මොල කරුවා අනුර බණ්ඩාරනායක කියල තමයි රට හැමතැනම කතාව පැතිරුනෙ. ඒ කිව්වෙ යූඇන්පී ආන්ඩුවට ආපු අලුතනෙ. ඒ හින්ද වැඩ පෙන්නන්ට ගිහිල්ල අනුර හත් පොලේ ගාගත්ත කියලයි හැමෝම කිව්වෙ.///

    එහෙව් බලයට කෑදර නැති මනුස්සය ඇයි රවී UNP එකට ගිහින් වැඩ පෙන්නන්න අර විදිහේ පදිරි වැඩක් කරේ. අර ගිරව් දෙන්නගේ කතාවේ වගේ හොරු ගාවට ගිය නිසාද (බඩු කාපර්, ආ...සොරි වෙන්න ඕනේ වැරදුනා වැරදුනා) "උපාසක අනුර" නරක වැඩ කරන්න පුරුදු උනේ...
    ඒ නරක කම කොච්චර උඩු දිව්වද කියනවනම් චන්ද්‍රිකා අක්කව දාල ඇගේ වෛරය (4 ද කොහෙද) ෆිල්ම් එකක් ගහන්න ඕනෙය කියල (හෝ ඒ හා සමාන කියමනක්) ස්ටේජ් නැගල කිව්වෙත් ගාන්ධිලව, නේරුලව, ටිටෝ ද කවුද මන්ද ඇසුරු කලාය කියන උපාසක අනුරමද රවී...
    ඒකනම් මාරයි නෙහ්...

    ReplyDelete
    Replies
    1. /මේ උපුටා ගත්තු කොටස් දෙක ආපහු කියවන්න රවී. සුපුරුදු පරිදි මේ අස්සටත් මැක්කාගේ කතාව ඔබන්න ගිහින් මෙතැනදී අවුල් ගිහින් කුජීත වෙලා වගේ නේද.../

      ලොක්කා, කිසිම පරස්පරයක් නෑ ලොක්කා...නන් ඇට් ඕල්..

      මම හිතන්නෙ ඔබතුමා ඔය කියන්නෙ චන්ද්‍රිකා ආය එන හින්ද අනුර යූඇන්පී එකට ගියාය කියල මම කියපු එකයි රටේ මිනිස්සුන්ට යූඇන්පී එකට විරුද්ධව නායකත්වය ගන්ට ආකර්ශණීය චරිතයක් ඕන වෙලා තිබ්බයි කියන එකයි පරස්පරයි කියල වෙන්න ඇති. නෑනෙ ලොක්කා ඒක මෙහෙමයි..

      77 ඉඳල 94 වෙනකොට යූඇන්පී එක අවුරුදු 17ක් බලයේ ඉඳල තියනව. ඒ හින්ද මිනිස්සුන්ට සෑහෙන දිරකට එපා වෙලයි තිබ්බෙ. ඒත් යූඇන්පී එකේ ඒ කාලෙ හිටිය බොහොම ජනප්‍රිය ඒ වගේඔම හොඳ පෞරුෂයක් තියන චරිත. ඒ හින්ද යූඇන්පී එක පරද්දන්ට පුලුවන්ය කියල මිනිස්සුන්ගෙ හිතේ ආකල්පයක් හැදෙන්ට නම් විරුද්ධ පක්ෂයට ආකර්ශණීය නායකත්වයක් ඕන. විරුද්ධ පක්ෂයට නොතිබ්බෙත් ඒක.

      ඇයි ඒ නොතිබ්බෙ? විරුද්ධ පක්ෂෙ නායකත්වය ගන්ට එහෙම ආකර්ශණීය නායකත්වයක් සපයන්ට හොඳම සුදුස්ස හිටියෙ අනුර. ඒත් ඔබ ඔය කියන මැක්කා (ආ..තව එකක් කියන්න ඕන..මම මගෙ පෝස්ට් එකේ කිසිම නමක් ගමක් සඳහන් කලේ නෑ. ඒත් ඔබතුමාම තොප්පිය අරගෙන කාටදෝ පලන්දල වගෙයි මට පේන්නෙ..හෙහ්..හෙහ්) කලේ යටිං ඉඳගෙන ගේම ගහල අනුරව රටේ මිනිස්සුන්ට එපා කෙරෙව්ව එක.

      අනුර කූජිතම කලේ ඔය ඔබ කියන මැක්කා.මම මැක්කටම වැරැද්ද පටවන්නෙත් නෑ. අනුර දැනගන්ට ඕන අඟේ ඉඳං කන කන මිනිස්සු කවුද කියල අඳුන ගන්ට. අනුරට එහෙම ඔලුවක් තිබ්බෙ නෑ.

      මැක්ක දැනගෙන හිටිය අනුර රටේ නායකය උනානම් මැක්කට ජනාදිපතිවෙන්ට නෝ චාන්ස් කියල. ඒක හින්ද මැක්කගෙ ටාගට් එක තිබ්බෙ අනුරයි සිරිමයි කොටවල දෙන්නම පජාත කරල මැක්ක පොදු පෙරමුනේ ජනාදිපති අපේක්ෂකය වෙන්ට. ඒ වැඩේ කිරිගහට ඇන්න වගෙ හරිගියා.

      ඒත් ඒ එක්කම එංගලන්තෙ ඉඳල චන්ද්‍රිකා කඩා පාත් වෙච්චි නායකත්වය ගන්ට. මැක්කටනේද? වඳුරු කුණුහරප මතක් උනා. ඒකනෙ අර ගාල්ලෙද මාතරද රැස්වීමකදි ස්ටේජ් එකේ දෙනෝ දාහක ඉස්සරහ චන්ද්‍රිකාට කුනුහබ්බෙන් බැන්නෙ...මම හිතන්නෙ යූ අන්ඩස්කර්ය් වැරි වැල් නව් ලොක්කා..ඕකේ?

      /එහෙව් බලයට කෑදර නැති මනුස්සය ඇයි රවී UNP එකට ගිහින් වැඩ පෙන්නන්න අර විදිහේ පදිරි වැඩක් කරේ. ඒ නරක කම කොච්චර උඩු දිව්වද කියනවනම් චන්ද්‍රිකා අක්කව දාල ඇගේ වෛරය (4 ද කොහෙද) ෆිල්ම් එකක් ගහන්න ඕනෙය කියල (හෝ ඒ හා සමාන කියමනක්) ස්ටේජ් නැගල කිව්වෙත් ගාන්ධිලව, නේරුලව, ටිටෝ ද කවුද මන්ද ඇසුරු කලාය කියන උපාසක අනුරමද රවී...ඒකනම් මාරයි නෙහ්.../

      ලොක්කා, ලොක්කලට නොහොත් මැක්කගෙ වහල්ලුන්ට වැරදෙන්නෙ ඔතනනෙ ලොක්කා..

      මේ ලෝකෙ කිසිම මිනිහෙක් තනිකර කලු වත් තනිකර සුදුවත් නෑ..මිනිස්සු ඇවිල්ල කළු සහ සුදු වල සම්මිශ්‍රණයක්..ඒ කියන්නෙ ඇත්තටම නම් අළු...

      අනුරත් එහෙමයි..අනුරගෙ හොඳ ගතිගුණ වගේම පජාති වැඩත් තියනව නොසෑහෙන්ට. අනික මගෙ නෑනෙ ඔය වහල්ලු වගෙ මිනිස්සුන්ට මල් තියල වැඳිල්ලක්. වැරැද්දක් කලානම් ඒකත් කිව්ව. හංගන්ට දෙයක් නෑනෙ.

      හැබැයි මැක්කගෙ වහල්ලුට නම් මැක්ක කිසිම වැරැද්දක් හීනෙංවත් කරන්නෙ නෑ. හැබැයි අපරාදෙ කියන්ට බෑ මැක්ක කරපු හොඳ වැඩත් තියනව. එව්වත් කියන්ට එපාය. අපි එහෙමයි අපේ නෑ ඔය හැංගිලි. මැක්ක උනත් හොඳ වැඩක් කලොත් කියනව. ඒ නිසි ගෞරවය දෙනව.දැං බලමු මැක්ක කරපු හොඳ වැඩ කීපයක්...

      1.තමං මරන්ට කොටින්ට ඔත්තු දීපු ජොන්සන්ට සමාව දීල ඇමතිකමකුත් දුන්න.

      2.අරංතලාවෙ හාමුදුරුවරු මැරෙව්ව කාරුණිකයානන්ට පක්සෙ උප සබාපති කම දුන්න

      3.අපේ රටට අච්චර විනාසයක් කරපු කොටින්ට සමාව දීල තම මල්බෑ භක්ෂිශීලයන් ලවා කෝටි ගනනක් සල්ලි දුන්න

      4.තම පුත්කුමරු ලවා නුවර වැව වටේ කාර් රේස් තියල දලඳාවට ශබ්ද පූජා පවත්වා උපහාර පිදුව.

      5.හම්බන්තොට මොණරුන්ට හිතුමතේ ඩාන්ස් දාන්ට මහ විසාල පිටැන්නක් හදල දුන්න.

      6.කාල්ටන් බංගලාවෙ වත්තෙ තම දෑතින්ම හිටවපු වැටකොලු පතෝල කැකිරි තියඹරා කඩල කුරක්කං සාටකේ ඔතල තංගල්ලෙ පොලට අරගෙන ගිහිල්ල විකුනල ඒ සල්ලි වලින් අම්මටයි තාත්තටයි පිං පිනිස අර ඇස්ටරික්ස් කතාවෙ ඔබලික්ස්ගෙ අතේ තියන ගල් ආයුදේ වගේ එව්ව දෙකක් සහිත හෝම්පලවල් දෙකක් හැදෙව්ව.

      Delete
    2. අනේ ලොකු පුතා මේ හාමුගේ වහලාට හිතේ උගේ යටිකුට්ටු වැඩ අපිට තේරෙන්නේ නැහැ කියලා.

      2007 අයවැයේදී මංගලගේ ලනු කාල තිබිච්ච්ච ඇමැතිකමත් නැතිකරගත්තු ගොබ්බයට රජ වෙන්න ආසාව නැහැලු.

      දැන් රනිල හෙට අනිද්දා විශ්වසබන්ගෙන් පැරදිලා පක්ෂ නායකකමෙනුත් විසිවෙලා ගියහම මු කියයි රනිල්ටත් රජවෙන්න අසාව තිබුනේ නැහැ කියලා

      වහලුත් දැක්කා මේවගේ වහලු නොදැක්කා!

      Delete
    3. හැබැයි රෝයල් පොන්නයාගේ වහල්ලුට නම් රෝයල් පොන්නයාගේ කිසිම වැරැද්දක් හීනෙංවත් කරන්නෙ නෑ. හැබැයි අපරාදෙ කියන්ට බෑ රෝයල් පොන්නයාගේ කරපු හොඳ වැඩත් තියනව. එව්වත් කියන්ට එපාය. අපි එහෙමයි අපේ නෑ ඔය හැංගිලි. රෝයල් පොන්නයාගේ උනත් හොඳ වැඩක් කලොත් කියනව. ඒ නිසි ගෞරවය දෙනව.දැං බලමු රෝයල් පොන්නයාගේ කරපු හොඳ වැඩ කීපයක්...

      1. බටලන්දේ තරුණ පුනුරත්තාපන කදවුරෙන් තරුණයින් සියගනනකට නිවනසැප අත්කර දුන්න.

      2. තරුණ අසහනය දුරුකරන්න මුල්වෙච්ච ප්‍රේමදාස උඩුගම්පොලට නියෝජ්‍ය පොලිස්පතිකමක් දීලා ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශ ශක්තිමත් කළා.

      3. මහබැංකුවේ බැදුම්කර නිකුතුව විධිමත් කරලා රටට රුපියල් බිලියන 30 ලාබයක් ඇතිකළා

      4. තමන්ට වෙන්කළ රුපියල් කොටි 600ක මෝටර් රත් දෙක එපාකියලා එමමුදල් වකුගඩු රෝගීන්ට ප්‍රධානය කළා.

      5. පාඩු ලබන වරාය නගරය, මුල්‍ය නගරය ලෙස නම්කර එක රැයින් ලැබ ලබන බවට පත්කරා. .

      6. පසුගිය වසර 16ටම වැඩිම ආර්ථික වර්ධන වේගය ගිය වසරේදී (2017) 2.3% ලබා දුන්නා.

      7. තමන්ගේ ගජ මිතුරන්ගේ ඉල්ලීම් පසෙකලා මුළු රටම ආවරණය වෙන පරිදි දක්ෂ්න්ගෙන් සැදුම්ලත් කැබිනට් මණ්ඩලයක් පිහිටෙව්වා.

      8. තමන්ගේ නායකත්වට අභියෝගයට ලක්වෙද්දී ප්‍රජාතන්ත්‍රවාදීව නායකත්ව නිලවරණයක් පවත්වා ජයගෙන පක්ෂය අකණ්ඩව 30 වතාවක් ජයග්‍රහණය කර මෙහෙයෙවුව.

      Delete
    4. අම්මටවූඩු, ලොක්කගෙ පෙරකදෝරුවා ඇවිල්ල උත්තර බඳින්ට...Anyway welcome welcome....:)

      ඔහේ ඔය රනිල් ගැන කියල තියෙන එව්ව ඔක්කොම ඇත්ත වෙන්න ඇති. ඉතිං දෙයියනේ මොකටද එව්ව ගැන මට කියන්නෙ? මට පාන්ද?

      මමත් කියන්නෙ රනිලා එලවන්න ඕන කියල තමයි. ඕකා හින්ද තමයි අර නීලකාසයයි උගෙ හොර හැත්ත බුරුත්තමයි තාම එලියෙ ඉන්නෙ..:)

      Delete
    5. /// මේ ලෝකෙ කිසිම මිනිහෙක් තනිකර කලු වත් තනිකර සුදුවත් නෑ..මිනිස්සු ඇවිල්ල කළු සහ සුදු වල සම්මිශ්‍රණයක්..ඒ කියන්නෙ ඇත්තටම නම් අළු... ///

      මේ ඇත්තමද රවී, ඔයා ඉන්නේ හොඳ සිහියෙන්ද...
      හැමෝම සුදු සහ කළු වල සම්මිශ්‍රණයක්නම් ඔහේ මහින්දගේ කළුවක් විතරක් හැම තිස්සෙම දකින්නේ සහ කියවන්නේ ඇයි...
      මේ කතන්දර වැදී බණ කියල ආයේ ආයේ කියවද්දීවත් හිතුනේ නැද්ද...

      වෙලාවකට කියනවා ආකර්ෂණිය නායකයෙක් ඕනේ වෙච්ච නිසා අනුර හැලිලා සැටලයිට් ආවලු, ආයේ කියනවා මහින්ද අනුරව කැපුවලු. සිරිමවයි අනුරවයි මහින්ද කෙටෙව්වලු. උන් පොර කුකුල්ලුද
      එහෙම කොටවන්න...
      ඒ මිනිහව සම්පුර්ණයෙන් විනාස උනේ unp එකට ගියාට පස්සේ...

      /// අම්මටවූඩු, ලොක්කගෙ පෙරකදෝරුවා ඇවිල්ල උත්තර බඳින්ට...Anyway welcome welcome....:) ///

      unp පෙරකදෝරු රවී ට උත්තර බඳින්න "රවීගේ ක්‍රමේටම" ගැලපෙන්න උත්තර දෙන්න තවත් පෙරකදෝරුවෙක් හරි කවුරුමහරි කෙනෙක් හරි ආවම මක් වෙනවද, කොහොම උනත් ඇනෝට මගේ රොම්බ ප්‍රණාමය...

      /// ඔහේ ඔය රනිල් ගැන කියල තියෙන එව්ව ඔක්කොම ඇත්ත වෙන්න ඇති. ඉතිං දෙයියනේ මොකටද එව්ව ගැන මට කියන්නෙ? මට පාන්ද? ///
      උඹට පාන් නැත්තන් මොකටද බං අයියේ අර ලොකු බයිලා ලිස්ට් එකක් ලිව්වේ. උඹට පාන් විතරක් නෙමෙයි අයියේ පාන් ගෙඩිය අස්සේ බනිසකුත් තියෙනවද කියල හිතෙනවා මේ ලියවිලි දැක්කම...

      මට හිතා ගන්න බැරි රට විකුණන් කන අසමත් හාල්පාරුවෝ වෙනුවෙන්වත් නැති වෛරයක් මහින්ද ගැන ඔහෙට තියෙන්න හේතුව මොකක්ද කියලයි...

      මහින්දයි අනුරයි යාළුවො විතරක් නෙමෙයි ටිකක් විතර සමාන ගති පැවතුම් හෙමත් තියෙන අය බව මම අහල තියෙනවා...
      ඒ අතරින් "බොන එක" කියන්නේ ඉතින් වෛර බඳින්න හේතුවක් වෙන්න බැහැනේ...

      Delete
  3. හත්වලාමේ..... මාලිගාවේ බෝම්බයට පිළිමතලාවේ තිබ්බ ජනෙල් හෙළ උනා නම්, හෙලවිල්ල අපේ ගෙවල් පහුකරගෙන යන්ට ඇත්තේ මොනපාරෙන්ද කියලයි මම මේ කල්පනා කලේ. අපේ ජනෙල් එහෙනම් කුඩේ කුඩු වෙන්ට එපැයි !

    හා හා හරි.. අමතක උනා.. මේ රවියනේ

    ReplyDelete
    Replies
    1. රවිගේ මාගල් කෙබර

      Delete
    2. Likhitha,

      /හා හා හරි.. අමතක උනා.. මේ රවියනේ/

      නෑ බං ඇත්තටමයි..අපේ ගෙදර සාලෙ ජනේල වීදුරු හෙල්ලුනා.ආය ඉතිං බොරු කියන්නෙ මොකටෙයි?

      /අපේ ජනෙල් එහෙනම් කුඩේ කුඩු වෙන්ට එපැයි !/

      /On 25 January 1998, the LTTE exploded a massive truck bomb inside the Temple of the Tooth premises, which was to be the centre the independence day celebrations. Three suicide LTTE Black Tigers drove an explosive laden truck along the King's street (Raja Veediya), firing at soldiers manning road blocks around the place, crashed through the entrance and detonated the bomb around 6:10 am, local time. Two explosions were heard. The truck contained 300–400 kg of high explosives.16 people, including the 3 attackers and a 2-year old infant were killed in the incident. Over 25 people, including 4 women, a monk and a police officer were injured. P. W. Withanage, a professor of geology also died due to shock after hearing the incident. The powerful attack left most of the buildings within a radius of 5 km damaged, and glass panes broken./-Wikipedia

      /Buildings within a radius of more than five kilometres in the city had been damaged while almost all glass panes were broken. The sound of the explosion was heard about six to seven miles off Kandy./ - Sinhalaya.com

      පිළිමතලාවට නුවර ඉඳල තියෙන්නෙ කිලෝ මීටර් 11.5 විතර. එතකොට බෝම්බෙ සද්දෙ හැතැම්ම හතක් එහාට ඇහුනයි කියන්නෙ අනිවාර්යයෙන්ම ඒ රේන්ජ් එකට පිළිමතලාව අහුවෙනව.

      අනික කිලෝමීටර් පහක මානෙ බිල්ඩිං වල වීදුරු කැඩුනයි කියන්නෙ කිලෝමීටර් 12 එහා වීදුරු හෙල්ලෙන්ට බැරිද?

      උඹලගෙ ගෙදර එහෙම මොකවත් උනේ නෑ සද්දෙ ඇහුනෙ නෑ කියන්නෙ එක්කො බොලාගෙ ගෙදර ඊටත් දුරින් තියෙන්නෙ. (නුවර නුවර කියල උඩ පැන්නට අම්පෙගම දිඅහද කොහෙද මට හිතෙන්නෙ ගෙවල්....) නැත්නම් එදා උදේ ඔය සීන් එක වෙනකොට උඹල ඔක්කොම ගොරෝ ගොරෝ බුදි. එහෙමත් නැත්තං ගෙදර දාල තියෙන්නෙ ලී ජනේල.

      Delete
    3. kumara,

      නෑ බං ගෝඩ් ප්‍රොමිස්...ඇත්තමයි!!!

      Delete
    4. රවී අයියා.. මොකද කියන්නේ.. Shock Wave වල හැසිරීම ගැන ලිඛිතා මැඩම් ට ලෙක්චර් එකක් දෙන්නද? :D නැත්නම් යූ බටෙන් උනත් බලා ගන්න පුළුවන් වෙයි.. සමහර ලඟින්ම තියෙන objects වලට effect එකක් නැතුවත් දුර තියෙන එහෙකට effect වෙන්න පුළුවන්.. :)

      Delete
  4. අතිවිශිෂ්ටයි!

    ReplyDelete
  5. Replies
    1. I too Wish you a speedy recovery ayya! lol

      Delete
    2. සිත්තමී,

      ස්තූතියි මැඩම්..දැන් හොඳයි...Regular service will be resumed shortly...:)

      Delete
    3. Ian,

      It should be ayyah! ...:)

      Delete
  6. දාස මුදලාලි සිරිමා රජයෙන් බොහෝ අනුග්‍රහ ලබාගෙන ඒකාලේ විශාල ධනවතෙක් වෙලා තිබුණත් ඒකාලේ තිබ්බ දේශපාලන සංස්කෘතිය අනුව සිරිමා ඒ වෙනුවෙන් කප්පම් ගත්තේ නැතිබවට සාක්ෂියක් මම දන්නවා. ඒකාලේ අනුරගේ යහළුවෙක් කියපු කථාවක් නිසා. අගමැතිතුමියගේ පවුලට දාස එකේ ණය අකවුන්ට් එක තිබිලා තියෙනවා. අනුරට ඒකෙන් ඇඳුම් ගන්න පුළුවන්ලු. මාසෙ අන්තිමට බිල අගමැති නිවසට යනවාලු. ඒ බිලේ විවිධ සයිස් වල ශර්ට් අරගෙන තියෙනවා කියලා සිරිමා අනුරට බනිනවාලු. ඒකට හේතුව අනුර පවුලේ බිලෙන් යහළුවන්ටත් ඇඳුම් අරගෙන දීම. මේ කියන යහළුවා කවුද කියලා ප්‍රා ජේ දන්නවා ඇති.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      ඔව් ඒ කාලෙ එහෙමයි...සාමාන්‍ය මිනිස්සුන්ට වගේම දෙශපාලනඥයින්ටත් තිබ්බ විලි ලැජ්ජාව කියල එකක්...

      "යකෝ මෙහෙම දෙයක් කරල මම කොහොමද (මිනිස්සු ගැන හිතුවොත්) නෑදෑ හිතවතුන්ට, අහල පහල අයට මූණ දෙන්නෙ?" එහෙම නැත්නම් දේශපානඥයො ගැන හිතුවොත් "මම කොහොමද පාක්ෂිකයින්ට එතකොට රටේ මහ ජනතාවට ලෝකයාට මූන දෙන්නෙ?" කියන බය..

      ඕකට කියන්නෙ ඉයන් හිරි ඔතප්ප...හිරි ඔතප් බිඳුනයි කියල ඔය කියන්නෙ..ඒ කියන්නෙ වැරදි කරන්ට තියෙන බය ලැජ්ජාව නැතිවෙනවයි කියන එක. එහෙම වෙන එක බොහොම භයානකයි. එහෙම මනුස්සයෙකුට ඕනම දෙයක් කලෑකි කිසිම අවුලක් නැතුව..

      Delete
    2. Ian - හැරි හැරී ඉන්නේ නැතිව කෙලින්ම කියන්න ඇතිනේද

      Delete
  7. හා... ඒකත් එහෙමෙයි.
    ඔහේගෙ ඔය ලංග් එකේද මොකේද තියෙන ඉන්ස්පැක්ෂන් එක සනීපකරගෙන ඉමුකො බලන්න.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      දැන් 98% වගෙ සනීපයි බං..ලාවට කැස්සක් තියනව..දැට්ස් ඕල්...තෑන්ක්ස්...:)

      Delete
  8. මරු විස්තරය රවි. තෑන්ක්ස්. අනුර මළේ ඒඩ්ස් හැදිලා කියලා කියන කතාව ඇත්තද?

    ReplyDelete
    Replies
    1. වාසනා,

      අනුර ගැන ඒ කාලෙ ඔහොම නොයෙක් කතා පැතිරුනා..වීඩී හැදිලයි මලේ කිව්ව ඒඩ්ස් හැදිලයි කිව්ව...හෙහ්,හෙහ්,

      Delete
  9. ලිවිල්ලට තුති. අලුත් විස්තර ටිකක් දැනගත්ත.
    රවී තුමාට ඉක්මනින් සනීප වෙන්නට ප්‍රර්ථනා කරමි.

    ඔය විස්තර වෙනකොට අපි පොඩී ළමයි නිසා, තව අතුරු ප්‍රශ්නයක් අහන්නද?
    දෙමවුපියෝ සහ සොයුරියක් රාජ්‍ය නායකයෝ වෙලා, සොහොයුරා ක්‍රියාකාරී දේශපාලකයෙක් වෙලා ඉන්නකොට, අර ෆොටෝ එකේ වම් පැත්තේ ඉන්න බොහොම සුරූපී සුනේත්‍රා, දේශපාලන ලෝකයේ නිහඬ චරිතයක් උනේ මොකක් නිසා වෙන්න ඇතිද?

    ReplyDelete
    Replies
    1. මානවික්ස්,

      ඉස්සෙල්ලම ස්තූතියි...

      ඊලඟට ප්‍රශ්නෙට උත්තර මම දන්න විදිහට...:)

      සුනේත්‍රා කලින් ඉඳලම දේශපාලනයට ඒ තරම් උනන්දුවක් දැක්වුවෙ නෑ මම අහල තියන විදිහට.සමහරවිට අම්මයි චන්ද්‍රිකයි අනුරයි දෙන්නම දේශපාලනයට යොමුවුන නිසා සුනේත්‍රාට හිතෙන්න ඇති මමත් මොකටද ආය ඕකෙ රිංගන්නෙ කියල...

      සුනේත්‍රා මුලින්ම විවාහ වුනේ ආචාර්ය කුමාර් රූපසිංහ එක්ක. ඔහු මට මතක විදිහට සමාජ විද්‍යාඥයෙක්. සමාජ ක්‍රියාකාරිකයෙක්. ඔහුගෙන් දික්කසාද වී ඇය උදය නානායක්කාර නම පුද්ගලයකු හා විවාහවුනා.පසුව ඔහුගෙනුත් දික්කසාද වුනා.

      ඇය දැන් ආබාධිත දරුවන් වෙනුවෙන් ප්‍රසාංගික කලා නිර්මාණ සංවිධානය කරන සුනෙර පදනම නම් ආයතනයක් පවත්වාගෙන යනවා.

      හොරගොල්ල වලව්වේ පරණ අශ්ව ඉස්තාලය ප්‍රතිසංස්කරණය කරල සුප්‍රසිද්ධ වාස්තු විද්‍යාඥ ජෙෆ්රි බාවා ඇය වෙනුවෙන් අපූරු නිවසක් නිර්මාණය කලා...

      Delete
  10. අනුර ලොක්ක ඒ කාලේ චන්දෙවත් නැති අපිටත් පේන්න බෑ.. අන්නේකට සැටා නෝනේ.. චීස් කඳක් වගේ දැක්කේ.. බැබලෙනවා කියහන්කෝ.. චන්දේ දුන්නේ පැන පැන කස්ටිය.. බස්නාහිර මහා ඇමතිනි උනා.. ඒ පිම්මටම අගමැති වෙලා ඔහොක් කල්ල මෙහෙක් කන්නකොට මෙන්න ජනාධිපතිනිත් වෙලා.. :D

    ReplyDelete
  11. ඔය සායි බබා හෙම අදහන උන් ලංකාවේ අගමැති ජනාධිපති නොවුන එක හොඳයි බං . නැත්නම් තියෙන රෙද්දේ අමාත්‍යංශ මදිවට සායි බබා අමත්යන්ශේ කුත් එන්න තිබ්බ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...